මධ්‍යම ආසියාවේ පිහිටා ඇති අභ්‍යන්තර කරදිය මුහුදක් වන ඒරල් මුහුද අදූරදර්ශී සංවර්ධන ව්‍යාපෘතියක් හේතුවෙන් ශීඝ්‍ර සිඳී යාමකට ලක් වුණා. මේ නිසා පරිසරයටත් ජනජීවිතයටත් එල්ල වූ බලපෑම් අපමණයි. එම ව්‍යාපෘතියේ ස්වභාවයත්, ඒ නිසා ඒරල් මුහුද සිඳී යාමට ලක්වූ අයුරුත් ගැන අපි පසුගිය ලිපියෙන් සාකච්ඡා කළ අතර මේ නිසා ජන ජීවිතය හා ඔවුන්ගේ සෞඛ්‍යට සිදුවූ බලපෑමත් එහිදී විස්තර කෙරුණා.
එහි දෙවන කොටස වන මේ ලිපියෙන් ලෝක පරිසරයට මේ නිසා සිදුවන බලපෑමත්, වර්තමානයේ මේ විනාශය අවම කරගෙන නැවත ඒරල් මුහුද ප්‍රතිස්ථාපනයට බලධරයන් විසින් ගන්නා ලද වෑයමත් ගැන ඔබට කියන්න අපි තීරණය කළා.
ඒරල් අර්බුදයෙන් ප්‍රාදේශීය පරිසර තත්වයන්ට එල්ල වූ බලපෑම
අර්බුදයට හේතු ප්‍රත්‍ය වූ සිද්ධිය සිදු වූ 1960 වසරේ සිට 2005 වසර වන විට දළ වශයෙන් මීටර 23ක් දක්වා ඒරල් මුහුදෙහි ජල මට්ටම පහත බැස තිබෙනවා. අඩු වන ජල මට්ටමත් සමඟ මෙහි ඉතිරි ජලයෙහි ලවණතාව සීඝ්‍ර ලෙස ඉහළ ගියා. මෙයට එකතු වන ලවණ ප්‍රමාණය එලෙසම තිබියදී, ඉන් ජලය ඉවත් වන ප්‍රධාන ක්‍රමවේදය වාෂ්පීභවනය බවට පත් වීම නිසා ඉතා ඉක්මණින්ම මෙහි ලවණ සාන්ද්‍රණය ඉහළ නැග්ගා.
1970 දශකය වන විට ලවණතාවය 14% කින් ඉහළ ගිය අතර මේ නිසා මත්ස්‍ය සම්පත සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වුණා. ක්‍රි.ව 1960 දී ලීටරයට ග්‍රෑම් 10ක් ව තිබූ ලවණතාව 2005 වසර වන විට ග්‍රෑම් 92 දක්වා වැඩි වීම නිසා 1960 වසරට පෙර ඒරල් මුහුදට අනුගතව තිබූ සියළුම ජීවි විශේෂයන්ට පාහේ මෙය විෂ සහිත ස්ථානයක් වුණා.
මේ අභාග්‍යසම්පන්න තත්ත්වයට මුහුණ දීමෙන් පසු ඒරල් මුහුද ආශ්‍රිත ප්‍රදේශය දැඩි කාන්තාරකරණයකට මුහුණ දී තිබෙනවා. මෙයට හේතු වශයෙන් භූගත ජල මට්ටම පහත බැසීම ප්‍රධාන වශයෙන් ගත හැකියි. ස්වභාවිකව භූමියේ ජලය අහිමි වන වාෂ්පීභවනය වැනි සාධක නොවෙනස්ව තිබෙද්දී ප්‍රදේශයට ලැබෙන ජල සැපයුම අඩාල වීම නිසා ජල චක්‍රයේ තුලිතතාව නැති වීමෙන් මේ තත්ත්වය ඇති වී තිබෙනවා.
මෙසේ දීර්ඝ කාලීනව ජලය හිඟ වීමත්, තිබෙන ජලයේ ලවණතාව අධික වීමත් නිසා ප්‍රදේශයේ තිබුණු ශාඛ කෙමෙන් කෙමෙන් මිය යාමට ගත් අතර මේ නිසා ශාක මුල්වලින් රඳවා තබා ගන්නා ජල ප්‍රමාණයත් අඩු වුණා. මේ වන විට ප්‍රදේශයේ ශාක වැස්ම 1960 වසරට වඩා 40% කින් පමණ අඩු වී ඇති අතර නිතර ඇති වන දූවිලි සුළං නිසා ඉතිරි ශාකවලටත් බලපෑම් එල්ල වී තිබෙනවා. පසුගිය වසර 50 තුල කාන්තාරීකරණය හා අධික ලවණතාව නිසා හෙක්ටයාර මිලියන 6 ක පමණ වගාබිම් පාළු වී තිබෙනවා. ප්‍රදේශය අස්වැද්දීම සඳහා ගත් ක්‍රියාමාර්ගයක් නිසා මෙවැනි තත්ත්වයක් ඇති වීම ඇත්තෙන්ම ශෝචනීයයි.
ඒරල් ඛේදවාචකය නිසා ප්‍රදේශයේ ජලයේ පමණක් නොව පසෙහිද ලවණතාව වැඩි වී තිබෙනවා. ප්‍රදේශයේ ජල මට්ටම අඩු වී තිබෙන්නේ එහි තිබූ ලවණතාව පසෙහි ඉතිරි කරමිනුයි. මේ නිසා පසෙහි තැනින් තැන ලවණ සහිත පාංශු කොටස් සෑදී තිබෙන්නේ ඒවා ඇති ස්ථානවල කිසිදු ශාකයට වැඩීමට ඉඩ අවුරමිනුයි. මීට අමතරව අතීතයේ වගාවන්ට යොදන ලද විවිධ රසායනික ද්‍රව්‍ය තත්වය තවත් බැරෑරුම් කර තිබෙනවා. මේ නිසා පාංශු ඛාදනයත් බහුල වී තිබෙනවා.
ඒරල් මුහුද සිඳී යාම හා ඒ සමඟම සිදුවන ප්‍රාදේශීය කාන්තාරකරණය නිසා, ප්‍රතිස්ථාපනය වන ගොඩබිම් ප්‍රදේශ සියල්ලම පාහේ ශුෂ්ක රූපී ලක්ෂණ පෙන්වන වැලි හා දුහුවිලි පර වෙනවා. ප්‍රදේශයේ ශාක ගහණයත් අඩු වීම නිසා ඒරල් මුහුද පිස හමා එන ලවණ සහිත වියලි සුළඟට මේවා ඉහළට ඔසවා දූවිලි කුණාටු ඇති කිරීමට ඉතා පහසු තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. මේ දූවිලි කුණාටු වගාවන්ට, සාමාන්‍ය ජන ජීවිතයට මෙන්ම සෞඛ්‍යටත් ඉතා අහිතකරයි.
ලෝක පරිසරයටත් බලපෑම් කරන ඒරල් අර්බුධය
ඒරල් මුහුදේ සිදු වෙමින් පවතින විනාශය බලපෑම් එල්ල කොට තිබෙන්නේ ප්‍රාදේශීය පරිසරයට පමණක් නොවෙයි. අතීතයේ ඒරල් මුහුදේ තිබූ අධික ජල ධාරිතාව අවට ප්‍රදේශයට ශිශිරයේදී හමන ශීතල සුළඟ සෞම්‍ය කිරීමටත්, ග්‍රීෂ්මය නිසා රත් වන පොළොවෙන් පැන නඟින උණුසුම් වායු දහරාවල උෂ්ණත්වය අඩු කිරීමටත් නොමඳ දායකත්වයක් සැපයුවා. මේ නිසා ග්‍රීෂ්මයේදී සමස්ථයක් වශයෙන් මධ්‍යම ආසියාවේ වාතයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක කිහිපයකින් වැඩි වී තිබෙනවා. ඒ වාගේම ශිශිරයේදී උෂ්ණත්වය පහළ බැස තිබෙනවා. මේවා ප්‍රදේශයේ කෘෂි භෝගවලට දැඩි බලපෑම් එල්ල කරනවා.
ඒරල් අර්බුධය ලෝකයේ ග්ලැසියරවලටත් වක්‍රාකාරයෙන් අහිතකර ලෙස බලපා තිබෙනවා. ඒරල් මුහුද කරණ කොට ගෙන හොඳ හිම පතනයක් ලැබුණු සමහර ඈත කඳුකර ප්‍රදේශවලට මෙහි සිඳී යාමත් සමඟ ලැබෙන හිම පතනයේද යම් අඩුවක් සිදු වී තිබෙනවා. මීට අමතරව මුළු මධ්‍යම ආසියාවේම උෂ්ණත්වය වැඩි වීමත් සමඟ ඒවායේ පවතින ග්ලැසියර දිය වීමත් ඉක්මන් වී තිබෙන අතර ඒවා දිය වන වේගය 1960 වසරට පෙර මෙන් 12 ගුණයකින් පමණ වැඩි වී ඇතැයි ගණන් බලා තිබෙනවා.
ඒරල් මුහුදේ වර්තමානය හා අනාගතය
ඒරල් මුහුද සිඳී යාමත් සමඟ මතු වූයේ ලවණවලින් නැහැවුණු, ශාක වැවීමට නුසුදුසු, නිසරු පස් සහිත භූමියයි. 1990 වසර වන විට පැහැදිළිවම ඒරල් මුහුදේ ජල මට්ටම ශීඝ්‍රයෙන් පහත වැටෙන්නේ අමු දර්යා හා සිර් දර්යා ගංගා දෙක හැරවීම හා තවත් මිනිස් ක්‍රියාකාරීත්වයන් නිසා බව නිසියාකාරවම බලධාරීන් විසින් හඳුනාගන්නවා. 1990 වසර වන විට උතුරු ඒරල් හා දකුණු ඒරල් මුහුදු එකිනෙකාගෙන් වෙන්වී යන තරමට මෙහි ජල මට්ටම අඩු වීමත් සමඟ තදාසන්න රටවල් ක්‍රමයෙන් උතුරු ඒරල් මුහුද හෝ සංරක්ෂණය කර ගැනීමේ කර්තව්‍යය ආරම්භ කළා.
සංරක්ෂණයේ මුල් පියවර වශයෙන් උතුරු ඒරල් මුහුදේ ජල මට්ටම නිසියාකාරව පවත්වා ගැනීමට බැම්මක් බැඳීමට යෝජනා වුණා. නමුත් ප්‍රායෝගික ගැටළු කිහිපයක් නිසා එම උත්සාහය නිසි පරීදි සාර්ථක වූයේ නැහැ. මේ සඳහා අධික පිරිවැයක් දැරීමට සිදු වූ අතර අවසානයේ ඒරල් මුහුද සංරක්ෂය කිරීමේ කටයුතුවලට ඩොලර් මිලියන 85 ක ණයක් අදාල බලධාරීන්ට ලබා දීමට ලෝක බැංකුව ඉදිරිපත් වෙනවා .
ලෝක බැංකුවේ ආධාර සහිතව කසකස්ථාන් රජය ඇතුළු අනෙක් අසල්වාසී රටවල්වල රජයන් 2001 වසරේදී වඩා සංවිධානාත්මක ලෙස ඩයික් කොකරල් නම් උතුරු දකුණු ඒරල් මුහුදු වෙන් කරන වේල්ලක් ඉදි කිරීමද, උතුරු ඒරල් මුහුදේ ජල මට්ටම වර්ධනය වීම සඳහා ඇල පද්ධතීන් නැවත සැකසීමද ආරම්භ කළා.
මෙය 2005 වසර වන විට සම්පූර්ණ වූ අතර එම ව්‍යායාමය සාර්ථක බව පෙන්වමින් 2006 වසරේ මාර්තු මස වන විටම උතුරු ඒරල් මුහුදේ සාමාන්‍ය ජල මට්ටම මීටර 38.4 සිට 42 දක්වා ඉහළ ගියා. ඒ වාගේම එහි පෘෂ්ඨීය වර්ගඵලයත් වැඩි වුණා. මෙම ව්‍යාපෘතිය නිසා සිර් දර්යා ගංගාවේ ජල මට්ටමත් වැඩි වුණු අතර දකුණු ඒරල් මුහුදට සාපෙක්ෂව ලවණතාවයෙන් අඩු උතුරු ඒරල් මුහුදේ ඉතිරිව සිටි මත්ස්‍යයන් වැනි ජීවී ප්‍රජාව මේ නිසා වර්ධනය වී තිබෙනවා.
විටෙක ඉතා දැඩි ලෙස සිඳී ගොස් තිබූ ඒරල් මුහුද 2017 වසර වන විට නැවතත් යම් ප්‍රමාණයකින් පණ ලබා තිබෙනවා. මේ නිසා සම්පූර්ණයෙන් පාහේ අත්හැර දමා තිබූ මත්ස්‍ය කර්මාන්තයත් නැවත පණ ලබමින් තිබෙනවා. ඒ කෙසේ වෙතත් අදූරදර්ශී තීරණයක් නිසා විනාශයට පත් ඒරල් මුහුද නැවතත් සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් වීමට තව බොහෝ කලක් ගත වනු ඇති.
කවරයේ පින්තූරය (youtube.com)