ලෝක ඉතිහාසය දෙස ආපසු හැරී බැලීමේ දී විවිධ සිදුවීම් නිසා ජනප්‍රියත්වයට පත්වුණු සතුන් රැසක් අපට හමුවනවා. මේ සමහර සතුන්ගේ නම් මතකයෙන් ගිලිහී නොයන්නේ උන් ප්‍රදර්ශනය කළ වීරත්වය නිසා යි. 1950 දශකයේ අග භාගයේ දී මොස්කව් නගරයේ වීදී පුරා සැරිසරමින් සිටි එක්තරා බැල්ලක ද නොසිතූ ලෙසින් ලෝකවාසීන්ගේ අවධානය දිනාගත්තා. ලයිකා නමින් ප්‍රසිද්ධ වුණු එම බැල්ලගේ අවසන් ඉරණම ඛේදජනක එකක් වුණත්, ලයිකා නම් නාමය ලෝක ඉතිහාසය තුළ රන් අකුරින් ලියැවී තිබෙනවා.
උඩු ගුවනට සතුන් යැවීමේ ආරම්භය
1940 දශකයේ අග භාගය වන විට ඇමරිකා එක්සත් ජනපදය උඩු ගුවනට සතුන් යැවීම ආරම්භ කර තිබුණා. එරටින් මුල්ම වරට උඩු ගුවනට යවනු ලැබුවේ ඇල්බට් නම් වඳුරා යි. 1948 වසරේ ජූනි 11 වැනිදා V-2 රොකට්ටුවකින් ගුවන්ගත වුණු එම වඳුරා කි.මී 63ක දුරක් ගමන් කිරීමෙන් පසුව හුස්ම හිරවී මරණයට පත් වුණා. ඉන්පසුව ඇමරිකා එක්සත් ජනපද විද්‍යාඥයන් තවත් වඳුරන්, චිම්පන්සින්, සහ මීයන් උඩු ගුවනට යවනු ලැබුවත් එම මෙහෙයුම්වලින් සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට හැකි වුණේ නැහැ.
ඇමරිකානුවන් විවිධ වර්ගයේ සතුන් උඩු ගුවනට යවන විට රුසියානු අභ්‍යාවකාශ විද්‍යාඥයන් එම පරීක්ෂණ කටයුතු සඳහා සුනඛයින් යොදාගත්තා. එලෙස සුනඛයන්ව යොදාගැනීමට හේතු වුණේ අනිත් සතුන්ට වඩා උන්ව පහසුවෙන් පුරුදු පුහුණු කළ හැකිවීම නිසා යි. එසේම මිනිසුන් සහ බල්ලන් අතර ඈත අතීතයේ පටන්ම පැවති සමීප මිතුදමත් එයට හේතුවක් වුණා.
ඒ අනුව රුසියානුවන් 1951 වසරේ ජනවාරි 29 වැනිදා සයිජන් සහ ඩෙසික් යන සුනඛයන් දෙදෙනාව වායුගෝලයේ උපරිම ස්ථානයට රොකට්ටුවක් මඟින් යවා, පසුව පැරෂුටයක් ආධාරයෙන් ආපසු ගෙන්වා ගත්තා. ඉන් වසර 6කට පසුව රුසියානුවන් ස්පුට්නික් 1 නම් යානය සාර්ථකව අභ්‍යාවකාශගත කළා.
මුලින්ම චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශගත කිරීම
1957 වසරේ ඔක්තෝබර් 4 වැනිදා සෝවියට් රුසියාව විසින් ස්පුට්නික් 1 නම් චන්ද්‍රිකාව අභ්‍යාවකාශගත කිරීමෙන් පසුව අභ්‍යාවකාශ යුගයේ ආරම්භය සනිටුහන් වුණා. එම කාලසමය වන විට සෝවියට් දේශයේ ප්‍රධානතම ප්‍රතිවාදියෙකු වුණු ඇමරිකා එක්සත් ජනපදයත් අභ්‍යාවකාශ ජයගැනීමේ සටනට පිවිස සිටියා. ස්පුට්නික් 1 යානය සාර්ථකව අභ්‍යාවකාශගත කළ සෝවියට් රුසියානුවන් ඒ වනවිට තවත් අභ්‍යාවකාශ ව්‍යාපෘතියක් සැලසුම් කරමින් සිටියා. ඒ, ජීවියෙකු අභ්‍යාවකාශයට යැවීම යි. රුසියානු අභ්‍යාවකාශ විද්‍යාඥයන් ඒ වන විටත් ව්‍යාපෘතිය සඳහා සුනඛයෙකු තෝරාගෙන තිබුණා. ඒ, ලයිකා නම් බැල්ල යි.
ලයිකා බැල්ල
මොස්කව් නගරය පුරා සැරිසරමින් සුනඛයන් සෙවූ රුසියානු අභ්‍යාවකාශ විද්‍යාඥයන්යින්ට දඩාවතේ යමින් සිටි බැල්ලක හමුවුණා. සයිබීරියන් හස්කි සහ ටෙරියර් යන වර්ග මුහුම් වී එම බැල්ලගේ උපත සිදුව තිබුණා. එම සත්ත්වයා ඉක්මනින්ම මිනිසුන් සමග හිතවත් වන ආකාරය විද්‍යාඥයන්ට නිරීක්ෂණය කිරීමට ලැබුණු නිසා ඔවුන් එම බැල්ලව අල්ලාගෙන විත් කූඩුවක දැමුවා. එලෙස අල්ලාගත් බැල්ල ඉතා නිරෝගීවීම සහ ප්‍රමාණයෙන් කුඩාවීම නිසා මෙම අභ්‍යාවකාශ මෙහෙයුම සඳහා තෝරාගනු ලැබුවා. එම සත්ත්වයාට පළමුව කුඩ්‍රියැව්කා, සුකා, ලිමොන්චික් වැනි නම් තබා තිබුණත් අවසානයේ දී ලයිකා යන නම තැබීමට යෝජනා වුණා. ඒ අනුව මෙහෙයුම අවසන් වීමෙන් පසුවත් එම බැල්ල ප්‍රසිද්ධියට පත්වුණේ ලයිකා ලෙස යි.
මෙහෙයුම සඳහා පුහුණු කිරීම
මෙවැනි අසීරු ව්‍යාපෘතියක් සාර්ථක කරගැනීම සඳහා එයට සහභාගි වන සත්ත්වයාට මනා පුහුණුවක් ලබා දිය යුතු යි. එම නිසා ලයිකා නම් බැල්ලට ද විවිධ තත්ත්වයන් යටතේ ජීවත්වීම සඳහා පුහුණුවක් ලබාදුන්නා. එහිදී අධික සීතලේ තැබීම, දින කිහිපයක් කුසගින්නේ තැබීම, විවිධ ඝෝෂාවන්ට ඔරොත්තු දිය හැකි ආකාරයට පුහුණු කිරීම වැනි ක්‍රියාකාරකම් සිදුකරනු ලැබුවා. එම පුහුණුවෙන් පසුව සාමාන්‍යයෙන් සුනඛයන් ආහාරයට ගන්නා දේවල් ලයිකාට ලබාදුන්නේ නැහැ. ඒ වෙනුවට අධි පෝෂ්‍ය ජෙල් වර්ගයක් ලබාදුන්නා. ලයිකා බැල්ල මනා හික්මීමකින් යුත් සත්ත්වයෙකු වුණු නිසා පුහුණුවේ දී කිසිදු කලබලකාරී හැසිරීමක් පෙන්නුම් කළේ නැහැ.
මෙහෙයුමට එරෙහිව පැන නැගුණු විරෝධතා
මොස්කව් නගරයේ වීදියක සැරිසරමින් සිටිය දී අල්ලාගත් ලයිකා බැල්ල රහසිගත ස්ථානයක රඳවා තබමින් හොර රහසේම පුහුණුව ලබාදුන් නිසා ඒ පිළිබඳව පිටත කිසිවෙකුට ආරංචි වුණේ නැහැ. නමුත් ලයිකා බැල්ල රැගත් ස්පුට්නික් 2 රොකට්ටුව ගුවන්ගත කිරීමට නියමිතව තිබුණු දිනය ආසන්න වන විට සියළුම රහස් හෙළිදරවු වුණා. ඒ සමගම ලෝකය පුරා ක්‍රියාත්මක වෙමින් තිබුණු සත්ත්ව සංවිධාන රැසක් ලයිකා බැල්ලගේ ජීවිතය බේරාගැනීමේ සටනට අවතීර්ණ වුණා. එදා එවැනි සංවිධාන එකතු වී උද්ඝෝෂණ මාලාවක් දියත් කළා. ලයිකා බැල්ල උඩු ගුවනට යැවීම පිළිබඳව පුවත BBC සේවය විසින් වාර්තා කළ අවස්ථාවේ දී එයටත් විවිධ පාර්ශවයන්ගෙන් විරෝධතා එල්ල වුණා. ලයිකාව උඩු ගුවනට යවන ව්‍යාපෘතියට ලෝකයේ සෑම දෙසකින්ම විරෝධතා එල්ල වුණත් සෝවියට් රුසියානුවන් එය නවතා දැමීමට කටයුතු කළේ නැහැ.
ලයිකා උඩු ගුවනට යයි
කලින් සූදානම් වුණු ආකාරයට ස්පුට්නික් 2 යානය උඩු ගුවනට යැවීමට නියමිතව තිබුණේ 1957 වසරේ නොවැම්බර් 3 වැනිදා යි. ව්‍යාපෘතියට සම්බන්ධ වුණු සියළුදෙනාම යානය පිටත්වීමට පෙර ලයිකාව සිපගෙන සමුගැනීම ප්‍රකාශ කළේ එම සත්ත්වයා යළි නොපැමිණෙන බව දැනගෙන සිටි නිසා යි. එදා ස්පුට්නික් 2 යානය වේගයෙන් අභ්‍යාවකාශයට වෙතට ඇතුල්වීමෙන් පසුව ලයිකා බැල්ල රැඳවූ කැප්සූලය සාර්ථකව පෘථිවි කක්ෂය වෙතට පිවිසියා. එහිදී පැයට සැතපුම් 18000ක වේගයෙන් ගමන් ගත් කැප්සූලය විනාඩි 40ක පමණ කාලයක දී පෘතුවිය වටා එක් වටයක් ගමන් කළා.
ලයිකාට අත්වුණු ඛේදජනක ඉරණම
ස්පුට්නික් 2 යානය උඩු ගුවනට යැවීමෙන් පසුව ලයිකාට අත්වුණු ඉරණම පිළිබඳව දැනගැනීමට බොහෝ දෙනෙකු උනන්දුවෙන් බලා සිටියා. එදා යානය පිළිබඳව නිරීක්ෂණය කළ රුසියානුවන් පවසා සිටියේ යානය උඩු ගුවනට යවා පැය 6ක් ගතවීමෙන් පසුව ඔක්සිජන් සැපයුම ඇණහිටි නිසා ලයිකා බැල්ල මියගිය බව යි. නමුත් 2002 වසරේ දී ලයිකාට අත්වුණු ඛේදජනක ඉරණම පිළිබඳව අනාවරණය වුණා. එම තොරතුරුවලට අනුව ලයිකා බැල්ල මියගොස් තිබුණේ යානය ගුවන්ගත කිරීමෙන් පසුව පැයකටත් අඩු කාලයක දී යි. රොකට්ටුවේ උෂ්ණත්වය ඉහළයාම හේතුවෙන් දේහ උෂ්ණත්වය අධික ලෙස ඉහළයාම, සහ අධික ලෙස බියට පත්වීම යන හේතූන් නිසා ලයිකා එම ඛේදජනක ඉරණමට ගොදුරුව තිබුණා.
ලයිකා වීරවරියක් බවට පත්වීම
එදා මිනිසාගේ යහපත වෙනුවෙන් තම ජීවිතය කැප කළ ලයිකා නම් බැල්ලව වීරවරියක් සේ සලකනු ලැබුවා. එම නිසා රුසියානු හමුදා මූලස්ථාන භූමිය තුළ ලයිකාව සිහිවීම පිණිස පිළිරුවක් ඉදිකොට තිබෙනවා. ලයිකා මරණයට පත්වුණු නොවැම්බර් 3 වැනිදා උදෑසන 11ට බොහෝ රුසියානුවන් එම වීරවරිය වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමට පුරුදුව සිටිනවා. ලයිකා ලවා සිදුකෙරුණු වීර ක්‍රියාව නිසා ඇයගේ නාමය ලෝක ඉතිහාසය තුළ රන් අකුරින් ලියැවී පවතිනවා.