Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලාංකිකයෙකු අතින් තැනෙන හොලිවුඩ් සිනමාපටය – One Star Rider

‘හොලිවුඩය’ ලෝක සිනමාවේ මහගෙදර ලෙස සැලකෙනවා. ක්‍රි.ව 1927 ලොව පළමු කතා නාද චිත්‍රපටය වන  ‘ද ජෑස් සිංගර්‘ නිෂ්පාදනය වූ දා පටන් පුරා වසර 91ක් තිස්සේ හොලිවුඩයේ තැනෙන කතානාද චිත්‍රපට ලොවක් ජයගත්තා. ස්ටීවන් ස්පිල්බර්ග්, ජේම්ස් කැමරන් වැනි සිනමා අධ්‍යක්ෂක වරුන් හොලිවුඩයෙන් නැඟ ආ පතාක යෝධයින් ලෙස සැලකෙනවා.

හොලිවුඩය හා ශ්‍රී ලංකාවේ සිනමාව අතර අද වන විටත් අති විශාල වෙනසක් තිබෙනවා. ශ්‍රී ලාංකික ශිල්පියෙකු හොලිවුඩ් නිර්මාණයකට දායක වීමත් ඔහු හෝ ඇය සිය රටට ලබා දෙන විශාල ගෞරවයක් සේ සැලකෙනවා. හොලිවුඩය තුළ තම රටට ගෙන දිය හැකි විශාලම ගෞරවයක් ගෙන දීමට එක් තරුණ ශ්‍රී ලංකා සිනමාවේදියෙක් මේ වන විට සමත් වී තිබෙනවා. ඒ ‘හොලිවුඩ්’ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමෙන්. ලක්පති විජේසේකර නම් ඔහුගේ  ‘One Star Rider’ චිත්‍රපටය පිළිබඳ තොරතුරු මේ ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නට අපි සූදානම්.

One Star Rider චිත්‍රපටයෙන් -Lakpathy Wijeseakara

One star Rider – කතා සාරාංශය

ඇන්ඩෲ ලොස් ඇන්ජලීස් හි ඌබර් රථ රියැදුරෙක් සේ සේවය කරනවා. කෙසේ නමුත් රියැදුරෙක් වීමට වඩා ඔහු තුළ තවත් බලාපොරොත්තු තිබෙනවා. ඒ සඳහා ඔහුට මුදල් අවශ්‍ය වෙනවා. ඌබර් රථ රියැදුරෙකුට ගමන් වාර 40 කට පසුව ලබා දෙන ‘බෝනස්’ මුදල ඔහුට මහ මෙරක්. මේ නිසා ඔහු ඉතා කාර්යක්ෂ්මව සිය වෘත්තියේ නිරත වෙනවා. එක් දිනක සිය ඉලක්කය සැපිරීමට ඔන්න මෙන්න තිබියදී ‘එමා’ නම් සුරූපී තරුණියක් ඔහුගේ කුලී රථයට ගොඩ වෙනවා. ඉන් පසු සිදු වන්නේ ඔහු කිසිසේත්ම බලාපොරොත්තු නොවුණු දෙයක්. පිටතින් අවිහිංසක තරුණියක් ලෙස පෙනුනද ඇය යම් රහසක් සඟවාගෙන සිටිනවා. කෙටිදුර ගමනක් ලෙස ඇරඹෙන එම ගමන පසුදා පහන් වෙන තුරු පැය ගණනකට දිග් ගැස්සෙන්නේ එය ඔහුගේ ජීවිතයේ මුහුණ දුන් අසාමාන්‍යම හා අමතක නොවෙන සවාරිය කරමින්.

අධ්‍යක්ෂකවරයා ගැන

Lakpathy Wijesekara

චිත්‍රපටයේ අධ්‍යක්ෂක ලක්පති විජේසේකර කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලබා ඉන් අනතුරුව ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් හි පිහිටි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන් (UCLA) සිනමාකරනය පිළිබඳ හදාරා ඇත්තෙක්. මීට ප්‍රථමයෙන් බිහයින්ඩ් ද සීන්ස් යන සිංහල චිත්‍රපටය හා Falsehood නම් ඉංග්‍රීසි චිත්‍රපටය මෙන්ම Rydeshare chronicles නම් කතාංග මාලාවද ඔහු විසින් අධ්‍යක්ෂණය කර තිබෙනවා. ඔහුගේ නවතම වෘත්තාන්ත චිත්‍රපටය වන One Star Rider විනාඩි 80 ක පමණ ධාවන කාලයක් ඇති එකක්.

චිත්‍රපටයේ නළු නිළි හා කාර්මික ශිල්පී කැල

මෙම චිත්‍රපටයෙහි ඌබර් රථ රියැදුරුගේ චරිතයට පණ පොවන්නේ එඩ්වඩ් ලී විසිනුයි. එමාගේ චරිතයට නිකොලේ ගැරබ්‍රන්ට් විසින් පණ පොවනවා. මීට අමතරව මෙහි රියා පටෙල්, ජස්ටින් ඔලිවේරා, ලින්ඩා ඇල්වාරෙස්, ජෝර්ඩන් ඇන්තනී ඇතුළු කිහිප දෙනෙක්ම චරිත මවනවා.

එඩ්වඩ් ලී -Lakpathy Wijesekara

නිකොලේ ගැරබ්‍රන්ට්-M. Hart/imdb.com

One Star Rider චිත්‍රපටයේ කතාව හා තිර රචනයත් අධ්‍යක්ෂක ලක්පති විජේසේකර විසින් සිදු කර තිබෙනවා. කැමරා අධ්‍යක්ෂණ කර්තව්‍යය සිදු කර තිබෙන්නේ ඕනා ඉසාර්ට් විසින්. මෙහි ශබ්ද පරිපාලනය ඇන්තනී නිවන් විසින් සිදු කර ඇති අතර නිෂ්පාදනය ඇන්ඩෲ ඩේවිස් ගේ අතින් සිදු වී තිබෙනවා. මීට අමතරව චිත්‍රපටයේ නිෂ්පාදන හා පසු නිෂ්පාදන කටයුතු වලට තවත් ශ්‍රී ලාංකික ශිල්පීන් කිහිප දෙනෙක් දායක වී තිබීම විශේෂත්වයක්.

ඕනා ඉසාර්ට්-Pascaline Pouzols

One star rider චිත්‍රපටයෙහි විශේෂත්වය

එක් දිනයක් තුළ සම්පූර්ණයෙන්ම පාහේ දිග හැරෙන One Star Rider හි කතා ප්‍රවෘත්තිය වැඩිමනක්ම දිවෙන්නේ රාත්‍රී කාලයේ යි. මෙහි රූගත කිරීම් සම්පූර්ණයෙන්ම පාහේ සිදු කර ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයෙහි කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටා ඇති හොලිවුඩ් පුරවරයේදීම යි. මෙහි කතාව කේන්ද්‍රගත වී තිබෙන්නේ ඌබර් රථ රියැදුරෙක් වටා වීම තවත් විශේෂත්වයක්. ලොව පුරා ඌබර් රථ රියැදුරන් දහස් ගණනක් සේවයේ නියුතු අතර මේ චිත්‍රපටයේ දිගහැරෙන කතාව හා සමාන අත්දැකීම් ඔවුන් පමණක් නොව ශ්‍රී ලංකාවේ ත්‍රීරෝද රථ රියැදුරන්ද නිරන්තරයෙන් ලබනවා.

One Star Rider කණ්ඩායම – Lakpathy Wijesekara

හොලිවුඩයේ මේ දිනවල ඇමෙරිකානු ජාතිකයින්ට පමණක් සීමා නොවී බහු වාර්ගික සහභාගීත්වයෙන් චිත්‍රපට තැනීමේ ප්‍රවණතාවයක් තිබෙනවා. එමෙන්ම ඒ පිළිබඳව ඔවුන් දක්වන්නේ විශාල උනන්දුවක් හා ඇගයීමක්. මේ චිත්‍රපටය ඊට හොඳ උදාහරණයක්. චිත්‍රපටයේ අධ්‍යක්ෂක ලක්පති විජේසේකර ශ්‍රී ලාංකිකයෙක් වෙද්දී චිත්‍රපටයේ නිෂ්පාදක ඇන්ඩෲ ඩේවිස් ලතින් ඇමෙරිකානු සම්භවයක් සහිත තැනැත්තෙක් වෙනවා. One Star Rider හි කැමරා අධ්‍යක්ෂිකා ඕනා ඉසාර්ට් බාසිලෝනා නුවර සිට පැමිණි කැටලෝනියානු ජාතික තැනැත්තියක්. එමෙන්ම චිත්‍රපටයේ ශබ්ද පරිපාලනය කළ ඇන්තනී නිවන් හා ප්‍රධාන චරිතයට පණ පොවන එඩ්වඩ් ලී යන දෙදෙනාම ආසියානු සම්භවයක් ඇති අයයි. සිනමාපටයට සම්බන්ධ වී සිටින රියා පටෙල් ඉන්දියානු සම්භවයක් සහිත කතක්. තවත් අතෙකින් ඕනා ඉසාර්ට් කැමරා අධ්‍යක්ෂණයෙන් දායක වීම චිත්‍රපටයේ කාර්මික කටයුතු වලට කාන්තා පිරිමි දෙපාර්ශවයේම නොමඳ සහභාගීත්වය සිදු වී ඇති බවට උදාහරණයක්.

චිත්‍රපටයේ ඉදිරි තතු

චිත්‍රපටයේ නිෂ්පාදන කණ්ඩායමට එය නිෂ්පාදනය කිරීමට සිදු වී තිබුණේ මල් ඇතිරූ යහනාවක් ඔස්සේ නොවේ. විශේෂයෙන්ම මේ නිෂ්පාදනයට සම්බන්ධ වූ සියලු දෙනා වයසින් ඒ තරම් මුහුකුරා නොගිය යෞවනයන් වීම හා බොහෝ දර්ශන රාත්‍රී කාලයේ රූගත කිරීමට සිදුවීමත් යන කාරණා නිසා ඔවුනට මුහුණ දෙන්නට සිදු වූ අභියෝග අති මහත්. චිත්‍රපටයට සම්බන්ධ වූ බොහෝ දෙනා දිවා කල සිය සේවා කටයුතු වල නියුතු වී රාත්‍රියේ මහත් වෙර වෑයමකින් යුතුව මේ කර්තව්‍යයට සම්බන්ධ වී තිබෙනවා. කෙසේ නමුත් එම කැප කිරීම් වල ප්‍රතිඵලයක් ලෙස මෙම චිත්‍රපටයේ රූගත කිරීම් අති සාර්ථක ලෙස සිදු කර අවසන් කිරීමට ඔවුනට හැකි වී තිබෙනවා.

One Star Rider මේ වන විට පවතින්නේ පසු නිෂ්පාදන තත්ත්වයේ යි. එය 2018 වසර අවසන් වීමට ප්‍රථමයෙන් නිකුත් කිරීමට නිෂ්පාදක කණ්ඩායම බලාපොරොත්තු වෙනවා. මේ චිත්‍රපටය ලොව පුරා ජනප්‍රිය වුවහොත් එය ශ්‍රී ලාංකිකයින් වශයෙන් අපටද අභිමානයක් වනු ඇති.

කවරයේ පින්තූරය -Lakpathy Wijesekara

Related Articles