Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කොළඹ යුගයේ චිත්‍ර ශිල්පියෝ

අනුරාධපුර යුගයේ සිට පැවැති මෙරට චිත්‍ර සම්ප්‍රදාය යුරෝපීය ආක්‍රමණයත් සමග තරමක් වෙනස් අතට හැරෙනවා. විසිවන සියවස මුල් භාගයේ සිට ලාංකික චිත්‍ර ශීල්පීන් ආභාසය ලබා ගන්නේ යුරෝපීය චිත්‍ර කලාවෙන්. ඊට අමතරව ඉන්දියානු චිත්‍ර කලාවේ ආභාසය ද ලබාගත් ශිල්පීන් කිහිප දෙනෙක් ද මේ යුගයේ දී බිහි වෙනවා. 

සෝලියස් මැන්දිස් හා ජෝර්ජ් කිට් නම් එම යුගයේ සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පින් පිළිබඳව ඔබ අසා තිබෙනවා ඇති. පහත විස්තර කර තිබෙන්නේ එම යුගයේ සිටි තවත් දක්ෂ ශිල්පීන් කිහිප දෙනෙක් පිළිබඳව යි.

ලොකු කංකානංගේ තෝමස් පීරිස් හෙවත් ඇල්. ටී. පී. මංජු ශ්‍රි

මංජු ශ්‍රීගේ සිතුවමක් (kinstacdn)

1902 ඔක්තෝබර් 28 දා අලුත්ගම ප්‍රදේශයේ උපත ලද ලොකු කංකානංගේ තෝමස් පීරිස්, අවුරුදු 13 දී භදන්ත සීලවංශ නමින් පැවිදි බිමට ඇතුළු වෙනවා. එහි දී ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන්, වල්පොළ රාහුල හිමියන් , කලල් ඇල්ලේ ආනන්ද සාගර හිමියන් ඇසුරු කරන්නට සීලවංශ හිමියන්ට අවස්ථාව හිමි වෙනවා.

1922න් පසුව ඉන්දියාව, නේපාලය හා ටිබේටය යන රටවල සැරිසරමින් මහායාන චිත්‍ර ශිල්පය ප්‍රගුණ කිරීමේ අවස්ථාවත් මේ හිමියන්ට උදා වෙනවා. පසුව ඉන්දියාවේ ශාන්ති නිකේතනයේ දී චිත්‍ර ප්‍රදර්ශනයක් පැවත්වීමටත් සීලවංශ හිමිට හැකියාව ලැබෙනවා.

අනතුරුව ලංකාවට පැමිණි උන්වහන්සේ පැරණි විහාරවල සිතුවම් පිටපත් කිරීම ආරම්භ කරනවා. මේ අවස්ථාවේ දී චිත්‍ර කර්මාන්තය භික්ෂුවකට අකැපයි යන්න සමාජ මතයක් නිර්මාණය වී තිබුණ ද, පිණ්ඩපාතයෙන් යැපෙමින් තමාගේ සිතුවම් පිටපත් කිරීමේ කාර්යය දිගටම කරගෙන යාමට උන්වහන්සේ තීරණය කරනවා.

දෙවන ලෝක යුද සමය බැවින් ජපන් හිමිනමක්යැ යි සිතා උන් වහන්සේව ඉංග්‍රීසින් විසින් අත්අඩංගුවට ගනු ලබනවා. පසුව නිදහස් වෙන උන් වහන්සේට යුරෝපයේ චිත්‍ර ප්‍රදර්ශන පවත්වන ලෙස ඉංග්‍රීසි ජාතිකයන්ගෙන් අරාධනා ලැබෙනවා. ඒ අනුව එංගලන්තයේ ඔස්ට්‍රියාවේ චිත්‍ර ප්‍රදර්ශන පැවැත්වීමට හැකියාව ලැබෙන අතර ඇමරිකාවේ වොෂින්ටන්, නිව්යෝර්ක් ආදී නගරවලත් ප්‍රදර්ශන පැවැත්වෙනවා.

පසුව උපවැදි වන අතර ඉන්පසුව ඔහුව හඳුන්වන්නේ මංජු ශ්‍රී ලෙස යි. අම්බලන්ගොඩ ‘පත්තිනි දෙවොල’ නැමැති චිත්‍රය ඔහුගේ කලා ශෛලියට හොඳ නිදසුනක් ලෙස පෙන්වා දිය හැකි යි. 

1979 දී පිලිපීන රජයෙන් ආසියාවේ විශිෂ්ටයන්ට පමණක් හිමි වන රාමෝන් මැග්සේසේ සම්මානයෙන් පිදුම් ලබන අතර, 1981 දී පේරාදෙණිය සරසවියෙන් ආචාර්ය උපාධියක් ද ඔහුවෙත පිරුනමනු ලබනවා. “ලංකා බිතු සිතුවම්” නම් ඔහුගේ පිටපත් කළ සිතුවම් පොතට රාජ්‍ය සම්මාන ද හිමි වෙනවා. දියවන්නාවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ ද සිතුවම් කිහිපයක් මංජු ශ්‍රී කලාකරුවා විසින් කර තිබෙනවා.

ඇම්. සාර්ලිස්

ඇම්. සාර්ලිස්ගේ සිතුවම් (3.bp)

1880 දී අම්බලන්ගොඩ දී සිත්තර නන්දිරිස් නම් පියෙකුට දාව ඉපදුණු සාර්ලිස් දරුවා, මූලික අධ්‍යාපනය පන්සලෙන් ලබා ගන්නා අතර එහි දී සිංහල, පාලි, සංස්කෘත පිළිබඳව මූලික දැනුමක් ලබා ගන්නවා. වැඩිදුර අධ්‍යාපනය සඳහා කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙණෙට ඇතුළත්ව පෙරදිග භාෂා පිළිබඳව ඉතා හොඳ දැනුමක් ලබා ගන්නවා. 

තරුණ වියේ දී චිත්‍ර ශිල්පී රිචඩ් හැන්රිකස්ගේ ගුරු උපදේශ ලබා ගත් සාර්ලිස්, කොළඹ යුගයේ දක්ෂ චිත්‍ර ශිල්පියෙක් ලෙස හැඳින්විය හැකියි. සාර්ලිස්ගේ සිතුවම්වලින් හැඩ වූ බෞද්ධ විහාර ගණනාවක් ඇති අතර කොළඹ මාලිගාකන්ද විහාරය, තිඹිරිගස්යායේ අශෝකාරාමය, දෙමටගොඩ වේළුවන විහාරය, තම්මිට බෝමළුවේ විහාරය, යාලේගම විහාරය හා මහනුවර කටුකැලේ විහාරය ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නවා.

ඔහුගේ චිත්‍ර සම්ප්‍රදායට එවකට සිටි බෞද්ධයන් දැඩි කැමැත්තක් දැක් වූ අතර, එකල ඔහුගේ සිතුවමක් නොමැති නිවෙසක් සොයාගත හැකි වූයේ කලාතුරකින්. බෞද්ධයන් අතර ගෞරවයට පාත්‍ර වූ “සීවලී මහරහතන් වහන්සේගේ” රූපය නිර්මාණය කිරිමේ ගෞරවය හිමි වන්නේ ද සාර්ලිස් නම් මෙම ශිල්පියාට යි.

ඒබ්‍රහම් ක්‍රිස්ටෝපර් කුරේ සූරියආරච්චි අමරසේකර

යකැදුරාගේ දියණිය (amnestyk)

1888 වසරේ කදාඩන්දුවේ දී උපතය ලබන අමරසේකර, මොරටුවේ වේල්ස් කුමාර විද්‍යාල‍යේ හා ශාන්ත තෝමස් විද්‍යාලයේ අධ්‍යාපනය හදාරනවා. බොහෝ රාජ්‍ය නායකයන්ගේ සිතුවම් නිර්මාණය කරන අමරසේකර, විදෙස් ප්‍රදර්ශනයක් සඳහා තම කලා කෘති ඉදිරිපත් කරන ලද ප්‍රථම ලාංකික චිත්‍ර ශිල්පියා ලෙස හඳුන්වනු ලබනවා. 

1940 වසරේ දී අමරසේකර චිත්‍ර ශිල්පියාව බ්‍රිතාන්‍යයේ ජෝර්ජ් රජුගේ ඇගයීමට ද ලක් වෙනවා. අමරසේකරයන්ගේ තෙල් සායම්, දිය සායම් හා පැස්ටල්වලින් අඳින ලද භූමි දර්ශන අතිශයින්ම තාත්වික වන අතර ඔහු විසින් නිර්මාණය කරන ලද “යකැදුරාගේ දියණිය” නම් සිතුවම ඇගයීම් ගණනාවකට පාත්‍ර වෙනවා.

හැරී පීරිස්

හැරී පීරිස් (apekattiy)

ධනවත් වතු හිමිකරුවෙකුගේ පුතෙකු ලෙස 1904 වර්ෂයේ දී මෙලොව එළිය දුටු හැරී පීරිස් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයන් තම උපාධිය සම්පුර්ණ කරනවා. චිත්‍ර ශිල්පී අමරසේකරයන් යටතේ වසර ගණනාවක් එම ශිල්පය ප්‍රගුණ කරන ඔහු, රාජකීය කලායතනයේ අධ්‍යාපනය ලද පළමු ලාංකික සිසුවා ද වෙනවා. පසුව, ඉන්දියාවේ ශාන්ති නිකේතනයෙන් විශ්ව කලා සම්ප්‍රදායයන් පිළිබඳව අධ්‍යයනයක නිරත වෙනවා. 1988 වසරේ මරණයට පත් වන හැරී පීරිස්, ඔහුගේ නිවස “සපුමල් පදනම” නමින් කොළඹ බාන්ස් පෙදෙසෙහි චිත්‍රාගාරයක් බවට පත් කරනවා. ඔහුගේ චිත්‍ර හා අනෙකුත් ශිල්පීන්ගේ චිත්‍ර ද එහි ප්‍රදර්ශනයට තබා ඇති ආකාරය ඔබට නරඹන්න පුළුවන්.

කවරයේ පින්තූරය- 4.bp.blogspot.com

මූලාශ්‍රය: 

apekattiya.wordpress.com

Related Articles