Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දැයේ දරුවන්ව සදා සුරකින සුරක්ෂා

“සදා සුරකිමු දැයේ දරුවන්” යන තේමාව යටතේ පාසල් අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් ‘සුරක්ෂා’ නමින් රක්ෂණාවරණයක් ආරම්භ වන්නේ මීට වසර කිහිපයකට ප්‍රථම යි. මෑත කාල සීමාව තුළ එම රක්ෂණාවරණය යම් යම් අකර්මන්‍යතාවයන්ට ගොදුරු වුවත්, මේ වන විට එය ක්‍රියාත්මක මට්ටමේ පවතින බව අධ්‍යාපන අමාත්‍යංශය හා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සඳහන් කර තිබෙනවා. ඒ මඟින් පාසල් යන වයසේ සියලුම දරුවන් ආවරණයකට ලක් කෙරනවා.

ශ්‍රී ලංකාව තුළ පාසල් 11242ක් පමණ ඇති බව අධ්‍යාපන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඒ යටතට රජයේ පාසල්, ආධාර ලබන පුද්ගලික පාසල්, ආධාර නොලබන පුද්ගලික පාසල්, ජාත්‍යන්තර පාසල්, හා පිරිවෙන් ද අයත් වෙනවා. ඒ අනුව රජයේ හා පෞද්ගලික පාසල්වල අධ්‍යාපනය ලබන දරුවන්ට මෙන්ම පිරිවෙන්වල අධ්‍යාපනය ලබන සංඝයාවහන්සේලාට ද මෙම රක්ෂණ ආවරණය හිමි වෙනවා. මේ ආකාරයෙන් ඉතා විශාල පිරිසක් එකවර ජීවිත රක්ෂණ ආවරණයක් යටත් ලියාපදිංචි කළ ලංකාවේ පළමු අවස්ථාව ලෙස ද මෙය හැඳින්විය හැකි යි. 

මූලික ගෙවීමක් හෝ රක්ෂණ වාරික ගෙවීමක් නොමැත 

රජය විසින්ම සුරක්ෂා සිසු රක්ෂණය වෙනුවෙන් කරන සියලු ගෙවීම් සිදු කෙරෙනවා (newsfirst)

රක්ෂණය වෙනුවෙන් කිසිම ආකාරයෙන් මූලික ගෙවීමක් හෝ වාරික වශයන් මුදල් ගෙවීමක් සිදු කිරීමට ශිෂ්‍යයන්ගේ  භාරකරුවන්ට සිදු වන්නේ නෑ. රජය විසින්ම සුරක්ෂා සිසු රක්ෂණය වෙනුවෙන් කරන සියලු ගෙවීම් සිදු කරනු ලබනවා. මේ සඳහා රජය  මුලින්ම මුදල් යොමු කරන්නේ 2017 වසරේ දී යි. 

මෙහිදී රක්ෂණ සමාගමට රජය විසින් මුදල් බැර කිරීමෙන් ඔවුන්ට ලාභයක් ලැබීම සිදු වෙන අතරම මෙම කොමිස් මුදලෙන්  සුරක්ෂා සිසු රක්ෂණය යටතේ ළමුන්ගේ රක්ෂණයේ ආවරණය නොවන වෙනත් ක්ෂේත්‍ර ආවරණය කිරීම සඳහා ද පියවර ගනිමින් සිටින බව අධ්‍යාපන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සඳහන් කරනවා.

රක්ෂණයේ ප්‍රතිලාභ 

ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යංශය විසින් මෙය ක්‍රියාත්මක කරනු ලබනවා (dailynews.lk)

මේ යටතේ ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 5 සිට 19 දක්වා වූ, පාසල් යන වයසේ මිලියන 4.5කට ආසන්න සියලුම සිසුන් මේ රක්ෂණයට හිමිකම් කියනවා. සුරක්ෂා රක්ෂණ හිමිකම් යටතේ රජයේ හෝ පෞද්ගලික රෝහලක නේවාසික ප්‍රතිකාර සඳහා රුපියල් 200,000ක් ද, බාහිර ප්‍රතිකාර සඳහා රු.20,000/-ක් ද, අසාධ්‍ය රෝග ප්‍රතිකාර සඳහා රුපියල් 200,000ක සිට අවශ්‍යතාව අනුව ඒ සඳහා වැය වන මුළු මුදල ද, පූර්ණ අකර්මණ්‍යතාවක දී රු. 200,000ක් ද, අර්ධ අකර්මණ්‍යතාවක දී රු.150,000/- සිට රු. 200,000/-ක් දක්වා ද, මවුපිය වියෝවක දී එක් අයකුට රු. 200,000/- බැගින් දෙදෙනාටම ආවරණය ද ශිෂ්‍ය වියෝවක දී රු. 150,000/- ක මුදලක් ද ප්‍රතිලාභ ලෙස පිරිනැමෙනවා.

රක්ෂණය හිමිකම් කියන සෑම පාසල් දරුවෙක් සඳහා රක්ෂණ සංස්ථාව මඟින් කාඩ් පතක් නිකුත් කරනු ලබනවා. ප්‍රතිලාභ හිමිකරු ප්‍රතිකාර ගැනීමේ දී මෙම කාඩ්පත ඉදිරිපත් කළ යුතු වෙනවා. රක්ෂණය තුළින් මූලිකවම රජයේ රෝහල්වලින් ලබා ගන්නා ප්‍රතිකාර පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා. ඒ අනුව රජයේ සෞඛ්‍යය සේවාව රක්ෂණය මඟින් සම්පූර්ණයෙන්ම ආවරණය වෙනවා. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචිව ඇති ඕනෑම පෞද්ගලික රෝහලක් හෝ ආයුර්වේද රෝහලක් දරුවන්ගේ ප්‍රතිකාර සඳහා තෝරා ගන්නේ නම් ඒ සඳහාත් ආවරණයක් හිමිවෙන බව සඳහන් වෙනවා.

සුරක්ෂා රක්ෂණාවරණයේ ගෙවීම් ප්‍රමාද නොවී ලබා දීමට නම් ශිෂ්‍ය ඇතුළත් කිරීමේ අංකය හා පාසල් සංගණන අංකය නිවැරදිව ලබා දිය යුතු වෙනවා. ඒ සමගම දෙමවුපියන්ගේ හෝ භාරකරුගේ බැංකු ගිණුමේ සහතික කළ පිටපතක් ද අදාළ ලියකියවිලි සමග ඉදිරිපත් කළ යුතු යි. (දෙමාපිය මරණයක දී දරුවාගේ බැංකු ගිණුම ඉදිරිපත් කළ යුතු වෙනවා). එසේම වෛද්‍ය වාර්තා හෝ රෝග විනිශ්චය පත්‍රවල තොරතුරු වෙනස් කිරීමට උත්සාහ කිරීම, ප්‍රතිලාභ අහිමි කිරීමට හේතු වන බව ද ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සඳහන් කරනවා.

ප්‍රතිලාභ ගෙවන්නේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව යි 

සියලු පාසල් ළමුන් මේ ඔස්සේ ආවරණයට ලක්වෙනවා.(reliefweb)

පාසල් සිසු දරු දැරියන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරමින් ක්‍රියාවට නැංවෙන සුරක්ෂා සිසු රක්ෂණ වැඩසටහන මාස කිහිපයක අකර්මන්‍යතාවයකින් අනතුරුව 2020 මැයි මස 31 වැනි දා සිට ඉදිරියට නැවතත් ප්‍රතිලාභ ගෙවීමට සූදානම් බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ප්‍රතිලාභ ගෙවීම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මේ වන විට සුදානමින් සිටිනවා. 

ඒ අනුව, රක්ෂණ ප්‍රතිලාභ සඳහා නිවැරදිව සම්පූර්ණ කරන ලද ප්‍රතිලාභ අයදුම්පත් හා අදාළ ලිපි ලේඛන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා ප්‍රධාන කාර්යාලයට හෝ දිවයින පුරා පිහිටි ඕනෑම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා ශාඛාවක් වෙත පැමිණ හෝ තැපෑලෙන් ලබාදිය හැකි බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරනවා.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ 0112357357 යන දුරකථන අංකය හෝ සුරක්ෂා සේවාව සඳහා ම වෙන්වූ විශේෂ වූ දුරකථන අංක 0112319015/ 0112319016 හෝ 0112319017 ඇමතීමෙන් ලබාගත හැකියි. 

කවරයේ පින්තූරය - gogetfunding

මූලාශ්‍රයයන්:

News.lk

economynext.com

Related Articles