සෝවියට් සිනමාව පිළිබඳ පළමු ලිපියෙන් සාර් රුසියාවේ සිනමාව බිහි වූ අයුරුත්, ක්‍රමයෙන් වර්ධනය වෙමින් පැමිණ ඔක්තෝබර් විප්ලවයෙන් පසු ව අධ්‍යාපනික හා සංස්කෘතික වර්ධනයන් වෙනුවෙන් භාවිත කළ අයුරුත්, පර්යේෂණ ඔස්සේ සමෝධාන ක්‍රමය අනාවරණය කරගැනීමත් පිළිබඳ ව සොයා බැලීය.
සර්ජි අයිසෙන්ස්ටයින්ට සමකාලීන ව සිනමාකරණයේ යෙදුණු තවත් නිර්මාණකරුවන් ලෙස ව්සෙවලොඩ් ප්‍රඩොව්කින් (1893-1963), ඇලෙක්සැන්ඩර් ඩෙව්ෂෙන්කෝ (1894-1956) විසින් උසස් ගණයේ සිනමා නිර්මාණ බිහි කරන ලදී. The Mother (1926) සහ The End of St.Petersburg (1927) ප්‍රඩොව්කින් විසින් ද, Arsenal (1929) සහ Earth (1930) ඩෙව්ෂෙන්කෝ විසින් ද නිමවන ලදී.
සෝවියට් සිනමාව තුළ වාර්තා චිත්‍රපට කලාවේ සමාරම්භකයා වන්නේ හීග වර්ටෝව් (1896-1954) ය. 1923 දී Kinomi සිනමා සංසදය පිහිට වු ඔහුගේ වඩාත් ම සංවාදයට ලක් වූ චිත්‍රපටය ලෙස The Man with a Movie Camera (1929) හැඳින්විය හැකිය. උදෑසන සිට සවස් වන තෙක් නගරයේ සිදූවීම් කැමරාවට හසුකර ගැනීමක් මෙහි ඇත. මෙම වාර්තා චිත්‍රපටය 2012 දී Sight and Sound සඟරාවෙන් ලොව හොඳම චිත්‍රපට 10 තුළට ද ඇතුළත් විය. ඊට අමතර ව A Sixth Part of the World (1926), Cinema Eye (1924) යන නිර්මාණ වැදගත් වේ.
සෝවියට් දේශයේ දී පළමු සිනමාකාරියක් ලෙස මුලින්ම කතා බහට ලක්වන්නේ එස්ෆර් ෂබ් (Esfir Shub) නම් අධ්‍යක්ෂණයෙන්, සංස්කරණයෙන්, තිර රචනයෙන් දායක වූ කලාකාරිනිය යි. 1894 උපන් ඇය සිය පළමු සිනමා වෑයම ලෙස 1927 දී The Fall of the Romanov Dynasty නිර්මාණය කරන්නේ ඔක්තෝබර් විප්ලවයේ දශක සැමරීමට සමගාමී ව ය. පැරණි චිත්‍රපට සංස්කරණය කොට සමාජවාදී දෘෂ්ටිය අනත්ර්ගත වන ලෙස ප්‍රතිනිර්මාණය ඇය අතින් සිදුවිය.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ව සිනමාව තුළ වර්ණ භාවිතය පැමිණි අතර The Stone Flower (1946), Ballad of Siberia (1947), Cossacks of the Kuban (1950) වැනි වර්ණ චිත්‍රපට බිහි විය. නමුත් කළු සුදු චිත්‍රපට ද දිගින් දිගටම බිහි විය.
Ballad of a Soldier (1959), The Cranes are Flying (1957), The Forty First (1956) වැනි නිර්මාණ ද 50 දශකයේ දී එක් වූ වැදගත් සිනමා කෘතීන් වේ.
දෙවන ලෝක යුද්ධය අවසන් වූ පසු ලෝක සිනමාව තුළ නව සිනමා ආගමනයන් පැමිණීමත් සමග තව දුරටත් සමෝධාන ක්‍රමය මත පදනම් වීමට නොහැකි තත්ත්වයක් උද්ගත විය. එනම්, නව සිනමා රීතියක් අවශ්‍ය විය. මේ වන විට ප්‍රංශ නව රැල්ලත්, ඉතාලි නව යථාර්ථවාදී සිනමාවත් ප්‍රචලිත වෙමින් පැවතුණි. මෙම අවශ්‍යතාව සැපීරීම වෙනුවෙන් මූලික කාර්යය ඉටු කරනු ලබන්නේ අන්ද්‍රේ තර්කොව්ස්කි (1932-1986) විසිනි.
අන්ද්‍රේ තර්කොව්ස්කි උපත ලබන්නේ 1932 අප්‍රේල් මස 4 වන දා ය. ඔහුගේ පියා රුසියාවේ ප්‍රචලිත කවියෙකු වූ අර්සෙනි ඇලෙක්සැන්ඩ්‍රෙනි තර්කොව්ස්කි වූ අතර, මව මාරියා ඉවනෝවා විෂ්නිකෝවා නම් සෝදුපත් කියවන්නියක් විය. 1937 දී පියා පවුල හැර ගිය අතර එය අන්ද්‍රේගේ ජීවිතයට විශාල බලපෑමක් කළ සිදුවීමක් විය. පසු ව මව සහ සොයුරිය සමග මොස්කව් වෙත පැමිණිය ද යුද්ධය ඇරඹීමත් සමග නැවත සිය මිත්තණිය වෙත යාමට සිදු විය. යුද්ධය ඇරඹීම සමග ඔහුගේ පියා යුද පෙරමුණ වෙත ගිය අතර නැවත පැමිණියේ පාදයක් අහිමි ව ය.
පාසල් අධ්‍යාපනය හමාර කළ අන්ද්‍රේ මීළගට අරාබි භාෂාව ඉගෙනීම අරඹන නමුත් වැඩිකල් නොයා ඒ ගැන තිබූ ආශාව අවසන් ව අධ්‍යයනය අතහැර දමයි. සිනමාව ඔහුගේ අවධානයට ලක්වන්නේ මින් පසු ව යි. 1954 දී ජාතික සිනමා අධ්‍යයන ආයතනයට (VGIK) වෙත ඇතුළත් ව සිනමාව හදාරන ඔහු සිනමාවේ නව ගමනක් වෙනුවෙන් අඩිතාලම දැමීය. ඉතාලි නව යථාර්ථවාදය, ප්‍රංශ නව රැල්ල ඔහුගේ සිනමා භාවිතාවට බලපෑම් කරනු ලැබීය.
අන්ද්‍රේගේ නිර්මාණ අතර Andrei Rublev (1966), Stalker (1979), Solaris (1972), Nostalghia (1983), The Mirror (1975), The Sacrifice (1986), Ivan’s Childhood (1962) යන නිර්මාණ වැදගත් වේ. 1975 දී නිම කළ Mirror චිත්‍රපටයෙන් ඔහු ඉදිරිපත් කරන්නේ ඔහු සහ ඔහුගේ පවුලේ කතාව යි. පියා හැර යාමෙන් ඇති වූ බලපෑම ඔහු මින් පෙන්වයි. එසේ ම Nostalgia (ඉතාලියේ දී) සහ The Sacrifice (ස්වීඩනයේ දී) යන නිර්මාණයන් සෝවියට් දේශයෙන් පිටත දී නිර්මාණය විය.
ඔහුගේ සිනමාවේ නව න්‍යාය අඩංගු කෘතිය වූ Sculpting in Time 1986 දී ප්‍රසිද්ධ කරන ලදී. නව න්‍යායෙන් ඔහු පැරණි න්‍යායන් ලෙස පැවති ‘සිනමාවේ තැනුම් ඒකකය වන්නේ රූප රාමු ය’ යන න්‍යායත්, ‘සිනමාව උපදින්නේ රූප සන්ධි කිරීමේ විධි ක්‍රමය මත ය’ යන න්‍යායත් වෙනස් කරන ලදී. ඔහුට අනුව සිනමාව යනු ‘හඹා යන කාලය හසුකර ගැනීම යි’ එනම් සිනමා නිර්මාණයක් යනු නිර්මාණකරු විසින් කාලය නම් අමුද්‍රව්‍ය භාවිතා කර නෙළන ලද මූර්තිය යි. එය මෙසේ තේරුම් ගනිමු. රූපගත සිනමාවක් යනු යථාර්ථය තුළ සිදුවීමක් කැමරාව විසින් හසුකරගැනීම යි. එනම් යථාර්ථයේ ගත කරන ලද කාලයක් සිනමා පටය තුළ තැන්පත් කර නැවත එම කාලය ධාවනය කිරීම යි. එය මෙසේ ද පැවසිය හැකිය. ‘කාලය තුළ අඩංගු ව තිබූ යථාර්ථය සිනමාව තුළ කාලය ලෙස තැන්පත් වේ’
ලැරීසා ෂෙප්ටිකෝ ද තවත් එක් සෝවියට් සිනමාකාරිණියකි. ඇගේ නිර්මාණ අතර The Ascent (1977), You And Me (1971), Wings (1966) යන නිර්මාණ විශේෂ යි.
70, 80 දශකවල දී සෝවියට් සිනමාව ජාත්‍යන්තරයට විවර වූ අතර, අන්ද්‍රෙයි කොන්චාලොව්ස්කි වැනි නිර්මාණකරුවන් හොලිවුඩ්හි පවා සාර්ථක විය. Maria’s Lovers (1984), Runaway Train (1985), Tango and Cash (1989) එවැනි නිර්මාණ කිහිපයකි.
90 දශකයේ ආරම්භයේ දී සෝවියට් දේශය බිඳ වැටී එය රුසියාව බවට පත්විය. පශ්චාත් සෝවියට් අවධියේ දී ද සිනමාවේ දී සම්පූර්ණයෙන් ම සෝවියට් හරයන් බිඳ නොවැටී පවතිනු දක්නට ලැබේ. ඇලෙක්සැන්ඩර් සොකුරොව් එවැනි පශ්චාත් සෝවියට් නිර්මාණකරුවෙකි. කෙසේ නමුත් 2000 පමණ සිට සම්පූර්ණයෙන් ම හොලිවුඩ් සිනමාව සමග ආර්ථික, දෘෂ්ටිවාදී, සංස්කෘතික වශයෙන් සමාන්තර ගමනක් අරඹන රුසියානු සිනමාව ඒ තුළ උසස් ගණයේ නිර්මාණ බිහි කරන්නට විය.
මෑත කාලයේ නිර්මාණය වූ උසස් රුසියන් සිනමා නිර්මාණ අතර අන්ද්‍රෙ ෂියාගින්ට්යෙව්ගේ The Return (2003), Leviathan (2014), ඇලෙක්සැන්ඩර් සොකුරොව්ගේ The Russian Ark (2002) , ටිමුර් බෙක්මාම්සෙව්ගේ Night Watch (2004), අන්ද්‍රේ කොන්චලොව්ස්කිගේ Paradise (2016) වේ.
මූලාශ්‍රයයන්:
Imdb.com
ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවය නැවත කියවීමක් (නියමුවා ප්‍රකාශන)