Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

උතුරු කොරියාවේ 70 වසරක ඉතිහාසය​

2018 සැප්තැම්බර් 9 වනදා උතුරු කොරියාව හෙවත් කොරියානු ප්‍රජාතාන්ත්‍රික මහජන ජනරජය සිය 70 වන සංවත්සරය සැමරුවා. ඉතින් මේ වසර 70 පිළිබඳ ආපසු හැරී බලන්නට අපි කල්පනා කළා.

දෙවන ලෝක යුද්ධය අවසානය​

1910 සිට 1945 දක්වා කොරියාව පාලනය කළේ ජපානය විසින්. දෙවන ලෝක යුද්ධය අවසානයේ දී සෝවියට් හමුදා කොරියාවේ උතුරු දිශාව දෙසටත්, ඇමරිකානු හමුදා දකුණු දිශාව දෙසටත් ළඟා වුණා. මේ අනුව උතුරු දේශාංශ 38 වන රේඛාව ඔස්සේ කොරියාව සෝවියට් සහ ඇමරිකානු මිලිටරි පාලන ප්‍රදේශයන්ට බෙදනු ලැබුණා. ඔවුනගේ අරමුණ වූයේ යථා කාලයේ දී මැතිවරණයක් පවත්වා එක්සත් කොරියාවක් නිර්මාණය කිරීමයි.

කෙසේ නමුත් ලෝක බල දේශපාලනික යථාර්ථයන් හමුවේ මෙම ප්‍රදේශ දෙක එකතු වීමක් සිදු වූයේ නැහැ. ඒ වෙනුවට උතුරු කොරියාව සහ දකුණු කොරියාව ලෙස මෙම රාජ්‍යයන් දෙක වෙන් වුණා.

1953 න් පසු උතුරු කොරියාව (UN)

සෝවියට් පාලනය විසින් සිය බල ප්‍රදේශයේ නායකත්වය සඳහා තෝරා ගන්නා ලද්දේ ජපන් අධිරාජ්‍යවාදීන්ට එරෙහිව සටන් වැදී යම් තරමක නමක් දිනා සිටි අයකු වූ කිම් ඉල්-සුංග් නමැත්තා යි. 1912 අප්‍රේල් 15 වන දා උපන් ඔහුගේ පවුල ප්‍රෙස්බිටේරියානු ආගමික නිකායට අයත් වූ බව සඳහන්. 1930 දශකයේ මුල් කාලයේ සිට ඔහු කොමියුනිස්ට්වාදී ව්‍යාපාරයනට එකතු වුණා. දෙවන ලෝක යුධ සමයේ වැඩි හරියක් ඔහු ගතකළේ සෝවියට් දේශයේ යි.

උතුරු සහ දකුණු කොරියානු ප්‍රදේශයන් හි මැතිවරණ පැවැත්වීම සඳහා එක්සත් ජාතීන් අදහස් කළත්, උතුරු කොරියාව එම මැතිවරණය ප්‍රතික්ෂේප කළා. ජන සංයුතිය අනුව වැඩි ජනගහනය වූයේ දකුණේ යි. මේ අනුව අභිනව පාර්ලිමේන්තුවේ වැඩි ආසන ප්‍රමාණය දකුණට හිමි විය යුතු වුණා. දකුණු කොරියාවේ පාලකයා ලෙස කටයුතු කළේ ඇමරිකානු ආධාර ලබන සිංග්මන් රී. ඔහු ද දැඩි ඒකාධිපතියකු වූ අතර ඔහු යටතේ මැතිවරණය දූෂිත වනු ඇති බවටත් එමගින් කොමියුනිස්ට්වාදීන්ට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ස්ථාපිත කරගන්නට නොහැකි වන බවටත් උතුරු කොරියානු සහ සෝවියට් නායකත්වය විශ්වාස කළා. මේ අනුව උතුරු කොරියාවේ පමණක් මැතිවරණය පැවැත්වූ ඔවුන් 1948 සැප්තැම්බර් 9 වන දා එරට ස්වාධීන රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කළා.

කොරියානු යුද්ධය​

මුල පටන්ම උතුරු කොරියානු පාලනයට අවශ්‍ය වූයේ කොරියාව තමන් යටතේ එක්සත් කිරීම යි. එය කෙතරම් වැදගත් වූයේ ද යත් ඔවුන් මුල් කාලයේ සිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කොරියානු ප්‍රජාතාන්ත්‍රික මහජන ජනරජයේ අගනගරය ලෙස පිළිගත්තේ සෝල් නගරය යි. මේ අතර සෝවියට් ආධාර සහිතව මුල් කාලයේ පටන්ම ඔවුන් සිය හමුදා ශක්තිය වර්ධනය කරගත්තා.

දකුණු කොරියාවේ තත්ත්වය එතරම් ම යහපත් වූයේ නැහැ. මුල් කාලීනව සිංග්මන් රී වැඩි අවධානය යොමු කළේ තම විරුද්ධවාදීන් මර්ධනය කිරීම කෙරෙහි යි. ඔහුට එරෙහිව රටේ කැරලි ද ඇති වුණා. මීට සාපේක්ෂව උතුරු කොරියාවේ දේශපාලනය ස්ථාවරව පැවතුණා.

1950 ජූනි 25 වනදා උතුරු කොරියානු හමුදා දේශසීමාව හරහා දකුණු කොරියාව ආක්‍රමණය කළා. මෙම ප්‍රහාරයට මුහුණ දීමට දකුණු කොරියානු සේනා කිසිසේත්ම ශක්තිමත් වූයේ නැහැ. මේ නිසා යුද්ධයේ මුල් මාසවල උතුරු කොරියානු හමුදා වේගයෙන් දකුණු කොරියාව හරහා පැමිණියා.

ඇමරිකානු සෙබළ පිරිසක් කොරියානු යුද්ධය අතරතුර, 1951 ජූනි 9 වනදා (AP)

මේ අවස්ථාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කළේ දකුණු කොරියාවේ සහයට පැමිණිය යුතු බව යි. මෙකල සෝවියට් දේශය ආරක්ෂක මණ්ඩල රැස්වීම් වර්ජනය කළ හෙයින් ඔවුන් නොමැතිව මෙම යෝජනාව සම්මත වුණා. ඔවුන් සිටියා නම් එක්සත් ජාතීන් මීට සම්බන්ධ වීම ඔවුන් විසින් සිය නිශේධ බලය යොදා නැවැත්විය හැකිව තිබුණා. එසේ වුණත් ඇමරිකාව සහ අනෙකුත් කොමියුනිස්ට් විරෝධී රටවල් මීට අත පෙවීමට ඉඩ තිබුණ බවත් කිව යුතු යි.

ඉතා කඩිනමින් ඇමරිකන් හමුදා දකුණු කොරියාවට ළඟා වුණා. මේ අනුව උතුරු කොරියන් හමුදා කොරියාවේ ගිණිකොණදිග ප්‍රදේශයේ බූසාන් නගරය ආශ්‍රිත ප්‍රදේශයේ දී නවතනු ලැබුණා.

සැප්තැම්බරයේදී ඇමරිකන් හමුදා ඉන්චොන් ප්‍රදේශයට ගොඩ බැස්සා. මෙම ගොඩබැසීම සාර්ථක වූ අතර ඒ සමගම උතුරු කොරියන් සේනාවලට දකුණු කොරියාවම අහිමි වුණා. එමෙන්ම ඔවුන් උතුරු කොරියාව හරහා ද පසුබස්වනු ලැබුණා. මේ අවස්ථාවේ චීනය යුද්ධයට මැදිහත් වුණා. ඉන්පසු, 1951 මුල පමණ වනවිට සටන් පෙරමුණ මුල් දේශසීමාව ආසන්නයට ළඟා වූ අතර 1953 සටන් විරාමයක් අත්සන් කරන තෙක් එම පෙරමුණ ඒ අවට දෝලනය වෙමින් පැවතුණා.

යුද්ධයෙන් පසු

කොරියන් යුද්ධය අවසන් වෙද්දී කොරියානු අර්ධද්වීපයම පාහේ විනාශ වී තිබුණා. එහෙයින් බොහෝ දේ මුල සිට ගොඩනැගිය යුතු වුණා. උතුරු කොරියාවට මෙහිදී යම් යම් වාසිදායක තත්ත්වයන් කිහිපයක් උපකාරී වුණා. අර්ධද්වීපයේ ස්වාභාවික සම්පත් වැඩිපුර පිහිටියේ උතුරු ප්‍රදේශයේ යි. යුද්ධාවසානයේ දී අර්ධද්වීපයේ ආකරවලින් සියයට 75ක්, විදුලිබල උත්පාදන හැකියාවෙන් සියයට 90ක් සහ ඉතිරි වූ කර්මාන්තවලින් සියයට 80ක් වූයේ උතුරු කොරියාවෙ යි. සෝවියට් ක්‍රමය අනුව යමින් උතුරු කොරියාව කාර්මික දියුණුව ළඟා කරගැනීමට උත්සාහ කළා.

කිම් ඉල්-සුංග් (KCNA)

ර​ජය පෙන්වා දීමට උත්සාහ කළේ කෘෂි කර්මාන්තය අතින් ද එරට ඉතා සාර්ථක බව යි. නමුත් රටේ බොහොමයක් භූමිය කඳුකරය වන හෙයින් වගා කළ හැකි බිම් ප්‍රදේශ සීමා වූ අතර උතුරු කොරියාවට ඉතා හොඳ අස්වනු සහිත වසරක දී පවා ආහාර අතින් ස්වයංපෝෂිත වීම පහසු වූයේ නැහැ.

ස්වයං-විශ්වාසය

මුලින් කොමියුනිස්ට් දර්ශනය අනුගමනය කළ කිම් ඉල්-සුංග් 1955 පටන් ජුචේ නම් වූ දර්ශනයක් හඳුන්වා දුන්නා. මෙයින් බලාපොරොත්තු වූයේ උතුරු කොරියාව තම ශක්තිය මත විශ්වාසය තැබීම යි. මෙය ආර්ථික​, ආරක්ෂක ආදී සෑම අංශයක් කෙරේම අදාල විය යුතු වුණා.

මෙය දේශපාලනික අවශ්‍යතා මත ගොඩ නැගුණු දර්ශනයක් මිස ආර්ථිකමය වශයෙන් ඵලදායී ක්‍රමවේදයක් වූයේ නැහැ. කෘෂිකාර්මික වශයෙන් රට ස්වයංපෝෂිත වීමේ ඉඩකඩ සාපේක්ෂව ඉතා අඩු වුණා. මේ අතර යුධ හමුදා ශක්තිය පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමත් සමග යුධ වියදම් ද ඉහළ ගියා.

වැඩිදුර කියවීමට​: ස්වයං-විශ්වාසය පිළිබඳ උතුරු කොරියානු දේශපාලන දර්ශනය

කෙසේ වෙතත් 1970 දශකය වනතුරු ඒක පුද්ගල ආදායම අතින් උතුරු කොරියාව, දකුණු කොරියාවට වඩා ඉදිරියෙන් සිටියා. විශේෂයෙන්ම 1960 දශකයේ දී කාර්මික දියුණුව ඔස්සේ රටේ ආර්ථික සංවර්ධනය යහපත් අගයක් ගත්තා. මේ සමගම උතුරු කොරියාව අනෙක් කොමියුනිස්ට් රටවලට සාපේක්ෂව සෝවියට් දේශයෙන් ස්වාධීනව ගොඩ නැගෙන අයුරු ද දිස් වුණා. එහෙයින් බටහිර රටවල් ද උතුරු කොරියාවට ණය ලබාදීමට පෙළඹුණා.

නමුත් 1970 දශකය වනවිට මෙම තත්ත්වය කෙමෙන් වෙනස් වුණා. 1968 න් පසු උතුරු කොරියාව විස්තරාත්මක ආර්ථික සංඛ්‍යාලේඛන පළ කිරීමෙන් වැළකුණා. ණය ගෙවීමට අවස්ථාව පැමිණි විට ඔවුන් දුටුවේ තමන්ට ඒ සඳහා ප්‍රමාණවත් මුදල් නොමැති බව යි. 1970 දශකය මැද වනවිට උතුරු කොරියාව යළි සෝවියට් දේශය මත යැපෙන තත්ත්වයක් ඇති වුණා.

දිගින් දිගටම නිශ්පාදන කඩා වැටුණා. 1980 දශකයේ දී මෙම තත්ත්වය බරපතල වන්නට වූ අතර සෝවියට් දේශය බිඳ වැටුණ පසු තත්ත්වය තවත් දරුණු වුණා. මේ අතර 1960 සහ 1970 දශකවල ගෙන්වන ලද යන්ත්‍ර සූත්‍ර අබලන් වීම හේතුවෙන් සහ ඒවා අලුත්වැඩියා කරගැනීමට නොහැකිවීම හේතුවෙන් කර්මාන්ත කඩා වැටුණා.

න්‍යෂ්ටික සහ මිසයිල​ ව්‍යාපෘති

උතුරු කොරියාව සංඛ්‍යාත්මකව දැවැන්ත යුධ හමුදාවක් සිටින රටක්. ජනගහනය මිලියන 25ක් පමණක් වුව ද මිලියනයක පමණ නිත්‍ය හමුදාවක් සිටින එරට පිරිස් ශක්තිය අතින් ලොව සිව් වන විශාලම හමුදාවට හිමිකම් කියනවා. නමුත් මෙම හමුදා සතු අවි ආයුධ බොහොමයක් පැරණි ඒවා වනවා.

70 වන සංවත්සර පෙළපාලියේ උතුරු කොරියානු සෙබළියන් පිරිසක් (AFP)

මෙම ප්‍රශ්නය හේතුවෙන් ඔවුන් විශාල වශයෙන් සාම්ප්‍රදායික නොවන අවි සඳහා ආයෝජනය කර තිබෙනවා. ඒ අතර බැලිස්ටික් මිසයිල ව්‍යාපෘතිය සහ න්‍යෂ්ටික අවි නිපදවීමේ උත්සාහය ප්‍රධාන යි.

වැඩිදුර කියවීමට​: උතුරු කොරියානු රජය මෙතරම් “කයිවාරු” ගහන්නේ ඇයි?

දැනට උතුරු කොරියාව සතු වැඩිම පරාසයක් සහිත බැලිස්ටික් මිසයිලය හ්වසොං-15 වන අතර එහි පරාසය කිලෝමීටර් 13,000ක් පමණ වේ යයි සැලකෙනවා.

උතුරු කොරියානුවන් සතු හ්වසොං-14 මිසයිලයක් දියත් කෙරෙන අවස්ථාව (KCNA)

උතුරු කොරියාව පළමු වරට න්‍යෂ්ටික අත්හදා බැලීමක් කළ බවට විශ්වාස කෙරෙන්නේ 2006 යි. මේ දක්වා ඔවුන් න්‍යෂ්ටික අත්හදා බැලීම් හයක් සිදු කර ඇති බව විශ්වාස කෙරෙන අතර 2017 සැප්තැම්බර් 3 වන දා ඉන් විශාලම අත්හදා බැලීම සිදු කෙරුණා. එය හයිඩ්‍රජන් බෝම්බයක් බවයි උතුරු කොරියාව පවසා සිටියේ.

සාකච්ඡා

උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර මෙන්ම උතුරු කොරියාව සහ ඇමරිකාව අතර ද සාමාන්‍යයෙන් එදිරිවාදිකම් පැවතුණත් ඇතැම් අවස්ථාවන් හි දී ඔවුන් අතර සාකච්ඡා ද පවත්වා තිබෙනවා. 1990 දශකයේ මැද භාගයේ, කිම් ඉල්-සුංග්ගේ ජීවිත කාලයේ අවසන් සමයේ සහ ඔහුගේ පුත් කිම් ජොංග්-ඉල්ගේ පාලන සමයේ මුල දී එවන් එක් යුගයක් මතු වුණා. 2018 වසරේ මුල සිට යළිත් එවන් අවස්ථාවක් මතුව තිබෙනවා.

2018 පෙබරවාරි 9 වනදා දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ-ඉන් සහ උතුරු කොරියානු නායකයාගේ සහෝදරිය කිම් යෝ-ජොංග් පළමුවෙන් හමු වීම (Reuters)

මෙයින් මුල් අවස්ථාව උතුරු කොරියාව ආර්ථික වශයෙන් අසරණ වූ ආහාර හිඟයෙන් පීඩා විඳි අවස්ථාවක් වුණා. නරක ආර්ථික කලමණාකරණය සහ එරටට එරෙහි සම් බාධක හේතුවෙන් ආර්ථිකය නගා සිටුවීම පහසු වූයේ නැහැ. කෙසේ නමුත් 2002 වනතුරු උතුරු කොරියාව බටහිර රටවල් සහ දකුණු කොරියාව සමග සාකච්ඡා කරන තත්ත්වයක සිටියා. ඔවුන් න්‍යෂ්ටික අවිහරණ ගිවිසුමට ද අත්සන් කළා.

වැඩිදුර කියවීමට​: ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීම් නොතකා ඉදිරියට ඇදෙන උතුරු කොරියානු න්‍යෂ්ටික වැඩසටහන

2002 ජනවාරි මාසයේ දි ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් ඩබ්. බුෂ් විසින් උතුරු කොරියාව ත්‍රස්තවාදයට අනුබල දෙන රටක් ලෙස නම් කෙරුණා. ඒ සමගම උතුරු කොරියාව න්‍යෂ්ටික අවිහරණ ගිවිසුමෙන් ඉවත්ව න්‍යෂ්ටික අවි වැඩපිළිවෙල යළි නිල වශයෙන් ක්‍රියාත්මක කළා.

සිංගප්පූරුවේ සෙන්තෝසා හි දී සිදුවූ ඓතිහාසික කිම් – ට්‍රම්ප් හමුව (Straits Times)

2011 දී කිම් ජොංග්-උන් බලයට පත් වූ පසු කෙටි කලක් යනතුරු උතුරු කොරියාවේ ප්‍රතිපත්ති කෙසේ වේදැ යි පැහැදිලි වූයේ නැහැ. නමුත් ඔහු දේශීය වශයෙන් තම බලය තහවුරු කරගැනීම සඳහා දරුණු ක්‍රියාමාර්ග අනුගමනය කළා. මේ අතර 2017 දී ඔහු නිරන්තරයෙන් මිසයිල අත් හදා බැලීම් කරමින් කලාපීය රටවල්වලට තර්ජනය කළා. මෙම තත්ත්වය වෙනස් වූයේ 2018 ජනවාරි මාසයේ දී යි.

වැඩිදුර කියවීමට​: ට්‍රම්ප් යටතේ ඇමරිකා – උතුරු කොරියා සබඳතා වෙනස් වූ අයුරු

මෙවර 70 වන සංවත්සර උළෙල සැමරූ ආකාරයෙන් උතුරු කොරියාවේ ස්ථාවරය වෙනස් වී ඇති අයුරු පැහැදිලි වුණා. වෙනදා දකින විශාල හමුදා පෙළපාලිය වෙනුවට​, වැඩි අවධානය යොමු කර තිබුණේ ආර්ථික අංශයන් කෙරෙහි යි. නායක කිම් ජොංග්-උන් මේ අවස්ථාවේ වැඩි අවධානය යොමු කරනුයේ ආර්ථික දියුණුව වෙත බවට මෙය ද ඉඟියක් වුණා.

Cover Image: උතුරු කොරියාවේ 70 වන සංවත්සරය සැමරීමට සූදානම් වූ කාන්තාවන් පිරිසක් (AP)

මූලාශ්‍රයයන්

  • North Korea: The Paranoid Peninsula by Paul French
  • The Kim Dynasty – DW Documentary

Related Articles