Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉඩම් නීතියේ දී සලකා බැලෙන පරවශ්‍යතා අයිතීන්

මිනිසා කියන්නෙ සමාජ සත්ත්වයෙක්. ඒකකයක් වශයෙන් ගත්කල මිනිසා තනි පුද්ගලයෙක් වුවත් සමාජය සමග ගනුදෙනු කිරීමේ දී මිනිසාට සිදු වනවා අනෙක් පුද්ගලයන් හා සහසම්බන්ධතාවෙන් යුක්තව කටයුතු කිරීමට. මෙහිදී තමන්ගේ අවශ්‍යතාවන්ට පමණක් නොවෙයි, තමන් අවට වෙසෙන පුද්ගලයන්ගේ අවශ්‍යතා සම්බන්ධයෙනුත් සංවේදී වීමට මිනිසාට සිදුවනවා. “පරවශ්‍යතා” යනුවෙන් හඳුන්වන්නේ, යම්කිසි පුද්ගලයෙක් මත සෙසු පුද්ගලයන්ට පවත්නා අවශ්‍යතා විශේෂයක්. පරවශ්‍යතා යනුවෙන් හැඳින්වෙන පුළුල් මාතෘකාව යටතේ දේපළ පරවශ්‍යතා සහ පුද්ගල පරවශ්‍යතා සලකා බැලෙනවා. කෙසේ නමුත් ඉඩම් නීතිය යටතේ දී පුද්ගල පරවශ්‍යතා පිළිබඳව සාකච්ඡා කිරීමක් සිදුවන්නේ නැහැ. 

පුද්ගල පරවශ්‍යතා පිළිබඳ කෙටි දැක්වීමක් කරනවා නම්, ඉන් අදහස් වන්නේ නිවසක පදිංචි වී සිටීමේ අයිතිය, යම් දේපළකින් තමන්ගේ ප්‍රයෝජනයට යම් ඵලදාවක් ලබා ගැනීම, ඉඩමකින් ලැබෙන ඵලදාව විකිණීමට හෝ බදු දීමට හැකි වීම වැනි අයිතීන්. දේපළ පරවශ්‍යතාවක් නමින් හැඳින්වෙන්නේ යම් තැනැත්තෙකුට හිමි අයිතිවාසිකමක්. එය අදාළ තැනැත්තාගේ ජීවිත කාලයට පමණක් සීමා වනවා. ඔහුගේ මරණයෙන් පසු එකී අයිතිය අහෝසි වී යනවා. දේපළ පරවශ්‍යතා ඊට වඩා වෙනස් ස්වරූපයක් ගන්නවා. දේපළ පරවශ්‍යතාත් ගම්බද සහ නාගරික වශයෙන් බෙදීමකට ලක් කර තිබෙනවා. ඒ අධ්‍යයනයේ පහසුව සඳහා. 

මාර්ග අයිතිය ලබා දිය යුතු වීම. (idaho Press.com)

මොනවද මේ “දේපල පරවශ්‍යතා”?

දේපළ පරවශ්‍යතා යනුවෙන් හැඳින්වෙන්නේ වෙනත් තැනැත්තෙකුගේ දේපළක් මත තවත් තැනැත්තෙකුට හිමිවන සීමිත අයිතිවාසිකමක්. මේ යටතේ විස්තර කිරීමට ලක්වන ගම්බද පරවශ්‍යතා යටතේ; ජලය ලබා ගැනීමේ අයිතිය, ඉඩමක් මතින් වෙනත් අයෙකුගේ කුඹුරකට වතුර ගැනීමට ඇති අයිතිය, ගවයන්ට තණකොළ ලබා ගැනීමේ අයිතිය, මාර්ග අයිතිය වැනි කාරණා පිළිබඳ සලකා බැලීමට ලක් කෙරෙනවා. 

නාගරික පරවශ්‍යතා බොහෝවිට අදාළ වන්නේ ගොඩනැගිලි සම්බන්ධයෙනුයි. අනෙක් ඉඩමට හානි නොවන ලෙස කැණීම් කිරීමේ අයිතිය, යාබද ඉඩමේ බිත්තියට පරාලයක් යැවීමේ අයිතිය, තම ඉඩමේ කාණුව අනෙක් ඉඩමට සම්බන්ධ කිරීමේ අයිතිය (අසල්වැසියාගේ ඉඩම මතින් අපජලය ගලා යන කාණුවක් පවත්වා ගැනීමේ අයිතිවාසිකම), තිරස්ව ආධාරකයක් සවි කිරීමේ අයිතිය, තවත් කෙනෙකුගේ ඉඩම හරහා තමන්ට ආලෝකය ලබා ගැනීමට ඇති අයිතිවාසිකම වැනි අයිතීන් මේ නාගරික පරවශ්‍යතා යටතේ හඳුනා ගන්නවා. තමන්ගේ කිසිදු ක්‍රියාකාරීත්වයකින් තොරව වුවත්, වෙනත් පුද්ගලයෙකුගේ ඉඩමක් මත තමන්ට පරවශ්‍යතාවක් ඇතිවෙන්න පුළුවන්. දේපළ පරවශ්‍යතා හෙවත් ඉඩම් පරවශ්‍යතා සදාතනික පරවශ්‍යතාවන්. එයින් අදහස් වන්නේ පරවශ්‍යතාව භුක්ති විඳි පුද්ගලයා මියගිය ද, එවැනි පරවශ්‍යතා දිගටම පවතින බව යි. 

පරවශ්‍යතාවක් ඇතිවෙන්නේ කොහොමද?

පරවශ්‍යතාවන්ට විශේෂිත වූ ලක්ෂණ පවතිනවා. පරවශ්‍යතාවක් ඇතිවීමට නම් ‘ප්‍රබල ඉඩම’ හා ‘පරවශ්‍ය ඉඩම’ ලෙස ඉඩම් කට්ටි දෙකක් පැවතිය යුතු වනවා. තමන්ට තමාගේම ඉඩමෙන් පරවශ්‍යතාවක් නිර්මාණය කරගැනීමේ හැකියාවක් පවතින්නේ නෑ. මෙහිදී ප්‍රබල ඉඩම වන්නේ, පරවශ්‍යතා අයිතිය භුක්ති විඳින ඉඩම යි. පරවශ්‍ය ඉඩම වන්නේ, ප්‍රබල ඉඩමට පරවශ්‍ය අයිතිය භුක්ති විඳීම සඳහා බාධා නොකර ඉඩ ලබාදෙන ඉඩම යි. 

උදාහරණයක් ලෙස, යම් පුද්ගලයෙකුගේ ඉඩමට ගමන් කළ හැකි එකම මාර්ගය තවත් පුද්ගලයෙකුගේ ඉඩමක් මතින් වැටී තිබෙන්නේ නම්, එහිදී විකල්ප මාර්ගයක් නොමැති ඉඩම් හිමියාට මාර්ගයක් පවතින ඉඩම මතින් තම ඉඩමට ගමන් කිරීමට අවශ්‍යතාවක් නිර්මාණය වනවා. එහිදී ප්‍රබල ඉඩම වන්නේ කිසිදු මාර්ගයක් නොමැති ඉඩම යි. පරවශ්‍ය ඉඩම වන්නේ මාර්ගයක් සහිත ඉඩම යි. ප්‍රබල ඉඩම වෙත ගමන් කිරීමට නම් පරවශ්‍ය ඉඩම හරහා ගමන් කළ යුතු වනවා. 

මෙහිදී, මාර්ගයක් නොමැති ඉඩම් හිමියා හෙවත් ප්‍රබල ඉඩම් හිමියා තම ඉඩම මතින් ගමන් කර ඔහුගේ ප්‍රබල ඉඩමට සම්ප්‍රාප්ත වීම වළක්වාලීමට හෝ, ඒ සම්බන්ධයෙන් කිසිදු විරුද්ධත්වයක් පළ කිරීමට මාර්ගය සහිත පරවශ්‍ය ඉඩම් හිමියාට හැකියාවක් නෑ. කෙසේ නමුත් පරවශ්‍යතා අයිතිය ලබන, සිය ඉඩමට වෙනත් විකල්ප මාර්ගයක් නොමැති ඉඩම් හිමියා දැනගත යුතු යි එකම කොටසකින් ගමන් කිරීමට. එසේ නොමැතිව, පරවශ්‍යතා අයිතිය ලබා දෙන මුල් ඉඩම් හිමියාගේ ඉඩම පුරා ඇවිද තමන්ගේ ඉඩමට ඇතුල්වීමට පරවශ්‍යතා අයිතිය භුක්ති විඳින ඉඩම් හිමියාට හැකියාවක් නැහැ. එසේම, ඉඩම පුරා වසර 10ක් ගමන් කර විවිධ කොටස්වලට කාලාවරෝධී අයිතිය දැක්වීමට පරවශ්‍යතාව මඟින් ඔහුට කිසිදු අයිතිවාසිකමක් ලබා දෙන්නේ නැහැ. ඔහු සෑමදාම ගමන් කළ යුත්තේ එකම බිම් කඩකින්. එනම් වසර 10 පුරාවටම එක් නිශ්චිත මාර්ගයක් ඔස්සේ ප්‍රබල ඉඩම් හිමියා ගමන් කර තිබිය යුතු යි.

කාණු සම්බන්ධ කිරීම. (NewStraits Times)

පරවශ්‍යතාවක දී අදාළ පරවශ්‍යතාව ලබාදෙන ඉඩමට යම් අවහිරයක් සිදුවිය යුතු යි. එනම්, වෙනත් පාර්ශවයක් වෙත පරවශ්‍යතා අයිතියක් ලබාදීමට සිදුවීම හේතුවෙන් අයිතිය ලබා දෙන ඉඩමට යම් අවහිරයක් සිදුවිය යුතු යි. 

උදාහරණයක් ලෙස, X නමැති පුද්ගලයාට අයිති ඉඩම මතින් Y නමැති පුද්ගලයා ඔහුගේ ඉඩම වෙත ගමන් කිරීමක් සිදුවන්නේ නම්, එය X නමැති පුද්ගලයාගේ අයිතිය සීමා කරන තත්ත්වයක්. Y මෙසේ Xගේ ඉඩම මතින් ගමන් කිරීම Xට සිදුවන එක්තරා අවහිරයක්. එහෙත් Yට ඔහුගේ ඉඩමට ගමන් කිරීමට වෙනත් මාර්ගයක් නොමැති නම්, X තම ඉඩම මතින් Y හට ගමන් කිරීමට ඉඩ ලබාදිය යුතු වනවා. එමඟින් Xගේ ඉඩමට අවහිරයක් සිදුවුවත්, ඉඩම් නීතියේ පරවශ්‍යතා පිළිබඳ නෛතික තත්වය ප්‍රකාරව X විසින් Y වෙත එකී ගමන් කිරීමේ අයිතිය ලබා දිය යුතු වනවා. 

පරවශ්‍යතාවක දී එකී පරවශ්‍යතාව භුක්ති විඳින ප්‍රබල ඉඩම් හිමිකරුට අදාළ පරවශ්‍යතාව මඟින් වාසියක් අත්විය යුතු වනවා. එය පරවශ්‍යතාවක තවත් ලක්ෂණයක්. එසේම පරවශ්‍යතාව සදාකාලිකව පවතින්නක්. එහෙත් නාගරික පරවශ්‍යතාවක් නම් තාවකාලික එකක් වීමටත් හැකියාව පවතිනවා. උදාහරණයක් වශයෙන් ආධාරකයක් ලබාගැනීමේ පරවශ්‍යතා අයිතිය තාවකාලික එකක් වීමේ හැකියාවක් පවතිනවා. එසේම පරවශ්‍යතාවක් බෙදිය නොහැකියි.

නීතිමය සීමාවන් තිබේ ද?

පරවශ්‍යතාවක් අත්පත් කරගැනීම; ප්‍රදානයක් හරහා ප්‍රකාශිතව – එනම් අදාළ පරවශ්‍යතා අයිතිය ලිඛිතව ලබාදීම මඟින් ද, කාලාවරෝධයෙන් (එනම් වසර 10කට වැඩි කාලයක් පුරා අඛණ්ඩව භුක්ති විඳීම මඟින්), අධිකරණ නියෝගයක් හරහා, බෙදුම් නඩුවකින්, අතිපැරණි භාවිතාවක් හරහා, ව්‍යවස්ථාවක් හරහා (පනතක් හෝ වෙනත් යම් ලිඛිත නීතියක් හරහා), අප්‍රකාශිත ප්‍රදානයක් හරහා (අදාළ අයිතියක් භුක්ති විඳීමට කැමැත්තෙන් ඉඩ ලබා දී, ඊට බාධා නොකර බලා සිටීම), යම් පුද්ගලයෙකු විසින් කැපකිරීමෙන් යුක්තව කරන හඬ නැගීමක් මඟින් ද සිදුකළ හැකියි. 

හිරු එළිය ලබා ගැනීමේ අයිතිය (TravelArtPix)

පරවශ්‍යතා අයිතියක් භුක්ති විඳීමේ දී, පරවශ්‍යතා හිමිකරුට කිසිදු අගතියක් නොවන ආකාරයෙන් ප්‍රබල හිමිකරු සිය පරවශ්‍යතා අයිතිය භුක්ති විඳීම සිදුකළ යුතු වනවා. පරවශ්‍යතාවක් තමාගේම ඉඩම තුළ උද්ගත වන්නේ නෑ. එය වෙනත් පුද්ගලයෙකුගේ ඉඩමක් මතින් තමන්ට හිමි වන අවශ්‍යතාවක්. පරවශ්‍යතාව සාධාරණ ඉල්ලීමක් විය යුතු වනවා. තමන්ගේ ඉඩමට විකල්ප මාර්ගයක් තිබියදී වෙනත් ඉඩමක් මතින් ගමන්කිරීමේ පරවශ්‍යතා අයිතියක් භුක්ති විඳීමට කිසිදු ඉඩම් හිමියෙකුට හැකියාවක් නෛතික වශයෙන් උද්ගත වන්නේ නැහැ. මෙකී අයිතිය උද්ගත වන්නේ වෙනත් කිසිදු විකල්ප මාර්ගයක් නොමැති ඉඩම් හිමියෙකු විෂයෙහිම පමණයි. පරවශ්‍යතා අයිතියක් පැවතිය යුත්තේ එහි වාසිය පවතින තුරු යි. 

පරවශ්‍යතාවක් අවසන් වීම එකඟතාවයෙන් සිදුවිය හැකියි. එසේම පරවශ්‍යතා අයිතිය භුක්ති විඳි ප්‍රබල හිමිකරු එකී අයිතිය අත්හැරීම මඟින් ද පරවශ්‍යතා අයිතිය අහෝසි වී යාම සිදුවනවා. අධිකරණ නියෝගයක් මඟින් ද පරවශ්‍යතාවක් අවසන් කිරීම සිදුකළ හැකියි. එසේම පරවශ්‍යතා සම්බන්ධයෙන් කොන්දේසි සහිත ගිවිසුමක් පැවති අවස්ථාවක එකී ගිවිසුමේ කොන්දේසි උල්ලංඝනය කිරීම හරහා ද පරවශ්‍යතා අවසන් වීමක් සිදු විය හැකියි.

කවරයේ පින්තූරය (Grough Limited)

මූලාශ්‍රයයන්:

  • The Law of Property in Sri Lanka, G.L. Peiris
  • Development of the Law of Servitudes in Sri Lanka, scholar.google.com
  • Servitudes, studocu.com
  • Property Rights, inforomanlaw.blogspot.com
  • Adam Smith & Roman Servitudes, core.ac.uk

Related Articles