කියවීමට මිනිසා පුරුදු උනේ කවද, කෙසේදැයි නිශ්චිතව කියන්නට බැහැ. එහෙත් මිනිසා ලිවීම ආරම්භ කල දා පටන් මිනිසා කියවීමට පටන් ගන්නට ඇතැයි සිතිය හැකියි. මේ ක්‍රියාවලිය මානව ශිෂ්ඨාචාරයේ කුමන අදියරකදී සිදුවීදැයි ඒක එල්ලේ අපට කියන්නට පුළුවන් කමක් නැහැ. එය මිනිසාගේ පරිනාමයත් සමඟම ක්‍රමානුකුලව සිදුවූ ක්‍රියාවලියක ප්‍රතිපලයක් බව විද්වතුන් පවසනවා.
මිනිසා කියවීමට පෙර ලිවීමට පටන් ගත් බව ඉතාම පැහැදිලියි. ඒ අනුව කටින් කට අදහස් පළකිරීම ලිවිම දක්වා වර්ධනය වූ බව අපට තේරුම් ගන්න පුළුවන්. මිනිසාගේ ලිවීමත් අදියර කිහිපයක් යටතේ විකාශනය වූවක්. ඒ පිළිබඳව කතා කිරීම පසුවට තබා, අතින් ලියන පොත මුද්‍රිත පොතක් බවට පත්වන ආකාරය මේ ලිපියෙන් කරුණු ටිකක් විමසා බලමු.
පාඨකයා සහ ලේඛකයා
මිනිසා ලියන්නට පටන් ගැනීමත් සමඟම පාඨකයා සහ ලේඛකයා යන දෙපිරිස සමාජය තුළ නිර්මාණය වුනා. එදා සමාජයේ ලේඛකයා කියන්නේ පාඨකයාට වඩා ඉදිරියෙන් සිටි දැන-උගත් පුද්ගලයෙක්. මේනිසා සමාජයට යමක් ලබාදීමේදී ලේඛකයා සතුව විශාල වගකීමක් අතීතයේදී පැවතුනා.
කියවීම සඳහා ප්‍රමාණවත් තරමේ භාෂා දැනුමක් සාමාන්‍ය ජනතාවට ලබා ගැනීමට එදා අවකාශ තිබුනද, පොත් පත් ලිවීමට නම් ඊට වඩා විශාරද දැනුමකින් හා අත්දැකීම් වලින් එම පුද්ගලයා පොහොසත් වීම අනිවාර්යය කාරණයක් උණා. මේනිසා ලේඛකයා අතීතයේ සිටම පොදු ජනතාවගේ ගරු බුහුමනට පත් වන පුද්ගලයෙක් ලෙස පිළිගනිම එදා සිටම සිදුවූ දෙයක්.
නිර්මාණාත්මක සාහිත්‍යය
මුල් කාලයේදී පොත් පත ලියවුනේ ආගමික හා ශාස්ත්‍රීය කරුණු වලට මුල් තැන දෙමින්. මේ කාර්යයේ ප්‍රධාන තැනක් ගෙන කටයුතු කරනු ලැබුවේ පූජ්‍ය පක්ෂය හා විවිධ ක්ෂේත්‍ර වල ප්‍රමාණික උගතුන්.
කල් යෑමේදී පොදු පාඨකයාගේ රස වින්දනය උදෙසා ගද්‍ය හා පද්‍ය කෘති බිහිවීමට පටන් ගත්තා. මුලදී දහම් කරුණු වලින් පෝෂණය ලැබූ මේවා කල්යත්ම සාමාන්‍ය ජනතාවට උචිත සරල කතන්දර හා කවි වලින් නිර්මාණය වුනා. මෙයින් සිදුවුනේ පාඨකයා අතර නිර්මානාත්මක සාහිත්‍යයක් බිහිවීමයි.
මෙසේ ආරම්භවූ සාහිත්‍යයට නවකතා, කෙටිකථා, චරිත කතා, වීර කතා, අත්භූත කතා ආදී අංග ඇතුළත් වුණා. ඒ සමඟම විවිධ පාඨක සමාජ ඇතිවීමත් එහි අතුරු ප්‍රතිඵලයක්.
පොත් ප්‍රකාශකයෝ
විවිධ තේමාවන් ඔස්සේ බිහිවන නොයෙකුත් සාහිත්‍ය කෘති වලට පාඨකයා ප්‍රිය කිරීමත් සමඟම ඔවුන්ගේ ඉල්ලුම සපුරාලීමට අවශ්‍ය පොත් නිෂ්පාදනය අත්‍යවශ්‍ය දෙයක් උනා. එහෙත් එය ලේඛකයින්ට පුද්ගලික මට්ටමින් කරන්න පුළුවන් උනේ නැහැ. එම නිසා ලේඛකයා ලියන පොත් පාඨකයා වෙත නිසි පරිදි ලබා දීමට මැදිහත් කරුවෙක් ඉදිරිපත් උනේ මේ කාලයේදීයි. පොත් ප්‍රකාශකයින් යනුවෙන් හැඳින්වෙන්නේ මේ අයටයි.
කාලයත් සමඟම පොත් ප්‍රකාශනය මහා පරිමාණ ව්‍යාපාරයක් බවට පත් වෙනවා. ඒ අතරම පොත් අලෙවි කරන වෙළෙන්දන් බිහි වෙන්නේ මෙහි අතුරු ප්‍රතිඵලයක් හැටියටයි. අද වන විට මහා පරිමාණ පොත් ප්‍රකාශකයින් මෙන්ම පොත් අලෙවිකරුවන්ද ලොව පුරා පැතිරී සිටිනවා. මේවා මහා පරිමාණ ප්‍රකාශන සමාගම් සහ වෙළඳසල් හැටියටයි සැලකෙන්නේ.
ලංකාවේ ප්‍රධාන පොත් ප්‍රකාශන සමාගම් කිහිපයක් :
- ගුණසේන සහ සමාගම
- දයාවංශ ජයකොඩි සහ සමාගම
- ගොඩගේ සහ සහෝදරයෝ
- සරසවි ප්‍රකාශකයෝ
- සූරිය ප්‍රකාශකයෝ
- විදර්ශන ප්‍රකාශයෝ
- විජිත යාපා ප්‍රකාශන
- ෆාස්ට් පබ්ලිෂින්
පොත් වෙළඳසල් බොහොමයක්ද ඒවා මේ සමාගම් යටතේම පැවතීම විශේෂ කරුණක්. මේ මහා පරිමාණ ප්‍රකෂකයින්ට අමතරව සුළු පරිමාණයේ ප්‍රකාශකයි ද අතිවිශාල සංඛාවක් ලංකාවේ ක්‍රියාත්මක වෙනවා.
පොත් ප්‍රකාශන ක්‍රියාවලිය සිදුවන්නේ කෙසේද?
ලේඛකයෙක් වෙන්න කැමති ඕනෑම කෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි, ලියපු පොත ප්‍රකාශයට පත් කරන්නේ කොහොමද කියන ඒක. එහෙමත් නැත්නම් තමන්ගේ පොත මුද්‍රණය කරලා පාඨකයා අතට පත් කෙරෙන ක්‍රියාවලිය මොකක්ද කියන ඒක.
මේක බැලූ බැල්මට සරල දෙයක් විදිහට පෙනුනත් ඇත්තටම ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක්. මේ ක්‍රියාවලිය පසුපස ලොකු කතන්දරයක් වගේම විශාල පිරිසක්, අදියර කිහිපයක් දකින්න ලැබෙනවා. අපි මීළඟට උත්සහ කරන්නේ ඒ පිළිබඳව කෙටියෙන් හරි ඔබව දැනුවත් කරන්නයි.
මුලින්ම කරපු නිර්මාණය මොකක් වුණත් ටයිප් සෙටින් දන්නා අයෙකු ලවා A4 ප්‍රමාණයේ කඩදාසිවල අදාළ භාෂාවෙන් ටයිප් සෙටින් කරල පොතක් විදියට බයින්ඩ් කරල ගන්න ඕනි. තමන්ගේ පොත ප්‍රකාශන ආයතනක් හරහා මුද්‍රණය කරනවානම්, තමන් තෝරාගත් ප්‍රකාශකයාට පොත බාර දෙන්න ඕනි. එම ප්‍රකශකයා පොත පලකරන්න කැමති උනොත් ඔහුත් සමඟ අදාළ ගිවිසුමකට එළඹෙන්න සිද්ධ වෙනවා. මේ ගිවිසුමට, ඇතුලත් වෙන කරුණු අතර, මුද්‍රණය කරන පිටපත් ප්‍රමාණය, පොතේ අයිතිය, කතෘ භාගය වශයෙන් 10% ක් ආදිය ප්‍රධාන තැනක් ගන්නවා. ඊට අමතරව පොත මුද්‍රණය කලාට පසුව අදාල කතුවරයාට නොමිලයේ මුද්‍රිත පොත් ප්‍රමාණයකුත් ලබා ගන්න පුළුවන්.
පොතක් මුද්‍රණය කරන්නේ මෙහෙමයි
පොත මුද්‍රණය කරන්න කලින් තමන්ගේ පොතට සුදුසු ප්‍රමාණය තීරණය කරගන්න වෙනවා. පොත් වල වර්ගය අනුව විවිධ ප්‍රමාණ අනුව ඒවා මුද්‍රණය කරන නිසා. සාමාන්‍යයෙන් භාවිතාවෙන පොත් වල ප්‍රමාණ දක්වා තියෙන්නේ මේ විධියටයි. ක්‍රවුන් සයිස්, ඩිමයි සයිස් ආදී වශයෙන්. මේවා පොත් වල සම්මත ප්‍රමාණ හැටියටයි සැලකෙන්නේ.
මෙලෙස පොත් මුද්‍රණය කරන්න සුදුසු ප්‍රමාණය තීරණය කර ගත්තට පස්සේ, පොතේ ටයිප් සෙටින් කටයුතු කර ගන්න ඕනී. ඒ අතරම පොතට සුදුසු පිටකවරයක් සකස් කර ගන්නත් පුළුවන්. මීළඟට තියෙන්නේ පොත මුද්‍රණය කිරීමයි.
මෙතනදී පළමු මුද්‍රණයට පිටපත් කියක් මුද්‍රණය කරනවද කියල තීරණය කරන්න වෙනවා. සාමාන්‍යයෙන් වර්තමානයේ නම් පොතක පළමු මුද්‍රණය සඳහා පිටපත් 500 හෝ 1000 හෝ තමයි මුද්‍රණය කරන්නේ. එහෙත් ඇතැම් අවස්ථාවල පිටපත් 2000, 3000 වශයෙන් මුද්‍රණය කරන අවස්ථා නැතුවාම නොවයි.
ඊට පස්සේ පොත මුද්‍රණය කරන කඩදාසි වර්ගය ගැන අවධානය යොමු කරන්න ඕනි. සුදුසු කඩදාසි වර්ගය තෝරා ගැනීම ඉතාම වැදගත් දෙයක්. පොත කුඩා නම් පිරුණු පෙනුමක් නැත්තං හොදට මස හිටින්න පේනන නම් ‘බල්කි‘ කඩදාසියත්, ඉතා ශාස්ත්‍රීය හෝ වැදගත් යැයි ‘සම්මත‘ පොතක් නම් ‘සුදු පැහැ බෑන්ක්‘ කඩදාසියත් මුද්‍රණයට යොදාගන්නවා. ඒක පොත අලෙවියේදී ඉතාමත් වැදගත් වෙන සාධකයක්. කඩදාසි වර්ගය අනුව මුද්‍රණ වියදම වෙනස් වන බව මෙහිදී අප මතක තබා ගත යුතු වෙනවා.
පොත මුද්‍රණය කලාට පසු එහි මිළ තීරණය කිරීම සිදුකරනු ලබනවා. සමස්ත මුද්‍රණ ක්‍රියාවලිය වෙනුවෙන් වැයවූ මුදල මෙන් තුන්ගුණයක් සාමාන්‍ය පොත් සඳහාද, විෂය පොතක් හෝ ශාස්ත්‍රීය පොතක් නම් හතර හෝ පස්ගුණයක් ලෙස මිල තීරණය කිරීම සාමාන්‍ය පිළිවෙතයි.
පොත් අලෙවිය සහ කතෘ භාගය
මුද්‍රණය අවසන් කල පසු පොත අලෙවි කර ගැනීම තමයි ඊළඟ අභියෝගය. පොත් දොරට වැඩුම් උත්සව පවත්වනේ බොහෝවිට මේ අරමුණ ඇතුවයි. මෙවැනි උත්සවයකදී සාමාන්‍යයෙන් පිටපත් 100 – 150 අතර ප්‍රමාණයක් විකුණගන්න පුළුවන් වෙනවා. ඊටපස්සේ පුවත්පත් හා වෙනත් මාධ්‍ය ඔස්සේ පොතට ප්‍රචාරයක් ලබාදීමට කටයුතු කරන්න ඕනි. වර්තමානයේ නම් සමාජ ජාල වෙබ් අඩවි හරහා පොත් වලට හොඳ ප්‍රචාරයක් ලබාදීමට හැකිවී තිබෙනවා.
පොත ලියා මුද්‍රණය කර, අලෙවි කරන ක්‍රියාවලියේදී තවත් වැදගත් අවස්ථාවක් අපට හමු වෙනවා. සාමාන්‍යයෙන් පාඨකයාට එතරම් වැදගත් නොවන මේ අවස්ථාව කතුවරයාට ඉතා වැදගත්. ඒ කතෘ භාගය තීරණය කිරීමයි. මෙය සිදුවන සම්මත ක්‍රමවේදය නම්, ඒකපොතක මිලෙන් 10% කතෘ භාගය වශයෙන් තීරණය කිරීමයි. ඒ අනුව පොත මුද්‍රණය කරන පිටපත් ගණන අනුව කතුවරයාට ලැබෙන මුල්‍ය ප්‍රතිලාභය තීරණය වෙනවා.
පොත අලෙවි කිරීමේදී වෙළෙන්දාටද වට්ටම් දිය යුතුයි. එම වට්ටම් මුදල, ඒක පොතක මිළෙන් 40% ලෙසයි සම්මතවී තිබෙන්නේ.
ඉතින් මේ ආකාරයට තමයි ඔබත් මමත් රසවිදින නවකතා පොතක් හෝ වෙනයම් පොතක් හෝ අපේ අතට පත් වෙන්නේ.