Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝක ඉතිහාසයේ හිමිකම් පිළිබඳ ලේඛන

ලෝකයේ එදා සිට මේ දක්වා පුද්ගල කණ්ඩායම් තම හිමිකම් වෙනුවෙන් නොයෙකුත් අරගල සිදුකර තිබෙනවා. ඒ ආකාරයෙන් තම අයිතිවාසිකම් වෙනුවෙන් විවිධ රටවල, විවිධ කණ්ඩායම් ආයුධ සන්නද්ධ සටන්වලට එළඹුණු අවස්ථා ඉතිහාසය පුරාම දකින්න ලැබෙනවා. ඒ අතරින්, තම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වැදුණු අවස්ථාවල දී හිමිකම් ඉල්ලමින් ඉදිරිපත් කළ ප්‍රකාශන කිහිපයක් ද ඉතිහාසය තුළ දකින්න ලැබෙනවා.

1215 වසරේ මැග්නා කර්ටා ගිවිසුම, 1689 වසරේ බ්‍රිතාන්‍ය අයිතිවාසිකම් පිළිබඳ පනත, 1776 වසරේ ඇමෙරිකානු නිදහස් ප්‍රකාශනය හා 1789 වසරේ මිනිස් හා පුරවැසියන් පිළිබඳව ප්‍රංශ ප්‍රකාශනය වැනි ලියැවිලි ඒ අතරින් ප්‍රධාන අවස්ථා ලෙස සඳහන් කළ හැකි යි. 

ලෝකයේ මානව හිමිකම් පිළිබඳව කතා වුණු පළමු අවස්ථාව- “මැග්නා කර්ටා ගිවිසුම” 

මැග්නා කර්ටා ගිවිසුම අත්සන් තැබීම (parliament.co.uk)

වර්ෂ 1215 දී ප්‍රකාශයට පත් වූ මැග්නා කර්ටා ගිවිසුම, වත්මන් ප්‍රජාතන්ත්‍රවාදී අරගලයේ මුලින්ම අවධානය යොමු වූ අයිතිවාසිකම් පිළිබඳව වූ අවස්ථාව ලෙස හැඳින්විය හැකි යි. ‘මහා ගිවිසුම’ යන අර්ථය දෙන එය, එංගලන්තයේ ජෝන් රජතුමා සහ එරට රදලයන් හෙවත් වංශාධිපතීන් අතර 1215 දී ඇති කර ගත් ගිවිසුමක්. එංගලන්තයේ ජෝන් රජු මුහුණ දුන් දේශපාලන අර්බුදය සඳහා විසඳුමක් වශයෙන් නිකුත් කළ මෙමඟින් ඉතිහාසයේ ප‍්‍රථම වතාවට රජු ද ඇතුළුව සෑම පුද්ගලයෙකුම එක් නීතියක් යටත් වන බවට ස්ථාපිත වෙනවා.

එවකට බ්‍රිතාන්‍යයේ බලය බෙදී ගියේ ප‍්‍රධාන ආයතන තුනක් අතරේ යි. ඉන් ප‍්‍රධාන වන්නේ රජතුමා යි. ඊළඟට, බලය ගියේ පල්ලියට හා රදල පැලැන්තියට යි. ප්‍රංශයේ ප්‍රදේශ කිහිපයක් අල්ලා ගැනීමට එවකට බ්‍රිතාන්‍ය ජෝන් රජතුමාට අධික භටයන් පිරිසක් හා යුද්ධය සඳහා අධික මුදලක් දරනවා. මේ වන විට රජු හා වංශාධිපතින් අතර මත ගැටුම් නිර්මාණය වී තිබුණු අතර, තවදුරටත් රජුට බදු එකතු කර දීම හා රජුගේ හමුදා සේවයට මිනිසුන් සපයා දීම වංශාධිපතින් විසින් ප‍්‍රතික්ෂේප කරනවා. මේ වන විට කතෝලික පල්ලිය හා රජු අතරත් ගැටුම් නිර්මාණය වී තිබෙනවා. මෙවැනි හේතු නිසා ජෝන් රජතුමාගේ බලය ක්‍රමක්‍රමයෙන් දුර්වල වෙනවා. එය ප්‍රයෝජනයට ගන්නා වංශාධිපතින් හා කතෝලික පල්ලිය එකතු වී අගනගරය වූ ලන්ඩන් නුවර වට කර එහි බලය අල්ලා ගන්නවා. 

රජුට එරෙහි පාර්ශවයන් වැළැක්වීම සඳහා ඒ අවස්ථාවේ ජෝන් රජුට කිසිදු යුද ක්‍රියාමාර්ගයක් ගැනීමට නොහැකි වූ අතර, සාම ගිවිසුමකට යාමේ විකල්පය පමණක් ඉතිරි වෙනවා. එම විකල්පය භාවිතා කරමින් රජු හා විරුද්ධ පාර්ශවය අතර මැග්නා කර්ටා ගිවිසුම නිර්මාණය වෙනවා. මේ ගිවිසුමේ හරය වශයෙන් අඩංගු වන්නේ; නීතිය සැමට සාධාරණ විය යුතු බව යි. එනම්, අපක්ෂපාතී අධිකරණයක් ඉදිරියට යාමට හා යුක්තිය ඉෂ්ට කරවා ගැනීමට කෙනෙකුට ඇති අයිතිය යි. ඒ දක්වා නීතියට උඩින් සිටි රජතුමාව පළමු වරට නීතියේ සීමාව තුළට ගෙන එනවා.

මැග්නා කර්ටා ගිවිසුම (ondemandhosting)

මෙම ලේඛනයෙන් තුනෙන් එකකට ආසන්න ප‍්‍රමාණයක් දස වසරක් තුළ සංශෝධනය කර ඇතත්, නූතනයේ දී එහි තිබූ සියලුම වගන්ති පාහේ අවලංගු වී තිබුණත්, මැග්නා කාර්ටා ගිවිසුම බි‍්‍රතාන්‍ය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සඳහා බොහෝ සෙයින් බලපා ඇති බව සඳහන් කළ හැකියි. වර්තමානය වන විට මුළු ලෝකයටම ඉතිරිව තිබෙන්නේ මේ මානව හිමිකම් ප්‍රකාශනයේ පිටපත් 4ක් පමණ යි.

බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස පිණිස ඇමෙරිකානුවෝ ඉදිරිපත් කළ “ඇමෙරිකානු නිදහස් ප්‍රකාශනය” 

ඇමෙරිකානු නිදහස් ප්‍රකාශනය අත්සන් තැබීම (britannica)

ඇමෙරිකානු වැසියන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලබාගැනීම සඳහා ගෙන ගිය සටන ඇමෙරිකානු නිදහස්‌ සටන ලෙස හැඳින්විය හැකි අතර, සංවිධානය වූ යටත් ජාතියකට බලසම්පන්න අධිරාජ්‍යයක්‌ පරාජය කළ හැකි බවට තහවුරු කළ ලොව ප්‍රථම අවස්‌ථාව මෙය ලෙස හැඳින්විය හැකි යි.

බ්‍රිතාන්‍යයන් ඇමෙරිකාවේ සිය ජනපද පිහිටුවනවා. වර්ජිනියා එහි පළමු ජනපදය වන අතර, එය ඇතුළු ජනපද 13ක් පිහිටුවීමට ඔවුන් සමත් වෙනවා. ඇමෙරිකානු නිදහස් සටන 1775 වසරේ දී ආරම්භ වීමට ප්‍රධාන හේතුව වන්නේ ඇමෙරිකානු ජනපදවල ආර්ථික කටයුතු බ්‍රිතාන්‍යයන්ට වාසි ලැබෙන ආකාරයෙන් ක්‍රියාත්මක කිරීම යි.

පසු කාලයේ දී බ්‍රිතාන්‍ය රජය විසින් ඇමරිකානු ජනපද සඳහා නව නීති රීතින් හඳුන්වා දෙනවා. මේ සමග බ්‍රිතාන්‍ය පාලනයෙන් මිදීමේ මානසිකත්වය ඇමරිකානුවන් තුළ ගොඩනැගෙනවා. බ්‍රිතාන්‍යයන් විසින් ඇමරිකානු ජනපදවල වැසියන් පිඩාවට පත් කරමින් නව බදු වර්ග අය කිරීම නව නීති රීති යටතේ සිදුවෙනවා. 1775 ලෙක්‌සිංටන් නම් ස්‌ථානයේ දී දෙපාර්ශ්වය අතර ප්‍රථම අවි ගැටුම ආරම්භ වෙන්නේ ඉහත කරුණු කාරණා හේතුවෙනුයි. ඉන් වසරකට පසුව ඇමෙරිකා එක්සත් ජනපදය නිර්මාණය කළ නියෝජිත බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයෙන් හා රාජාන්ඩුවෙන් බිඳී වෙන්වීම ප්‍රකාශයට පත් කරමින් ස්වාධීනතා ප්‍රකාශය එළිදක්වනවා. ඒ, 1775 වසරේ දී යි. නිදහස පිළිබඳ ප්‍රකාශනය ඇමරිකානු කොන්ග්‍රස් මණ්ඩලය විසින් සම්මත කරගන්නා ලද්දේ 1776 ජූලි 4 වන දා යි. එහි වූ සුප්‍රසිද්ධම වාක්‍ය කිහිපය​ ඇතුල් වූයේ ප්‍රස්ථාවනාවට යි.

“ඇමෙරිකානු නිදහස් ප්‍රකාශනය” (aspeninstitute)

“අප විසින් මේවා ප්‍රත්‍යක්ෂ කරුණු ලෙස සලකනු ලැබේ. සියලු මනුෂ්‍යයෝ සමානව උපදිති. ඔවුන්ට අන්සතු කළ නොහැකි අයිතීන් ගණනක් හිමි වේ. ඒ අතර ජීවත්වීමේ අයිතිය​, නිදහස සහ සතුටින් සිටීමේ අයිතිය වේ. මෙම අයිතීන් සුරකිනු පිණිස, රජයයන් පිහිටුවාගෙන ඇති අතර ඒවාට ජනතාවගේ කැමැත්තෙන් ලැබෙන සාධාරණ වූ බලයයන් හිමි ව ඇත.”

මෙම නිදහස් ප්‍රකාශනය පසු කාලීනව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයේ දී අමෙරිකානුවන්ට වැදගත් වෙනවා.

Related Articles