Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කාශ්මීර් අර්බුදය උග්‍ර අතට හරවන ජායිෂ් ඊ මුහම්මද් ත්‍රස්ත කල්ලිය

ජායිෂ් ඊ මුහමද් සංවිධානය මෑත කාලයේ කරළියට එන්නේ පසු ගිය සමයේ ඇති වූ ඉන්දු – පාකිස්ථාන අර්බුදයත් සමග යි. එය ආරම්භ වෙන්නේ 2019 වසරේ පෙබරවාරි මාසයේ 14 වන දින යි. එහිදී ඉන්දියානු පොලීසියේ අනුඛණ්ඩයකට අයත් තුන් දහස් පන්සියයක පමණ භට කණ්ඩායමක් රැගෙන යමින් සිටි වාහන පෙළක් ඉලක්ක කරගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙනවා. එම ප්‍රහාරය එල්ල වෙන්නේ කාශ්මීරයේ ඉන්දීය පාලන ප්‍රදේශයක් වන පුල්මාවාහි දී යි. ප්‍රහාරයේ වගකීම පැවරෙන්නේ  ජයිෂ් ඊ මුහම්මද් සංවිධානයට යි.

ප්‍රහාරයට පිළිතුරු ලෙස පෙබරවාරි මාසයේ 26 වන දා ඉන්දියානු ප්‍රහාරක යානා උපයෝගී කරගනිමින් ජායිෂ් ඊ මුහම්මද් ත්‍රස්ත කඳවුරකට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළ බව ඉන්දියානු ගුවන් හමුදාව නිවේදනය කරනවා. ප්‍රහාරයෙන් ත්‍රස්තයන් 300ක් පමණ මරණයට පත් වූ බව එම නිවේදනයේ සඳහන්. නමුත් පාකිස්තානය පවසා සිටින්නේ එම ප්‍රහාරවලින් කිසිදු ජීවිත හානියක් සිදු නොවූ බව යි. මෙම සිදුවීම් පාදක කරගනිමින් දෙරට අතර ඇති වූ නොසන්සුන්තාවය තවමත් පහව ගොස් නෑ.

මෙම අර්බුදයට හේතු වූ ජායිෂ් ඊ මුහම්මද් සංවිධානයේ නායක මසූද් අෂාර්ව ගෝලීය ත්‍රස්තවාදියෙකු වශයෙන් නම් කරන ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය, ප්‍රංශය, හා බ්‍රිතාන්‍යය මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා තිබෙනවා.

කාශ්මීරයේ සිට ක්‍රියාත්මක වෙන මුහම්මද්ගේ හමුදාව

පාකිස්ථාන බුද්ධි ඒකකය (Soldiers.Pk)

ජායිෂ් ඊ මුහම්මද් සංවිධානය හෙවත් මුහම්මද්ගේ හමුදාව කාශ්මීර් ප්‍රදේශයේ ක්‍රියාකාරී වීම ආරම්භ කරන්නේ 2000 වසරේ සිට යි. පාකිස්ථානයේ බුද්ධි ඒකකය වන ISI (Inter-Services Intelligence) හි අනුග්‍රහය මත මෙම ත්‍රස්ත සංවිධානය ස්ථාපනය වූ බවත්, ඔවුන්ගේ උදවු උපකාර මත සංවිධානය ක්‍රමක් ක්‍රමයෙන් වර්ධනය වූ බවත් ඉන්දියාව එල්ල කරන ප්‍රධානම චෝදනාව යි. ඊට අමතරව තලෙයිබාන් හා අල්කයිඩා ත්‍රස්ත සංවිධානවල උදවු උපකාර ද මේ වෙත ලැබෙන බව සඳහන්.

ජම්මු හා කාශ්මීර් ප්‍රදේශවල ක්‍රියාත්මක වන ප්‍රධානම ත්‍රස්ත සංවිධානය වන්නේ මුහම්මද්ගේ හමුදාව යි. ඉන්දියාව තුළ තහනම් සංවිධානයක් ලෙස නම් කර ඇති මෙය පාකිස්තානය තුළ තහනම් ත්‍රස්ත සංවිධානයක් බවට පත් වන්නේ 2002 වසරේ දී යි. ඊට අමතරව රුසියාව, ඕස්ට්‍රේලියාව, කැනඩාව, එක්සත් රාජධානිය, හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි රටවල් ගණනාවක් මෙම සංවිධානය තහනමට ලක් කර තිබෙනවා.

මසූද් අෂාර් ආරම්භ කළ ජායිෂ් ඊ මුහම්මද් සංවිධානය

මසූද් අෂාර් (Hindustan Times)

ජම්මු කාශ්මීර් ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ ඉස්ලාම් අන්තවාදී ත්‍රස්ත සංවිධානයක් වන හර්කාත් උල් මුජහදීන් ත්‍රස්තයන් විසින් 1999 වසරේ දෙසැම්බර් 24 වන දා ඉන්දීය ගුවන් යානයක් පැහැර ගන්නවා. මඟීන් සහිත මෙම ගුවන් යානය ඇෆ්ගනිස්තානය වෙත රැගෙන යාමට ඔවුන් සමත්වෙනවා. පැහැරගත් ගුවන් යානය හා මඟීන් නිදහස් කිරීමට නම් ඉන්දීය අත්අඩංගුවේ පසුවෙන ඉස්ලාමීය ත්‍රස්තවාදීන් නිදහස් කරන ලෙස ඔවුන් ඉන්දීය රජයට බල කරනවා. මේ අනුව ඉන්දීය රජය ත්‍රස්තයන් තිදෙනෙකු නිදහස් කරනවා. ඉන් එක් ත්‍රස්තවාදියෙක් වූ මසූද් අෂාර් නැමැත්තා 2000 වසරේ දී ජායිෂ් ඊ මුහම්මද් සංවිධානය නිර්මාණය කරනවා.

මුහම්මද්ගේ හමුදාව හා ඉන්දීය හමුදාව අතර ගැටුම්

ඉන්දියානු පාර්ලිමේන්තුවට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූ අවස්ථාවේ ආරක්ෂක අංශ (India Today)

ඔවුන්ගේ පළමු විශාල ප්‍රහාරය එල්ල වන්නේ ජම්මු කාශ්මීර් ප්‍රාන්තයේ ඉන්දීය ව්‍යවස්ථාදායක සභා ගොඩනැගිල්ලට එල්ල කළ ප්‍රහරය යි. 2001 වසරේ ඔක්තෝම්බර් 1 වන දා පුපුරන ද්‍රව්‍ය පිරවූ ජීප් රථයක් එම ගොඩනැගිල්ල තුළට කඩා වැදී එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් පුද්ගලයන් 38 දෙනෙකු මිය යනවා. තවත් විශාල ගණනාවක් තුවාල ලබනවා.

එම වසරේම දෙසැම්බර් 13 වැනි දා දිල්ලියේ පිහිටි ඉන්දීය පාර්ලිමේන්තුවට මුහමද්වරුන් විසින් එල්ල කළ ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් ඇතුළු 14 දෙනෙක් මරණයට පත් වෙනවා. ප්‍රහාරය සඳහා ජායිෂ් ඊ මුහම්මද් ත්‍රස්තයන්ට අමතරව පකිස්ථානයේ සිට ක්‍රියාත්මක වෙන තවත් අන්තවාදී  සංවිධානයක් වන ලක්ෂාර් ඊ තයිබා ත්‍රස්තයන්ගේ සහයෝගය ද හිමි වෙනවා. මෙම ප්‍රහාරය ඉන්දු – පකිස්ථාන අර්බුදය උග්‍ර කරවීමට සමත් වූ ප්‍රහාරයක් ලෙස ලියා තැබිය හැකි යි.

ඌරි කඳවුරට එල්ල වූ ප්‍රහාරය හමුවේ ඉන්දීය හමුදා (India.com)

2016 වසරේ ජනවාරි 2 වන දා සන්නද්ධ ජායිෂ් ඊ මුහම්මද් ත්‍රස්ත කණ්ඩායමක් ඉන්දීය ගුවන් හමුදාවේ පතන්කොට් කඳවුර වෙත පහර දෙනවා. දින හතරක් පුරාවට එල්ල වූ ප්‍රහාරය හේතුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයන් 7 දෙනෙක් හා සිවිල් වැසියන් කිහිපදෙනෙක් මරණයට පත්වෙනවා.  

ඊට අමතරව 2016 වසරේ සැප්තැම්බර් 18 වන දා ඉන්දියාව විසින් පාලනය කරන කාශ්මීර කොටසේ ඌරි ප්‍රදේශයේ දී, ජායිෂ් ඊ මුහම්මද් සටන්කාමීන් ඉන්දියානු හමුදා කඳවුරකට ප්‍රහාරයක් එල්ල කරනවා. එම ප්‍රහාරය හේතුවෙන් ආරක්ෂක හමුදා සාමාජිකයන් 19 දෙනෙකු මරණයට පත් වෙනවා.

2016 වසරේ සැප්තැම්බර් 30 වන දා පාකිස්ථානයේ පිහිටා ඇති ජායිෂ් ඊ මුහම්මද් කඳවුරු ඉලක්ක කරගනිමින් ඉන්දියානු හමුදාව ප්‍රහාරයක් එල්ල කරනවා. නමුත් පාකිස්ථානයට එවැනි ප්‍රහාරයක් එල්ල නොවූ බව එරට රජය විසින් නිවේදනය කරනවා.

පුල්මාවා හි දී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය  (Blog Lyric)

මෙම ත්‍රස්ත සංවිධානයේ ප්‍රහාර ඉන්දු – පාකිස්ථාන විරසකය උග්‍ර කරවීමට සමත් වීයැ යි පැවසීම වරදක් නොවේ. මේ සියලු ප්‍රහාර හමුවේ ඉන්දියාව පාකිස්ථානයට දැඩි ලෙස චෝදනා එල්ල කරනවා. ඒ, ජායිෂ් ඊ මුහම්මද්  ත්‍රස්ත සංවිධානයට පාකිස්ථානු රජය උදවු කරන බව පවසමින්.

නමුත් මෙම ත්‍රස්ත කණ්ඩායම සමග කිසිදු සම්බන්ධතාවයක් නොපවත්වන බව පාකිස්ථානු රජය පවසා සිටින අතර ත්‍රස්ත ක්‍රියාකාරකම්වලින් උපරිම බැට කන්නේ පාකිස්ථානය බවත් ප්‍රකාශ කරනවා. ඉන්දියාව සමග එකතු වී ත්‍රස්තවාදය මර්දනය කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බව ද පාකිස්ථාන රජය මෑතක දී ප්‍රකාශ කර තිබෙනවා.

කවරයේ පින්තූරය: OPEN Magazine

මූලාශ්‍රයයන්:

bbc.co.uk

archive.org

presstv.com

dawn.com

Related Articles