Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව පුරා ප්‍රසිද්ධ ප්‍රංශයේ දොඩම් – ලෙමන් සැණකෙළිය

ලෝකයේ බොහෝ රටවලට ආවේණික විවිධ සැමරුම් තිබෙන බව අපි දනිමු. ඉන් සමහර සැමරුම් වසර සිය ගණනක් තිස්සේ පැවැත එන ඒවා වන අතර, තවත් සමහරක් මෑතකාලීන ව ආරම්භ වූ ඒවා වේ. ප්‍රංශයේ මෙන්ටන් නගරයේ සෑම වසරක ම පෙබරවාරි මස පැවැත්වෙන ‘දොඩම් – ලෙමන් සැණකෙළිය’ ද එවැනි කෙටි ඉතිහාසයක් සහිත, එහෙත් ලොව පුරා ප්‍රසිද්ධ සැමරුමකි. දෙස් විදෙස් සංචාරකයන් ඇතුළු ලක්ෂ ගණනක ජනකායක් සහභාගී වන මෙම සැණකෙළියේ ඉතිහාසය සහ වර්තමාන තත්ත්වය පිළිබඳව මේ ලිපියෙන් සොයා බලමු.

දොඩම් – ලෙමන් සැණකෙළියේ ඉතිහාසය

1875 දී ප්‍රංශයේ ගිනිකොන දෙසින් පිහිටි මධ්‍යධරණී වෙරළ තීරය ආශ්‍රිත හෝටල් කිහිපයක හිමිකරුවෝ ශීත සෘතුව ඉලක්ක කරගෙන සැණකෙළියක් ආරම්භ කළ යුතු බව අදාළ ප්‍රාදේශීය පරිපාලන ආයතනයට යෝජනා කළහ. එම යෝජනාව අනුව 1876 පටන් මෙන්ටන් නගරයේ වෙරළබඩ ප්‍රදේශයේ සැණකෙළියක් ආරම්භ විය.

ප්‍රංශ ජාතිකයන් මෙන්ම ශීත සෘතුව ගත කිරීමට වෙනත් රටවල සිට සංචාරය කරන ධනවත් පුද්ගලයන් විශාල ප්‍රමාණයක් ආකර්ෂණය කර ගැනීමට එම සැණකෙළියට හැකි විය. එම ප්‍රදේශයේ ශීත සෘතුව ගත කිරීම ඒ වන විට බොහෝ දෙනකුගේ විලාසිතාවක් බවට පත්ව තිබූ බව කියැවේ.

දොඩම් සැණකෙළිය සඳහා සකස් කළ විශාල අනුරුවක් – www.pinterest.com

කැපී පෙනෙන සැණකෙළි

1880 දශකයේ මුල් භාගය වන විට රජුන් සහ රැජනන්, කුමාරවරුන් සහ කුමරියන්, සහ සුප්‍රසිද්ධ කලාකරුවන් අතර මෙම සැණකෙළිය අතිශයින් ජනප්‍රිය විය. සැණකෙළිය පැවැත්වෙන කාලය තුළ ඔවුහු නගරයේ පිහිටි ඔවුන්ට ම අයත් මැදුරු හෝ සුපිරි හෝටල්වලට වී ශීත සෘතුව ගත කළහ.

1882 දී පැවති මෙම සැණකෙළියට ඒ වන විට මහා බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් ගණනාවක රාජ්‍යත්වය දැරූ වික්ටෝරියා අධිරාජිනිය ද සහභාගී වූවා ය. ඇයගේ සහභාගිත්වය සනිටුහන් කිරීම සඳහා සැණකෙළිය අතරතුර විශේෂ ගිනි කෙළි සංදර්ශනයක් ද පවත්වා තිබේ. වික්ටෝරියා රැජනට අමතර ව විවිධ රටවල රාජ්‍ය නායකයන් සහ වෙනත් ප්‍රසිද්ධ පුද්ගලයන් රැසක් මෙම සැණකෙළිය නැරඹීමට එක් වූ බව මූලාශ්‍රයන් හි සඳහන් වේ.

දොඩම් ප්‍රදර්ශනයක්

මෙන්ටන් 1920 දශකයේ අගභාගය වන විට යුරෝපා මහද්වීපයේ විශාලත ම දොඩම් නිෂ්පාදනය සහිත නගරය බවට පත් විය. නගරය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල ඉතා උසස් වර්ගයේ දොඩම්, ලෙමන් සහ දෙහි විශේෂ වගා කිරීම මෙම කාලයේ දී විශාල වශයෙන් ඉහළ ගියේ ය. මේ වන විට ඉහත කී සැණකෙළියට සහභාගී වන පිරිස දස දහස් ගණනක් දක්වා ඉහළ ගොස් තිබිණි. ඊට සහභාගී වන පුද්ගලයන් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් මල් සහ දොඩම් ප්‍රදර්ශනයක් පැවැත්වීමට නගරයේ ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙක් සැලසුම් කළේ ය.

සැණකෙළියේ පැරැණි ඡායාරූපයක් – www.bbc.com

ඔහු 1928 දී ප්‍රංශයට ආවේණික මල් විශේෂ සහ මෙන්ටන් නගරයේ වගාවන්ගෙන් නෙළා ගත් දොඩම් සහ ලෙමන් යොදා ගෙන දැවැන්ත ප්‍රදර්ශනයක් පැවැත්වී ය. එම ප්‍රදර්ශනයට අති විශාල පිරිසක් සහභාගී වූ අතර ඔහුට විශාල ආදායමක් ලැබිණි. ප්‍රදර්ශනයේ සාර්ථකත්වය දුටු අදාළ ප්‍රාදේශීය පරිපාලන ඒකකය ඊළඟ වසරේ, එනම් 1929 දී, මහා පරිමාණ මල් සහ දොඩම් ප්‍රදර්ශනයක් සහිත සැණකෙළියක් සංවිධානය කළේ ය.

සැණකෙළිය නොපැවැත්වූ අවස්ථා

මෙම සැණකෙළිය විවිධ හේතු මත අවස්ථා කිහිපයකදී නොපැවැත්විණි. දෙවැනි ලෝක යුද්ධය පැවති කාලයේ, එනම් 1940 සිට 1946 දක්වා එය නොපැවැත්වුණු අතර, 1991 දී ගල්ෆ් යුද්ධය හේතුවෙන් එය නොපැවැත්වීමට මෙන්ටන් නගර සභාව තීරණය කළේ ය. එතැන් පටන් වසර ගණනාවක් තිස්සේ අඛණ්ඩ ව පැවති සැණකෙළිය කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් 2021 දී නොපැවැත්විණි.

මෙන්ටන් නගරයේ දොඩම් අලෙවි කරන අයුරු – www.bbc.com

සැණකෙළිය සඳහා වුවමනා දොඩම් ආනයනය

වර්තමානය වන විට මෙන්ටන් නගරය ආශ්‍රිත ප්‍රදේශවල නිෂ්පාදනය කරන දොඩම් සහ ලෙමන් ප්‍රමාණය සංඛ්‍යාත්මක වශයෙන් පහළ අගයක පවතින නමුත් ඒවායේ ගුණාත්මක බව ඉතා ඉහළ මට්ටමක පවතී. ලොව පුරා පිහිටි තරු පන්තියේ හෝටල් රැසක් සාමාන්‍ය දොඩම්වලට වඩා වැඩි මිලක් ගෙවා මෙන්ටන් නගරයේ නිෂ්පාදිත දොඩම් ඇණවුම් කරන්නේ එබැවිනි. මෙන්ටන් නගරයේ දොඩම් නිෂ්පාදනය තරමක පහළ අගයක් ගන්නා බැවින් මෙම සැණකෙළිය සඳහා අවශ්‍ය දොඩම් සහ ලෙමන් විශේෂ වෙනත් රටවලින් ආනයනය කෙරේ.

සැණකෙළියේ කැපී පෙනෙන තේමා

මල්, ප්‍රේමය, සෘතු, සංගීතය, මෙන්ටන් හි ඉතිහාසය, ලෙමන් සහ චීන ජාතිකයන්, සඳ මත සවාරිය, සිනමාව, කතන්දර සහ පුරාවෘත්ත, ලෝක පුදුම, මධ්‍යධරණී කලාපය ආශ්‍රිත මිත්‍යා මත සහ පුරාවෘත්ත, ඩිස්නිලන්තය, ටින් ටින් (කාටුන් චරිතය), විස්මලන්තයේ ඇලිස්, පිනොකියෝ, බොලිවුඩ්, ලෝක ප්‍රසිද්ධ උත්සව, ප්‍රංශයේ විවිධ පළාත්, විශිෂ්ට ශිෂ්ටාචාර, ලොව වඩාත් ප්‍රසිද්ධ දූපත් සහ මුහුද සමඟ බැදුණු පුරාවෘත්ත මෙම සැණකෙළිය සඳහා පදනම් කර ගත් සුවිශේෂී තේමා අතර ප්‍රධාන තැනක් ගනී.

දොඩම් සැණකෙළිය විවිධ තේමාවන් යටතේ පැවැත්වේ – www.mybestplace.com

සැණකෙළියේ වර්තමාන තත්ත්වය

එතැන් පටන් සැණකෙළියක් ලෙස වාර්ෂික ව පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය සාම්ප්‍රදායික සැණකෙළියක දැකිය හැකි අංගවලින් සහ මෙන්ටන් නගරයට දොඩම් නිෂ්පාදනය සම්බන්ධයෙන් හිමි වී ඇති කීර්ති නාමය පිළිබිඹු කරන ආකාරයේ අංග ගණනාවකින් ද සමන්විත වේ. සැණකෙළියට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සැපයීම මෙන්ටන් නගර සභාව සිදු කරන අතර එය පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු මාස කිහිපයකට පෙර සූදානම් කෙරේ. විවිධ තේමා පැවැත්වෙන සැණකෙළිය සඳහා අවශ්‍ය දොඩම් සහ ලෙමන් ප්‍රමාණයෙන් වැඩි කොටසක් වර්තමානය වන විට ස්පාඤ්ඤයෙන් ආනයනය කෙරේ.

මීටර් ගණනක් උස ආකෘති සහ මල් පාත්ති වැනි දෑ දොඩම් සහ ලෙමන් යොදා ගෙන ආවරණය කිරීම මෙම සැණකෙළියේ දැකිය හැකි වඩාත් සුවිශේෂී අංගය වේ. සති දෙකක කාලයක් පුරාවට පැවැත්වෙන සැණකෙළියේ ප්‍රධාන අරමුණ මෙන්ටන් නගරයේ වගා කරන විශේෂිත දොඩම් සහ ලෙමන් වගාවන්ගෙන් ලබා ගන්නා අස්වැන්න සැමරීම වේ. සෑම වසරක ම පෙබරවාරි මස පැවැත්වෙන මෙම සැණකෙළිය 2019 දී අස්පෘශ්‍ය සංස්කෘතික උරුමයක් ලෙස නම් කිරීමට එරට සංස්කෘතික කටයුතු අමාත්‍යංශය කටයුතු කළේය.

සැණකෙළිය පැවැත්වෙන වෙරළ තීරය – www.celebritycruises.com

2023 වසරේ සැණකෙළිය

මේ වසරට අදාළ දොඩම් සැණකෙළිය ‘රොක් සහ ඔපෙරා’ යන තේමාවෙන් පසුගිය දා පැවැත්විණි. පෙබරවාරි 11 වැනි දින ආරම්භ වූ එය පෙබරවාරි 26 වැනි දා දක්වා පැවැත්විණි. ඊට 240,000කට වැඩි දෙස් විදෙස් නරඹන්නන් පිරිසක් එක් විය. සැණකෙළිය සඳහා යොදා ගන්නා දොඩම් සහ ලෙමන්වලින් බොහොමයක් සති දෙකක කාලය අවසන් වන විට පරිභෝජනයට ගත හැකි තත්ත්වයේ පවතින බැවින් ප්‍රදර්ශනය අවසානයේ ඒවා අඩු මිලට අලෙවි කෙරේ.

කවරයේ ඡායාරූපය - ප්‍රංශයේ මෙන්ටන් නගරයේ සෑම වසරක ම පෙබරවාරි මස පැවැත්වෙන 'දොඩම් සැණකෙළිය', කෙටි ඉතිහාසයක් සහිත, එහෙත් ලොව පුරා ප්‍රසිද්ධ සැමරුමකි - www.vogue.com
මූලාශ්‍ර :
www.frenchmomonets.eu
www.feta.du.citron.com
www.bbc.com
www.solosophie.com

Related Articles