මේ කතා කරන්න යන්නෙ රතු මුහුද ආසන්නයේ පිහිටා තිබුණු තානායමක් ගැන කතාවක්. මේ කියන්න යන තානායම ගැන නම් ඔබ ඒ හැටි අහලා පුරුදු නැති වෙන්නත් පුළුවන්. හැබැයි, මේ අපූරු තානායම පිටිපස්සෙ සෑහෙන සුන්දර, දුක්බර, වටිනා කතාවක් හැංගිලා තියෙනවා. ඒ තානායමට තමයි, “ආරෝස් නිවාඩු නිකේතනය” (Arous Holiday Village) කියල කියන්නෙ. මේ නිවාඩු නිකේතනය ගැන මෙන්න මෙහෙම සඳහන් වෙලා තියෙනවා.
“සුසුදු වැලි තලාවෙන් හා රතු මුහුදේ සුපිරිසිදු ජල තලාවෙන් වටවුණු, ආරෝස් නිවාඩු නිකේතනය සංචාරකයින්ගේ සිහින පාරාදීසයකි.”
ආරෝස් නිවාඩු නිකේතනය නිර්මාණය කරන්නෙ ඉතාලි ජාතික සමාගමක් විසින් 1974 වර්ෂයේ දී. සංචාරක ආකර්ෂණයෙන් අනූන නිසා මේ ප්‍රදේශයේ තානායමක් නිර්මාණය කළා වුණත්, පොරොන්දු වුණු පරිදි පිරිසිදු ජලය, විදුලිය හා මාර්ග පහසුකම් ලබා දෙන්න සූඩාන රජය කටයුතු කළේ නැහැ. මේ හේතු කාරණා නිසා වසර පහක් පමණ ඉතා සාර්ථකව පවත්වාගෙන යනු ලැබූ තානායම, ඉතාලි සමාගම විසින් වසා දමන්න තීරණය කරනු ලබනවා. 1982 පමණ වන විට මෙම තානායම සම්පූර්ණයෙන්ම අතහැර දමනු ලැබූවක් ලෙස පැවතුණා.
ඊශ්‍රායෙල්වරුන්ගේ අවාසනාවන්ත ඉරණම
1982 වර්ෂය වන විට ඉතියෝපියාව පුරා පැතිරී යන දරුණු සිවිල් යුධ තත්ත්වයක් නිසා එරට වාසය කළ ඉතියෝපියානු යුදෙව්වන් ඉතා දරුණු අන්දමේ හිරිහැරවලට සහ සමූල ඝාතනයන්ට ගොදුරු වනු ලබනවා. එවකට ඊශ්‍රායෙල් රාජ්‍යයේ අගමැති ලෙස කටයුතු කළ, “මෙනචෙම් බිගින්” (Menachem Begin) උපායමාර්ගික වශයෙන් තමාගේ සහෝදර ඉතියෝපියානුවන් ගලවා ගැනීම ගැන සැලකිලිමත් වනු ලබනවා. මෙම ඉතියෝපියානු යුදෙව්වන් හැඳින්වූවේ “බීටා ඊශ්‍රායෙල්” (Beta Israel) නමින්.
බීටා ඊශ්‍රායෙල්වරුන්ගේ ඉතියෝපියානු සංක්‍රමණ ඉතිහාසය පළමුවැනි සියවස සිට හයවන සියවස දක්වා දිව යනු ලබනවා. ඉතියෝපියානු යුදෙව්වන්ගේ විශ්වාසය අනුව ඔවුන් පැවත එන්නේ අරාබියානු රැජිණක් වූ ෂීබා රැජිණිය සහ සොලමන් රජුගේ දූ දරු පරම්පාරාවකින් බව යි. ෂීබා රැජිණිය දුරුකතර ගෙවාගෙන එවකට ජෙරුසෙලමේ පාලකයා වූ සොලමන් රජු බැහැ දැකීමට පැමිණ තිබෙනවා. රූපශ්‍රීයෙන් අගපත් ෂීබා රැජිණිය දුටු සොලමන් රජු ඇය හා ප්‍රේමයෙන් බැඳෙනවා. ඔවුන් දෙදෙනාට දාව උපන් දරුවන්ගේ පරම්පරාවන් ඔස්සේ ඉතියෝපියානු යුදෙව්වන් බිහි වූ බව යි ඔවුන්ගේ විශ්වාසය.
සිවිල් යුධ තත්ත්වය නිසා දහස් ගණනක් යුදෙව්වන් ඉතියෝපියාව හරහා සූඩානයේ පැවති සරණාගත කඳවුරුවලට පා ගමනින් පැමිණ තිබෙනවා. මේ අසීරු කර්තව්‍යයේ දී හාමත් වීම, යුද්ධමය ක්‍රියාන්විතයන්ට නිරාවරණය වීම හා දාමරිකයන්ට හසුවීම නිසා ඇස්තමේන්තුගත ආකාරයට 1700ක් පමණ යුදෙව්වන් මියගොස් ඇති බව සඳහන් වෙනවා. දුක්ගැහැට දරා ගනිමින් සූඩාන දේශසීමාවට පැමිණ සරණාගත කඳවුරු තුළ ගාල් වූ බොහෝ පිරිස් වසංගත රෝග තත්ත්වයන් හා මන්දපෝෂණය නිසාත් මියගොස් තිබෙනවා. සූඩානය මෙම සරණාගත කඳවුරු පවත්වගෙන යාමේ ප්‍රධාන අරමුණ වූයේ ලොව නන් දෙසින් ලැබෙන ආධාර සහ අරමුදල් රැස් කිරීම විනා සරණ පතා පැමිණෙන යුදෙව්වන්ගේ සුබ සිද්ධිය තකානම් නොවෙයි. මුස්ලිම් රාජ්‍යයක් වූ සූඩානය හරහා මෙම සරණාගත යුදෙව්වන් ඊශ්‍රායලය දක්වා ගෙන්වා ගැනීම කිසිදු ආකාරයක හැකියාවක් ඊශ්‍රායෙල් රාජ්‍යය සතුව තිබුණෙ නැහැ. සූඩානය හා ඊශ්‍රායලය අතර පැවති භුමිය එවකට ඊශ්‍රායලය සමග ජන්මාන්තර වෛරයකින් පසු වූ ඊජිප්තුව රාජ්‍යය සතු වීම මෙම තත්ත්වය ඉතා දරුණු කරනු ලැබුවා. මෙවන් වකවානුවක ඊශ්‍රායලයට මෙවැනි අසීරු මෙහෙයුමක් සිදුකළ යුත්තේ කෙසේ ද යන්න ඉතා සැලකිල්ලෙන් සිතා බැලිය යුතු වුණා.
රහස් සැලසුම් සහ මවාපෑම
ගොඩබිම හරහා ඊශ්‍රායලයට කිසිඳු වාසියක් හිමි නොවූවත්, රතු මුහුද හරහා ඉතා තීරණාත්මක මෙහෙයුමක් සිදුකළ හැකි බව ඊශ්‍රායෙල් “මොසාඩ්” බුද්ධි අංශය වටහා ගනු ලැබූවා. මේ පිළිබඳව මනාවට විමසා බලන ඊශ්‍රායලය, සූඩාන වෙරළ තීරය සතුව පැවති “ආරෝස් නිවාඩු නිකේතනය”, යුදෙව්වන් ගලවා ගැනීමේ මෙහෙයුමේ කේන්ද්‍රස්ථානය බවට පත් කර ගත හැකි බව වටහා ගනු ලබනවා. කෙසේ නමුත්, මෙම නිවාඩු නිකේතනය ඍජුව ඊශ්‍රායලයේ පාලනයට නතු කර ගැනීමේ හැකියාවක් පැවතුණේ නැහැ. ඊට පිළියමක් වශයෙන් මොසාඩ් බුද්ධි අංශය විසින් හොඳින් පුහුණු කරනු ලැබූ රහස් නියෝජිතයන් පිරිසක් ව්‍යාජ අනන්‍යතාවයකින් යුතුව සූඩාන් සංචාරක අමාත්‍යාංශය වෙත පිටත් කර හරිනු ලබනවා. මේ ක්‍රියාන්විතය සඳහා ඊශ්‍රායලය විසින් එක් නියෝජිතවරියක් තෝරා ගනු ලබනවා. ඇය නමින් “යෝලා රෙයිට්මන්” (Yola Reitman). මිල දී ගැනීමට අපේක්ෂා කෙරෙන නිවාඩු නිකේතනයේ කළමනාකාරිණිය ලෙස ඇය කටයුතු කිරීමට නියමිත වුණා. යෝලා මේ සඳහා තෝරාපත්කර ගැනීමට විශේෂ හේතුවක් පැවතුණා. එනම්, ඇය සතුව පැවති ජර්මානු පෙනුම හා ඇයට සිය මව් භාෂාව ලෙස පෙනෙන පරිදි චතුර ලෙස ජර්මානු භාෂාව හැසිරවීමට තිබූ හැකියාව යි. ඇය ජර්මනයේ උපත ලබා තිබූ අතර පසුකාලීනව ඊශ්‍රායලය වෙත සංක්‍රමණය වී තිබුණා. මේ ආකාරයට ආරෝස් තානායමේ හිමිකරුවන් වූ ඊශ්‍රායෙල් නියෝජිතයන්, සූඩාන සංචාරක අමාත්‍යාංශයේ පූර්ණ ආරක්ෂාව හා අනුමැතිය යටතේ තානායමේ නවීකරණය කටයුතු සිදුකරනු ලබනවා.
සහෝදර මෙහෙයුම්
ආරෝස් තානායමේ සම්පුර්ණ බලය ලබා ගන්නා ඊශ්‍රායෙල් නියෝජිතයන් ඉතා රහසිගතව ඔවුන්ට අවශ්‍ය ආම්පන්න රැස්කරගනු ලබනවා. ඇතැම් අවස්ථාවන්වල දී උපකරණ ලබා ගැනීමට අල්ලස් ආදිය භාවිතා කරන්නට පවා ඔවුන්‍ට සිදුවුණා. ඉන්පසුව රහසිගතව සූඩාන සරණාගත කඳවුරුවල වෙසෙන යුදෙව්වන් මුදවා ගැනීමට කටයුතු සම්පාදනය කරනු ලබනවා. මේ සඳහා ස්වදේශීය ඉතියෝපියානු යුදෙව් නායකයෙකු වූ “කෙබෙඩෙ බිම්රෝ” (Kebede Bimro) නැමැත්තාගේ උපකාර, ඊශ්‍රායෙල් නියෝජිතයන්හට ලැබෙනවා. මේ ආකාරයක දිවා කාලයේ සංචාරක තානායමක් ලෙස පවත්වගෙන යනු ලබන ආරෝස් තානායම, රාත්‍රී කාලයේ යුදෙව්වන් මුදවාගැනීමේ මෙහෙයුම්වල නිරත වනු ලබනවා. ඒ අනුව සරණාගත යුදෙව්වන් පුරවා ගත් ට්‍රක් රථ, රතු මුහුදු වෙරළේ නිශ්චිත ස්ථානයක දී ඊශ්‍රායෙල් නාවික හමුදාවට බාරදෙනු ලබන අතර, බෝට්ටු මඟින් ඔවුන් ඊශ්‍රායෙල් නාවික හමුදා නෞකාවකට බාරදුන් පසු අවසානයේ ඊශ්‍රායෙල් රාජ්‍යය වෙත නිරුපද්‍රිත බාර කරනු ලබනවා.
මේ ආකාරයට කෙරෙන තුන්වැනි මෙහෙයුම අවස්ථාවේ දී සරණාගත හුවමාරුව අතරතුර සූඩාන හමුදා කණ්ඩායමක් විසින් මෙම පිරිසට වෙඩි තැබීමක් සිදුකරනු ලබනවා. නමුත් එම අවස්ථාවේ වෙඩි හුවමාරුව ඉදිරියට පැමිණෙන එක් ඊශ්‍රායෙල් නියෝජිතයෙක් සෙබළුන් හට දෝෂාරෝපණය කරනු ලබනවා.
“තමුසෙල මොනව කරනව කියල ද හිතාගෙන ඉන්නෙ? මේක සංචාරකයින් විනෝද වෙන වැදගත් අවස්ථාවක්. අපි සූඩානයේ රාත්‍රී කිමිදීමේ චමත්කාරය සංචාරකයන්ට පෙන්වමින් ඉන්නෙ. තමුසෙල ඒ හැමදේම විනාශ කරල දානව” යනුවෙන් ඔහු දෝෂාරෝපණය කරනු ලබනවා. මෙවැනි තර්ජන හමුවේ ඊශ්‍රායෙල් රජය මෙහෙයුම් නතර කර දැමීමට තීරණය කරනු ලබනවා. ඒ අනුව රහස් නියෝජිතයන් වහාම නැවත ඊශ්‍රායලය බලා පිටත් වීමට ආඥා කරනවා.
අවසන් සහෝදර මෙහෙයුම
වසර දෙකක් පමණ කාලයක් නාවුක මෙහෙයුම් මාර්ගයෙන් සරණාගතයින් මුදවා ගැනීම සාර්ථකව සිදු කරනු ලැබුවත්, කාලය ගෙවී යත්ම සූඩාන රජයට මෙම ගලවාගැනීමේ මෙහෙයුම් සම්බන්ධයෙන් ඉව වැටෙමින් තිබුණා. එම නිසා නාවුක මෙහෙයුම් නතර කරමින් ගුවනින් සරණාගතයින් මුදවාගැනීම සම්බන්ධයෙන් නියෝජිතයන්ගේ අවධානය යොමුවුණා. ඒ අනුව දෙවැනි ලෝක යුධ සමයෙහි බ්‍රිතාන්‍ය ගුවන් යානා ගොඩබැස්සවීමේ අරමුණින් සූඩාන කාන්තාරය මැද ඉදිකරනු ලැබ, එවකට අතහැර දමා තිබූ ගුවන් පථයක් පිළිබඳ තොරතුරු අණාවරණය කර ගැනීමට ඔවුන්ට හැකිවෙනවා. ඉතාම අවම පහසුකම් යටතේ රාත්‍රී කාලයේ මෙම ගුවන් පථයට ගුවන් යානාවක් ගොඩබැස්වීම ඉතාම අනතුරුදායක කාර්‍යයක් වූවත්, අප්‍රතිහත ධෛර්යයක් සහිත යුදෙව්වන්, ගුවනින් සරණාගතයින් මුදවාගැනීම ආරම්භ කරනු ලබනවා. 1985 අප්‍රේල් මස 6 වැනිදා එවකට සූඩාන ජනාධිපති වූ, “ජෙන් නිමේරි” (Gen Nimeiri) බලයෙන් පහකොට හමුදා රජයක් පිහිටුවීමට සූඩාන හමුදාව කටයුතු කරනු ලැබුවා. නව හමුදා ආණ්ඩුව සතුව පැවති තොරතුරු අනුව යමින්, ආරෝස් තානයම පවත්වාගෙන යනු ලැබූ නියෝජිතයන් අත්තඩංගුවට ගැනීමට හමුදා නිලධාරීන් තානායම වෙත පැමිණෙනු ලැබුවත්, ඒ වන විට ඊශ්‍රායෙල් ආණ්ඩුවෙන් ලැබී තිබූ ඉවත්වීමේ නියෝග අනුගමනය කරමින් සියලු නියෝජිතයින් තානායමෙන් ඉවත් වී තිබුණා. මේ තත්ත්වය හේතු කොටගෙන සහෝදර මෙහෙයුමේ අවසානය සනිටුහන් වෙනවා.
අවසන් වතාවට ගුවනින් සිදුකළ සරණාගත මෙහෙයුමේ දී ඔවුන් සරණාගතයින් 400ක් මුදවා ගැනීමට කටයුතු කරනු ලබනවා. නමුත් ඔවුන් ඉදිරියේ දරුණු අභියෝගයක් ඇති වී තිබුණා. අවසන් මෙහෙයුම සඳහා ඊශ්‍රායෙල් රජයෙන් එවා තිබූ C130 Hercules යානාවේ ගමන් කළ හැකිව තිබුණේ මඟීන් 228 දෙනෙකුට පමණයි. එහෙත් ඔවුන්ගේ උදව් අපේක්ෂාවෙන් සරණාගතයින් 400 දෙනෙකු ගුවන් පථයෙහි රැඳී සිටියා. මේ අවස්ථාවේ එකදු සරණාගතයෙකු හෝ සූඩානයේ තනිකර දමා පැමිණීම ප්‍රතික්ෂේප කරනු ලබන රහස් නියෝජිතයින් ගුවන් යානයේ සියලු ආසන ගලවා ඉවත් කොට සරණාගත යුදෙව්වන් 400 දෙනා ගුවන් යානයට පටවා නියෝජිතයින් ද සමග ගුවන් යානය ගුවන්ගත කරනු ලබනවා. යානයට දැරිය නොහැකි තරම් වූ මඟීන් ප්‍රමාණයක් සමග වූවත් C130 Hercules යානාව සාර්ථකව ඊශ්‍රායෙල් භූමියට ගොඩබෑමට සමත් වෙනවා.
සහෝදර මෙහෙයුමෙන් අනතුරුව තවත් මෙහෙයුම් හතරක දී සරණාගත යුදෙව්වන් 32,000කට ආසන්න සංඛ්‍යාවක් මුදවාගැනීමට ඊශ්‍රායෙල් මොසාඩ් බුද්ධි අංශය සමත් වෙනවා.
1981-84 සහෝදර මෙහෙයුම හරහා සරණාගත යුදෙව්වන් 12,000ක් ද,
1984 මෝසස් මෙහෙයුමෙන් සරණාගත යුදෙව්වන් 8,000ක් ද,
1985 ජොෂුආ මෙහෙයුමෙන් සරණාගත යුදෙව්වන් 500ක් ද,
1991 සොලමන් මෙහෙයුමෙන් සරණාගත යුදෙව්වන් 15,000ක් ද,
2012 ඩෝව්ස් වින්ග්ස් මෙහෙයුමෙන් සරණාගත යුදෙව්වන් 8,000ක් ද, මුදවා ගැනීමට ඊශ්‍රායලය සමත්වනවා.
සහෝදර මෙහෙයුමට සහාය දුන් එක් මොඩාඩ් නියෝජිතයෙක් මෙලෙස අදහස් දක්වා තිබුණා. “සහෝදර මෙහෙයුමේ දී මෙහෙයුම කරපු අපි නෙවෙයි සැබෑ වීරයින් වෙන්නෙ. කවදාවත් ට්‍රක් එකක් දැකල නැති, බෝට්ටුවක්, නැවක් හෝ ගුවන් යානාවක් දැකල නොතිබුණු, තමන්ගෙ ජීවිත ආරක්ෂාව ගැන ස්ථිර බවට කිසිම වගකීමක් නොතිබුණත් කිසිදු හඬක් නොනඟා නිහඬව සහාය දැක්වූ ඉතියෝපියානුවන් තමයි සැබෑ වීරයින්.”
තවත් අමතර කාරණාවක් මතක් කරන්න කැමතියි. සහෝදර මෙහෙයුම සිදුවීම් මුල සිට අගට රස විඳින්න අවශ්‍ය නම්, මේ සිදුවීම් සියල්ල අලලා The Red Sea Diving Resort නමින් සිනමා පටයක් අන්තර්ජාලයට මුදාහැර තියෙනවා.