ලාංකිකයන් සුලභවම පරිභෝජනය කරන ආහාර වර්ග අතරට එකතු වන රටකජු, රසයෙන් මෙන්ම ගුණයෙන් ද අනූන යි. රටකජු වගාව තුළින් හොඳ ආදායමක් උපයාගත හැකි නිසා සැලකිය යුතු පිරිසක් ද එම වගාවෙහි නිරතව සිටිනවා. ඒ අනුව 2019 වසරේ දී හෙක්ටයාර 14,528ක රටකජු වගා කර මෙට්‍රික් ටොන් 26,922ක අස්වැන්නක් ලබාගත්තා.
සාමාන්‍යයෙන් ලංකාවේ වාර්ෂික රටකජු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 28,000ක් පමණ වනවා. දේශීය පරිභෝජනය සඳහා අවශ්‍ය රටකජුවලින් 90%කට වැඩි ප්‍රමාණයක් අප රට තුළ නිෂ්පාදනය කරනවා.
රටකජු වගාවට හිතකර දේශගුණික සාධක
සෑම දේශගුණිකටම ඔරොත්තු නොදෙන රටකජු බෝගය වගා කිරීම සඳහා වඩාත් හිතකර දේශගුණික තත්ත්වයන් තිබෙනවා. සාමාන්‍යයෙන් රටකජු බීජ ප්‍රරෝහණය වීම සඳහා සෙල්සියස් අංශක 30ක පමණ උෂ්ණත්වයක් අවශ්‍ය යි. එසේම මෙම බෝගය යල සහ මහ යන කන්න දෙකෙහිම වගා කළ හැකියි. වගාව සඳහා වඩාත් යෝග්‍ය වන්නේ මනා ජලවහනයක් සහිත වැලි ලෝම පස යි. රටකජු වගාව සාර්ථකව සිදු කිරීමට නම් පසෙහි PH අගය 6.5-7.0 අතර පැවතිය යුතු යි.
ලංකාවේ බහුලවම රටකජු වගා කරන ප්‍රදේශ
ලංකාව තුළ රටකජු වගාව ප්‍රධාන වශයෙන් සිදුකරන්නේ වියළි සහ අතරමැදි යන කලාපවල යි. බදුල්ල, හම්බන්තොට, කුරුණෑගල, රත්නපුර, අනුරාධපුර, පුත්තලම, මුලතිව්, වව්නියාව, මොණරාගල, සහ අම්පාර යන දිස්ත්‍රික්කවල රටකජු වගාබිම් බහුලව දැකිය හැකියි. රටකජු වගාව සඳහා බහුලවම යොදාගන්නේ හේන් සහ කුඹුරු ඉඩම්.
රටකජු ප්‍රභේදයන්
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වඩාත් හොඳ අස්වැන්නක් ලබාදෙන රටකජු ප්‍රභේද 3ක් පමණ නිර්දේශ කර තිබෙනවා.
වලව
1993 වසරේ දී හඳුන්වා දුන් මෙම ප්‍රභේදයට අයත් ශාක ඍජු නොවන වර්ධන රටාවක් පෙන්නුම් කරයි. තද කොළ පැහැයක් ගන්නා පත්‍රයක සාමාන්‍ය දිග සෙ.මී 64ක් පමණ වන විට පළල සෙ.මී 45ක් පමණ වනවා. සාමාන්‍යයෙන් ගසක හටගන්නා කරල් ප්‍රමාණය 28-35 අතර අගයක් ගන්නා විට කරලක සෑදෙන බීජ ගණන 2-3 අතර අගයක් ගනියි. කරලක දිග මි.මී 37ක් පමණ වන මෙම ප්‍රභේදයේ තෙල් ප්‍රතිශතය 30% පමණ. ලා රෝස පැහැති බීජ ඇති මෙම වර්ගයේ බීජ 100ක බර ග්‍රෑම් 69-71 අතර අගයක් ගනියි. මෙම වර්ගයේ බීජ වගා කිරීමෙන් පසුව දින 90-110 අතර කාලයක දී අස්වැන්න නෙලාගත හැකියි. හෙක්ටයාරයක් රටකජු කි.ග්‍රෑ 2800-3500 පමණ අස්වැන්නක් ලබාගත හැකියි. එසේම මෙම වර්ගය උසස් පාලන තත්ත්ව සහිතව ජල සම්පාදනය යටතේ වගා කිරීමෙන් ඉහළ අස්වැන්නක් ලබාගත හැකියි. රස කැවිලි නිෂ්පාදනය සඳහා වඩාත් සුදුසු යි.
තිස්ස
1993 වසරේ දී හඳුන්වා දුන් මෙම ප්‍රභේදයට අයත් ශාක ඍජු වර්ධන රටාවක් පෙන්නුම් කරයි. ලා කොළ පැහැයක් ගන්නා පත්‍රයක සාමාන්‍ය දිග සෙ.මී 65ක් පමණ වන විට පළල සෙ.මී 45ක් පමණ වනවා. සාමාන්‍යයෙන් ගසක හටගන්නා කරල් ප්‍රමාණය 28-42 අතර අගයක් ගන්නා විට කරලක සෑදෙන බීජ ගණන 2-3 අතර අගයක් ගනියි. කරලක දිග මි.මී 40ක් පමණ වන මෙම ප්‍රභේදයේ තෙල් ප්‍රතිශතය 42% පමණ වෙයි. රෝස පැහැති බීජ ඇති මෙම වර්ගයේ බීජ 100ක බර ග්‍රෑම් 40-45 අතර අගයක් ගනියි. මෙම වර්ගයේ බීජ වගා කිරීමෙන් පසුව දින 90-110 අතර කාලයක දී අස්වැන්න නෙලාගත හැකියි. හෙක්ටයාරයක් රටකජු කි.ග්‍රෑ 2500-2700 පමණ අස්වැන්නක් ලබාගත හැකියි.
ඉන්දි
1994 වසරේ දී හඳුන්වා දුන් මෙම ප්‍රභේදයට අයත් ශාක ඍජු වර්ධන රටාවක් පෙන්නුම් කරයි. තද කොළ පැහැති පත්‍ර දැකිය හැකියි. සාමාන්‍යයෙන් ගසක හටගන්නා කරල් ප්‍රමාණය 24-38 අතර අගයක් ගන්නා විට කරලක සෑදෙන බීජ ගණන 1-3 අතර අගයක් ගනියි. මෙම ප්‍රභේදයේ තෙල් ප්‍රතිශතය 49% පමණ වෙයි. රෝස පැහැති බීජ ඇති මෙම වර්ගයේ බීජ 100ක බර ග්‍රෑම් 55-58 අතර අගයක් ගනියි. මෙම වර්ගයේ බීජ වගා කිරීමෙන් පසුව දින 90-110 අතර කාලයක දී අස්වැන්න නෙලාගත හැකියි. හෙක්ටයාරයක් රටකජු කි.ග්‍රෑ 2700-2800 පමණ අස්වැන්නක් ලබාගත හැකියි. මෙම රටකජු ප්‍රභේදය අංකුර කුණුවීමේ රෝගයට ප්‍රතිරෝධීතාවයක් දක්වයි
ඉහත ප්‍රභේදයන්ට අමතරව 2004 වසරේ දී ටිකිරි නම් නව ප්‍රභේදයක් හඳුන්වා දුන්නා. එම රටකජු ප්‍රභේදය හෙක්ටයාරයක වගා කිරීමෙන් කි.ග්‍රෑ 3000ක පමණ අස්වැන්නක් ලබාගත හැකියි. අස්වැන්න නෙලීම සඳහා දින 105-115 අතර කාලයක් ගත වෙයි. සාමාන්‍යයෙන් මෙම රටකජු වර්ගය තම්බා ආහාරයට ගැනීමට වඩාත් සුදුසු යි. එසේම කරල් සහ ශාකය අතර සම්බන්ධතාවය ශක්තිමත් බැවින් අස්වනු නෙලීමේ දී සිදුවන හානිය අවම යි.
රටකජු භාවිතා කරමින් සිදුකරන නිෂ්පාදන
රටකජු තම්බා හෝ බැඳ ආහාරයට ගත හැකියි. ඊට අමතරව රටකජු භාවිතා කරමින් කල්තබා ගත හැකි ආහාර වර්ග නිෂ්පාදනය කරනු ලබනවා. පහත දක්වා තිබෙන්නේ රටකජු භාවිතා කරමින් බහුලව සාදනු ලබන එවැනි ආහාර වර්ග යි.
1) රසකැවිලි වර්ග 2) රටකජු බටර්
3) ලුණු දැමූ රටකජු 4) මිරිස් දැමූ රටකජු
5) රටකජු තෙල්
වැළඳෙන රෝග සහ හානි කරන පළිබෝධකයන්
රටකජු වගාවට ප්‍රධාන වශයෙන් හානි කරන පළිබෝධකයන් කිහිප දෙනෙකු සිටිනවා මෙන්ම, වැළඳෙන රෝග කිහිපයක් ද තිබෙනවා. එම පළිබෝධකයන්ගේ සහ රෝගවල නම් පහත පරිදි යි.
පළිබෝධකයන්
1) පත්‍ර කන දළඹුවන්
2) පැළ මැක්කන්
3) වේයන්
4) කූඩිත්තන්
5) රතු කේශර දළඹුවන්
6) කතුරන්
රෝග
1) පූර්ව පත්‍ර පුල්ලි රෝගය
2) පශ්චිම පත්‍ර පුල්ලි රෝගය
3) මලකඩ රෝගය
4) කඳ කුණුවීම
5) අංකුර කුණුවීම
රෝග පාලනය කිරීම සඳහා
1) පසේ ජලවහනය දියුණු කීරීම
2) රෝගී ප්‍රදේශ හරහා ජල සම්පාදනය කිරීමෙන් වැළකීම
3) බෝග මාරුව
4) නිර්දේශිත දිලීරනාශක භාවිතා කිරීම
5) රෝගී පැළ පස් සමග ගලවා ක්ෂේත්‍රයෙන් ඉවත් කිරීම