Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කොරෝනා මැද බිහිවෙන නව නිපැයුම්

නව කොරෝනාවෛරස් වසංගතය මේ වන විට ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද සෞඛ්‍ය, ආර්ථික හා සමාජීය ක්ෂේත්‍රවලට දරුණු බලපෑමක් එල්ල කර තිබෙනවා. ඒ හේතුවෙන් නුදුරු අනාගතයේ දී සියලු රටවලට සෑම ක්ෂේත්‍රයකම දරුණු අර්බුදයන්ට මුහුණ දීමට සිදුවෙනු ඇත. 

නව කොරෝනාවෛරස වසංගත තත්ත්වය හේතුවෙන් මෙතෙක් මන්දගාමිව තිබූ යම් ක්ෂේත්‍රයක ප්‍රගතියක් ඇතිවුනේ නම් ඒ නව නිපැයුම් සඳහා පමණක් බව ලියා තැබිය හැකි යි. ශ්‍රී ලංකාවේ මෙතෙක් කාලයක් අදාළ පාර්ශවයන්ගේ අවධානය යොමු නොවූ නව නිපැයුම් ක්ෂේත්‍රය මේ වන විට යම් ප්‍රගතියක් ලබා තිබෙනවා. වසංගත තත්ත්වයත් සමග එය මර්දනය සඳහා, විවිධ සෞඛ්‍යම කටයුතු සඳහා, හා සෞඛ්‍ය සේවයේ නිරත පිරිස් කොරෝනාවෛරසයෙන් ආරක්ෂා කරගත හැකි අන්දමේ නව නිපැයුම් විශාල සංඛ්‍යාවක් මේ වන විට නිර්මාණය වී ඇති බව ශ්‍රි ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් මහාචාර්ය රංගික හල්වතුර සඳහන් කරනවා.

නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ සභාපති – මහාචාර්ය රංගික හල්වතුර මෑතකදී පැවති නව නිපැයුම් ප්‍රදර්ශනයක දී (dinamina.lk)

“ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම, කොරෝනා වසංගතය මැඩලීම සදහා වඩාත් සක්‍රීය දායකත්වක් ලබා දෙමින් ජාතික වගකීම ඉටුකරලීමෙහි ලා පෙරමුණ ගෙන තිබෙනවා. කොරෝනා  වසංගතය ශ්‍රී ලංකාවේ මුලුගැන්වෙමින් තිබූ නවෝත්පාදනයන් යලි පණගැන්වීම කෙරෙහි බලපෑ ප්‍රබල ආශිර්වාදයක්. ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ මූල්‍ය දායකත්වය ද ඒ සඳහා හිමි වෙනවා,”යි මහාචාර්ය රංගික හල්වතුර සඳහන් කරනවා.

මෙම සමයේ නිර්මාණය වූ නව නිපැයුම් කිහිපයක් සම්බන්ධව විස්තර පහත දැක්වෙනවා.

නැවතුන හදවත් යළි පණගන්වන M-CPR යන්ත්‍රය

M-CPR යන්ත්‍රය (fcmb3)

හෘද අකර්මන්‍යවිමක දී හදවතට යාන්ත්‍රික සම්බාහනය ලබාදෙන M-CPR යන්ත්‍රයක් කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිව්වන වසරේ ඉගෙනුම ලබන දිල්ෂාන් අබේවර්ධන ශිෂ්‍යයා විසින් නිර්මාණය කිරීමට සමත් වෙනවා. ඒ සඳහා ජාතික තරුණ සේවා සභාවේ අනුග්‍රහය ඔහුට හිමිව තිබෙනවා. මේ වන විට එහි පළමු යන්ත්‍රය දිල්ෂාන් අබේවර්ධන ශිෂ්‍යයා විසින් කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට බාර දී තිබෙනවා.

“මෙම යන්ත්‍රය මඟින් රෝගියා හා වෛද්‍යවරයා අතර පරතරය නිසිලෙස පවත්වාගෙන යෑමට හැකි යි. ඒ හේතුවෙන් කොරෝනාවෛරස් ආසාධිත රෝගීන් අසලට ගමන් කිරීමට වෛද්‍යවරයාට අවශ්‍ය වෙන්නේ නෑ. මේකෙදි ඇත්තටම කරන්නේ හදවත අකර්මන්‍ය වෙලා මිය යන රෝගියාගේ හදවතට යාන්ත්‍රිකව මසාජ් එකක් දීම යි. මේ මැෂින් එක දැනට යුරෝපයේ තිබෙනවා. ඒකේ සමහර කොටස් විකරණය කරලා තමයි මේ මැෂින් එක මෝටර් සිස්ටම් එකකට මම හැදුවේ. දැනට වෙළඳපොලේ මෙවැනි මැෂිමක වටිනාකම ලක්ෂ 25ක් පමණ වෙනවා,” තම නිමැවුම පිළිබඳව අදහස් දක්වමින් වෛද්‍ය ශිෂ්‍ය දිල්ෂාන් අබේවර්ධන එලෙස සඳහන් කරනවා.

රෝගියාට සමීප ‍‍‍නොවී උගුර, කන, හා නාසය පරීක්ෂා කරන්න උපකරණය

වෛද්‍ය රිස්නි සකාෆ්ගේ නව නිර්මාණය (ada.lk)

උගුර, කන, නාසය වැනි ඉන්ද්‍රියන්ට කුඩා ප්‍රමාණයේ කැමරාවක් යවා පරිගණකයක් ආධාරයෙන් ලබාගන්නා දත්ත මඟින් රෝග විනිශ්චය කිරීමේ උපකරණයක් නිර්මාණය කිරීමට හලාවත රෝහලේ විශේෂඥ වෛද්‍ය රිස්නි සකාෆ් සමත් වී තිබෙනවා. මෙහිදී වෛද්‍යවරයාගෙන් වෙන් කර රෝගියා  දුරස්ථව තබා පරීක්ෂා කිරීමට හැකිවීම, සහ වෛද්‍යවරයා කිසිදු ආරක්ෂිත උපාංගයක් නොපැළඳ මෙම පරීක්ෂණය සිදු කිරීමට හැකිවීම ද මෙහි විශේෂ වාසීන් ලෙස සඳහන් කළ හැකි යි.

උගුරෙන් නිකුත්වන කෙල බිදිති, නාසයෙන් නිකුත් වන ශ්‍රාවයන් කිසිවිටෙකත් පරීක්ෂණ සිදුකරන වෛද්‍යවරයා හා නොගැටෙන බැවින් කොරෝනා වසංගත සමයේ උගුර, කන, හා නාසය පරීක්ෂාකිරීම සඳහා වෛද්‍යවරුන්ට මෙම උපකරණය වඩා සුදුසු වෙනවා.

“ලංකාවේ තිබෙන වසංගත තත්ත්වය අනුව වෛද්‍යවරුන්ට රෝගය ආසාදනය වීම වීමේ ඇති හැකියාව උපරිම ලෙස තිබෙනවා. මෙවැනි අවස්ථාවක අපි නිරන්තරයෙන් පරීක්ෂා කරන්නේ රෝගීන්ගේ උගුර, කණ, හා නාසය යි. පවතින තත්ත්වය හමුවේ අවදානම් බව නිසා මෙවැනි උපකරණයක් නිර්මාණය කිරීමට මම අදහස් කළා. ලෝක සෞඛ්‍ය සංවිධානය අපට අවවාද කර තියෙන්නෙ හැකිතරම් ලෙඩුන් බැලීම අවම කර අත්‍යවශ්‍ය ලෙඩුන් පමණක් පරීක්ෂා කිරීමට කටයුතු කරන්න කියල යි. මෙවන් අවස්ථාවක සියලුම ලෙඩුන් පරීක්ෂා කිරීමට හැකි ක්‍රමයක් සම්බන්ධව මා සිතා බලා මෙවැනි උපකරණයක් නිර්මාණය කළා,” තම නව නිපැයුම පිළිබඳව අදහස් දක්වමින් වෛද්‍යවරයා එලෙස ප්‍රකාශ කරනවා.

මෙරට නිෂ්පාදිත PCR යන්ත්‍රය 

මෙරට නිෂ්පාදිත PCR යන්ත්‍රය (miro)

කොරෝනාවෛරස ආසාදිතයින් හඳුනාගැනීමට සිදු කරන පරීක්ෂාව PCR පරීක්ෂාව නමින් හදුන්වනවා. PCR යනු Polymerase Chain Reaction ක්‍රියාවලිය යි. ආසාදිතයකුයැ යි සැක කරන රෝගියකුගෙන් ලබා ගන්නා ජෛව සාම්පලයක් පරීක්ෂා කිරීමෙන් වෛරසය අසාදනය වී ඇත් ද යන වග හඳුනාගත හැකියි. මෙහිදී උගුරෙන්, නාසයෙන් ලබා ගන්නා සෙම් පටල සාම්පලයක් යොදා ගනු ලබනවා.

මෙසේ ලබා ගන්නා සාම්පලයේ වෛරස ඇත්නම් මූලික පියවර කිහිපයකින් එහි RNA කොටස වෙන් කර ගනු ගන්නවා. එම ලබා ගත් RNA, DNA බවට පත් කිරීමෙන් PCR පරීක්ෂාව සිදු කළ හැකියි. මෙය RT- PCR නමින් හඳුන්වනවා. PCR යන්ත්‍ර හෙවත් Thermocycler machine එක මඟින් මෙසේ ලබා ගත් DNA බිලියන ගණනක් පිටපත් කරනවා. ඒ සදහා පැය 4-6 පමණ කාලයක් ගතවෙන අතර මෙසේ ලබා ගත් පිටපත් Electropherises ක්‍රමවේදයෙන් පරීක්ෂා කිරීමෙන් ආසාදිත ද යන වග තහවුරු කළ හැකි යි. මෙවැනි PCR යන්ත්‍රයක් දේශීයව නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලයේ උෂාන් සකුන්ත සමත් වී තිබෙනවා.

“මෙම යන්ත්‍රයෙන් එකවර සාම්පල 12ක් පරික්ෂා කළ හැකි අතර එය 25 දක්වා වැඩි කළ හැකියි. PCR යන්ත්‍ර සඳහා භාවිතා වන නවීනතම තාක්ෂණය මේ සඳහා ද භාවිතා කළ අතර සාමාන්‍ය PCR යන්ත්‍රයක අඩංගු සියලු අංගයන් මේ යන්ත්‍රය සඳහා එකතු කර තියෙනවා. PCR යන්ත්‍රයක වෙළදපොල මිල ලක්ෂ 3ක් වන අතර මෙය Rs.10,000/- අඩු මුදලකට මෙරට නිෂ්පාදනය කළ හැකි යි,’ නිර්මාණකරු සිය අදහස් දැක්වීමේදී එලෙස ප්‍රකාශ කරනවා. 

කොරෝනා සමයේ ඔබ සතුව නව නිපැයුම් ඇති නම්, එවැනි නිපැයුමකට අදහස් කරගෙන සිටී නම්, නව නිපැයුම්කරුවන්ගේ කොමිසම ඔවුන් සමග එකතු වන ලෙස ඔබට අරාධනා කරනවා. 

ඉතින්, 

“ශ්‍රී ලාංකීය නව නිපැයුම්කරුවනි, 

කොරෝනා වෛරසය සාර්ථකව මැඩපැවැත්විය හැකි නව නිපැයුමක් ඔබ සතු වේ නම්, එම නව නිපැයුම සදහා පේටන්ට් බලපත්‍රය අයදුම් කිරීමට, පර්යේෂණ සිදුකිරීමට සහ නිෂ්පාදනය සදහා වන පූර්ණ සහයෝගයන් ලබාදීම සදහා ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම සූදානම්.”

අමතන්න,

කොමසාරිස් : 0718081154

අධ්‍යක්ෂක : 0714447393

සහකාර අධ්‍යක්ෂක : 0719507132

Related Articles