Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව පුරා සැමරෙන අසාමාන්‍ය උත්සව – 2

ලොව පුරා පැවැත්වෙන අසාමාන්‍ය වූත් සුවිශේෂී වූත් උත්සව කිහිපයක් පිළිබඳ තොරතුරු පසුගිය ලිපියකින් අපි ඔබ වෙත ගෙන ආවා.

එල් සැල්වදෝරයේ ගිනි බෝල යොදා ගෙන සිදු කරන උත්සවයක්, හොං කොං හි බනිස් එකතු කරන උත්සවයක්, කොරියාවේ මඩ තවරාගන්නා උත්සවයක්, ෆ්ලොරීඩාවේ දිය යට සිදුවන සංගීත සංදර්ශනයක් සහ තායිලන්තයේ වඳුරන්ට පලතුරු පිදෙන උත්සවයක් පිළිබඳ තොරතුරු එමඟින් සාකච්ඡා කෙරුණා.

මෙම ලිපිය මඟිනුත් එවැනි ම උත්සව කිහිපයක් පිළිබඳ ව ඔබ වෙත තොරතුරු ගෙන එන්නට අපි සූදානම්.

අප්-හෙලි ආ – ස්කොට්ලන්තය

අප්-හෙලි ආ – ස්කොට්ලන්තය – nyctartanweek.org

 

අප්-හෙලි ආ නම් උත්සවයක් සෑම වසරක ම ජනවාරි සහ මාර්තු මස අතර ස්කොට්ලන්තයේ ෂෙට්ලන්ඩ් පෙදෙසේ ජනතාව එක් ව පවත්වන අතර, එය ගින්දර සම්බන්ධ කරගෙන පැවැත්වෙන්නක් වෙනවා. මෙය ‘යූල් සමය’ හෙවත් නත්තල් සමය අවසන් වීම සනිටුහන් කිරීම සඳහා සිදු කෙරෙන අතර, ස්කොට්ලන්ත ජාතිකයන් සිය ස්කැන්ඩිනේවියානු සම්භවය සහ වයිකිංවරුන්ට තිබූ සම්බන්ධතාව පෙන්වීම උදෙසා මෙම උත්සවය පවත්වනවා. එහිදී ෂෙට්ලන්ඩ් ජනතාව වීදි බැස, ගිනි පන්දම් දල්වා ගෙන, ඒවා හිසට ඉහළින් ඔසවා ගෙන, සමූහයක් සේ ගමන් කිරීම සිදුවන අතර, රාත්‍රියේ එලෙස ගමන් කිරීමේ දී ප්‍රදේශයේ සෙසු පහන් නිවා දමන්නේ මෙම ආලෝකය පමණක් හාත්පස දිස්වෙන පරිදියි. 

මෙම උත්සවයේ ආරම්භය සනිටුහන් ව ඇත්තේ 1880 දශකයේ වන අතර, මේ නිසා මෙම ප්‍රදේශයට මෙම උත්සව සමයේ දී දහස් ගණන් සංචාරකයන් ඇදී එන්නට පටන් ගත්තා. මෙය ෂෙට්ලන්දි ඉපැරණි සංස්කෘතිය ලොවට හෙළිකරන්නක් ලෙස විද්වතුන් සලකනවා.

ලෝක ශරීර පින්තාරු උත්සවය – ඔස්ට්‍රියාව

ලෝක ශරීර පින්තාරු උත්සවය – ඔස්ට්‍රියාව – armandeus.com 

 

ඔස්ට්‍රියාවේ ශරීර පින්තාරු උත්සවය සඳහා ලොව රටවල් 40 ක පමණ හොඳ ම ශරීර පින්තාරුකරුවන් සහභාගී වෙනවා. මෙහිදී හොඳ ම ශරීර පින්තාරු කරන්නා හට වටිනා ත්‍යාගයක් ද හිමි වෙනවා. මෙහිදී ඔවුන් විසින් සියලු පින්තාරු කිරීම් සිදු කළ යුත්තේ මිනිසකුගේ හෝ කාන්තාවකගේ මුහුණේ හෝ ශරීරයේ යි. පින්තාරු කළ ඇඳුම් භාවිත වීමක් සිදුවෙන්නේ නැහැ.

මේ සඳහා විශේෂ ශරීර පින්තාරු තීන්ත යොදා ගැනීම සිදුවෙනවා. මීට අමතර ව ශරීර පින්තාරු කිරීම්වලට කැමති, ඒ සඳහා උනන්දුව දක්වන්නන්ට විශේෂිත වැඩමුළු වැනි දේද මෙහි පැවැත්වෙනවා. මේ නිසා ඕනෑම අයකුට මෙහිදී මූලික ශරීර පින්තාරු ක්‍රමවේද ඉගෙනගැනීමටත් හැකි යි. යමකුට මෙම ශරීර පින්තාරු කරන්නන්ගේ ‘කැන්වසය’ බවට පත්වීමේ අවකාශ ද තිබෙනවා.

ලෝක ‘එල් කොලැචෝ’ උත්සවය – ස්පාඤ්ඤය

ලෝක ‘එල් කොලැචෝ’ උත්සවය – ස්පාඤ්ඤය – guardian.ng

 

ස්පාඤ්ඤයේ පැවැත් වෙන ලෝක ‘එල් කොලැචෝ’ උත්සවය හෙවත් ‘ළදරුවන් උඩින් පනින’ උත්සවය ලොව අසාමාන්‍ය ම උත්සවයක් ලෙස සැලකෙනවා. මෙම උත්සවය වසරක් පාසා පැවැත්වෙන්නේ කෝපස් ක්‍රිස්ටි හි කතෝලික  මංගල්‍යය හා සමගාමීව යි. මෙහිදී ‘එල් සැල්ටෝ ඩෙල් කොලැචෝ’ හෙවත් ‘යක්ෂයාගේ පිම්ම’ පැනීම සඳහා එක් පුද්ගලයෙක් රතු සහ කහ පැහැති ඇඳුමකින් සැරසී, කසයක් අතින් ගෙන සූදානම් වන අතර, වීථිවල නියමිත දු වලින් තබා ඇති විශාල මෙට්ට මත තැබූ, අලුත උපන් ළදරුවන්ගේ හිසට ඉහළින් පැන යාම ඔහු සිදු කරනවා. ස්පාඤ්ඤ වැසියන්ගේ විශ්වාසය අනුව මෙම උත්සවය පැවැත්වීමෙන් ළදරුවන් කෙරෙහි දිශාගත වී ඇති යක්ෂයාගේ බැල්ම දුරු වී ඔවුන්ගේ මතු ජීවිතය සැපවත් වෙනවා. 

මෙම උත්සවය ආරම්භ වී ඇත්තේ 17 වන සියවස තරම් ඈත අතීතයක යි. මෙය අතීතයේ කෝපස් ක්‍රිස්ටි පෙදෙසට පමණක් සීමා වී පැවතුණ ද වර්තමානය වන විට ‘එල් කොලැචෝ’ උත්සවය පැවැත්වෙන දිනයට ස්පාඤ්ඤය පුරා මවුවරුන් සිය දරුවන් මෙහි රැගෙන එන්නේ සිය දරුවන්ගේ දොස් දුරු කරගැනීම සඳහා යි. මෙහිදී මෙම දරුවන්ට ප්‍රදේශයේ පල්ලියෙන් දේවාශිර්වාද ද ලැබෙනවා.

අන්තර්ජාතික හිසකෙස් මුදවා ගැනීමේ තරගය – කැනඩාව

අන්තර්ජාතික හිසකෙස් මුදවා ගැනීමේ තරගය – කැනඩාව -Takhini Hot Pools 

 

කැනඩාව වැනි ලෝක ගෝලයේ උතුරින් පිහිටි රටවල ශීත සමය ඉතා තදබල මෙන් ම කටුක එකක් වෙනවා. හිසකෙස් සහ මුහුණ නිසි පරිදි වැසෙන ලෙස ආරක්ෂිත ආවරණයක් නොමැති ව එළිමහනේ මඳ වේලාවක් සිටීම පවා එම තත්ත්වයන් යටතේ ඉතා අසීරු වෙනවා. කෙසේ නමුත් කැනේඩියානුවන්ට එය යම් පමණකට හුරු වී තිබෙන්නේ නිතර ම එම තත්ත්වයන්ට මුහුණ දීම නිසා යි. මෙම නිසා ඔවුන් මෙම අධික ශීතල සමඟ ‘සෙල්ලම් කිරීමට ‘ පවා හුරු වී තිබෙනවා.

කැනඩාවේ ශීත සමයේදී ඔබ තෙත් හිසකේ සමඟ එළිමහනක සිටියහොත් එය ගල් වීම සිදුවෙනවා. ඒ හිසකේ සමග ඇති ජලය මිදී යාම නිසා යි. ඔවුන් මේ සංසිද්ධිය ඔස්සේ උත්සවයක් සංවිධානය කර ගෙන තිබෙනවා. මෙය හැඳින්වෙන්නේ ‘අන්තර්ජාතික මිදුණු හිසකෙස් තරගය’ ලෙස යි. මෙහිදී තරගකරුවන් සිය හිසකෙස් තෙමා, අධික ශීතල ඇති එළිමහනේ සිට එය මුදවාගැනීම සිදු කළ යුතු අතර, විවිධ හැඩයන්ගෙන් සිය හිසකෙස් සහ රවුළු මුදවාගෙන තරගයට ඉදිරිපත් විය යුතු වෙනවා. සාමාන්‍යයෙන් මෙය සිදු කරන්නේ එළිමහනේ තබා ඇති උණුසුම් ජලය සහිත තටාකයක බැස, හිසකෙස් තෙමා ගෙන හිස ඉන් ඉහළට තබාගෙන සිටීමෙනු යි. එවිට මඳ වේලාවකින් හිසකෙස් මිදී යනවා. මෙහිදී හොඳ ම මිදුණු හිසකෙස් ඇති තැනැත්තා තෝරා ගෙන ත්‍යාග පිරිනමනවා.

මෙම උත්සවය සෑම වසරක ම පෙබරවාරි මස පැවැත්වෙන අතර, ජයග්‍රාහකයන් දැනුම්දෙන්නේ මාර්තු මාසයේ යි.

කනමාරා මත්සුරි හෙවත් පුරුෂ ලිඟු උත්සවය – ජපානය

කනමාරා මත්සුරි හෙවත් පුරුෂ ලිඟු උත්සවය – ජපානය – nwishop.com 

 

කනමාරා මත්සුරි හෙවත් ‘පුරුෂ ලිඟු’ උත්සවය ජපානයේ පැවැත්වෙන්නේ ‘පුරුෂ ලිංගයට’ උපහාර පිදීම සඳහා යි. මෙහිදී පුරුෂ ලිංගයකට අනුරූප ව සෑදූ විවිධාකාරයේ පිළිම, සැරසිලි සහිත ව එහි ජනයා විදි බැස ඇවිද යන අතර,  එහිදී එලෙස ම සැකසූ රස කැවිලි, සෙල්ලම් බඩු, ඇඳුම් සහ එළවළු මිනිසුන් අතර බෙදා හැඊම සිදු කෙරෙනවා.

මෙම උත්සවයේ ආරම්භය සනිටුහන්ව ඇත්තේ කනයාමා විහාරයෙනු යි. මෙහි අභිප්‍රායය වන්නේ සශ්‍රීකත්වය, ආරක්ෂිත දරු උපත් ලැබීම, ප්‍රීතිමත් විවාහය සහ භයානක රෝගවලින් ආරක්ෂාව සලසා ගැනීම සඳහා දෙවියන්ට ගෞරව පිදීම යි. මෙම උත්සවයට සංචරකයන් ද බොහෝ සෙයින් සහභාගී වන අතර, මෙමඟින් එක්කාසු කෙරෙන මුදල්වලින් වැඩි කොටසක් එච්.අයි.වී ඒඩ්ස් රෝගීන් ගේ සුබසාධනයට පරිත්‍යාග කෙරෙනවා.

කවරයේ ඡායාරූපය - කනමාරා මත්සුරි හෙවත් 'පුරුෂ ලිඟු' උත්සවය - newsx.com 

මූලාශ්‍ර:

Headout.com

Tokyocheapo.com

Hairfreezingcontest

Related Articles