Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

‘සහෝදරයා’ බැලුවද?

පහුගිය මාස කිහිපය තුළ ලංකාවේ විශාල කතාබහක් නිර්මාණය කළ ටෙලි නිර්මාණ කිහිපයක්ම විකාශය වුණා. කුඹියෝ සමාජජාලා මාධ්‍ය අවකාශය ඇතුලේ තමන්ගේ ආධිපත්‍ය පතුරවන අවස්ථාවේ, එයට හාත්පසින්ම වෙනස් ටෙලි නිර්මාණයකුත් ඒ එක්කම විකාශය වෙන්න පටන් ගත්තා. ඒ, “ සහෝදරයා”.

පසුගිය දා ඒ කතාව නිමා වෙනවත් එක්කම, කුඹියෝ තරම්ම නැති වුණත්, සමාජයේ බොහෝ දෙනෙක් ඒ ටෙලි නිර්මාණය ගැනත් තමන්ගේ අදහස් මේ වෙනකොට සමාජජාලා වල ප්‍රකාශ කරමින් සිටිනවා. ඉතින් අපි අද ඒ සහෝදරයා ගැන පොඩ්ඩක් කතා කරන්න හිතුවා. ඔබේ අදහසුත් මේ ලිපිය අවසානයේ අපිත් එක්ක බෙදා ගන්න අමතක කරන්න එපා. මොකද මේ වෙනකොට ලංකාවේ වෙනස් රසයක නිර්මාණ අවකාශයක් නිර්මාණය වෙමින් තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. එහෙම වෙනස් රසයක නිර්මාණ ඇගයීම වගේම ඒ පිළිබඳව අදහස් බෙදා ගැනීමත් අනාගතයේ රසවත් නිර්මාණ බිහි වෙන්න හොඳ රුකුලක් වනු නොඅනුමානයි. මේ ලිපියට සහෝදරයා ටෙලි නිර්මාණය පිළිබඳව නාමල් ජයසිංහ සමඟ පෙර කරන ලද සංවාද වල තොරතුරුත් ඇතුලත් වෙනවා.

නාමල් ජයසිංහ

ශ්‍රී ලාංකේය ටෙලි නිර්මාණ කලාව ඇතුලේ බොහොමයක් රසවත් දේ නිර්මාණය කළ පුද්ගලයෙක් විදියට නාමල්ව හඳුන්වාදෙන්න පුළුවන්. බොහිමියානුවා, අප්පච්චි, රතු අහස, ජීවිතේට ඉඩ දෙන්න, අහසින් වැටුනා වගේ බොහොමයක් ටෙලි නිර්මාණ ලියැවෙන්නේ නාමල් අතින්. එනමුත් ඔහුගේ අධ්‍යක්ෂණයෙන් නිම වෙන පළමු ටෙලි නිර්මාණය විදියට සැළකෙන්නේ සහෝදරයා යි. නාමල් ජයසිංහ අප සමඟ මීට කලින් කළ සංවාදයක දී පවසා තිබුණේ තමන්ට තමන්ගේම නිර්මාණයක් කිරීමේ ආශාව, හා තමන් රචනා කරන දෙයෙහි අවදානම අධ්‍යක්ෂකවරයාට නොදී නිර්මාණයක් කිරීම යන කරුණු වල ප්‍රතිපලයක් ලෙස මෙය නිර්මාණය වූ බවයි. එමෙන්ම යම් අවදානමක් ගෙන නිර්මාණයක් කිරීමට ඇති ආශාවත් එයට යම් පෙළඹවීමක් කර තිබුණා. තමන් ගත කළ ජීවිතයේ දී මුණගැසුණු මනුෂ්‍යයින් හා වූ සම්බන්ධතා පිළිබඳවත් ඔහු මේ නාට්‍යයට එකතු කර තිබුණා.

නාමල් ජයසිංහ

“සහෝදරයා” වචනය කාට ද ?

මෙම වචනය පිළිබඳව බොහොමයක් දෙනා විවිධ මත පල කරලා තිබුණා. සහෝදරයා කියන්නේ සිංහල භාෂාවේ එන එක වචනයක් පමණක් බවත්, එම වචනය දේශපාලනයේ වමට හෝ කොහේටවත් අයිති නැති බවත්, මෙම කතාව දේශපාලනිකව කිසිවෙකු හෝ නියෝජනය නොකරන බවත් ඔහු අප සමඟ පෙර කළ සංවාදයේ දී ප්‍රකාශ කර සිටියා.

“මා තුළ කතන්දරය ගොඩනැගෙන්නෙම එහෙම දේශපාලන අරමුණකින් නෙමෙයි. පුද්ගල කේන්ද්‍රීය අදහසකින් තමයි කතන්දරය ගොඩ නැගෙන්නෙ. මේකෙ සහෝදරයො කියලා කියන්නෙ සමාන හදවත් ඇති සමාන මිතුරන් දෙදෙනෙකුට. ඒක එක බඩවැල කඩාගෙන ආවට වඩා, ‘සහෘද’ කියන අදහස ඇතුළෙ තමයි අර්ථ ගැන්වෙන්නෙ. මෙහි සිටින සහෘදයො දෙන්නා එක සමාන දෙන්නෙක් නෙමෙයි. පංතිමය වශයෙන්, ආර්ථික වශයෙන්, අධ්‍යාපනික වශයෙන් හාත්පස වෙනස් දෙන්නෙක්. නමුත් ඒ දෙදෙනා එක්තරා අදහසක් වෙනුවෙන්, අරමුණක් වෙනුවෙන් සමාන හදවත් ඇත්තෝ. කතාව ඇතුළෙදි සහෝදරයා කියන වචනය දේශපාලන අර්ථයකින් හැ‍ඟ‍ෙවුවාට ප‍්‍රශ්නයක් නැහැ. හැබැයි විලාසිතාමය වමට ප‍්‍රශ්නයක් වෙයි, මේක ඇතුළෙ කතාබහ කරන දේවල් එක්ක ගත්තාම”, නාමල් ප්‍රකාශ කළා.

කතා කරන රූප රාමු

බොහෝ දෙනෙක් මෙම නිර්මාණයේ තිබූ පිටපතට අමතරව එහි රූප රාමු ගැන ද අවධානයක් යොමු කර තිබුණා. එකකට එකක් ගැලපී මනාව ගලාගෙන යන, එක රාමුවක් වෙන වෙනම ගෙන කතා කිරීමට හැකි තරම් මෙහි සමහරක් රූප රාමු අපූර්ව ඒවා වුණා. එමෙන්ම මෑතකාලීනව ටෙලි නිර්මාණයක දක්නට ලැබුණු තරමක් වෙනස් වර්ණ සංයෝජනයකින් ද මේ නාට්‍යය යුක්ත වුණා. ධම්මික රත්නායක ප්‍රධාන කැමරාව හසුරුවන විට සහය කැමරා ශිල්පියා ලෙස පසුගිය රයිගම් ටෙලි සම්මාන උළෙලේ සම්මානලාභී කුලරුවන් ගමගේ කටයුතු කර තිබුණා.

imdb.com

කසුන්ගේ සංගීතය

හිතේ මතක හිටින සංගීත ඛණ්ඩයක් ටෙලි නිර්මාණයක ඇතුලත් වන්නේ ඉතාමත් කලාතුරකින්. සහෝදරයා නාට්‍යයේ සංගීතය එහෙමයි. ඒ වගේම නාට්‍යය නොබලා සංගීතය පමණක් රස විඳිය හැකි වීමත් මෙම සංගීත ඛණ්ඩ වල නිර්මාණශිලිත්වය තවත් විදහාපානවා. කසුන් කල්හාරගේ සංගීතයෙන් හැඩවුණු සහෝදරයාගේ සංගීත ඛණ්ඩත් රූප රාමු තරම්ම රසවත්, සහ හැඟීම් දනවන ඒවා වුණා

සහෝදරයා ටෙලි නිර්මාණයේ සංගීත ඛණ්ඩ –

කාට කවුරු කියන කතාවක් ද ?

රොෂාන් රවින්ද්‍ර, චාන්දනී සෙනෙවිරත්න, තුමිඳු දොඩන්තැන්න, කලණි දොඩන්තැන්න වැනි නළු නිලියන් රැසක් මෙම නිර්මාණයට දායකත්වය ලබා දුන් මෙම නාට්‍යය නිෂ්පාදනය කරනු ලැබුවේ ජයන්ත වැලිවිට විසිනු යි. මෙය විකාශය ඇරඹීමත් සමඟම එය රටේ එක් දේශපාලන පැතිකඩක් නිරූපනය කිරීම වෙනුවෙන් නිර්මාණය වූවක් බවට හාවක් හූවක් ඇති වුණා. නමුත් කතාව ඉදිරියට ගලාගෙන යනවිට එය එක පැත්තක් නොව එම මොහොතේ රටේ සමස්ථයම නිරූපණය කරන නිර්මාණයක් වී තිබුණා. බොහෝ දෙනෙකුට නොතේරෙන ඇතැම් සමාජ ගැටළු නිරවද්‍යව රූප රාමු වලට ගෙන ඒමට මෙම ටෙලි නාට්‍ය නිර්මාණය සමත් වී තිබුණා.

සහෝදරයා ටෙලි නිර්මාණය අතීතය අත්දැකීම් ඇසුරෙන් අනාගතයට පාර කියන්න හදපු ටෙලි නිර්මාණයක් විදියටත් එක පැත්තකින් සළකන්න පුළුවන්. කිසිම නිර්මාණයක් හොඳය, නරකය කියන්න අයිතිය තිබෙන්නේ ප්‍රේක්ෂකයාට. ඉතින් ප්‍රේක්ෂකයින් ලෙස ඔබ මෙය නැරඹුවා නම්, ඒ ගැනත් අපට කියන්න අමතක කරන්න එපා. ඒ වගේම නොබැලුවා නම් බලන්න කියලත් අපි මේ එක්කම ඔබට ආරාධනා කරනවා.

කවරය – imdb.com

Related Articles