Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකා ක්‍රිකට් වංශකතාවේ සදානුස්මරණිය සිහිවටනය – විල්ස් ලෝක කුසලානය

අද අපි සැරසෙන්නේ ලාංකික සිංහයන්ගේ අභීත ජයග්‍රහණය නොහොත් 1996 ලෝක ක්‍රිකට් කුසලාන ජයග්‍රහණයේ රසවත් වැදගත් සිද්ධි සමූහයක් ගැන පොඩි ආවර්ජනයක් කරන්න. පළමු ලෝක ක්‍රිකට් කුසලාන ඉතිහාසයේ සිට විස්තර රැගෙන ආ මීට කලින් පලකළ ලිපි දෙකම කියවන්න ඇතැයි අපි සිතනවා. ඉන් පසු පැවැත්වූ විල්ස් ලෝක කුසලානය පිළිබඳවයි අද  ලිපිය. ඉතින් දිගටම කියවගෙන යන්න. පසු ගිය ලිපි දෙක බලන්නට අතපසු වුනානම් ඒ දෙකත් කියවලාම මේ ලිපිය බලන්න. එතකොට වඩාත් රසවත් වේවි.

පෘඩේන්ෂල් ලෝක කුසලාන තුනත් අනතුරුව පැවති රිලයන්ස් ලෝක කුසලානයත් පසුව 1992 පැවති බෙන්සන් ඇන්ඩ් හෙජස් ලෝක කුසලානයත් පිළිබඳව අපි පසුගිය ලිපි දෙකින් තොරතුරු ගෙන ආවා. අද එතැන් සිටයි ලිපිය දිග හැරෙන්නේ. ලාංකිකයන්ගේ නෙත්-සිත්, සිතුම්-පැතුම් ක්‍රිකට් ක්‍රීඩාව හා එක් වන්නට පාර කැපූ අපේ ක්‍රිකට් වංශ කතාවේ රන් අකුරින් ලියවුණු 1996  ක්‍රිකට් ලෝක කුසලානයේ සුන්දරත්වය දැනගන්න ආශාවකින් ඉන්නෙ නම් දිගටම කියවන්න. මගහැරුණු දෙයක් තියනවනම් අපට කියන්නත් අමතක කරන්න එපා.

රටවල් දොළහක් එක් කුසලානයක්

විල්ස් ලෝක කුසලානය අතැතිව අර්ජුන හා ගුරුසිංහ (The Cricket Monthly)

විල්ස් ලෝක කුසලානය අතැතිව අර්ජුන හා ගුරුසිංහ (The Cricket Monthly)

හයවන ලෝක කුසලාන තරඟාවලිය සංවිධානය කිරීමේ වගකීම පැවරුනේ ඉන්දියාව, පකිස්ථානය හා ශ්‍රී ලංකාවටයි. රටවල් 12ක් මේ සඳහා සුදුසුකම් ලබා තිබුනා- ඒ ටෙස්ට් වරම් දිනූ  රටවල් නවයක් සහ තවත් රටවල් තුනක්. මෙතෙක් ටෙස්ට් වරම් ලබාගෙන නොසිටි සිම්බාබ්වේ මේවන විට ටෙස්ට් වරම් ලබාගෙන තිබුනා. ටෙස්ට් වරම් නොලැබූ රටවල් තුන ලෙස තරඟාවලියට සහභාගී වූයේ කෙන්යාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා නෙදර්ලන්තයයි.

රටවල් දොළහ එක් කණ්ඩායමකට හයක් වනසේ A හා B ලෙස කණ්ඩායම් දෙකකට බෙදා දක්වා තිබුණා.

A කණ්ඩායම – ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව්වන්, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, සිම්බාබ්වේ, කෙන්යාව.

B කණ්ඩායම  – පාකිස්ථානය, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, එංගලන්තය, නෙදර්ලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය

ඕස්ට්‍රේලියාව හා බටහිර ඉන්දීය කොදෙව්වන් ශ්‍රී ලංකාවේ ආරක්ෂක තත්වය පිළිබඳව තමන්ට සෑහීමකට පත්විය නොහැකි බව පවසා ශ්‍රී ලංකාවේ පැවති තරඟ සඳහා සහභාගී වූයේ නෑ. මේ නිසා ශ්‍රී ලංකාව හා මෙම රටවල් දෙක අතර මෙරටේ පැවැත්වෙන්නට තිබූ තරඟ පැවැත්වුනේ නෑ. ඒ තුළින් අපේ කණ්ඩායමට නිරතරඟයෙන්ම ප්‍රසාද ලකුණු හතරක්  ලැබුනා.

විල්ස් ලෝක කුසලානය ආරම්භ වූයේ 1996  වර්ෂයේ පෙබරවාරි 14 වන දිනයි. ඒ ඉන්දියාවේ ගුජරාට් ක්‍රීඩාංගණයේදීයී. පළමු තරඟය පැවැත්වූයේ එංගලන්තය හා නවසීලන්තය අතරයි. සටන්කාමී පිතිහරඹ රටාවක් සමඟ පිටියට බට නවසිලන්ත ක්‍රීඩකයන් පළමු තරඟයේ ජයග්‍රහණය ලබා ගන්නේ ලකුණු 11කින්.

සනා-කලූ සුසංයෝගය

පන්දු යවන්නන් සසල කළ සනා-කලූ සුසංයෝගය (Deccan Chronicle)

පන්දු යවන්නන් සසල කළ සනා-කලූ සුසංයෝගය (Deccan Chronicle)

මූලික තරඟ වටයේදී ශ්‍රී ලංකාව පිළිවෙලින් සිම්බාබ්වේ, කෙන්යාව හා ඉන්දියාව පරාජයට පත් කරමින් A කණ්ඩායමේ පළමු ස්ථානයට පත්වෙනවා. තරඟ තුනම ජයග්‍රහණය කරමින් අපරාජිතයන් ලෙස අර්ධ-අවසාන පූර්ව තරඟ වටයට සුදුසුකම් ලබන්නේ බටහිර ක්‍රිකට් විචාරකයන්ව අන්දමන්ද කරමින්.

ශ්‍රී ලංකාවේ මෙම ජයග්‍රහණය සඳහා මුලික හේතුව ලෙස එකළ ක්‍රිකට් විචාරකයන් පවසන්නේ සනත් ජයසුරිය හා රොමේෂ් කලුවිතාරණ යන දක්ෂ පිතිකරු දෙපළගේ එක්වීම නොහොත් සනා-කලූ සුසංයෝගයයි. විශේෂයෙන් සනත් ජයසුරිය ලෝක අවධානය දිනූ ක්‍රීඩකයෙක් බවට පත් වන්නේ මෙම විල්ස් ලෝක කුසලානයේදීයි.

සිම්බාබ්වේ,කෙන්යාව හා ඉන්දියාව පරාජය කරමින් අපරාජිත සිංහයෝ පෙරටම

සිම්බාබ්වේට එරෙහිව අරවින්දගේ හා ගුරුසිංහගේ සම්බන්ධතාවය (www.cricbuzz.com)

සිම්බාබ්වේට එරෙහිව අරවින්දගේ හා ගුරුසිංහගේ සම්බන්ධතාවය (www.cricbuzz.com)

සිම්බාබ්වේ සමඟ කොළඹ එස්. එස්. සි. පිටියේ  පැවති පළමු තරඟයේදී කඩුලු හයක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් සමත් වෙනවා. ඒ අසංක ගුරුසිංහ හා අරවින්ද ද සිල්වාගේ අගනා පිතිකරණයත් සමඟයි. ලකුණු 91කින් ඉනිම සැරසූ අරවින්ද ද සිල්වා තරඟයේ වීරයා බවට පත් වෙනවා.

ශ්‍රී ලංකාව හා කෙන්යාව අතර පැවති තරඟයේ ශ්‍රී ලංකා පිළ රැස් කළ ලකුණු 398ක වාර්තාගත ලකුණු ප්‍රමාණය එක් දින කණ්ඩායමක් ලැබූ උපරිම ලකුණු සංඛ්‍යාව ලෙස මෑතක් වන තුරු පැවතුනා. පන්දු 115කදී හතරේ පහරවල් 14ක් හා අලංකාරවත් හයේ පහරවල් 5ක් සමඟ ලකුණු 145 රැස් කළ අරවින්ද ද සිල්වා දෙවන වතාවටත් තරඟයේ වීරයා බවට පත් වෙනවා. නායක අර්ජුන රණතුංග, රොමේෂ් කලුවිතාරණ, සනත් ජයසූරිය හා අසංක ගුරුසිංහගේ අනගි සහයත් මේ සඳහා ලැබෙනවා. පිළිතුරු ඉනිම ආරම්භ කරන කෙන්යාවට රැස් කිරීමට හැකි වන්නේ සියලු දෙනා දැවී ලකුණු 254ක් පමණයි. ස්ටීව් ටිකොලෝ ලකුණු 96ක් ලබාගැනීම සිදු කරනවා.

තුන්වන තරඟය ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වුනේ නවදිල්ලි නුවරදී. නායක මොහොමඩ් අසරුදීන් ප්‍රමුඛ ඉන්දියානු පන්දු යවන්නන්ට මහත් හිසරදයක් වෙමින් සනත් ජයසූරිය ඉතාමත් ප්‍රවේගකාරී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරන්නේ මෙම තරඟයේදීයි. අර්ජුන රණතුංග හා හෂාන් තිලකරත්න තුන්වැනි කඩුල්ල වෙනුවෙන් පවත්වාගෙන ගිය ලකුණු 131ක අනගි සම්බන්ධයද ජයග්‍රහණය සඳහා පිටුවහලක් විය. මේ අනුව කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 272ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරනවා.

සුපර් එයිට්

අපරාජිත ශ්‍රී ලාංකික කණ්ඩායම සුපිරි අටට (thecricketmonthly.com)

අපරාජිත ශ්‍රී ලාංකික කණ්ඩායම සුපිරි අටට (thecricketmonthly.com)

ශ්‍රී ලංකාව A කණ්ඩායමෙන් අපරාජිතයන් ලෙසත් දකුණු අප්‍රිකාව B කණ්ඩායමෙන් අපරාජිතයන් ලෙසත් මුලික තරඟ අවසාන වී අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබනවා. සුපිරි කණ්ඩායම් අට සඳහා පහත ආකාරයට රටවල් සුදුසුකම් ලබනවා.

A කණ්ඩායමෙන් – ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, බටහිර ඉන්දීය කොදෙව්වන්

B කණ්ඩායමෙන් – දකුණු අප්‍රිකාව, පාකිස්ථානය, නවසීලන්තය, එංගලන්තය

සුද්දන් අසරණ කරවූ සනත්ගේ ලකුණු මැෂිම

එංගලන්ත පන්දු යවන්නන්ට දිගට හරහට පහර දෙමින් (thecricketmonthly.com)

එංගලන්ත පන්දු යවන්නන්ට දිගට හරහට පහර දෙමින් (thecricketmonthly.com)

ශ්‍රී ලංකාව හා අර්ධ අවසන් පූර්ව තරඟයට එක් වූයේ නායක මයිකල් ඇතර්ටන් ප්‍රමුඛ B කණ්ඩායමේ හතරවන ස්ථානයේ පසු වූ එංගලන්ත පිළයි. තරඟය පැවැත්වුනේ පයිසලාබාද්හි ඉක්බාල් පිටියේදී. පන්දු 44කට මුහුණ දෙමින් ලකුණු 82ක් රැස් කළ සනත් ජයසුරිය ඊට හතරේ පහරවල් 13ක් හා හයේ පහරවල් 3ක් අන්තර්ගත කරනවා. මේ අනුව එංගලන්තය පරදවා කඩුලු 5ක අගනා ජයක් ලබා ගන්නට ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් සමත් වෙනවා. එංගලන්ත පන්දු යවන්නන් සසල කළ සනත් ජයසූරිය තරඟයේ වීරයාට හිමි සම්මානය ලබාගන්නවා.

මේ අනුව අර්ධ අවසන් පූර්ව තරඟ වලින් අවසන් පූර්ව තරඟය සඳහා පකිස්ථානය පරදවා ඉන්දියාවත්, දකුණු අප්‍රිකාව පරදවා බටහිර ඉන්දීය කොදෙව්වනුත්, නවසීලන්තය පරදවා ඕස්ට්‍රේලියාවත් සුදුසුකම් ලබනවා.

ක්‍රීඩාංගනයේ ගිනිමැල ගසා පිටියට විදුරු බෝතල් දමා ගැසූ ඉන්දියානු ප්‍රේක්ෂකයෝ

ගිනිමැල ගැසූ ඉන්දියානු ප්‍රේක්ෂකයෝ (www.cricbuzz.com)

ගිනිමැල ගැසූ ඉන්දියානු ප්‍රේක්ෂකයෝ (www.cricbuzz.com)

පළමු අවසන් පූර්ව තරඟය පැවැත්වුනේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර කල්කටාවේ ඊඩ්න් පාර්ක් ක්‍රීඩාංගනයේදීය. ප්‍රහාරාත්මක පිතිකරු යුගල වන සනත් හා කලුවිතාරණත්  අනතුරුව අසංක ගුරුසිංහගේ දැවී යන්නේ නොසිතූ ආකාරයටයි. ජවගල් ශ්‍රීනාත්ගේ උපක්‍රමශීලි පන්දු යැවීම තුළින් ශ්‍රී ලාංකික ආරම්භක පිතිකරුවන් තිදෙනාම මුල් ලකුණු 35දී හරවා යවනු ලැබූවත් අඩාල වූ ශ්‍රී ලංකා ඉනිම අර්ජුන රණතුංග, රොෂාන් මහානාම හා අරවින්ද ද සිල්වා විසින් යම් තාක් දුරට ගොඩනගනු ලබනවා.

පිළිතුරු ඉනිම ඇරඹු ඉන්දියානු පිතිකරුවන් වන නායක අසරුදීන් හා අජේ ජඩේජා ලකුණු  නොලබාම හරවා යැවීමට ශ්‍රී ලාංකික පන්දු යවන්නන්ට හැකි වෙනවා. කඩුලු අටක් දැවී ලකුණු 120ක් ලබාගෙන ඉන්දියානු කණ්ඩායම ඉතා අසීරු තත්වයක පසු වන විට ඉන් කුපිත වූ ඉන්දියානු ප්‍රේක්ෂකයන් ක්‍රීඩාංගනයේ තැනින් තැන ගිනිමැල ගසා විදුරු බෝතල් ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් දෙසට දමා ගැසීම හේතුවෙන් තරඟය නැවත්වීමට සිදු වෙනවා. ඒ හේතුවෙන් ඉතිහාසයේ ප්‍රථම වතාවට නරඹන්නන්ගේ අවිනීත බව නිසා තරඟයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට හිමි වෙනවා.

බටහිර ඉන්දීය කොදෙව්වන් හා පැවති අනෙක් අවසන් පූර්ව තරඟයෙන් ජයගත්තේ ඕස්ට්‍රේලියානු පිළයි, මෙහිදී ෂේන් වෝන්ගේ පන්දු යැවීම කැපී පෙනුනා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ සදා අමරණිය දවස

අවසාන තරඟයේදී ශ්‍රී ලංකා පිළ ජයග්‍රහණය කරා ගෙනයමින් (www.cricbuzz.com)

අවසාන තරඟයේදී ශ්‍රී ලංකා පිළ ජයග්‍රහණය කරා ගෙනයමින් (www.cricbuzz.com)

විල්ස් ලෝක කුසලානය සඳහා අවසන් තරඟය සදහා සුදුසුකම් ලැබුවේ ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියානු කණ්ඩායමයි. පාකිස්ථානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩා පිටිය තරඟය සඳහා තෝරාගෙන තිබුණා.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක අර්ජුන රණතුංග පන්දුවට පහර දීම සඳහා මාර්ක් ටේලර් ප්‍රමුඛ ඕස්ට්‍රේලියානුවන්ට ආරාධනා කරනවා. නායක මාර්ක් ටේලර් හා එක් වන රිකී පොන්ටින් දෙවන කඩුල්ල සඳහා ලකුණු 101ක සම්බන්ධතාවයක් ගොඩ නගන්නේ ශ්‍රී ලාංකික පන්දු යවන්නන්ට හිසරදයක් වෙමින්. පසුව එක්වන මයිකල් බෙවන් නොදැවී ලකුණු 36ක්ද ස්ටුවර්ට් ලෝ ලකුණු 22ක්ද ඇතුළුව පන්දු වාර 50 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 241ක් රැස් කරනු ලබනවා. පන්දු යැවීමේදී අරවින්ද ද සිල්වා ලකුණු 42කට කඩුලු 3ක් බිද හෙලනවා.

පිළිතුර ඉනිම අරඹන ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරුවන් දෙදෙනා වන සනත් ජයසූරියට හා රොමේෂ් කලුවිතාරණට බලාපොරොත්තු වූ ලෙස ලකුණු රැස් කිරීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් ඉඩ ලබා දෙන්නේ නෑ. ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු සුනු විසුනු කරමින් ජයසූරිය ලකුණු 9කටද කලුවිතාරණ ලකුණු 6කටද දැවී යනවා. අසීරු අවස්ථාවන් වලදී ශ්‍රී ලංකා පිළ ගොඩ ගැනීමට සිටින දැවන්තයන් දෙදෙනෙක් වන අරවින්ද ද සිල්වා හා අසංක ගුරුසිංහ තුන්වැනි කඩුල්ල සඳහා ලකුණු 125ක සම්බන්ධතාවයක් ගොඩනගන්නේ ක්‍රමයෙන් තරඟයේ වාසිය ශ්‍රී ලංකාව දෙසට ගෙන එමින්.

ෂේන් වෝන්ට රිදෙන්නට පහර දෙන අර්ජුන රණතුංග (Cricinfo)

ෂේන් වෝන්ට රිදෙන්නට පහර දෙන අර්ජුන රණතුංග (Cricinfo)

පසුව අරවින්ද ද සිල්වා සමඟ එකතුවන අර්ජුන රණතුංග නායකත්වයේ ලක්ෂණ මනා ලෙස විහිදුවාපාමින් හතරවන කඩුල්ල සඳහා ලකුණු 94ක සම්බන්ධතාවයක් ගොඩ නගන්නේ ලොව විශිෂ්ට පන්දු යවන්නෙක් වන ෂේන් වොන් ට පහර පිට පහර දෙමින්. කඩුලු 3ක් පමණක් දැවී නියමිත ඉලක්කය සපුරා ගන්නා ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් හය වන ලෝක කුසලානය තමන් සතු කරගන්නේ ගඩාෆි ක්‍රිඩා පිටියේ සතුටු කදුළු වගුරවමින්.

තරඟාවලිය පුරා තුන් ඉරියව්වෙන් දස්කම් පෑ සනත් ජයසූරිය වටිනාම ක්‍රීඩකයාට හිමි සම්මානය ලබා ගන්නවා. බෙනාසීර් බූතෝ අතින් විල්ස් ලෝක කුසලානය ලබාගන්නා අර්ජුන රණතුංග ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණය පිළිබඳව මෙසේ ප්‍රකාශ කරනවා.

ජයග්‍රහණයෙන් සතුටු වන ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්

ජයග්‍රහණයෙන් සතුටු වන ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්

“ජයග්‍රහණයට මූලිකම හේතුව අපේ අය එකාවන්ව එකමුතුව ක්‍රීඩා කිරීමයි”

ආරම්භයේ සිටම ලොව ප්‍රබලයන් දනගස්වමින් ක්‍රිකට් ලෝක කුසලාන ජයග්‍රහණය දක්වා පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයට ලොව නන් දෙසින් සුබ පැතුම් ගලාගෙන ආවා. ඒ වගේම මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දෙස අවඥාවෙන් බැලූ අනෙක් රටවලට මෙය රිදෙන අතුල් පහරක් වුණා.

කවරයේ පින්තුරය: The Cricket Monthly

Related Articles