මෙම වසරේ නොවැම්බර් 9 සහ දෙසැම්බර් 9 අතර යම් දිනෙක, මීළඟ පස් වසරක කාලය සඳහා ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා තෝරාගනු පිණිස මෙරට අටවැනි ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇත්තේ ය. ඕනෑම මැතිවරණයක දී මෙන්ම මැතිවරණය දක්වා කාලසීමාව දේශපාලන ලෝකයෙහි උණුසුම් කාලසීමාවක් වනු ඇත.
බොහෝ දෙනෙකුට මෙම මැතිවරණ කාලසීමාව ද, ඝෝෂාකාරී දේශපාලන කතා සහ කෑ මොරදීම්වලින් පිරුණ කාලසීමාවක් විය හැකිය. නමුත්, ක්‍රියාකාරී ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පැවැත්ම සඳහා දේශපාලන ක්‍රියාවලියෙහි පුරවැසි දායකත්වය ඉතා වැදගත් හෙයින් අපගේ දැනුවත්භාවය වර්ධනය කරගැනීම වැදගත් ය. මෙම ලිපියෙන් අපි ඒ සඳහා පියවරක් තබන්නෙමු. ජනාධිපති ධුරය යනු කවරක් ද, එය ඇති කළේ කුමන කරුණු හේතුවෙන් ද, එය සතු බලතල සහ සීමා මොනවා ද යන කරුණු අපි මෙහිදී සාකච්ඡා කරමු.
ජනාධිපති ධුරය
ජනාධිපති ධුරය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලද්දේ 1972 පළමු ජනරජ ව්‍යවස්ථාව මඟිනි. එහෙත් එවකට එය නාමමාත්‍ර ධුරයක් වූ අතර සැබෑ ලෙසම බලය රඳා පැවතියේ අගමැති අත ය.
මෙම තත්ත්වය දෙවන ජනරජ ව්‍යවස්ථාවේ දී සම්පූර්ණ වෙනසකට භාජනය වූයේ ය. මෙහිදී ජනාධිපති පූර්ණ විධායක බලතල සහිත අයකු බවට පත් වූයේ ය. එහිදී ජනාධිපතිවරයා වෙත විශාල බලයක් කේන්ද්‍රගත වූ අතර එම ක්‍රියාව අදට ද දේශපාලන ලෝකයේ වාද විවාදවලට මුල් වන කරුණකි.
එකල විධායක ජනාධිපති ලෙස පත් වූ ජේ. ආර්. ජයවර්ධන, 1966 සිටම එවැනි ක්‍රමයක් වෙනුවෙන් කරුණු දක්වා තිබුණි. ශක්තිමත් විධායකයක් අභ්‍යන්තර හෝ බාහිර හෝ බලවේග මඟින් පහසුවෙන් නමාගත නොහැකිය යන තර්කය එවන් ක්‍රමයක් බිහි කිරීමට පාදක වූයේ ය.
මැතිවරණ ක්‍රමය
විධායක ජනාධිපති ක්‍රමය 1978 දී හඳුන්වා දුන්න ද, පළමු වරට ජනාධිපතිවරණයක් පවත්වන ලද්දේ 1982 දී ය. එම අවස්ථාවේ ජේ. ආර්. ජයවර්ධන දෙවන ධුර කාලයක් සඳහා තමන් පත් කරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.
ජනාධිපතිවරණය පවත්වනු ලබන්නේ මනාප අනුපිළිවෙල ක්‍රමයක් යටතේ යි. මේ අනුව, ඡන්ද දායකයකුට තමන් කැමති එක් අපේක්ෂකයකුට හෝ තමන් කැමති අනුපිළිවෙලට තිදෙනෙකුට මනාප දිය හැකි ය. වඩාත් පැහැදිලිව කිවහොත්, අවශ්‍ය නම් එක් අපේක්ෂකයකුට පමණක් කතිරයක් ගසා මනාපය ලබා දීමට හැකි අතර, අපේක්ෂකයන් තුන් දෙනෙකු හෝ වැඩි ගණනක් හෝ ඉදිරිපත් වූ විට, අවශ්‍ය නම් 1, 2, 3 ලෙස කැමති පිළිවෙල දැක්විය හැකියි.
මැතිවරණය පැවැත්වෙන වතාවන්
පළමු ජනරජ ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර හතරක් වූ අතර දෙවරක් ධුරය දැරීමේ හැකියාව ඔහුට හෝ ඇයට තිබුණි. දෙවන ජනරජ ව්‍යවස්ථාව විසින් එය වසර හයක ධුර කාල දෙකක් බවට පත් කෙරුණි. 2010 දී 18 වන ව්‍යවස්ථා සංශෝධනය විසින් ධුරය දැරීමේ වාර ගණන සඳහා වූ සීමාව ඉවත් කෙරුණි. 2015 දී සම්මත කෙරුණ 19 වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් යළි දෙවතාවක් පමණක් ජනාධිපති ධුරයට පත් වීමේ සීමාව ඇතුලත් කර එක් ධුර කාලයක් වසර පහකට සීමා කළේ ය.
මැතිවරණය පවත්වන්නේ කෙසේ ද?
දැනට ධුරය දරන ජනාධිපතිගේ ධුර කාලය අවසන් වීමට මාසයකට නොඅඩු, මාස දෙකකට නොවැඩි කාලයක ජනාධිපතිවරණය පැවැත්විය යුතු ය. කෙසේ වෙතත්, ධුරය දරන ජනාධිපතිවරයාට අවශ්‍ය නම් සිය ධුර කාලයෙන් වසර හතරක් පිරුණු පසු ඕනෑම අවස්ථාවක ජනාධිපතිවරණයක් කැඳවිය හැකි ය.
මෙසේ ජනාධිපතිවරණයක් කැඳවනු ලබන විටෙක මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් පත්‍රයෙහි පළ කරනු ලබන නියමයක් මඟින්, ඒ නියමය පළ කරන දිනයෙහි සිට දින 16කට නො අඩු, දින 21කට නො වැඩි දිනයක, අපේක්ෂකයන්ගේ නාම යෝජනා කිරීමේ දිනය ලෙස ද, නාම යෝජනා කිරීමේ ස්ථානය ද නියම කළ යුතු ය.
නාම යෝජනා කිරීමේ දිනයේ සිට මාසයකට නො අඩු, සති හයකට නොවැඩි කාලයක් තුළ ජනාධිපතිවරණය පැවැත්වේ. එමෙන්ම, මැතිවරණයට පැය 48කට පෙර සියලු ප්‍රචාරක කටයුතු අවසන් විය යුතු ය.
අපේක්ෂකයන් තෝරාගැනීම පිළිබඳ බලපාන විවිධ නීති වන අතර නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට ඉවහල් වන ලෙස විවිධ නෛතික පියවරයන් ද ගෙන තිබේ. ඒ පිළිබඳ අපි ඉදිරියේ දී වැඩිදුර කරුණු ගෙනහැර දැක්වීමට බලාපොරොත්තු වෙමු.
ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයේ උදෑසන 7ට ඡන්ද මධ්‍යස්ථාන විවෘත කෙරෙන අතර සවස 4ට ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් වේ. සවස 4න් පසු තැපැල් ඡන්ද ගණන් කිරීම ඇරඹේ. තැපැල් ඡන්ද සඳහා හිමිකම් ලබන්නේ මැතිවරණ රාජකාරිවල නිරත වන රාජ්‍ය නිලධාරීන්, අත්‍යාවශ්‍ය සේවාවන්හි නිරත වන රාජ්‍ය සේවකයන්, සහ ආරක්ෂක කටයුතු සඳහා යෙදවෙන ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයන් ය.
ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන කරා රැගෙන ගිය පසුව, ඡන්ද මධ්‍යස්ථානවල දී ප්‍රකාශිත ඡන්ද ගණන් කිරීම රාත්‍රී 7ට පමණ ආරම්භ වනු ඇත.
ගණන් කිරීමේ මධ්‍යස්ථානයක එම කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා මැතිවරණයට තරග කරන එක් පාර්ශවයක නියෝජිතයන් පස් දෙනකුට එම මධ්‍යස්ථානයේ රැඳී සිටීමේ ඉඩකඩ ඇත. තැපැල් ඡන්ද ගණන් කරන මධ්‍යස්ථානයක එක් පාර්ශවයක නියෝජිතයන් දෙදෙනකු බැගින් සිටිය හැක. මීට අමතරව ස්වාධීන නිරීක්ෂණ ආයතන නියෝජිතයන්ට ද මැතිවරණය නිරීක්ෂණය සඳහා අවස්ථා සැලසේ.
සාමාන්‍යයෙන් ලියාපදිංචි ඡන්දදායකයින් 10,000කට එක් ගණන් කිරීමේ මධ්‍යස්ථානය බැගින් වන අතර එහි ප්‍රධානියා ජ්‍යෙෂ්ඨ රජයේ සේවකයෙකි. ඔහු ප්‍රධාන ගණන් කිරීමේ නිලධාරියා ලෙස හඳුන්වනු ලබයි. ඔහුගේ සහයට සහය තේරීම් භාර නිලධාරීන් හය දෙනෙකුත්, වෙනත් රාජ්‍ය සේවකයින් 20 – 30ක් පමණත් වනු ඇත.
යම් අපේක්ෂකයකු සියයට පනහක් ඉක්මවූ වලංගු ඡන්ද ප්‍රතිශතයක් ලැබුවහොත් ඔහු හෝ ඇය ජනාධිපතිවරණය ජයගත්තේයැ යි සැලකේ. යම් හෙයකින් කිසිදු අපේක්ෂකයකු සියයට පනහේ සීමාව ඉක්මවා නොගියහොත් පළමු අපේක්ෂකයින් දෙදෙනා ඉතිරි කොට, අන් අපේක්ෂකයින් තරගයෙන් ඉවත් කෙරේ. ඉන්පසු, ඒ ඉවත් වූ අපේක්ෂකයින්ට ඡන්දය දුන් අය සිය දෙවන මනාපය ලකුණු කර ඇත්තේ කාහටදැ යි පරික්ෂා කර, එය මුල් අපේක්ෂකයන් දෙදෙනාගෙන් කෙනෙකුට පළ කර ඇත්නම් එම මනාපය ගණන් කරනු ලබයි. ඒ අනුව ජයග්‍රාහකයා තෝරාගනු ලබයි.
ජනාධිපතිගේ කාර්යය
ජනාධිපතිවරයාගේ කාර්යය අතර වැදගත්ම වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරන බවට ද, ආරක්ෂා කරන බවට ද වගබලා ගැනීම ය. එමෙන්ම ජාතික ප්‍රතිසන්ධානය සහ ඒකාබද්ධතාව ප්‍රවර්ධනය කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සහ ස්වාධීන කොමිෂන් සභාවන්හි නිසි ක්‍රියාකාරීත්වය පහසු කරලීම සහ මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි නිදහස් හා සාධාරණ ඡන්ද විමසීම් සහ ජනමත විචාරණ පැවැත්වීම සඳහා උචිත වාතාවරණ නිර්මාණය කිරීම තහවුරු කිරීම ද ජනාධිපතිවරයාගේ කාර්යය වේ.
ශ්‍රී ලංකා ජනරජයෙහි රජයේ ප්‍රධානියා, විධායකයෙහි ප්‍රධානියා, ආණ්ඩුවේ ප්‍රධානියා, සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකයා වන ජනාධිපති සතුව සැලකිය යුතු බලතල ප්‍රමාණයක් වෙයි.
පාර්ලිමේන්තුවේ එක් එක් සැසිවාරය ආරම්භයේ, පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය කිරීමට ද පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම්වල මුලසුන දැරීමට ද ජනාධිපතිවරයාට බලය ඇත. තවද, පාර්ලිමේන්තුව කැඳවීමට, වාර අවසන් කිරීමට හා විසුරුවා හැරීමට ද ඊට අදාල ප්‍රතිපාදනවලට යටත්ව ඔහුට බලය තිබේ.
ජනරජයේ මුද්‍රාව භාරයේ තබාගත හැක්කේ ද ජනාධිපතිවරයාට ය. ඒ සමගම ඔහුට හෝ ඇයට අග්‍රාමාත්‍යවරයා ද, අමාත්‍ය මණ්ඩලයේ අනෙකුත් අමාත්‍යවරයන් ද, ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍ර විනිශ්චයකාරවරයා හා අනෙකුත් විනිශ්චයකාරවරුන් ද අභියාචනාධිකරණයෙහි සභාපති සහ අනෙකුත් විනිශ්චයකාරවරුන් ද පත් කිරීමේ අධිකාරපත්‍රවල ද රාජ්‍ය මුද්‍රාව තැබිය යුතු අනෙකුත් ලියවිලිවල ද එම මුද්‍රාව තබා අත්සන් කිරීමේ බලය ජනාධිපතිවරයාට හිමි ය. තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් සහ වෙනත් රාජ්‍ය දූතයන් පත් කිරීමට හා ඔවුනට බලතල පිරිනැමීමට ද ඔවුන් පිළිගැනීමට ද ජනාධිපතිට බලය ඇත.
බලතල සීමා
ජනාධිපතිගේ බලතල සඳහා ඇති සීමාකිරීම් සංකීර්ණ මෙන්ම අර්ථ නිරූපනයට විවෘත ය. උදාහරණයක් ලෙස ගතහොත්, ධුරය දරන සමය තුළ ජනාධිපතිවරයා සිවිල් හෝ අපරාධ නඩු කටයුතුවලින් මුක්තියක් ලබන නමුත්, ඔහු සිය කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හෝ අන් ලිඛිහ නීතිවලට හෝ පටහැනි නොවන ලෙස අන්තර්ජාතික නීතිය, සිරිත් විරිත් හා භාවිත ද අනුගන්‍ය කරමින් ඉටු කළ යුතු ය.
තව ද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ද මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් තත් කාලයේ පවතින නීතිය ඇතුළු යම් ලිඛිත නීතියක් යටතේ ද, ස්වකීය බලතල, කාර්ය හා කර්තව්‍ය යථා පරිදි ඉටු කිරීම හා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනාධිපති පාර්ලිමේන්තුවට වගකිව යුතු ය.
ජනාධිපතිවරයා රාජ්‍යද්‍රෝහීවීම, චේතාන්විතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම, අල්ලස් ගැනීම, දූෂණය, බලය අයුතු ලෙස පාවිච්චි කිරීම යන කරුණුවලට වරදකරුය යනුවෙන් හෝ ජනාධිපතිවරයා සිය කර්තව්‍යයන් ඉටු කිරීමට නොහැකි තත්ත්වයට පත්ව ඇති බව හෝ යම් මන්ත්‍රීවරයකුට හැඟෙයි නම් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කළ හැකිය.
එහෙත් මෙම ක්‍රියාවලිය පහසු එකක් නොවන්නේ ය. දෝෂාභියෝගයක් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීන් තුනෙන් දෙකක අනුමැතිය අවශ්‍ය අතර ඉන්පසු එය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කෙරේ. ජනාධිපතිවරයාට පුද්ගලිකව හෝ නීතිඥවරයකු මාර්ගයෙන් හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ දී තමන් වෙනුවෙන් කරුණු දැක්වීමට ඉඩකඩ ඇත. අධිකරණයේ තීන්දුව මත එය සලකා බැලීමට ඉඩ ඇත්නම්, නැවත පාර්ලිමේන්තුව වෙත එය යොමු කෙරෙයි. යළිදු තුනෙන් දෙකක අනුමැතිය ලදහොත් ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් කළ හැක.
මේ අතර 19 වන සංශෝධනය විසින් ද ජනාධිපතිවරයාගේ බලතල අඩු කිරීමක් සිදුකර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සහ ස්වාධීන කොමිෂන් සභා මඟින් මෙසේ සීමා කිරීම් පැනවී තිබේ. ස්වාධීන කොමිෂන් සභා සඳහා සභාපතිවරුන් සහ සාමාජිකයන් නම් කිරීමට ජනාධිපතිට බලය ඇතත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කළ යුතු ය. එම සභාවේ සාමාජිකයන් අතර අගමැති, විපක්ෂ නායක, කතානායක ආදීන් ද වෙති.
ජනාධිපතිවරණය ළඟ ළඟම එන පසුබිමක ජනාධිපති ධුරයේ ඉතිහාසය, බලතල සහ කාර්යයන් පිළිබඳ දැනගැනීම ප්‍රයෝජනවත් ය. ජනාධිපති ධුරය ගැන ඔබ සිතන්නේ කුමක් ද? විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය ද? එය අහෝසි කළ යුතු ද? එමඟින් සුළුතර ජන කොටස්වල අයිතීන් ආරක්ෂා වන්නේ ද? විධායකය ශක්තිමත් විය යුතු ද? බාහිර බලපෑමෙන් ස්වාධීන විය යුතු ද? ජනාධිපතිවරණයට පෙර සිටම මේ පිළිබඳ සංවාදයක් ගොඩනැගීම වැදගත් ය.