ශ්‍රී ලංකාවේ මුදල් ණයට දීමේ ව්‍යාපාර නියාමනය කිරීමේ අවශ්‍යතාවය

ශ්‍රී ලංකාවේ මුදල් ණයට දීමේ ව්‍යාපාරයේ නිරත වන ආයතන ලෙස බලපත්‍රලාභී බැංකු, බලපත්‍රලාභී මුදල් සමාගම්, ක්‍ෂුද්‍ර මූල්‍ය සමාගම්, ක්‍ෂුද්‍ර මූල්‍ය රාජ්‍ය නොවන සංවිධාන, සමුපකාර ග්‍රාමීය බැංකු, සකසුරුවම් හා ණය ගණුදෙණු සමූපකාර සමිති හා සමෘද්ධි ප්‍රජා මූලික බැංකු නම් කළ හැකි යි. ඊට අමතරව තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර හා සමාගම් ලෙස ද ලියාපදිංචි නොවූ ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතන (මයික්‍රො ෆයිනෑන්ස්) ආකාරයෙන් ද අවිධිමත් ලෙස මුදල් ණයට දෙන ව්‍යාපාර මේ වන විට ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරනවා.

ඉහත මුලින් දැක්වූ ආයතන මඟින් මුදල් ණයට ලබා දීමේ දී එම කටයුතු නියාමනය වන අතර, පසුව දැක්වූ ආයතන/පුද්ගලයන් විසින් මුදල් ණයට දීම කිසිඳු අධිකාරියකින් නියාමනයට ලක්වන්නේ නෑ. ඒ හේතුවෙන් මේ වන විට මෙරට විශාල පිරිසක් අගතියට පත් වී සිටිනවා. මේ පසුබිම තුළ ණයට මුදල් දීමේ ව්‍යාපාර නියාමනය කිරීමේ කාලීන අවශ්‍යතාවයක් පැන නැගී ඇති බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරනවා.

නියාමනයකින් තොර ණයට මුදල් දීමේ ව්‍යාපාර නිසා ඇති වී තිබෙන ගැටළු 

ක්‍ෂුද්‍ර මූල්‍ය ක්‍රියාකාරකම්, නීති විරෝධී තැන්පතු භාරගැනීම් හා අධික පොලී අනුපාත හරහා ගනුදෙනුකරුවන් සූරාකෑම නියාමනයකින් තොර ණයට මුදල් දීමේ ව්‍යාපාරවල ලක්ෂණ යි (amazonaws.com)

බොහෝ අඩු ආදායම්ලාභී පුද්ගලයන්ට/ස්වයං රැකියාවල නිරත වන්නන්ට හා අඩු ප්‍රාග්ධනය යටතේ ව්‍යාපාර ආරම්භ කරන්නන්ට මූලික මූල්‍ය සේවා සඳහා ප්‍රවේශය අහිමි වී තිබෙනවා. බැංකු ණය හෝ වෙනත් මූල්‍ය පහසුකම් ලබා ගැනීමට වැටුප් වාර්තා හෝ වෙනත් ඇපකර පිළිගත් ණය දෙන ආයතන සඳහා ඉදිරිපත් කිරීම බොහෝ විට ඔවුන්ට දුෂ්කර වෙනවා. ඒ හේතුවෙන් බොහෝ දෙනෙක් යොමු වන්නේ මුදල් ණයට දෙන අවිධිමත් ආයතන වෙත යි. 

සාමාන්‍යයෙන් ඕනෑම ණයක් සඳහා අය කළ හැකි උපරිම වාර්ෂික පොලිය ඉක්මවූ පොලියක් අය කිරීම මේ ණය දීමේ විධිමත් නොවන ආයතනවල ප්‍රධාන ලක්ෂණය යි. එහෙත්, ඇතැම් ප්‍රදේශවල ක්‍රියාත්මක වන ණය දීමේ අවිධිමත් ආයතන විසින් අයකරන වාර්ෂික පොලිය 120%ක් හා 230%ක් වැනි ඉහළ අගයක පවතින බව මේ වන විට හෙළි වී තිබෙනවා. ණය ගෙවා ගත නොහැකි ඇතැම් පවුල් තම ගෙවල් දොරවල්, ඉඩකඩම් හා ගම්මාන පවා හැර යෑමට පවා සිදු වී ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.  

මේ යටතේ නියාමනයට ලක් නොවූ ක්‍ෂුද්‍ර මූල්‍ය ක්‍රියාකාරකම්, නීති විරෝධී තැන්පතු භාරගැනීම් හා අධික පොලී අනුපාත හරහා ගනුදෙනුකරුවන් සූරාකෑම මෙන්ම ආචාරශීලි නොවන නැවත අයකර ගැනීමේ ක්‍රියාවලි පිළිබඳව වාර්තා වෙනවා.

පිළිලයක් වී ඇති ක්‍ෂුද්‍ර මූල්‍ය ණය 

ණය දීමේ අවිධිමත් ආයතන අතර ප්‍රධාන ස්ථානයක් ගනු ලබන්නේ මහ බැංකුවේ ලියා පදිංචි නොවූ ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතන යි (srilankamirror.com)

ණය දීමේ අවිධිමත් ආයතන අතර ප්‍රධාන ස්ථානයක් ගනු ලබන්නේ මහ බැංකුවේ ලියාපදිංචි නොවූ ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතන යි. දිළින්දන් හට සහයෝගිතාව දැක්වීමේ උපදේශාත්මක සමූහය (CGAP -Consultative Group to Assist the Poor) විසින් නිර්වචනය කර ඇති පරිදි ”ක්‍ෂුද්‍ර මූල්‍ය ණය” යනු අඩු ආදායම්ලාභීන්ට සේවය සැපයීම බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ තුළින් අඩු ආදායම්ලාභීන්ගේ ආර්ථිකය ශක්තිමත් කර රටේ ආර්ථික සංවර්ධනය අපේක්ෂා කෙරේ.

නමුත් ක්‍ෂුද්‍ර මූල්‍ය වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති අනුර අතපත්තු සඳහන් කරන්නේ මේ වන විට ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතන 1500කට අධික සංඛ්‍යාවක් මෙරට පවතින නමුත් ක්‍ෂුද්‍ර මූල්‍ය පනත යටතේ මහ බැංකුවේ ලියාපදිංචි මූල්‍ය ආයතන පවතින්නේ තුනක් පමණක් බව යි. 

ඇයි මෙහෙම වුණේ කියන එකට ප්‍රධාන හේතුව තමයි ක්‍ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රය ව්‍යාප්ත වුණ වේගයෙන් රජය විසින් අදාළ නියාමන ක්‍රමවේදයක් ගෙනාවේ නෑ. 2002 ඉඳන් ක්‍ෂුද්‍ර මූල්‍ය පනත් හයක් ආවා. හයවෙනි එක තමයි අන්තිමට 2016 අනුමත කළේ. හරි නියාමනයක් තිබ්බා නම් මේ ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතනවලට මෙහෙම හැසිරෙන්න බෑ. අවසානයේ වුණේ ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතන අතරට ආවා මේ රටේ මූල්‍ය සමාගම්. ඒකෙන් ක්‍ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රය දියුණු වුණේ නෑ වගේම ඒ අරමුණු ඉටුවුණෙත් නෑ,” යනුවෙන් ඔහු වැඩි දුරටත් අදහස් දක්වනවා.

බොහෝ විට ක්‍ෂුද්‍ර මූල්‍ය ණය උගුලට හසුවී ඇත්තේ සුළු පරිමාණ ව්‍යාපාරිකයන් හා ගම්බද කාන්තාවන් ය. ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල මෙම ණය උගුලට හසුවූ කාන්තාවන් ලක්ෂ 25ක් පමණ සිටින බවට වාර්තා වෙනවා.වෙනත් මූල්‍ය ආයතන සම්බන්ධයෙන් නීති රීති පැනවීමක් ශ‍්‍රී ලංකා මහ බැංකුවෙන් සිදුවන නමුදු ක්‍ෂුද්‍ර මූල්‍ය ණය ලබාදීම සම්බන්ධයෙන් එවැනි නීතිරීති ක‍්‍රියාත්මක වීම හෝ නියාමනය කිරීමක් සිදුවන්නේ නෑ. එවැනි ආයතන ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි වීමේ අත්‍යවශ්‍යතාවයක් නොමැති හෙයින් ද මෙය ලාභදායී ව්‍යාපාරයක් වන හෙයින් ද බොහෝ ආයතන මෙම ක්ෂේත‍්‍රයට පිවිස තිබෙනවා. විවිධ රාජ්‍ය නොවන සංවිධාන, පෞද්ගලික ආයතන, හා තනි පුද්ගලයන්  විසින් ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතන පවත්වාගෙන යනු අතර මේ වන විට ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 170කට වැඩි ප්‍රමාණයක් ක්‍ෂුද්‍ර මූල්‍ය ණය ගෙවාගත නොහැකිව සිය දිවි නසාගෙන ඇති බව මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.

මුදල් ණයට දීමේ ව්‍යාපාර නියාමනය කිරීමේ අවශ්‍යතාවය 

මුදල් ණයට දීමේ ව්‍යාපාර නියාමනය කිරීම කාලීන අවශ්‍යතාවයකි (transferwise.com)

අවිධිමත් ලෙස මුදල් ණයට දෙන්නන් කිසිදු පාරිභෝගික ආරක්ෂණ රෙගුලාසියකට යටත් වන්නේ නෑ. ඒ හේතුවෙන් ණය දෙන්නන් විසින් නිරන්තරයෙන් තම පාරිභෝගිකයන්ව අසාධාරණ නියමයන්ට, කොන්දේසිවලට, හා හිංසනයන්ට යටත් කරන බැවින් අවසානයේ දී පාරිභෝගියන්ට මූල්‍ය සේවා පිළිබඳව විශ්වාසය ගිලිහී යාමට හැකියාව පවතිනවා. එබැවින් මුදල් ණයට දීමේ ව්‍යාපාරයන් නියාමනය කිරීමේ අවශ්‍යතාවය මේ වන විට උද්ගතව තිබෙනවා.

අවිධිමත් ලෙස ණය දෙන්නන් තම ණය ගනුදෙනුකරුවන් සම්බන්ධ තොරතුරු ණය තොරතුරු කාර්යංශය (The Credit Information Bureau of Sri Lanka) වෙත ලබා දීමක් සිදු කරන්නේ නෑ. ඒ හේතුවෙන් විධිමත් ලෙස මුදල් ණයට ලබා දෙන ආයතනවලට තම ගණුදෙනුකරුවන්ගේ ණය ලබා ගැනීමට ඇති සුදුසුකම් සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු වාර්තා වීමක් සිදු වන්නේ නෑ (ණය වාරික පැහැර හරිම සම්බන්ධ විස්තර ආදිය). ඊට අමතරව විධිමත් හා අවිධිමත් ක්ෂේත්‍රයන් දෙක අතර උග්‍ර තරගයක් නිර්මාණය වීම හේතුවෙන් අවසානයේ එහි අවාසිය පාරිභෝගිකයා කරා ගමන් කිරීම ද සිදු විය හැකි යි. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ණයට මුදල් දීමේ ව්‍යාපාර නියාමනය කිරීමේ අවශ්‍යතාවයක් වර්තමානය වන විට මතු වී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව 2019 මහා බැංකු වාර්තාවේ සඳහන් කර තිබෙනවා.

කවරයේ පින්තූරය - southeast

මූලාශ්‍රයයන්

Cbsl.gov.lk

BBC

Ravaya.lk

Related Articles

Exit mobile version