ආචාර්ය A.N.S කුලසිංහ පිළිබඳව ඔබ අසා තිබෙනවා ද?
1977 වසරේ ආරම්භ වුණු කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය සඳහා නායකත්වය ගෙන කටයුතු කරන්න කිසිවෙක් ඉදිරිපත් නොවුනු මොහොතක, වසර තිහකට යෝජිත වැඩ පිළිවෙල වසර පහ හයකින් කර නිමා කිරීමට ඉදිරිපත් වෙන්නේ ඔහු යි. ඒ හේතුවෙන් ඔහු ශ්‍රී ලංකා ඉතිහාසය තුළ අමරණීය චරිතයක් බවට පත් වෙනවා.
ආචාර්ය කුලසිංහ මෙරටින් බිහි වූ සුප්‍රසිද්ධ නව නිපැයුම්කරුවෙක් ලෙස හැඳින්වීමට පුළුවන්. ඔහු ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ සංගමයේ ආරම්භක කොමසාරිස්වරයා ලෙස ද, ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාවේ ආරම්භක සභාපතිවරයා ලෙස ද කාලයක් කටයුතු කරනවා.
දේශබන්දු විද්‍යාජෝති ආචාර්ය කුලසිංහයන් නායකත්වය ගෙන ශ්‍රී ලංකාවේ ඉදිකළ විශ්මිත නිර්මාණයන් කිහිපයක් පිළිබඳවයි මේ ලිපියෙන් ගෙන එන්නේ.
01. ග්‍රහලෝකාගාරය
කොළඹ 7 ස්ටැන්ලි විජේසුන්දර මාවතේ පිහිටා ඇති, ලංකාවේ එකම ග්‍රහලෝකාගාරය වන මෙය නිර්මාණය කිරීමට නායකත්වය ගෙන කටයුතු කරන්නේ ආචාර්ය කුලසිංහ යි. ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාව විසින් මෙහි ඉදිකිරීම් සිදු කළ අතර 1965 වසරේ පෙබරවාරි 1 වන දා ලංකා ග්‍රහලෝකාගාරය විවෘත කරනවා. එහි සම්පූර්ණ සැලසුම ආචාර්ය කුලසිංහගේ යි.
ඉහළට පිපෙන නෙලුම් මලක හැඩයට දිස්වෙන ආකාරයට නිර්මාණය කර ඇති ග්‍රහලෝකාගාර අභ්‍යන්තරයේ 500 දෙනෙකුට එකවර අසුන්ගත හැකි වන අයුරෙන් ඉඩකඩ වෙන් වී තිබෙනවා. ග්‍රහලෝකාගාරය නිර්මාණය කිරීම සඳහා ලංකා රජයට බටහිර ජර්මානු රජයෙන් ආධාර ලැබෙන අතර බටහිර ජර්මානු ඉංජිනේරුමය දායකත්වයත් හිමිවෙනවා. වර්තමානය වන විට ග්‍රහලෝකාගාරය පාලනය කරන්නේ විද්‍යා තාක්ෂණික හා පර්යේෂණ අමාත්‍යංශය මඟින්.
02. කළුතර චෛත්‍යය
1964 වසරේ දී ඉදිකිරිම ආරම්භ කරන ලද කළුතර ස්ථූපය වඩාත් ආකර්ශනීය වන්නේ, එය හිස් ගර්භයකින් යුක්ත වීම නිසා යි. එය ශ්‍රී ලංකාවේ ඉදිවී ඇති හිස් ගර්භයක් සහිත විශාලතම චෛත්‍යය යි.
කළුතර ගංගාව මුහුදට එකතු වෙන තැනට යාබදව මෙම චෛත්‍ය නිර්මාණය කර තිබෙනවා. ගංගාව අසල බැවින් සම්පූර්ණ චෛත්‍යක් නිර්මාණය කිරීමෙන් එය ගිලා බැසීමේ අවධානමකට ලක් විය හැකි බවත්, විනාශ වී යා හැකි බවත් කුලසිංහයන් තේරුම්ගෙන තිබුණා. ඒ හේතුවෙන් මෙහි ගර්භය හිස්ව තැබීමට තීරණය කරනවා. ඊට අමතරව චෛත්‍ය බඳේ වා කවුළු තුළින් එපිට සයුර පෙනෙන ලෙස නිර්මාණය කිරීමට සැලසුම් වෙනවා.
මෙම යෝජනාවන්ට එවකට සිටි පුරාවිද්‍යාඥයන්, ගෘහ නිර්මාණ ශිල්පීන්, හා ඉංජිනේරුවන් විරෝධතාව පල කළ ද අප කතානායකයා මෙම විශ්මිත නිර්මාණය සාර්ථකව නිමා කරනවා. ඒ අනුව චෛත්‍යය කොත පැළඳෙන්නේ 1974 වසරේ දී යි.
03. වරායට ආසන්න සම්බෝධි චෛත්‍යය
දුර සිට වුව ද පෙනෙන පරිදි උසැති කොන්ක්‍රීට් පාදමක් මත ඉදි වූ වරාය චෛත්‍යය ඔබ අනිවාර්යයෙන්ම දැක ඇති. එයත් අප කතා කරන ආචාර්ය කුලසිංහයන්ගේ සැලැස්මක් අනුව ඉදිවූවක්.
මෙය සම්බෝධි චෛත්‍යය, එහෙම නැත්නම් බුද්ධ ජයන්ති චෛත්‍යය ලෙස ද හඳුන්වනවා. 1956 වසරේ, ඔහු වරායේ සේවය කරන සමයේ මෙය නිර්මාණය කිරීම ආරම්භ කර තිබෙනවා. කළුතර චෛත්‍යය වගේම මෙම දාගැබේත් ගර්භය හිස්. ඔබට ගර්භය තුළට පිවිසීමට තට්ටු කිහිපයක පඩි පෙළක් නැගිය යුතු වෙනවා.
චෛත්‍ය නිර්මාණය 1956 ආරම්භ කර තිබුණත් මේ අපූරු නිර්මාණය කරන්න වසර විසි ගණනක් ගතව තිබෙනවා. 1985 වසරේ දී මෙය විවෘත කිරීමට හැකියාව ලැබෙනවා.
04. මහවැලි මහා සෑය හෙවත් කොත්මලේ සෑය
මහවැලි ව්‍යාපෘතිය යටතේ ඉදිකළ කොත්මලේ ජලාශ ව්‍යාපෘතිය යටතේ මහවැලි මහා සෑය ඉදිකරනු ලබනවා. කොත්මලේ ජලාශ ව්‍යාපෘතිය හේතුවෙන් ඊට යටවුණු වෙහෙර විහාර සිහි වීම සඳහා මෙම චෛත්‍ය නිර්මාණය කළ බව සඳහන්.
කොන්ක්‍රීට් තාක්ෂණයෙන් තම දක්ෂතා පෙන්වූ කුලසිංහ මෙම චෛත්‍ය ද සැලසුම් කරන්නේ ගර්භය අභ්‍යන්තරය හිස්ව පවතින වෙහෙරක් ලෙස යි. මෙය උසින් දෙවන වන්නේ රුවන්වැලි මහා සෑයට පමණ යි. “රුවන්වැලි සෑයට වඩා උසකින් යුක්තව නිර්මාණය කළොත් එය පවතින්නේ නැත” යන විශ්වාසය පදනම් කරගෙන මෙය ඊට වඩා අඩු උසකින් යුක්තව නිර්මාණය කළ බව සඳහන්. ඉදිකර තිබෙන්නේ ද කුළුණු ගණනාවක් මත යි.
චෛත්‍යයේ හිස් ගර්භයට ඇතුල් විය හැකි අතර ගර්භය අභ්‍යන්තරයේ තවත් කුඩා චෛත්‍යයක් නිර්මාණය කර තිබෙනවා. 1983 දී චෛත්‍යය නිර්මාණය සඳහා මුල්ගල තැබුවත් එය වැඩ අවසාන කර විවෘත කිරීමට සිදු වන්නේ 2016 වසරේ දී යි.
මීට අමතරවම මාලිගාවිල විශාල බුදු පිළිමය පිළිසකර කර නැවත එසවීම, පුත්තලම සිමෙන්ති කර්මාන්ත ශාලාව ඉදිකිරීම ආදී තවත් ඉදිකිරීම් විශාල ප්‍රමාණයක් සඳහා නායකත්වය දීමට මේ ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයාට හැකියාව ලැබෙනවා. කඩිනම් මහවැලි ව්‍යාපෘතියට ඔහු විසින් කළ සේවය ඇගයීමට එහි මෑතක දී ඉදි වූ මොරගහකන්ද ජලාශය “කුලසිංහ ජලාශය” නමින් නම් කරනවා.