ඩීසල් විදුලි බලාගාරවලට ඩීසල් නැතිවීම නිසා දිනපතා විදුලිය කපන්නට සිදු වෙලා. ඒ අතර පසුගිය ජුනි 21වැනි දා වාර්තා වුණේ නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රයක් එහි නඩත්තු කටයුතු සඳහා අක්‍රිය කිරීමට සිදුව ඇති බව යි.
මේ නිසා විදුලිය කපන පැය ගණන යළිත් වැඩි කිරීමට සිදු වෙලා. නිතර කැඩෙන, විදුලි අවුල් මවන නොරොච්චෝලේ බලාගාරය ගැන ජනතාව තුළ ඇත්තේ යහපත් චිත්‍රයක් නම් නොවෙයි. මොකක්ද මේ නොරොච්චෝලේ නිතර කැඩෙන රහස කියලා සොයා බලන්නට අපි සිතුවා.
නිතර අක්‍රිය වීම සාමාන්‍ය දෙයක්
පුනි 18 දා අක්‍රිය කෙරුණු නොරොච්චෝලේ ජනන යන්ත්‍රය නඩත්තු කටයුතුවලින් පසුව එය පූර්ණ ධාරිතාවෙන් ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට තවත් දින 75ක පමණ කාලයක් ගත කාලයක් ගතවනු ඇතැයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා. මෙයට පෙර නොරොච්චෝලේ බලාගාරයේ තුන්වන ජනක යන්ත්‍රය 2021 වසරේ දෙසැම්බර් සිට අලුත්වැඩියා සඳහා අක්‍රීයව තැබුණු අතර, ඒ සඳහා චීන විශේෂඥයන් ද මෙරටට පැමිණ සිටියා.
එම ජනක යන්ත්‍රය අලුත්වැඩියා කිරීමෙන් පසු මෙගාවොට් 160ක් ජාතික පද්ධතියට එක් කළ බව විදුලි බල මණ්ඩලය 2022 ජනවාරි 31 වැනි දා සඳහන් කළා. එයට අමතර ව පසුගිය මැයි මාසයේ ද මෙහි දෝෂයක් හට ගත් අතර එය දින කිහිපයකින් අලුත්වැඩියා කර තිබෙනවා.
ගල් අඟුරු බලාගාරයක්
රටේ විදුලි අර්බුදයට විසඳුමක් ලෙස ගල්අඟුරුවලින් ක්‍රියාත්මක වන බලාගාරයක් ලංකාවට අවශ්‍ය බව 1995 දී ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කළා. බලාගාරය සඳහා මූලික ශක්‍යතා අධ්‍යයනය සිදු කළේ 1998 වර්ෂයේදී යි. බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ අවධියේ පටන්ම මේ සඳහා විරෝධතාවක් එල්ල වුණා. ඒ, ප්‍රදේශවාසීන්ගේ ඉඩම් අහිමි වීම, පරිසර දුෂණය හා සෞඛ්‍ය ගැටලු යන ප්‍රධාන කරුණු තුන මුල් කරගෙන යි. එම විරෝධතා මැඩ පවත්වා ඉදිකිරීම් ආරම්භ වුණේ මහින්ද රාජපක්ෂගේ පාලන කාලයේ දි යි.
මෙය ශ්‍රී ලංකාව තුළ පවත්නා එක ම ගල් අඟුරු බලාගාරය යි. ගල් අඟුරු බලාගාරය පුත්තලම් දිස්ත්‍රිකයේ, කල්පිටි අර්ධද්වීපයේ බටහිර වෙරළ තීරයේ පනයියාඩි ගම්මානයේ පිහිටා තිබෙනවා. මෙම ප්‍රදේශය රෝමානු කතෝලික සහ ඉස්ලාම් භක්තිකයන්ගෙන් යුක්ත යි. ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ ධීවර කර්මාන්තය හා ගොවිතැන් කිරීම යි.
එක ම ගල් අඟුරු බලාගාරය
බලාගාරය අක්කර 272ක ඉඩමක පිහිටා තිබෙනවා. බලාගාරයේ ඉදිකිරීම් 2006 මැයි මස 11 ඇරඹුණා. ඉදිකිරීම් අදියර 03ක් යටතේ සිදු කෙරුණු අතර 2014 වර්ෂයේ සැප්තැම්බර් මස වන විට මෙහි ඉදිකිරීම් කටයුතු අවසාන කෙරුණා. ඉන් පසු මෙම බලාගාරය මෙගාවොට් 900ක විදුලියක් උත්පාදනය කිරීමට සමත්. මෙගාවොට් 300 බැගින් නිපදවන විදුලි උත්පාදක යන්ත්‍ර තුනකින් බලාගාරය සමන්විත යි.
ලක්විජය විදුලි බලාගාර ව්‍යාපෘතියෙහි ප්‍රධාන කොන්ත්‍රාත්කරු චීනයේ CMEC ආයතනය යි. මෙම ව්‍යාපෘතිය සඳහා ණය ආධාර සැපයුවේ චීනයේ එක්සිම් බැංකුව මගින්. මෙහි ඉදිකිරීම් අවසන් වන විටට ඇ.ඩො. මිලියන 1346ක් වැය වී ඇති බව සඳහන් වුණා.
නඩත්තු කටයුතු
නඩත්තු කටයුතු සඳහා, වසර හතරකට වරක් නියමිත දින ගණනක් ඒ ඒ ඒකකය මුළුමනින් ම අක්‍රියකර තැබීම අනිවාර්ය අවශ්‍යතාවක් ලෙස සැලකෙනවා. ‘A මට්ටමේ අලුත්වැඩියාවක්’ සඳහා එක් ජනක යන්ත්‍රයක් දින 100ක පමණ කාලයක් බැගින් අක්‍රියකර තැබීමට අවශ්‍ය යි. ලක්විජය අඟුරු බලාගාරය රටෙහි විදුලි ඉල්ලුමෙන් හරි අඩක් ම සපයන බැවින්, මෙය අක්‍රිය වන සෑම අවස්ථාවක දී ම ශ්‍රී ලංකාවේ ජාතික විදුලිබල පද්ධතියට දැඩි බලපෑමක් සිදුවන බවට විදුලි ඉංජිනේරුවන් නිතර පවසනවා.
නිතර බිඳවැටීම්
බලාගාරයේ ඉදිකිරීම් අවස්ථාවල සිට එහි ගනුදෙනු ගැන විවිධ චෝදනා එල්ල වුණා. මේ සම්බන්ධයෙන් එල්ල වී ඇති තවත් විවේචනයක් වන්නේ ආරම්භයේ සිට ම, බලාගාරය රට මත බරපතල බලපෑම් ඇති කරමින් නිතර දෝෂවලට ලක් ව අක්‍රිය වීම යි.
2010 ඔක්තෝබර් මාසයේදී බලාගාරයේ ගින්නක් ඇති වූ අතර ගල් අඟුරු දහනයෙන් අපද්‍රව්‍ය පිටවන චිමිනියක සිරවීම හේතුවෙන් ගින්න හට ගත් බව විදුලිබල මණ්ඩලයේ නිලධාරින් පවසා සිටියා.
2012 ජුලි 22 වන දින බොයිලේරු අතර ජලය ගෙන යන නළවලින් එකක ඇති වූ කාන්දුවක් හේතුවෙන් බලාගාරයේ ක්‍රියාකාරිත්වය නතර වුණා. 2012 අගෝස්තු 8 වන දින විදුලි රැහැනක පැටලීමක් හේතුවෙන් ද බලාගාරයේ ක්‍රියාකාරිත්වය ඇනහිටියා. 2013 ජනවාරි 29 වැනි දින විදුලි බලාගාරය එහි සැලසුම් කළ 300MW මට්ටම ඉක්මවා ගිය අතර, එය සම්පූර්ණයෙන් ම බලාගාරය වසා දැමීමට හේතුවක් වුණා. යළිත් 2014 ජනවාරි 12 වන දින බලාගාරයෙන් වාෂ්ප කාන්දුවක් හෙළිවීමෙන් බලාගාරය දින හයක් වසා දැමුණා. නැවත ක්‍රියාත්මක කර දිනකට පසුව, අලුත්වැඩියා කළ කන්ඩෙන්සරයේ කාන්දුවක් නිසා බලාගාරය 26 වන වරටත් වසා දැමූ බව වාර්තා වුණා.
2020 අවුරුද්දේ මුල දී බලාගාරය රුපියල් කෝටි 69ක් වැයකොට මාස තුනක් පුරා අලුත්වැඩියා කටයුතු සිදු කළා. නැවත විදුලි උත්පාදනය යළි ආරම්භ කර දින 10කට පසු යළිත් එය අඩපණ ව ඇනහිටියා.
දෝෂවලට හේතුව බාල උපංගයි
නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරය මෙසේ නිතර බිඳ වැටීම්වලට හේතුව ඉදිකිරීමෙන් පසුව නිසි පරීක්ෂණ සේවාවකින් පසුව බාර නොදුන් නිසා බව විදුලි වෘත්තිය සමිති එකල පවසා සිටියා. බලාගාරයක් ඉදි කිරීමෙන් අනතුරු ව එහි විදුලිය බලය නිෂ්පාදනය කර එහි සේවාව ආණ්ඩුවට පෙන්වා දී එය නිසි පරිදි බාර දීම සාමාන්‍ය පිළිවෙත යි. එවැන්නක් මෙහි දී සිදු ව නැති බව යි වාර්තා වන්නේ. නිසි ප්‍රමිතියෙන් බලාගාරය හැදුවා නම් නිතර අක්‍රිය නොවන බව විදුලි ඉංජිනේරු මතය යි. 2020 පෙබරවාරි වන විට 57 වතාවක් බලාගාරය අක්‍රිය වී තිබුණා.
2012 දී ලංකා විදුලි බල මණ්ඩලයේ හිටපු සභාපති මහාචාර්ය විමලධර්ම අබේවික්‍රම මාධ්‍යවලට පවසා තිබුණේ තත්ත්වයෙන් බාල උපාංග යොදා ගෙන චීන සමාගම නොරොච්චෝලේ බලාගාරය ඉදිකළ බවයි. “ඒක හදන කොට තත්ත්වයේ යම්කිසි බාලකමක් උපාංගවල තියෙන්න ඇති කියන එක දැන් ඔප්පු වීගෙන යනවා. සමහර වෙලාවට නළ පද්ධතියක් පුපුරනවා. සමහර වෙලාවට වෑල්වලින් හුමාලය ලීක් වෙනවා,” හිටපු සභාපති මහාචාර්ය විමලධර්ම අබේවික්‍රම සදහන් කර ඇති කරුණක්.
අබලන් බලාගාරයක් ඇඟේ ගහලා
නොරොච්චෝලේ අඩු ප්‍රමිතියකින් යුතු බලාගාරයක්. එහි පරිපාලනය සම්බන්ධ ප්‍රශ්න තිබෙනවා. චීන සමාගම නිසි පරිදි ඒ තාක්ෂණය ඉංජිනේරුවන්ට ලබා දීලා නැහැ යයි ලංකා විදුලි සේවක සංගමය චෝදනා කළේ 2014 තරම් ඈතකදි යි. නොරොච්චෝලේ විදුලි බලාගාරය ඉදි කිරීමේ දී සිදුවූ වංචා සෙවීමට කොමිසමක් පත් කළ යුතු බවට ලංකා විදුලි සේවක සංගමය එකල ආණ්ඩුවෙන් ඉල්ලා සිටියා.
චීනයේ පිහිටුවා ඇති අනෙක් පැරණි ගල්අඟුරු බලාගාර පවා හොඳින් ක්‍රියාත්මක වෙනවා. මේ බලාගාරය අවුරුද්දට කීප සැරයක් කැඩෙනවා. ගලවා ඉවත් කළ අබලන් බලාගාරයක් ආටෝප කරලා ලංකාවට ගෙනවිත් සවි කළ බව පේනවා යයි එකල විදුලි වෘත්තිය සමිති චෝදනා කළා. මේ චෝදනාවල සත්‍ය අසත්‍යබව සෙවීමට බලධාරින් කටයුතු කළේ නැහැ. එයට හේතුව මෙම ගනුදෙනුව මුල සිට ම සැකයට බඳුන්වීම නිස යි.
ගල්අඟුරුවලිනුත් වංචා
ලක්විජය බලාගාරය සිය ප්‍රධාන ඉන්ධනය ලෙස භාවිතා කරන්නේ බිටුමිනස් ගල් අඟුරු යි. මුදල් අමාත්‍යාංශය අනුමත කළ ප්‍රසම්පාදන ක්‍රියාපටිපාටියක් අනුව යමින් බිටුමිනස් ගල් අඟුරු මිලදී ගැනීම ලංකා කෝල් සමාගම සිදු කරනවා. එය ලංවිමට අයිති සමාගමක්. සාමාන්‍යයෙන් ගල් අඟුරු ආනයනය සිදු කෙරෙන්නේ ඉන්දුනීසියාවෙන්, රුසියාවෙන් හෝ දකුණු අප්‍රිකාවෙන්. ඒ සඳහා යොදා ගන්නා ගල්අඟුරු ආනයනය කිරීමේදී ද විශාල දූෂණ සිදු වූ බවට පසුගිය කාලයේ වාර්තා වුණා.
ගල්අඟුරු සැපයීම මගින් රාජපක්ෂවරුන්ගේ හිතවත් ව්‍යාපාරිකයන් හා ඊට සම්බන්ධ වූ දේශපාලනඥයන් බිලියන ගණනින් ආදායම් ඉපැයූ බවට චෝදනා එල්ල වුණා. නොරොච්චෝලේ විදුලි බලාගාරයට ගල් අඟුරු සැපයීමේ දී 2014-2015 වසරවලදී පමණක් රුපියල් මිලියන 36,947.57ක මූල්‍ය අක්‍රමිකතාවයක් සිදුකර ඇති බව ගල්අඟුරු ටෙන්ඩරය ලබා දීම පිටුපස සිදු කර ඇති මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදු කෙරෙන විගණන පරීක්ෂණයක දී හෙළි වුණා. රජයේ විගණකාධිපතිවරයා සිදු කළ විගණන පරීක්ෂණවල දී ගල් අඟුරු මෙට්‍රික් ටොන් එක් ලක්ෂ අසූ එක්දහස් දහසයක (181,016) තොගයක් ගිණුම් වාර්තාවලට ඇතුළත් කර නොමැති බව ද සොයා ගැනීමට හැකිවුණා.
පරිසර ගැටලු
ගල් අඟුරු බලාගාරය අවට ජනතාවගේ සෞඛ්‍ය, ආරක්ෂාව සහ ජීවනෝපායන් සම්බන්ධයෙන් බරපතල බලපෑමක් ගොඩබිම සහ සාගරය යන දෙකට ම සිදු කරන බවට පරිසර සංවිධාන චෝදනා කරනවා. ගල් අඟුරු දහනයෙන් අළු වැනි අපද්‍රව්‍ය නිපදවන අතර ඒවා තුළ රසදිය වැනි බැර ලෝහ අඩංගු බැවින් මෙම ද්‍රව්‍ය මිනිස් සෞඛ්‍යයට හා පාරිසරික පැවැත්මට ඉතා අනතුරුදායක වෙනවා.
පසුගිය කාලයේ අපද්‍රව්‍ය බැහැර කිරීමට අමතරව බලාගාරය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ගල් අඟුරු ගබඩා කිරීම හා එහි තත්ත්වය පිළිබඳ ව ද බරපතළ ගැටලු මතු ව ඇති බව පරිසරවේදින් පෙන්වා දෙනවා. අවට ප්‍රදේශයේ වගාබිම් හා නිවෙස් මතත් ගල්අඟුරු අළු පැතිරීම ගැනත් වාර්තා වුණා.