Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පෙබරවාරි 29

පෙබරවාරි 29 යන දිනය එළඹෙන්නේ වසර 4කට වරක් බව අප දැනගන්නේ කුඩා කාලයේ දී ම ය. පෘථිවියේ තම කක්ෂය වටා සිදු කෙරනෙ සම්පූර්ණ පරිභ්‍රමණ කාලය දින 365 ක් ලෙස සම්මත වශයෙන් සැලකුව ද සත්‍ය වශයෙන් ම එ් සදහා දින 365 කුත් පැය 6 කට ආසන්න කාලයකුත් ගත වේ. එලෙස අත් හරින ලද කාලය අවුරුදු හතරක් ගෙවී යන විට එක් දිනයක කාලයට සමාන වන බැවින් අවුරුදු 4කට වරක් එම දිනය අතිරේක දිනයක් වශයෙන් දින අඩු පෙබරවාරියට එකතු කරනු ලබයි. ඒ අනුව යම් වසරක පෙබරවාරි 29 වැනිදාවක් ඇති ද එකී අවුරුද්ද අධික – අවුරුද්දක් ලෙස සැලකේ.

(timeanddate.com)

පෙබරවාරියේ 29 දිනය සම්බන්ධයෙන් සිදුවන්නේ මෙම සංවාදය පමණි. ඒ හැරුණු කොට මෙම දිනයෙහි යම් ඵෙතිහාසික වටිනාකමක් පවතී ද යන්න පිළිබදව සංවාදයට බදුන් වන්නේ නැති තරම් ය.එහෙයින් මෙම ලිපිය ලියැවෙන්නේ ඒ සම්බන්ධයෙන් දැනුවත් කරනු පිණිස ය.

නෛතික තත්ත්වයන්

පෙබරවාරි 29 වැනිදා යන්න ස්ථිර වශයෙන් පවතින්නක් නොවන නිසාවෙන් එකී දිනය තුළ සිදුවන ක්‍රියාවන් සම්බන්ධයෙන් නීතිය අදාළ වන්නේ කෙසේ ද යන්න සොයා බැලිය යුතු ම කාරණයකි.

එක්සත් රාජධානිය සහ හොංකොං යන රටවල පෙබරවාරි 29 වැනි දින ඉපදුණු අයෙකුගේ උපන් දිනය මාර්තු 1 වැනිදා වශයෙන් සාමාන්‍යෙයන් සලකනු ලබයි.

(legaltechnews.com)

නවසීලන්තයේ දී රියදුරු බලපත් ලබා ගැනීමේ දී එය සලකන්නේ පෙබරාවාරී 28 වැනිදා ලෙස ය. ඒ බව නවසීලන්තයේ Land Transport (Driver Licensing) Rule 1999 පනතේ දක්වා ඇත. කෙසේ නමුත් මේ හැරුණු කොට නවසීලන්ත ව්‍යවස්ථාපිත නීතිය තුළ එවැනි පුද්ගලයකු සම්බන්ධයෙන් බලපාන්නා වූ නෛතික තත්ත්වයන් පිළිබද නිහඩ වන නමුත් නඩු තීන්දු නීතිය තුළ දක්වා ඇත්තේ යමෙකුගේ වයස තීරණය විය යුත්තේ ඔහු/ඇය ඉපදුණු පසු ගෙවී යන වර්ෂයන් ප්‍රමාණය මත බව ය.

තායිවානය තුළ මේ සම්බන්ධයෙන් දක්වා ඇත්තේ යම් අවස්ථාවක යමෙකු පෙබරවාරි 29 වැනි දිනක උපත ලැබුවහොත් එවැනි විටෙක එය අර්ථ දක්වනු ලබන්නේ පෙබරවාරි මාසයේ අවසන් දිනය වශයෙනි. එවිට ඔහුගේ/ ඇයගේ උපන් දිනය ඒ ඒ අවුරුද්දේ පෙබරවාරි අවසන් දිනයේ දී (එය 28 හො 29 විය හැකි ය)  සලකනු ලැබිය යුතු ය.

උපන් දිනයක් ලෙස

(babycenter.com)

පෙබරවාරි 29 වැනි දින උපත ලැබීම අතිශය කලාතුරකින් සිදු වන්නක් වන අතර එවැන්නක් සිදු වීම සදහා සාමාන්‍යෙයන් පවත්නා ඉඩ ප්‍රස්තාව 1/1461 ක තරම් ඉහළ අගයක් ගනී. එ් මෙය අවුරුදු හතරක පවත්නා සමස්ත දින ගණනින් එක් දිනයක් වන බැවිනි. මෙවැනිි දිනක උපත ලබන්නන් ඉංග්‍රීසි භාෂාවේ දී ‘’Leapers’’ හෝ  ‘’Leaplings’’ වශයෙන් හදුන්වනු ලබයි.

මෙදිනට තමන් උපන් දිනය සමරනු ලබන ලෝකයේ ප්‍රසිද්ධ චරිත රාශියක් ම සිටින අතර ඒ අතරින් සංගීත ක්ෂේත්‍රෙය් ප්‍රසිද්ධ චරිත ලෙස ජා රූල් (රැප් ගායක), මාර්ක් ෆොස්ටර් (රොක් ගායක), ඩීනා ෂෝ (පොප් ගායිකා), ඩේව් විලියම්ස්  යන අය ද තෙවන පාවුළු පාප් වහන්සේගේ උපන් දිනය ද ක්‍රිඩා ක්ෂේත්‍රෙයන් ෂෝන් ඇබොට් (ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කීඩක), ක්ලෝඩියා විලියම්ස් (නවසීලන්ත ටෙනිස් ක්‍රීඩිකා) යන අයගේ උපන් දිනය ද යෙදී ඇත.

29 වෙනත් කතා

උපත් මෙන් ම ප්‍රසිද්ධ චරිත කිහිපයකගේ ම විපත් සිදු වී ඇත්තේ ද පෙබරවාරී 29 වැනි දා ය. ඇමෙරිකානු ගායක/රංගන ශිල්පී ඩේවී ජෝන්ස් (2012), හරල්ඩ් බර්නාඩ් (බාර්බඩෝස්හි තෙවන අගමැති) (2004) මේ සදහා නිදසුන් වේ.

පෙබරවාරි 29 වැනිදා සම්බන්ධයෙන් යුරෝපය තුළ විවිධ ජනප්‍රවාදයන්/ ජන සම්මතතයන්/ චාරිත්‍ර සම්ප්‍රදායන් කිහිපයක් ද සොයා ගත හැකි ය. ග්‍රීසිය තුළ එවැනි දිනයක දී විවාහ වීම අශුභ කටයුත්තක් වශයෙන් සැලකේ.

(jezebel.com)

අයර්ලන්තය සහ එක්සත් රාජධානිය තුළ මෙය Bachelor’s day වශයෙන් සැලකෙන අතර මෙහි ඇති විශේෂත්වය නම් එදිනට කාන්තාවන් හට තමන් කැමති පුරුෂයෙකු වෙත විවාහ වීම සදහා තම කැමැත්ත ප්‍රකාශ කිරීමට අවස්ථාවක් හිමි වීම යි. එවැනි විටෙක දී එම පුරුෂයා ඊට කැමැත්ත පළ කරන්නේ නැතිනම් ඔහු යෝජනාව ගෙන ආ කාන්තාව වෙත මුදල් ප්‍රමාණයක් ප්‍රදානය කිරීම හෝ ඇදුම් කිහිපයක් මිලට ගෙන දීම සිදු කළ යුතු ය.

(timeanddate.com)

යුරෝපයේ ඉහළ මධ්‍යම පාන්තිකයන් අතර මෙම චරිත්‍රයට අනුව කිසියම් පුරුෂයකු එවැනි යෝජනාවක් ප්‍රතික්ෂේප කරයි ද ඔහු විසින් අදාළ කාන්තාව වෙනුවෙන් අත්වැසුම් කට්ටල 12ක් මිලට ගෙන ලබා දිය යුතු ය. එවිට ඇය විසින් ඔහු වෙත ඉදිරිපත් කරනු ලැබූ යෝජනාව ප්‍රතික්ෂේප වූ බවත් මගුල් මුද්දක් නොපැළද සිටින බවටත් අන් තැනැත්තන් හට දෘශ්‍යමාන නොවීම මින් සංකේතවත් කරන බවට පැවසේ.

ඇමෙරිකාවේ ඉලිනෝස්හි ආරෝරාහි ද මෙවැනි සම්ප්‍රදායක් පවතින බවටත් එහි දී යෝජනාවට එකග නොවන පුරුෂයකු ඩොලර් 4ක දඩ මුදලක් යෝජනාව කළ කාන්තාව වෙත ගෙවිය යුතු බවටත් වාර්තා වී ඇත.

(rarediseaseday.org)

යුරෝපා සංගමය විසින් 2008 වර්ෂයේ දී පෙබරාවාරි 29 වැනිදා ‘දුලබ රෝග දිනය‘ වශයෙන් නම් කරන ලදී. දුර්ලභ ගණයේ රෝග පිළිබදවත්, ඒ සම්බන්ධයෙන් දැනට සොයා ගෙන ඇති පිළියම් සම්බන්ධයෙන් ද මහජනතාව වඩ වඩාත් දැනුවත් කිරීම සහ එවැනි රෝගවලින් පීඩාවට පත්ව සිටින්නන් වෙනුවෙන් උදව් උපකාර සිදු කිරීම ද මෙහි අරමුණු වශයෙන් දක්වා ඇත. වසර 2009 දී මෙය ලෝක දිනයක් වශයෙන් සැලකෙන්නට පටන් ගත් අතර ම අධික අවුරුදු නොවන සාමාන්‍ය වර්ෂයන්හි දී මෙම දිනය පෙබරවාරි 28 වැනි දාට සමරන්නට ද කටයුතු යෙදී ඇත.

කවරයේ පින්තුරය: dsx.weather.com

Related Articles