අනුමාන මිස නිගමන නැති පූමාපුංකු අභිරහස

පූමාපුංකු යනු බොලිවියාවේ පිහිටි විස්මයෙන් හා අභිරහස්වලින් පිරුණු පූර්ව-කොලොම්බියානු පුරාවිද්‍යාත්මක ස්ථානයකි. එය බොලීවියාවේ පිහිටි අති පෞරාණික ඉදිකිරීමකි. ඉපැරණි ටිහුවනාකු නගරයට සැතපුම් කිහිපයක් නුදුරින් බටහිර ඇති කඳු ආශ්‍රිත පූජනීය නගරයකි.  ක්‍රිස්තු පූර්ව 500 -900 ත් අතර කාලයක අයිමාරා නමැති ගෝත්‍රිකයන්  ඉදි කළ නිර්මාණයක් බව පුරාවිද්‍යාඥයෝ පවසති.

පූමාපුංකු (Pumapunku, Puma Puncu) යනු “පූමාගේ දොර” යන්නයි, එය ටිහුවනාකු (Tiwanaku) ලෙස හඳුන්වන විශාල පුරාවිද්‍යා සංකීර්ණයක කොටසකි. මෙම අභිරහස මතු වී ඇත්තේ ඉන්කා ශිෂ්ටාචාරය හමුවීමට සියවස් ගණනාවකට පෙර, අතහැර දැමූ අඩවියක නටබුන් වෙත මුලින් ම ඇස් යොමු කළ දා සිට ය.

වසර 17,000 කට පෙර

 පුරාවිද්‍යාඥ නීල් ස්ටීඩ් කියන්නේ එම ස්ථානයේ ඇති ප්‍රධාන දේවාලයේ තාරකා විද්‍යාත්මක පෙළගැස්ම විශ්වයට සමගාමී ව මීට වසර 17,000 කට පෙර ඉදිකළ නිමැවුමක් බව ය. තවත් පුරාවිද්‍යාඥයන් පිරිසක් පවසන්නේ පූමාපුංකු ඉදිකිරීම ක්‍රිස්තු වර්ෂ 400-600 අතර කාලයේ දී සිදු ව ඇති බව ය.

ඒ කාබන් කාල නිර්ණය කිරීමේ ක්‍රමය භාවිත කර සිදු කළ පර්ෂයේණවලින් පසු ය. ඉලිනොයිස් විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා මහාචාර්ය විලියම් එච්. ඉස්බෙල් සැපයූ රේඩියෝ කාබන් කාල නිර්ණය කිරීමේ ප්‍රතිඵල සාවද්‍ය බවත්, එය විශ්වාස කළ නොහැකි දින පරාසයක් සපයන බවත් මෙම පසුකාලීන දිනයට එකඟ නොවන අය බොහෝ විට තර්ක කරති.

Virtual reconstruction of an entire andesite building at Puma Punku. (A. Vranich, 2018)
පූමාපුංකුහි සම්පූර්ණ ගොඩනැගිල්ලක අතථ්‍ය ප්‍රතිසංස්කරණයක්. (A. Vranich, 2018)

16 හා 17 වන ශත වර්ෂවලදී ස්පාඤ්ඤ ජාතිකයන් මේවායේ විශිෂ්ටත්වය ලොවට වාර්තා කොට ඇති බව සඳහන් ය. ඉන්පසු මේ පෞරාණික ඉදිකිරීම ලෝක ප්‍රසිද්ධ ස්ථානයක් බවට ක්‍රමානුකූලව පත් විය.

කවුරුන් ඉදි කළ නිමැවුමක් ද?

පූමාපුංකු හා සැසඳීමේදී මිසර පිරමීඩ යනු කුඩා දරුවන්ගේ සෙල්ලම් ගෙවල් බඳු යයි බොහෝ විද්වතුන්ගේ මතය යි. එයට හේතුව නම් පූමාපුංකු නිර්මාණය කොට ඇති තාක්ෂණය විස්මිත වීම ය.

 ‘අයිමාරා’ නමැති ඉන්දියානු ගෝත්‍රිකයන් පූමාපුංකු ඉදි කළ බව පුරාවිද්‍යාඥයන් පිළිගත් මතයකි.  බොහෝ විද්වතුන් ප්‍රශ්න කරන්නේ අයිමාරා යනු ගෝත්‍රික සමාජයක විසූ නොදියුණු සාමාන්‍ය ජන කණ්ඩායමක් බවත්, ඔවුන්ට මෙවැනි විශාල ඉදිකිරීම් කිරීමට ප්‍රමාණවත් තාක්ෂණයක් හා උපකරණ නොතිබුණ් බවත් ය.

පූමාපුංකු ගල් කුට්ටි - iStockphoto.com
දැවැන්ත ශෛලමය නටඹුන් – iStockphoto.com

විශේෂයෙන්ම මෙහි දැනට දක්නට පවතින ගල් කුට්ටි කිරීම, ප්‍රවාහනය, තැන්පත් කිරීම වැනි දේ සඳහා යම් ඉහළ දැනුමක් පැවතිය යුතු වෙයි. අයිමාරා යනු ඉතා ප්‍රාථමික ආයුධ හා එදිනෙදා අවශ්‍යතා වෙනුවෙන් යැපුණු ජන කණ්ඩායමක් වීම එහි දී ප්‍රශ්නකාරී වේ. ඇස්ටෙක්, ඉන්කා, මායා, ඔල්මෙක් වැනි ශිෂ්ටාචාර සම්බන්ධ ව ඔබ අසා ඇති  බවට සැක නැත.

අයිමාරා ගෝත්‍රිකයන් ජීවත් වූයේ ද මේ හා සම්බන්ධ ප්‍රදේශවල ම බවට සාධක පවති යි. නමුත් එම ශිෂ්ටාචාර තුළින්වත් යම් දියුණු උපකරණ හෝ තාක්ෂණයක් තවමත් හමු නොවීම හේතුවෙන් සියල්ල අභිරහසක් බවට පත් ව ඇත.

පූමාපුංකු ඉදිකිරීමේ සංකීර්ණ බව

මෙහි ඉදිකිරීම් සියල්ල සඳහා යොදා ගෙන ඇත්තේ ඩයරයිට් හා ග්‍රැනයිට් වැනි දෘඪතාවෙන් ඉතාමත් ඉහළ පාෂාණ වේ. එවැනි පාෂාණ වෙන් කිරීමට එයටත් වඩා දෘඪ ද්‍රව්‍ය අවශ්‍ය වේ. ඒ අනුව එවැනි පාෂාණ කැපීමට නම් දියමන්ති ආයුධ අවශ්‍ය වේ. නමුත් එවැනි ආයුධ ලබා ගැනීමට අයිමාරා වැසියන්ට හැකි වූවා ද?

මෙම ගල් කුට්ටි ප්‍රවාහනය කිරීම ද එතරම් පහසු කාර්‍යයක් නොවේ. ටොන් 100 ඉක්මවන ස්කන්ධයකින් යුතු පාෂාණ කුට්ටි ද ඇතුළු ව මෙම පාෂාණ කුට්ටි ප්‍රවාහනය කෙසේ මෙම ස්ථානයට සිදු කළා ද යන්න ඊළඟ ගැටලුව ය. මෙම ගල් කුට්ටි කඹ හා දැව කඳන් යොදා ගෙන ප්‍රවාහනය කිරීම සිදු කිරීමට සුදුසු ශාක කඳන් අති විශාල ප්‍රමාණයක් ඊට අවශ්‍ය වේ.

වර්මාතනයේ දී නම් අවටින් එවැනි ශාක දිස් නොවේ. හේතුව නම් පූමාපුංකු පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට අඩි 13,000 ක් තරම් ඉතා ඉහළින් බැවින් එම සීමාවේ දී ස්වභාවික ශාක පැවතීම සිදු විය නොහැකි බව විද්වතුන් සඳහන් කරන නිසා ය.

 ගල් බිත්ති මත කළ රූප – Matyas Rehak – Adobe Stock

 

පූමාපුංකු භූමියට ගල් කුට්ටි ප්‍රවාහනය

පූමාපුංකු භූමියට ගල් කුට්ටි ප්‍රවාහනය කිරීමට සිදු වුණානම් නම් එයට ආසන් ගල් කොරි ඇත්තේ ද කිලෝමීටර් 100 ක පමණ දුරින් ය.  එවැනි අවස්ථාවක මෙම කටයුත්ත තවත් අසීරු වේ. අති විශාල සේවක සමූහයක්, උපකරණ ආදී දේවල් ද අවශ්‍ය වේ. ප්‍රායෝගිකව අද පවතින තාක්ෂණයෙන් හෝ මෙවැනි ගල් කුට්ටි ප්‍රවාහනය කිරීම දුෂ්කර කටයුත්තකි.

පූමාපුංකු භූමිය පුරා පිහිටි විවිධ හැඩැති පාෂාණ කුට්ටි විසිර පවතියි. ඇතැම් කුට්ටිවල ඉංග්‍රීසි H අකුර හැඩැති හා විවිධ කැටයම් හා සිදුරු පවතින කුට්ටි තිබෙන බවත් පෙනේ. මෙවැනි සලකුණු නිර්මාණය කිරීමත් අසීරු කටයුත්තකි. ඉතා සීරු මාරුවෙන් සිදු කළ යුතු කටයුත්තකි.මේවායේ කිසිදු ආයුධමය විදුම් සලකුණක් හෝ දක්නට නොමැත. මේ පාෂාණ කුට්ටි කිරීමේදී ද කිසිම කැපුම් සලකුණක් සිදු කළ බවක් දක්නට නොමැත.

H හැඩැති ගල් කුට්ටි
H හැඩැති ගල් කුට්ටි -etsy.com

 

පූමාපුංකු නෂ්ටාවශේෂ ආශ්‍රිත ව බොහෝ ගවේෂණ සිදු වී ඇත. එහිදී බොහෝ උපකල්පන නිර්මාණය වුවත් සත්‍ය වශයෙන් මෙය කවදා, කවුරුන්, කෙසේ, කුමක් අරභයා නිර්මාණය කළා දැයි තහවුරු කර ගත හැකි කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් තව ම නොවී ය. පූමාපුංකුහි පවතින නටබුන් දෙස බැලීමේ දී මෙවැන්නක් නිර්මාණය කිරීමට නම් ඉහළ තාක්ෂණයක් හා ක්‍රමවත් සැලසුම් ශිල්පීය ඥානයක් මෙන් ම සැලකිය යුතු මානව සම්පතක් අවශ්‍ය බව පැහැදිලි කරුණකි. මෙවැන්නක් නිර්මාණය කිරීමට සම්බන්ධ කිසිදු සැලසුම්ගත ලිඛිත සාක්ෂියක් මෙම ප්‍රදේශයෙන් සොයාගෙන නොමැත.

විවිධ මති මතාන්තර

විවිධ තලවලට අයත් පුද්ගලයන් විවිධ තර්ක ගොඩ නගමින් මේ පිළිබඳ මති මතාන්තර ලෝකයට ඉදිරිපත් කරයි. මෙය පිටසක්වළ ජීවීන් පැමිණ ඔවුන්ගේ අභ්‍යවකාශ යානා නැවතුම් පොළක් හෝ තාවකාලික බළකොටුවක් ලෙස භාවිත කළා යැයි සමහරු කියති. තවත් පිරිසක් සරල ආයුධ හා දැව කඳන් යොදා ගනිමින් ගොඩ නැංවූ දෙයක් බවට පූමාපුංකු පෙන්වා දෙති. තවත් පිරිසකගේ මතයක් වන්නේ මෙය පැරණි ශිෂ්ටාචාරයක් වූ අයිමාරා ගෝත්‍රිකයන් තම දේව ඇදහිලි හා විශ්වාස උදෙසා නිර්මාණය කළ බව ය.

හැඩතල සහිත ගල් කුට්ටි
හැඩතල සහිත ගල් කුට්ටි -alamy.com

 

අප හොඳින් මෙහි පවතින ගල් කුට්ටි පිළිබඳ විමසා බැලුවහොත් ඒවා ප්‍රමාණයෙන් අතිශය විශාල කුට්ටි වේ. එමෙන්ම ලොව පවතින දෘඪ බැවින් වැඩිම පාෂාණවලින් නිම කළ ඒවා බව ද පෙනෙයි. මේ ආකාරයෙන් ගල් කුට්ටි කැපීම, ප්‍රවාහනය හා එසවීම වෙනුවෙන් කුමන තාක්ෂණයක් අවශ්‍ය වේ ද?

ලීවර, කප්පි, දැව කඳන්, කඹ වැනි දෑවලින් පමණක් මෙවැනි විශාල වස්තු හා ස්කන්ධ ප්‍රවාහනය කළ හැකිද? මෙවැනි ඩයරයිට් පාෂාණ ලෙහෙසියෙන් කැපිය හැකි ආයුධ අතීත වැසියන් සතු වූවා ද? තඹ ආයුධවලින් මෙවැනි නිර්මාණ කැපීම, ඔප මට්ටම් කිරීම හා විවිධ වර්ගයේ සංකීර්ණ හැඩ තල එක් කිරීම කළ හැකි ද? මේ පූමාපුංකු පිළිබඳ තවමත් පිළිතුරු නොලද එවන් ගැටලුවලින් කීපයකි. 

පාස්කු දිවයිනේ අහූ පුවරු මත ඉදිකර තිබෙන මෝයි පිළිම – imaginaisladepascua.com

 

පර්ෂයේකයන් පවසන පරිදි පූමාපුංකු හා සමාන්තර කාලයක පාස්කු දිවයිනේ මෝයි පිළිම ද නිර්මාණය කොට ඇත. ඔවුන් පවසන ආකාරයට මෙම ස්ථාන දෙකෙහි ම නිර්මාණ ශෛලිය ද එක සමාන ය. කෙසේ වෙතත් අද වන විට මෙම දැවැන්ත නිර්මාණයේ කොටස් සෑම තැන ම විසිරී ගොස් ඇත. මෙසේ වීමට නම් දැවැන්ත භූමිකම්පාවක් හෝ සුනාමි තත්ත්වයක් එයට බලපෑ යුතු බව පර්ෂයේක මතය යි. කෙසේ නමුත් අනාගතයේ යම් දිනක මෙහි සත්‍ය තොරතුරු නිරන්තර පර්‍යේෂණ තුළින් ලෝකයට නිරාවරණය වනු ඇති බව අභිරහස විසඳෙනවා දකින්නට කැමති අයගේ පැතුම යි.

කවරයේ පින්තූරය - පූමාපුංකු හිරුගේ දොරටුව - www.ancient-origins.net 

මූලාශ්‍ර :
ancient-origins.net
livescience.com

Related Articles

Exit mobile version