“…එය පිදුරු ගොඩක ඉදිකටුවක් සොයනවා වැනි කර්තව්‍යයක් වුනා, නමුත් මා දැන සිටියා එම ඉදිකටුව එතැන තිබුණු බව.. මා සෙවූ සෑම දෙයක්ම එතැන තිබුණා.. අන්තර්ජාලය නිසා මුළු ලෝකයම අප ළඟට පැමිණ තිබෙනවා.. ඔබට අධිශ්ඨානයත් ආත්ම විශ්වාසයත් තිබේ නම්, ඔබට ඒ සියල්ල ලබාගත හැකියි…”
-සරූ බ්‍රියෙර්ලි
මිනිසෙකුගේ දෛවය කෙසේ තීරණය වන්නේ ද යන ගැටළුවට නිසි පිළිතුරක් ලබා දීමට සමත් යමෙක් අප අතර සිටී යැයි සිතිය නොහැක. ඇතැමුන් පවසන්නේ තම දෛවය තමා විසින්ම ලියවාගත යුතු බවයි. නමුත් එය සෑම දෙනාටම කළ නොහැක්කකි. එසේ නම් එය දෙවියන්ගේ කැමැත්ත ද? කර්ම ඵලය ද? වාසනාව ද? කුස පිරෙන්නට ආහාර වේලක් ගත නොහැකිව දුෂ්කර පලාතක වෙසෙන දරුවකු කාත් කවුරුවත් නොමැතිව අසරණ වූ පසු ඔහුගේ ඉරණම කුමක් වේ ද? අනාථ නිවාසවල වෙසෙන දරුවන් දස දහස් ගණනක් අතුරින් කැපකරු මාපිය යුවලක් ලබන්නට පින ඇත්තේ දරුවන් කී දෙනෙකුට ද? එසේ නොවන දරුවන්ගේ දෛවය තීරණය කරන්නේ කවුරුන් ද?
නොසිතූ විරූ අයුරින් සිය ජීවිතය අංශක 180කින් ආපස්සට හරවා, අපායක සිට සුර පුරයක් දක්වා ගමන් කොට, හැතැප්ම ගණනාවක් ගෙවා තමා වැදූ මව සොයා ආ සරූ බ්‍රියෙර්ලිගේ ජීවිත කථාව කියැවූ පසු මිනිසෙකුගේ දෛවය වෙනස් වීමට ගත වන්නේ කෙතරම් සුළු කාලයක් ද යන්න ඔබට මනාව වැටහෙනු ඇත.
ගනේෂ් තලෙයිවල ජීවිතය
1986 වසර වන විට සරූ යන්තම් පස් හැවිරිදි වියට පා තැබූ කුඩා දරුවකු විය. ඔහුගේ මව වන කමලා ඛාන් ගඩොල් සහ අමුද්‍රව්‍ය වැඩපලක රැකියාව කළ කම්කරු කාන්තාවකි. සරූගේ පියා ඔහුට තුන් හැවිරිදි වියේදී සිය පවුල අතහැර ගොස් තිබුණි. සරූට වඩා වයසින් වැඩිමහල් සහෝදරවරු දෙදෙනෙක් විය. ඔවුන් නමින් ගුඩ්ඩු හා කුල්ලු වූ අතර, සරූගේ කුඩා සහෝදරිය නමින් ශෙකීලා විය. ගුඩ්ඩු හා කුල්ලු කුඩා රැකියාවන් කරමින් මුදල් සුළු වශයෙන් ඉපැයූ අතර, කුඩා සරූගේ වගකීම වූයේ මව සහ සහෝදරවරු නිවසට පැමිණෙන තෙක් ශෙකීලාව රැක බලා ගැනීමයි. සරූ ඇතුළු පවුල වාසය කළේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි පිහිටි ඛාන්ද්වා නැමති නගරයෙහි ගනේශ් තලෙයි නැමති අති දුෂ්කර ගම්මානයේ ය.
එක් දිනක් සරූ සිය වැඩිමල් සොයුරු ගුඩ්ඩු සමග ළඟම ඇති දුම්රිය ස්ථානය වෙත ගියේ එහි වේදිකා මත වැටී ඇති කාසි ඇහිඳින්නට ය. ගුඩ්ඩු දුම්රිය අංගන අතුගෑමෙන් ද අමතර මුදලක් උපයන්නෙක් විය. දෙසොහොයුරෝ බුර්හන්පූර් නගරය වෙත දුම්රියෙන් ගමන් ගත් අතර, එම ගමන පැය දෙකක් පමණ දිගු වූ නිසා හටගත් මහන්සිය නිසාම සරූ දුම්රියෙන් බැසගත් හැටියේම වේදිකාව මත ඇති බංකුවකට නැග නිදා වැටෙන්නට විය. පැය ගණනකට පසුව නැවත පියවි සිහියට එළඹි සරූට තම සොහොයුරාව සොයාගත නොහැකි විය. සරූ නිදාගන්නට පෙර ගුඩ්ඩු තමාට කොහේවත් නොයන ලෙසත්, බංකුව මතම සිටින ලෙසත් අවවාද කොට තිබිණ.
නමුත් කොපමණ පැය ගණනක් ඉක්ම ගියද, ගුඩ්ඩු පැමිණියේ නැත. ගුඩ්ඩුව සොයාගන්නට නොහැකිව බියට පත් සරූ වේදිකාවේ නවතා තිබුණු දුම්රියකට නැග එතුළ නැවතත් නිදාගත්තේය. සරූ ඇහැරී බලන විට, එම දුම්රිය ධාවනය වෙමින් තිබිණ. “මා ගොඩාක් බියට පත් ව සිටියා, දුම්රියේ ජනේලයෙන් පිටත මා දුටු කිසිවක් මා හඳුනා ගත්තේ නෑ” පසු කලෙක මාධ්‍ය සමග අතීතාවර්ජනයෙහි යෙදෙමින් සරූ කියයි. නොදැනුවත්වම කිලෝමීටර 1,600ක දුරක් ගෙවා ඔහු කල්කටා නගරය වෙත පැමිණ තිබිණි.
නොදත් ලොවක හුදෙකලාව
සාක්ෂරතාවයක් කිසි සේත්ම නොමැති හින්දි බසින් කථාබහ කරන මේ පස් හැවිරිදි දරුවා, බෙංගාලි බස කථා කරන මිනිසුන් පිරිසක් අතර තනි විය. මහ මග ඇවිදිමින්, සිඟමන් යදිමින් හා මිනිසුන් බිම දමා ගොස් තිබුනු ආහාර කොටස් කමින් ඔහු සති තුනක් වීදි දරුවෙක් ලෙස දිවි ගෙවන්නට විය. සරූව දුටු එක් යහපත් මිනිසෙක් ඔහුගේ නිවසේ දින තුනක් සරූව රඳවාගෙන සත්කාර කොට සරූව කල්කටා පොලිසිය වෙත භාර දුන් පසුව, සරූ ළමා නිවාසයක් වෙත යවන ලදී.
ළමා නිවාසයෙහි විසූ ළමුන් විශාල සංඛ්‍යාවක් අතුරින් ඕස්ට්‍රේලියාවේ විසූ ජෝන් සහ සූ බ්‍රියෙර්ලි යුවල සරූව දරුකමට හදාවඩා ගැනීමට ඉදිරිපත් වූයේ මේ කාලයේදී ය. නොසිතූ අයුරින් සිය ජීවිතය වෙනස්ම මගකට හරවනු ලදුව, සරූ ඕස්ට්‍රේලියාවේ තස්මේනියාව බලා පියාසර කළේ නව ජීවිතයක් යනු කුමක්දැයිවත් නොදැන ය.
ජෝන් සහ සූ යුවල සෙවනේ හැදී වැඩුණු සරූ, නමින් සරූ බ්‍රියෙර්ලි බවට පත්විය. වයසින් වැඩෙත්ම ඔහු අති දක්ෂ කිම්දුම් කරුවකු විය. හෝටල් කළමණාකරනය පිළිබඳව උපාධියක් හැදෑරූ ඔහු වෙත නැවතත් තම අක්මුල් සොයා යෑමේ උවමනාව කෙමෙන් කෙමෙන් මතු විය.ඒ සඳහා ඔහුට උපකාරී වූයේ ගූගල් මැප්ස් (Google Maps) සහ ගූගල් අර්ත් (Google Earth) යන සෙවුම් සේවා ද්විත්වයයි.
මුල් ජීවිතය සොයා
අවසානයේ ඔහු ජයගත්තේ ය. විසි පස් වසරක ඇවෑමෙන් පසුව, 2012 වසරේ පෙබරවාරි මස එක් දිනෙක සරූ නැවතත් ගනේෂ් තලෙයි වෙත පියමැන්නේය. දෛවයේ සරදමකින් වෙන් වුණු මව් -පුතු දෙපළ එකිනෙකා සිප වැළඳගත්තේ හැඬූ කඳුළින් යුතුවය. කමලාට ඉංග්‍රීසියෙන් කථා කළ නොහැකි වූ අතර සරූට හින්දි බස මතක තිබුනේ නැත. නමුත් මව් සෙනෙහසට එය කිසිසේත්ම බාධාවක් නොවීය. “ඔහු කවදා හෝ නැවත පැමිණෙන බව මගේ සිත විශ්වාස කළා”; ඒ කමලා පැවසූ වදන් පෙළයි. සරූට නැවත කල්ලු සහ ශෙකීලාව දැක ගන්නට හැකි වූ නමුත් ගූඩුව නැවත දකින්නට ඔහුට වාසනාවක් නොවීය. සරූව වේදිකාවේ බංකුව මත නිදිකරවා ගිය ගුඩ්ඩු එදින රාත්‍රියේම දුම්රියකට හසුවී මිය ගොස් තිබිණි. ගුඩ්ඩු නැවත සරූ සොයා නොආවේ ඇයිදැයි සරූට වැටහුණි.
අනපේක්ෂිත හමුවෙන් පසුව සරූ තීරණය කළේ තමාට දැන් මව්වරුන් එක්කෙනෙක් නොව දෙදෙනෙක්ම සිටිනා බවයි. පසු දිනෙක සූ ද කමලාව මුණගැසුණු අතර, කමලා, සූ කෙරෙහි තම අපමණ ස්තූතිය පුද කර සිටියේ තමන්ගේ “සිංහ පැටියා”ව රැක බලා ගැනීම වෙනුවෙන් පුන පුනා කෘතඥතාවය පළ කරමිනි.
සරූ ගැන “Lion” නමින් චිත්‍රපටයක්
2013 වසරේදී සරූ තම ජීවිත කථාව අළලා ලියන ලද “A long way home” නම් කෘතිය එළි දැක්වූයේ ය. එය ලොව පුරා පාඨක ජනතාවගේ ඉමහත් ආදරයට ලක් වූ අතර, මෙම සිදුවීම දාමය ඇසුරින් 2016 වසරේදී ගාර්ත් ඩේවිස් විසින් “Lion” නම් චිත්‍රපටයක් නිපදවන ලදී. කෘතිය ලද ජනාදරයට නොදෙවෙනි ප්‍රතිචාර චිත්‍රපටයට ද හිමි වුණු අතර, 89 වැනි ඔස්කාර් සම්මාන උළෙලේ දී හොඳම චිත්‍රපටය, හොඳම සහය නළුවා සහ නිළිය ඇතුළු සම්මාන 7ක් සඳහා එම චිත්‍රපටය නිර්දේශිත නාමයන් අතරට එකතු විය. (Lion චිත්‍රපටය සහ සරූගේ සත්‍ය කථාව අතර කුඩා වෙනස්කම් කිහිපයක් පවතින බව මෙහිදී කිව යුතුය. උදාහරණයක් ලෙස, සරූ වීදි දරුවකු ලෙස ගත කළ කාලය සති තුනක් වුවද, චිත්‍රපටය තුළ එම කාලය මාස දෙකක් ලෙස දැක්වේ.) චිත්‍රපටය තුළ සූගේ චරිතයට පණ පොවන්නේ ඔස්කාර් සම්මාන ලාභී නිළි නිකොල් කිඩ්මන් විසිනි.
සරූට නොදෙවෙනි ඉරණමක් ලද සනී පාවර්
Lion චිත්‍රපටයේ සරූගේ ළමා කල චරිතයට පණ පොවන්නේ අට හැවිරිදි සනී පාවර් නැමති ඉන්දීය දරුවා ය. ඔහුගේ ඉරණමද සරූට දෙවැනි නැත. මුම්බායි නගරයේ අතිශය ජනාකීර්ණ ප්‍රදේශයක පැල්පත්වාසී දරුවකු වන ඔහුගේ පියාගේ වෘත්තිය මහා මාර්ග අතුගෑමයි. කුඩා කල සිටම රංගන ශිල්පියකු වන්නට සිහින මැවූ සනී අවසානයේ කෙසේ හෝ සරූගේ චරිතය සඳහා තෝරා ගන්නා ලදුව, ඉන් පසු ලොව පුරා ජනප්‍රියත්වයට පත් වූ සිනමා තරුවක් බවට පත් වූයේය. එබැවින් ලොව පුරා සිනමා විචාරකයන් සනීව හඳුන්වා දෙන්නේ “තවත් එක් සරූ කෙනෙක්” ලෙසිනි.
ඔහු සැබැවින්ම සිංහයෙකි!
Lion චිත්‍රපටය අවසානයේදී දිස්වෙන තතු කිහිපයකින් චිත්‍රපටයට එම නාමය යෙදීමට හේතු පැහැදිලි කරනු ලබයි. සරූ සිය පවුලෙන් වෙන් වද්දී ඔහුගේ වයස අවුරුදු පහකි. එකල ඔහුට ඔහුගේම නම ඇසුණේ සරූ ලෙසිනි, ඔහු සිය නම උච්ඡාරණය කළේද එලෙසිනි. විසි පස් වසකට පසුව ඔහුගේ මව ඔහුට ඔහුගේ සැබෑ නම කුමක්දැයි කියා දෙන්නීය. ඔහු නමින් සරූ නොව, ශේරු ය. හින්දි බසින් ශේර් යනු සිංහයා හඳුන්වන නමයි.
සැබවින්ම සරූ නිර්භීත දරුවෙකි. ඔහු කිසි විටෙකත් සැලුණේ නැත, හැඬුවේද නැත. කුඩා කළ අතරමං වූ පසුව සිය මව කවදා හෝ තමා සොයා එන බව ඔහු විශ්වාස කළේය. වැඩි විය පත් වූ පසුවද ඔහු සිය මව සොයා යෑමේ කර්තව්‍යය අත් නොහැරියේ ය. ඉතින් ඔහු සැබැවින්ම සිංහයෙක් නොවේ යැයි කිව හැකි වන්නේ කාට ද?
කවරයේ ඡායාරූපය – http://www.bbc.com
මූලාශ්‍ර :
- www.theguardian.com
- http://saroobrierley.com
- http://www.historyvshollywood.com
- http://www.thedailybeast.com