අධිරජ අශෝකගේ සොයුරු වීතශෝක සිහසුන අත්හැරීම

මෞර්ය රාජවංශයේ කූටප්‍රාප්තිකයා ලෙස සැලකෙන අශෝක රජු සහ ඔහුගේ පුත් කුණාල පිළිබඳව අප කලින් ලිපියකින් කරුණු ගෙනහැර දැක්වූවා. ඊළඟ ලිපි පෙළ වෙන්වන්නේ අශෝක රජුගේ අවසාන කාලය සහ අශෝකගෙන් පසුව මෞර්ය රාජවංශයේ වැටීම පිළිබඳවයි. මේ, එහි පළමු කොටස හෙවත් අශෝකගේ සොහොයුරු වීතශෝක කුමරු සිහසුන අතහැරීම පිළිබඳ කතාව.

අශෝක රජුගේ පාලන යුගය පැහැදිලිවම යුග දෙකකට බෙදා දැක්විය හැකියි. එනම්, කාලිංග ආක්‍රමණයට පෙර යුගය සහ පසු යුගය වශයෙන්. එනම්, කාලිංග ආක්‍රමණයට පෙර යුගය දැඩි පාලනයකින්, ක්ෂමාවිරහිත නීතියකින් සහ පොදුවේ රටවැසියා කෙරෙහි දැක්වූ නොසැලකිල්ලකින් වශයෙනුත්, කාලිංග යුද්ධයට පසු යුගය සාපේක්ෂව ජනහිතකාමී සහ ලිහිල් ප්‍රතිපත්තිවලින් පාලනය වුණු යුගයක් වශයෙනුත්. නමුත් රාජ්‍යපාලනය කෙරෙහි අශෝක දැක්වූ මේ ලිහිල් පිළිවෙත, ඔහු වටා සිටි බලකාමීන් විසින් තේරුම්ගනු ලැබුවේ අශෝකගේ ධාර්මික බවට සාක්ෂියක් ලෙසට වඩා ඔහු අභිබවා බලය අත්පත් කරගැනීමට තමන්ට ලැබෙන අවස්ථාවක් ලෙස බව, අශෝක යුගය පිළිබඳ පතපොත පරිශීලනය කරනවිට වැටහෙන කරුණක්. විශේෂයෙන්ම කාලිංග යුද්ධයෙන් ජයග්‍රහණය ලැබීමෙන් පසුව අශෝක රජු බුද්ධ ධර්මයට නැඹුරු වී, බුද්ධශ්‍රාවකයන් හට විශාල ලෙස අනුග්‍රහ දැක්වීම, අශෝක වටා සිටි සෑම දෙනෙකුම එක ලෙස අනුමත කළේ නැති බව මෙහිදී පැහැදිලි කරුණක්.

අශෝක රජුගේ රාජධානිය (Thinkingparticle.com)

මෞර්ය රාජවංශය බලයට පත්වන්නේ බ්‍රාහ්මණයකු වූ “කෞටිල්‍ය” හෙවත් “චාණක්‍ය”ගේ මගපෙන්වීමෙන් වුවත්, මෝරියයන් දිගටම ජෛනයන් කෙරෙහි අනුග්‍රහ සත්කාර දැක්වූ බව ඉතිහාසයෙන් මතුවී පෙනෙන පැහැදිලි කරුණක්. එහෙත් අශෝක, සිය සමකාලීනයන් ඉක්මවා ගොස් බුද්ධ ධර්මය කෙරෙහි බලවත් අනුග්‍රහයක් දක්වනවා. බෞද්ධ පාර්ශ්වය කෙරෙහි අශෝක දැක්වූ ලැදියාව, ඔහුගේ අමාත්‍යයන් පමණක් නොව ඔහුගේ පවුලේ උදවියගේ පවා දෝෂ දර්ශනයට ලක්වූ බව පෙනෙනවා. මින් ප්‍රමුඛ ස්ථානයක සිටි අයෙක් තමයි, අශෝකගේ සොහොයුරකු වූ “විතශෝක”.

අප කලින් ලිපියක සඳහන් කළා, අශෝක රජු අසූහාර දහසක් ධර්මස්කන්ධයන් උදෙසා අසුහාරදහසක් වෙහෙර විහාර කරවා පූජා කළ බව. අශෝක රජුගේ එක පුතෙකු වන “ධර්මවිවර්ධන” හෙවත් “කුණාල” උපදින්නේ ඒ පූජාව අවසාන කළ දිනයේ බවත් අප එහි සඳහන් කළා. මේ පූජාව අනුමත කළවුන් මෙන්ම එය අනුමත නොකළවුන් ද බොහොමයක් සිටියා. වීතශෝක කුමරුත් එවැන්නෙක්. ඔහු සිරිතක් ලෙස ජෛනයන් කෙරෙහි අනුග්‍රහ දැක්වුවෙක්. අප කලින් කී වෙහෙර විහාර පූජාවෙන් පසුව වීතශෝක කුමරු, අශෝකගේ ආගමික පිළිවෙත ඇමතියන් සමග, රටවැසියන් සමග විවේචනය කරන්න පටන්ගත්තා. මේ සියල්ල අශෝකට ආරංචි නොවුණා නොවෙයි. නමුත් ඔහු මුලදී එය තැකීමක් කළේ නැහැ. එහෙත් දිගින් දිගටම මේ ආකාරයට වීතශෝක කුමරු තමන්ට එරෙහිව මත ප්‍රචාරය කරන බව දකින අශෝක, තමන්ට එරෙහිව කැරැල්ලක් ඇතිවීමට ඉඩ ඇති බව වටහාගන්නවා. මේ තර්ජනය මැඩ පවත්වන්න අශෝක අනුගමනය කළ ක්‍රියාමාර්ගය රසවත් කතාවක් මෙන්ම, අශෝකගේ උපායශීලී ඥානයටත් හොඳ උදාහරණයක්.

ජෛන විහාරයක නටඹුන් (Explore My Trip)

වීතශෝක කුමරුගේ ප්‍රධාන චෝදනාවක් වූයේ අශෝකගෙන් අනුග්‍රහ ලබන බෞද්ධ භික්ෂුන්, සුඛෝපභෝගී ජීවිත ගෙවන බවයි. අශෝක රජු මේ වැටහීම නැතිකරවීමේ අදහසින්, වීතශෝක සමග උයන් කෙළියකට පිටත් වෙනවා. උයන් කෙළිය යනු දඩයමේ යාමට මෙන්ම සුන්දර ස්ථාන නැරඹීමට ලබාගන්නා අවස්ථාවක්. මෙසේ සංචාරයේ නිරතවෙමින් ඉන්නා අතරතුර, මොවුන් දෙදෙනාම වනාන්තරයේ භාවනා කරමින් ඉන්නා බෞද්ධ භික්ෂුවක වෙත අනපේක්ෂිතව පැමිණෙනවා. ඇත්තෙන්ම මේ හමුවීම අහම්බෙන් සිදුවූවක් නොව, මේ භික්ෂුව වීතශෝකට මුණගැස්වීම සඳහාම අශෝක මේ ගමන යොදාගත් බව තේරුම් ගැනීම අපහසු නැහැ. මේ භික්ෂුව කෙතරම් අල්පේච්ඡ ද කියතොත්, ඔහුගේ සිවුරත්, බිම වැටී තිබූ දිරාගිය කොළත් එකවගේ පෙනුණු බවයි කියැවෙන්නේ.

මෙහිදී වීතශෝක කුමරුන් මේ භික්ෂුවගෙන් විමසනවා, කෙතරම් කාලයක් මෙහි භාවනා කරනවා ද යනුවෙන්. භික්ෂුව ඊට පිළිතුරු දෙමින් කියා සිටින්නේ තමන් දොළොස් වසරක සිට භාවනා කරන බවයි. ආහාර පාන ලැබෙන්නේ කෙසේදැයි විමසු විට ඔහු පිළිතුරු දෙන්නේ, දානය ලබාගැනීම සඳහාවත් වනාන්තරයෙන් පිටත් නොවී, ගස අවට බිම වැටෙන මල් කොළ ගෙඩි පමණක් ආහාරයට ගනිමින් තමන් ජීවත් වන බවයි. මෙහිදී වීතශෝක ඔහුගෙන් විමසනවා, ඔහු ගෙවන භාවනානුයෝගී ජීවිතයට වන ජීවිතයෙන් යම් කරදරයක් තිබේ ද යනුවෙන්. භික්ෂුව පිළිතුරු දෙමින් පවසන්නේ තමන්ට වෙන කිසිදු කරදරයක් නැති බවත්, වසන්ත කාලයට සහකරුවන් සහකාරියන් සොයන වන සතුන්, මේ ගස අවට ප්‍රදේශයේ නිතරම සංසර්ගයේ යෙදෙන බවත්, එය තමන්ට හිරිහැරයක් බවත්.

වීතශෝක මෙහිදී අශෝකගෙන් අසා සිටිනවා, දොළොස් වසරක් තිස්සේ භාවනා කිරීමෙන් පසුවත්, මේ භික්ෂුවට වනසතුන්ගේ සංසර්ගය දැකීමෙන් සිතට කරදර නම්, මෙසේ භාවනා වැඩීමෙන් ඇති ඵලය කුමක් ද යනුවෙන්. අශෝක කිසිදු පිළිතුරක් නොදී ආපසු මාලිගයට පැමිණෙනවා.

“මොවුන් දෙදෙනාම වනාන්තරයේ භාවනා කරමින් ඉන්නා බෞද්ධ භික්ෂුවක වෙත අනපේක්ෂිතව පැමිණෙනවා”  (Jack Kornfield)

ආපසු මාළිගයට එන අශෝක, හිතවත් ඇමතියකු සමග ඉක්මණින් සැලැස්මක් යොදනවා. ඒ අනුව, අශෝක රජු රාජාභරණ මුදා තබා ස්නානයට යන විටෙක, ඇමතියා පැමිණ වීතශෝක හමුවී කතාකරමින්, අශෝක රජු මහත් වී ඇති බවත්, ඔහුට තැනූ රාජාභරණ දැන් ඔහුට නොගැලපෙන බවත් පවසනවා. ඒවා වීතශෝකට නම් හරියටම ගැලපෙන බවත් පවසන අමාත්‍යයා, එම රාජාභරණ, වීතශෝකට ටික වේලාවකට පළඳවා බැලීමට අවසර ඉල්ලනවා. වීතශෝක ඊට අකැමැති නොවන අතර, අමාත්‍යයා අශෝකගේ සියලු රාජාභරණ වීතශෝකට පළන්දවනවා. ස්නානයෙන් පසුව පිටතට පැමිණෙන අශෝක දකින්නේ තමන් සතු රාජාභරණ පැළඳ සිටින වීතශෝක. රජුට පමණක් පැළඳීමට අවසර ඇති රාජාභරණ, අනවසරයෙන් පැළඳීමේ චෝදනාව යටතේ වීතශෝක සිරභාරයට ගනු ලබන අතර, අශෝක ඔහුට දෙන්නේ අපූරු දඬුවමක්. එනම්, සාමාන්‍ය රාජද්‍රෝහියකු හට මෙන් එසැණින් හිස ගසා දමනවා වෙනුවට, සත් දවසක කාලයක් වීතශෝකට ලැබෙනවා. ඒ සත්දවස, රජුට හිමි සියලු සුව පහසුකම් ඔහුට ලැබීමට සැලැස්වීමට අශෝක යෝජනා කරනවා. රාජකීය ආහාර පාන, රාජකීය යහනාවන්, ඇඳුම් පැළඳුම්, සැප සත්කාර යන මේ සියල්ල ඔහුට ලැබෙන්නට සලස්වනවා.

සත්වැනි දින පාන්දර වීතශෝක බැලීමට එන අශෝක ඔහුගෙන් සැප දුක විමසා සිටිනවා. තව පැය ගණනකින් මරණයට පත්වන්නට යන තමන්ට ඇති සැපය කුමක්දැයි වීතශෝක පෙරළා ප්‍රශ්න කරනවා. පසුගිය සතියම සැපයූ රාජ සැප සම්පත්, සංගීතය, නැටුම් ආදී කිසිවක් සතුටෙන් භුක්ති නොවින්දේ මන්දැයි අශෝක එවිට අසනවා. වීතශෝක පිළිතුරු දෙන්නේ, සතියකින් මරුමුවට පත්වන්නට යන බව දැන දැන මරණබියෙන් පසුවන්නකු ඉදිරියේ මොන සංගීතයන් ද, මොන නැටුම් ද යනුවෙන්.

අශෝක එහිදී සිය මලණුවන්ට අර සතියකට කලින් හමු වූ භික්ෂුව සිහිපත් කරනවා. මරණබියෙන් පසුවන ඔබට රාජකීය නැටුම්, රාජකීය සංගීතය පවා කරදරයක් වන්නේ යම් සේ ද, සසරබියෙන් පසුවන භික්ෂුවට වනාන්තරයේ සුන්දර දේ පවා කරදරයක් වන්නේ ඒ ආකාරටයම යැයි අශෝක කියාදෙනවා. වීතශෝක මරණයට පත්කිරීමට තමන්ට කිසිදු අදහසක් නැති බවත්, මේ සියල්ල කළේ ඔහුගේ වැරදි වැටහීම් දුරු කරවීමට බවත් පවසන අශෝක, සිය මලණුවන් වැළඳගෙන ඔහු නිදහස් කරනවා.

වීතශෝක කුමරුන් පසුකලෙක පැවිදි වී ආරණ්‍යවාසීව කාලය ගතකළ බව පුරාවෘතයන්හි දැක්වෙනවා. ඔහු මරණයට පත්වන්නේ කුලියට නිගණ්ඨයින් මරාදැමීමේ යෙදුණු කුලී ඝාතකයකු විසින්, නිගණ්ඨයකු ලෙස වරදවා වටහාගෙන හිස කපා දැමීමෙන් බවයි පුරාවෘතයන්හි දැක්වෙන්නේ. අපි ඒ කතාව පසු ලිපියකින් කියවමු.

මූලාශ්‍ර:

අසෝකාවදානය

කුණාලාවදානය

cover image: 7da31d100831f25e5c58e42ebb4bbf9a.jpg  (Pinterest)

Related Articles

Exit mobile version