නූතන නීතියේ මුල් පුරුක – හම්මුරාබි කේතය ද?

සිවිල් සමාජයක යහපැවැත්ම නිර්ණය කිරීමට යුක්තිගරුක නීති පද්ධතියක ක්‍රියාකාරීත්වය බෙහෙවින් අවශ්‍ය වනවා. ක්‍රමානුකූල නීති පද්ධතියක මූලාරම්භය සිදු වූයේ මීට අවුරුදු දහස් ගණනකට පෙර ශිලා ස්මාරකයක මතුපිට කැටයම් කළ නීති – රෙගුලාසි සංග්‍රහයකින්. නවීන නීති පද්ධතියක් බිහි වීමට මෙම නීති සංග්‍රහය බලපෑ ආකාරය මෙම ලිපියෙන් විමසා බලමු.

හම්මුරාබි කේතය

අතීත බැබිලෝනියා රාජවංශයේ හයවන පාලකයා වූ හම්මුරාබි (ක්‍රි.පූ 1792 – ක්‍රි.පූ 1750), සිය පාලනය මෙසපොතේමියාව (යුප්‍රටීස් සහ ටයිග්‍රිස් ගංගා අසබඩ වර්තමාන ඉරාකය,කුවේටය,තුර්කිය මෙන් ම සිරියාව ද ඇතුළත් භූමිය) පුරා ව්‍යාප්ත කර වසර 3,800 කට ආසන්න යි. මෙම පාලකයා තමන්ගේ පාලන කාලය තුළ දී අඩි හතක් උසැති සහ අඟල් හතරක පළලැති ගල් ස්මාරකයක මතුපිට කේත සංග්‍රහයකින් නීති රෙගුලාසි 282 ක් දක්වා තිබෙනවා. හම්මුරාබි කේතය ලෙස හඳුන්වන්නේ මෙය යි.

කියුනිෆෝම් අක්ෂර වලින් කැටයම් කර තිබෙන හම්මුරාබි කේතය – www.gettyimages.com

මෙම හම්මුරාබි සංග්‍රහය අඩංගු ශිලා ලේඛනය සම්පූර්ණ ටොන් හතරක බරින් යුක්ත වනවා. අඩි හතයි අඟල් පහක ප්‍රමාණයක් ආවරණය වන පරිදි කියුනිෆෝම් අක්ෂර තීරුවලින් හම්මුරාබි කේත සංග්‍රහය කැටයම් කර තිබෙනවා. හම්මුරාබි නීති සංග්‍රහය අඩංගු පාෂාණයට දිගු කලක් නොනැසී පැවතිමේ හැකියාව තිබෙන නමුත් එම කේතය මෙම පාෂාණයට කැටයම් කිරීම, පාෂාණයේ රළු ස්වභාවය නිසා තරමක් දුෂ්කර ක්‍රියාවක් වන්නට ඇති බව ඉතිහාසඥයන් සඳහන් කරනවා.

හම්මුරාබි කේත සංග්‍රහය මුලින් ම සොයා ගත්තේ ප්‍රංශ ජාතික පර්යේෂක ජැකොස් ඩි. මෝගන්. ඒ 1901 වසරේදීයි . අද වන විට සුප්‍රසිධ පැරිස් ලූවර් කෞතුකාගරයේ කෞතුකයක් ලෙස මෙම හම්මුරාබි ශිලා ලේඛනය පවතිනවා.

හම්මුරාබි නීති සංග්‍රහය

ඉතිහාසඥයන් හුවා දක්වන්නේ හම්මුරාබි නීති සංග්‍රහය ආරවුල් විසඳීම, අපරාධවලට දඬුවම් කිරීම සහ ව්‍යාපාරික පිළිවෙත් නියාමනය කිරීමට යොදා ගත් පුරාණ මෙසපොතේමියානු ක්‍රමයේ දැනට ඉතිරි ව තිබෙන එක සංකේතයක් බව යි. නවීන ජන සමාජයක් පාලනය කරන අධිකරණය සහ නීති පද්ධතිය බිහි වීමට බලපැ මුල් පුරුක ද මෙය වන බව ඔවුන් වැඩිදුරටත් පවසනවා.

විලානෝවා විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ සහකාර මහාචාර්ය කෙලී-ඇන් ඩයමන්ඩ් අදහස් දක්වමින් පවසන්නේ හම්මුරාබි කේතය, බැබිලෝනි රාජවංශයේ නීතිය හා සාමය සවිස්තරාත්මක ව නියෝජනය කරන පුරාණ ශිලා ලේඛනයක් වන බව යි.

මෙම හම්මුරාබි සංග්‍රහය අඩංගු ශිලා ලේඛනය සම්පූර්ණ ටොන් හතරක බරින් යුක්ත වනවා. අඩි හතයි අඟල් පහක ප්‍රමාණයක් ආවරණය වන පරිදි කියුනිෆෝම් අක්ෂර තීරුවලින් හම්මුරාබි කේත සංග්‍රහය කැටයම් කර තිබෙනවා – www.gettyimages.com

වරදකරු බව ඔප්පු වන තෙක් නිර්දෝෂී භාවය

මහාචාර්ය කෙලී ඩයමන්ඩ් සඳහන් කරන පරිදි, හම්බුරාබි සමහර නීති අධ්‍යනය කළ විට ඒවායේ රළු සහ ම්ලේච්ඡ භාවයක් පෙනෙන්නට පුළුවන් බව යි. උදාහරණයක් ලෙස සොරකම් කළ දේපළ විකිණීම සහ දෝෂ සහිත නිවසක් ඉදිකිරීම යන වරදවල් දෙකට ම මේ යටතේ හිමි වූයේ මරණීය දණ්ඩනය යි. තම ස්වාමියාගේ අණ පිළිපැදීම ප්‍රතික්ෂේප කළ වහලකුට හිමි වූ දඬුවම වූයේ සිය ශ්‍රවණ ඉන්ද්‍රීයයක් අහිමි කරවීම යි.

එය එසේ වුව ද මෙම හම්මුරාබි සංග්‍රහයේ අන්තර්ගත ඇතැම් නීති, වර්තමාන රටවල උසාවි තවමත් අනුගමනය කිරීමට පෙලැඹ තිබෙනවා. උදාහරණයක් ලෙස යම් තැනැත්තෙක් අපරාධයකට වැරදිකරුවෙක් ලෙස හංවඩු ගැසීමට නම්, එම තැනැත්තාට එරෙහි ව ප්‍රමාණවත් සාක්ෂි ලබා ගෙන එය තහවුරු කළ යුතු බව හම්මුරාබි නීති සංග්‍රහයේ සඳහන්. වරදකරු බව ඔප්පු වන තුරු පුද්ගලයකුට නිර්දෝෂී ව සිටීමට මෙයින් ඉඩ සැලසෙන බව මහාචාර්ය කෙලී ඩයමන්ඩ් වැඩිදුරටත් පවසනවා.

අඩි දෙකහමාරක් පමණ උසකින් යුතු කැටයමක්

මෙම හම්මුරාබි ශිලා ස්තම්භයට ඉහළින්, දෙව් මිනිස් දෙපිරිසෙහි ම විනිශ්චයකරු ලෙස සේවය කළ මෙසපොතේමියානු සූර්ය දේවතාවා වන ෂමාෂ්, හම්මුරාබි රජුට නීති සංග්‍රහය ලබාදෙන අවස්ථාව දැක්වෙන අඩි දෙකහමාරක් පමණ උසකින් යුතු කැටයමක් නිමවා තිබෙනවා. මෙයට පදනම වී ඇත්තේ හම්මුරාබි රජු සිය පාලන කාලය තුළ දෙවිවරුන්ගේ ද බලය ලබා ගෙන අධිරාජ්‍යයක් මෙහෙය වූ පාලකයෙක් බවට ප්‍රතිරූපයක් ප්‍රවර්ධනය කරවීම යි. හම්මුරාබි කේතය,ඉතිහාසය තුළ එතෙක් මෙතෙක් පැවති පෙර නීති සහ නඩුවලින් පරිණාමය වූවක් බවයි ඇතැම් විද්වතුන් පවසන්නේ.

මෙසපොතේමියානු සූර්ය දේවතාවා වන  ෂමාෂ්, හම්මුරාබි රජුට නීති සංග්‍රහය ලබාදෙන අවස්ථාව – christianpublishinghouse.co

හම්මුරාබි අධිරාජ්‍යයට වසර 300 කට පෙර රාජ්‍යය කරවූ උර්-නම්මා රජු සකස් කළ පැරණිත ම නීති එකතුවක, හම්මුරාබි නීතිවලට සාපේක්ෂ ව අඩු ශාරීරික දඬුවම් සහ දඩ මුදල් ද ඇතුළත් ව තිබූ බව කැලිෆෝනියා ප්‍රාන්තයේ ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරියක වන අමන්දා එච්. පොඩනි පෙන්වා දෙනවා. එබැවින් මෙම උර්-නම්මා රජු සකස් කළ නීති පද්ධතිය, හම්මුරාබි නීති කේතය බිහිවීමට ශතවර්ෂ ගණනාවකට පෙර එක ම ආකාරයකින් ක්‍රියාත්මක වන්නට ඇති බව වැඩිදුරටත් ඇය පවසනවා.

හම්මුරාබිගේ කේතයට එදිරි ව සැබෑ මෙසපොතේමියානු නීතිය

හම්බුරාබි කේතය, පූර්ව මෙසපොතේමියානු නීති සංග්‍රහවලට සාපේක්ෂව නීති රීති සමාජ ව්‍යූහය සහ විවිධ ජන කණ්ඩායම් සඳහා යෙදූ ආකාරය පිළිබඳ වැඩි අවබෝධයක් එය අධ්‍යයනය කරන්නකුට ලබා දෙනවා. යම් කිසි රටක ජනගහනය විවිධාංගීකරණය වූ විට, එම තත්ත්වයන්ට ගැළපෙන පරිදි හම්බුරාබි නීති සංග්‍රහය ද අනුගත වූ බව ටෙනසි විශ්ව විද්‍යාලයේ සහකාර පීඨාධිපති ඩෝන් මැක්කෝමැක් පැහැදිලි කරනවා.

හම්මුරාබි කේතය එය පැවති කාල වකවානුවේ කොතරම් ප්‍රායෝගික ව ක්‍රියාත්මක වූයේ ද යන්න තරමක් අපැහැදිලි යි. ඉතිහාසඥයන් පෙන්වා දෙන්නේ එය අංගසම්පූර්ණ ව ක්‍රියාත්මක වූ නීති සංග්‍රහයක් නොවන බව යි.

හම්මුරාබි කේතයට අනුව සිවිල් ගැටලු විසඳන අවස්ථාවක් – christianpublishinghouse.co

උදාහරණයක් ලෙස, බිඳුණු ඇටකටු යළි සැකසීම සඳහා වෛද්‍යවරුන් අය කරන ගාස්තුවේ සිට ධාන්‍ය තලන්නට ගවයෙක් කුලියට ගැනීමේ වියදම දක්වා වූ සවිස්තරාත්මක කරුණු මෙම හම්මුරාබි නීති සංග්‍රහයේ අඩංගු වුව ද මිනීමැරීමට එරෙහි ව ක්‍රියාත්මක වීමට මූලික නීතියක් නොමැති වීම වැනි හිඩැස් මෙය අධ්‍යයනය කළ විට දක්නට ලැබෙනවා.

හම්මුරාබි නීති එකතුව, හම්මුරාබි අධිරාජ්‍යා ප්‍රකාශයට පත් කළේ ඔහුගේ 42 රාජ්‍යය පාලන කාලයේ අවසානයට ආසන්නයේ බවයි පැවසෙන්නේ. හම්මුරාබි රජු තමා සාධාරණ, යුක්තිගරුක හා සිය පුරවැසියන් ආරක්ෂා කරමින් බැබිලෝනි අධිරාජ්‍යාය මෙහෙය වූ කීර්තිමත් පාලකයෙක් ලෙස අන් අය සලකනවාට මහත් සේ ළැදි වූ බැවින් මෙම හම්මුරාබි නීති සංග්‍රහය ලොවට දායාද කරන්නට ඇති බව මහාචාර්ය කෙලී ඩයමන්ඩ් පවසනවා.

සාධාරණ සහ අපක්ෂපාතී යුක්තිය

නඩුවක සාක්ෂිකරුවන් වාචික – ලිඛිත සාක්ෂි භාවිත කිරීම සහ සත්‍යය පවසන බවට දිවුරුම් ලබා ගැනීමේ ක්‍රමයක් පුරාණ මෙසපොතේමියානුවන්ට තිබු බව මහාචාර්ය පොඩනි පැහැදිලි කරනවා.

හම්මුරාබි නඩු විභාගයක දී ශල්‍ය වෛද්‍යවරයකු නුපුහුණු ශල්‍යකර්මයකින් ඉහළ පන්තියේ සාමාජිකයකුගේ ඇස අහිමි කළ බවට චෝදනා ලද අතර, ශල්‍ය වෛද්‍යවරයා වරදකරු වුවහොත් ඔහුගේ දෑත් කපා දැමෙනු ඇත – Universal History Archive/Universal Images Group via Getty Images

සාක්ෂිකරුවන් දිවුරුම් දීම විශේෂයෙන් ප්‍රතිඵලදායක වූයේ දිවුරුම් දී බොරු කළහොත් දෙවිවරුන් දඬුවම් කරන බව ජනතාව තුළ එකල මුල් බැස ගෙන තිබූ ගැඹුරු විශ්වාසය නිසා යි. විනිසුරු මඬුල්ලක් නඩුව විභාග කළ අතර, බොහෝ විට නඩු විභාගයකදී සිදු වූ සිදුවීම් සමස්තය සවිස්තරාත්මක ව සටහන් කර ගැනීමේ ක්‍රමයක් පුරාණ මෙසපොතේමියාවේ තිබූ බවත් සඳහන් වනවා.

යුක්තිය සෑම විට ම සාධාරණ හා අපක්ෂපාතී විය යුතු ය යන මතය ප්‍රවර්ධනය කරන්නට මෙම හම්මුරාබි කේතය ඉවහල් වූ බවයි පිළි ගැනෙන්නේ.

ඕනෑම කෙනකුට – ධනවතුන්ට, බලවතුන්ට පමණක් නොව දුප්පතුන්ට පවා සාධාරණ හා අපක්ෂපාතී යුක්තියක් ලබා ගත හැකි බව සහතික කිරීමට හම්මුරාබි අධිරාජ්‍යායාට අවශ්‍ය වූ බව මහාචාර්ය පොඩනි පැහැදිලි කරනවා. නූතන යුක්තිය සාක්ෂාත් කර ගැනීමට එය මුල් වූ බව ද එහි සඳහන් වනවා.

කවරයේ ඡායාරූපය: හම්මුරාබි කේතයට අනුව මහජනයාගේ ගැටලු විසඳන හම්මුරාබි රජු - tourhistory.net
මූලාශ්‍ර:
History.com

Related Articles

Exit mobile version