මී මැසි ජනපද සොබාදහමේ අපූර්වතම නිර්මාණයක් වෙනවා. රජ මී මැස්සියගේ සිට මෙහෙකාර මැස්සන් දක්වා කාර්යය විභේදනය සිදු වී ඇති අයුරු සේ ම මී වදවල ව්‍යුහයත් අපූර්ව වෙනවා.
රජ මී මැස්සිය, මී මැසි ජනපදයක ප්‍රධානියා යි. ඇය පෙනුමෙන් හා ප්‍රමාණයෙන් අනෙකුත් මී මැස්සන්ගෙන් වෙනස් වෙනවා. මෙවැන්නියක බිහිකර ගැනීමට උදෙසා කීට අවස්ථාවේ දී ඇයට විශේෂ ‘ආහාරයක්’ ලැබෙනවා. ‘රාජකීය ජල්ලිය’ ලෙසින් හඳුන්වනු ලබන මෙය පිළිබඳ ව මෑතක් වන තුරු පැවති පිළිගැනීම වූයේ, එය සෙසු කීටයින්ට ලැබෙන ආහාරවලට වඩා සුවිශේෂී මෙන්ම වැඩි පෝෂණයක් සහිත එකක් හැටියට යි. නමුත්, එය එසේ නොවන බව මෑතක දී සොයාගෙන තිබෙනවා.
මොකක්ද මේ රාජකීය ජල්ලිය?
මී මැසි ජනපදයක රැජින ලෙස වර්ධනය කරගත යුතු කීටයින් පෝෂණය කිරීම සඳහා මෙහෙකාර මැස්සියන් විසින් සුදු පැහැති ‘ජල්ලියක්’ වන් උකු ද්‍රාවණයක් ස්‍රාවය කරනවා. මෙය ‘රාජකීය ජල්ලිය’ ලෙස හැඳින්වෙන අතර, ජනපදයෙහි අනෙකුත් පරිවාර කීටයින්ට මෙන් නොව රැජින වශයෙන් විකසනය වන කීටයාට ලබා දෙන්නේ මේ ද්‍රාවණය පමණයි. මෙහි බරින් අඩකටත් වඩා පවතින්නේ ජලය වන අතර ප්‍රෝටීන හා සීනි වර්ග අන්තර්ගත වනවා. රැජිනට අනෙකුත් කීටයින්ට මෙන් මල් පැණි හෝ මී පැණි ලබා දෙන්නේ නැහැ.
අතීතයේ දී අනෙකුත් කීටයින්ට මෙම ජල්ලිය ලබා නොදීම සැලකුණේ පෝෂණය ලැබීම අවහිර කිරීමක් ලෙස යි. ඒ අනුව ඔවුන්ගේ ප්‍රජනක අවයව විකසනය නොවන අතර, රැජිනක් බවට පත්වන්නේ නැති බවට නිර්ණය කෙරුණා. මී මැසි ජනපදයක රැජිනගේ ප්‍රධාන කාර්යය වන්නේ වර්ගයා බිහි කිරීම වන අතර, අනෙකුත් පරිවාර මී මැස්සියන් එලෙස සිදුකිරීමට ජීව විද්‍යාත්මක ව හැඩගැසී නැහැ. නමුත් දැන් සොයාගෙන ඇති පරිදි ඇත්තෙන් ම සිදුවන්නේ අනෙකක්. පර්යේෂණවලට අනුව හෙළි වී ඇත්තේ මී මැසි රැජිනක් ‘රාජකීය’ බවට පත් වන්නේ ඇයට මල් පැණි හා මී පැණි දීම අවහිර කිරීම නිසා විනා රාජකීය ජල්ලිය නිසා නොවන බව යි.
රැජින හා ජාන
වැඩකාර මැස්සියකගේ හා මී මැසි රැජිනකගේ ජාන සැකැස්ම එකම වන අතර, ඔවුනොවුන්ගේ ක්‍රියාකාරී ජාන වෙනස් වෙනවා. ජාන මඟින් විවිධාකාරයේ ප්‍රෝටීන සංස්ලේෂණය කරන අතර, ඒවා මඟින් එම සත්ත්වයාගේ ව්‍යුහය හා ක්‍රියාවලීන් රාශියක් තීරණය වෙනවා. මී මැස්සන් සිය කීටයින්ගේ මෙම ‘ක්‍රියාකාරී ජාන’ හසුරවා ගන්නේ ඔවුනට ලැබෙන පෝෂණය වෙනස් කිරීමෙනුයි. මී මැස්සන්ගේ කාර්යය විභේදනය අනුව ඔවුනට ලැබෙන ආහාර සලාක වෙනස් වෙනවා.
මී මැසි කීටයින්ගේ පෝෂණය පිළිබඳ පර්යේෂණ පවත්වන ඉලිනොයිස් විශ්වවිද්‍යාලයේ පර්යේෂක කණ්ඩායමක් පවසන්නේ මී පැණි හා මල් පැණිවල මෙන් රාජකීය ජල්ලියෙහි ෆීනෝලික් අම්ල නොමැති බව යි. මේ අනුව ඇත්ත වශයෙන් ම රාජකීය ජල්ලිය පෝෂණීය අතින් මී පැණිවලට වඩා පහළ මට්ටමක පවතිනවා. මී පැණිවල අඩංගු ෆ්ලේවනොයිඩ අනෙකුත් මී මැස්සන්ගේ ප්‍රතිශක්තීකරණය ඉහළ නංවන අතර, එනයින් කෘමිනාශක වඩා කාර්යයක්ෂ්ම ව විෂහරණය කරගන්නට ඔවුනට හැකියි.
පර්යේෂණවලින් සොයාගෙන ඇති අන්දමට මී පැණිවල අඩංගු ෆීනෝලික අම්ලයක් වන කෝමාරික් අම්ලය කීටයින්ට ලැබුණු විට ඔවුන්ගේ ප්‍රතිශක්තිය වර්ධනය වන මුත් ප්‍රජනක අවයව ක්ෂීණ වෙනවා. මී මැසි රැජිනට ඒවා නොලැබෙන නිසා ඇයගේ ප්‍රජනක අවයව වර්ධනය වීම ඇන නොසිටින අතර, ඊට අමතර ව ප්‍රමාණයෙන් ද විශාල වෙනවා.
දැනට සොයාගෙන ඇති පරිදි මෙලෙස මී පැණිවලින් පෝෂණය වීම හා නොවීම යන කාරණාව නිසා ජාන කිහිපයක් ම ක්‍රියාත්මක වීමේ වෙනස්කම්වලට භාජනය වන අතර, ව්‍යුහයෙන් මෙන්ම කෘත්‍යයෙන් ද කීටයාගෙන් ප්‍රතිඵල වන මීමැස්සා වෙනස් වෙනවා.
ජාන ‘නිහඬ’ කිරීම
මී මැස්සන්ගෙන් හෙළිවුණු ‘ආහාර වෙනස් කිරීම මඟින් ජානවල ක්‍රියාකාරී බව වෙනස් වීම’ මිනිසා ඇතුළු අනෙකුත් සතුන් පිළිබඳ පර්යේෂණ පවත්වන විද්‍යාඥයින්ටත් නව මංපෙත් විවර කිරීමට සමත් ව තිබෙනවා. මානවයා සම්භවය වූ දා පටන් කාලයත් සමග ඔවුන්ගේ ආහාර රටා ද විශාල වශයෙන් වෙනස්කම්වලට බඳුන් ව තිබෙනවා. මේ අනුව යම්යම් ජාන ක්‍රියාකාරී වීම හෝ නිහඬ වීම සිදුවිය හැකි බැව් මේ වන විට අනාවරණය වී තිබෙන බැවින් එය මානව පරිණාමයට කුමන ආකාරයකින් දායක වූවාදැ යි යන්න පිළිබඳ ව වර්තමානයේ පර්යේෂණ පැවැත්වෙනවා.
මී මැසි රැජිනක් උත්පාදනය කිරීමට ‘රාජකීය ජල්ලියේ’ වැදගත්කම පිළිබඳ ව පසුගිය දශකයේ පර්යේෂණ කිහිපයක් ම සිදුකෙරුණා. ඕස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙකු වන රිසාඩ් මැලෙස්කා විසින් 2008 වසරේ දී රාජකීය ජල්ලියෙන් වියුක්ත ව මීමැසි කීටයෙකු ආධාරයෙන් මී මැසි රැජිනක නිෂ්පාදනය කිරීමට සමත් වුණා. ඇය සිදුකර තිබුණේ මී මැසි රැජිනකගේ හා අනෙකුත් මී මැස්සෙකුගේ ජාන කිටුව අධ්‍යයනය කර රැජිනිය බවට පත් කරන්නට යන කීටයාගේ සමහරක් ජාන වෙනයම් ක්‍රම භාවිතා කොට ‘නිහඬ’ කිරීම යි. එහි ප්‍රතිඵල ඔහු සිතුවාටත් වඩා සාර්ථක වී තිබුණා.
පර්යේෂකයින් ඉදිරි පර්යේෂණ කටයුතු මෙහෙයවන්නේ පාරිසරික සාධක සත්ත්වයින්ගේ ජානවල ක්‍රියාකාරීත්වයට බලපෑම් කරන්නේ කෙසේ ද යන්න යි. විශේෂයෙන් මීපැණිවල අඩංගු මෙම ෆීනෝලික අම්ල ඊට ලැබෙන්නේ ‘මල් පැණි’ වලිනුයි. එබැවින් ‘මල් පැණි’ යන ස්වභාවික සාධකය නොමැති ව කිසිම විටෙක මී මැසි රැජිනගෙන් වෙනස් වූ මී මැස්සන් හෙවත් වැඩකාර මැස්සන්, මෙහෙකාර මැස්සියන් වැනි අය බිහි කරගැනීමේ හැකියාව මී මැසි ජනපදයකට නොලැබෙනු ඇති.
මිනිසුන් විසින් රාජකීය ජල්ලිය ආහාරයට ගන්නේ ඇයි?
අතීතයේ පටන් ‘රාජකීය ජල්ලිය’ දිව්‍යමය භෝජනයක් ලෙස සැලකුණා. මිනිසුන් විසින් එය ආහාරයට ගත්තේ එමඟින් රෝගාබාධ රාශියකට ප්‍රතිකර්ම සැලසෙනු ඇතැ යි විශ්වාස කළ නිසා යි. මීට මඳ සරුභාවයත් ඇතුළත් වුණා. මී මැසි රැජිනක දිනකට බිජු 2000ක් පමණ ලෑම එම විශ්වාසවලට හේතු වන්නට ඇති. කාමෝද්දීපකයක් ලෙස ද අලෙවි වන රාජකීය ජල්ලියට ලොව පුරා සැලකිය යුතු ඉහළ මිලක් නියම වී තිබෙනවා. කෙසේ නමුත්, නවතම පර්යේෂණවලින් මේ තත්ත්වය උඩු යටිකුරු වී තිබෙනවා.