Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දකුණු ඇමරිකාව තුළ සීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වසංගතය

චීනයෙන් ආරම්භ වුණු කොරෝනා වසංගතය ටික කලකින්ම යුරෝපයටත්, ඇමරිකාවටත් දැඩි බලපෑමක් එල්ල කරනු ලැබුවා. එනිසා කොරෝනා වසංගතය හේතුවෙන් වැඩිම මරණ වාර්තා වුණු රටවල් අතරට ඇමරිකා එක්සත් ජනපදය, ඉතාලිය, එංගලන්තය, ස්පාඤ්ඤය, සහ ප්‍රංශය යන රටවල් එක්ව සිටිනවා. ඇමරිකාව සහ යුරෝපය කොරෝනාවෙන් බැට කෑම අරඹන විට දකුණු ඇමරිකාවට එහි බලපෑම තදින්ම දැනී තිබුණේ නැහැ. නමුත් මේ වන විට කොරෝනා වසංගතය දකුණු ඇමරිකානු කලාපය පුරා දරුණු අන්දමින් පැතිරමින් පවතිනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් මේ වන විට එම කලාපයේ සමස්ත කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය ලක්ෂ 17 ඉක්මවා ගොස් තිබෙනවා. 

දකුණු ඇමරිකාවට කොරෝනා පැමිණි හැටි 

දකුණු ඇමරිකානු රටකින් පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වුණේ පෙබරවාරි 25 වැනිදා යි. කොරෝනාවෛරසය ආසාදනය වී තිබුණේ බ්‍රසීලයේ සාඕ පාවුලෝ නගරයේ වැසියෙකුට යි. බ්‍රසීලයෙන් පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වී දින 38ක් ගතවන විට කලාපයේ සෑම රටකින්ම කොරෝනා ආසාදිතයන් වාර්තා වුණා. නමුත් වර්තමානය වන විට ඉන් රටවල් 7ක පමණක් කොරෝනා වසංගතය දරුණු ලෙසින් පැතිර යමින් තිබෙනවා.

දකුණු ඇමරිකාව තුළ කොරෝනා සීඝ්‍රයෙන් වර්ධනය වුණු කාල සීමාව 

කොරෝනා වසංගතයෙන් වැඩිම පීඩාවකට ලක් වුණු දකුණු ඇමරිකානු රට වන්නේ බ්‍රසීලය යි. පසුගිය අප්‍රේල් 10 වැනිදා වන විට බ්‍රසීලයෙන් වාර්තා වුණු කොරෝනා රෝගීන් ප්‍රමාණය 19,789ක් ලෙසින් සටහන් වුණා. නමුත් අප්‍රේල් 10 වැනිදා සිට මැයි 1 වැනිදා දක්වා ගෙවුණු සති 3 ඇතුළත බ්‍රසීලයේ කොරෝනා ආසාදිතයින්ගේ ප්‍රමාණය සීඝ්‍රයෙන් වර්ධනය වුණා. ඒ අනුව මැයි 1 වැනිදා වන විට බ්‍රසීලයෙන් වාර්තා වුණු කොරෝනා රෝගීන්ගේ ප්‍රමාණය 92,109 දක්වා ඉහළ ගොස් තිබුණා. එලෙස අප්‍රේල් 10 වැනිදා  සිට ආරම්භ වුණු අඛණ්ඩ කොරෝනා රෝගීන්ගේ වැඩි වීම තවමත් සිදුවෙමින් පවතිනවා.  එහි ප්‍රතිඵලයක් වශයෙන් පසුගිය ජූනි 19 වැනිදා වන විට බ්‍රසීලයේ කොරෝනා රෝගීන්ගේ ප්‍රමාණය 1,038,568 දක්වා ඉහළ ගොස් තිබුණා. අද (ජුනි 29) වන විට බ්‍රසීලයේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 1,345,254ක්.

බ්‍රසීලයේ කොරෝනා ආසාදිත රෝගීන් වැඩිවුණු හැටි (worldometers.info)

බ්‍රසීලයට පසුව කොරෝනා රෝගීන්ගේ ප්‍රමාණය සීඝ්‍රයෙන් ඉහළ ගිය රට බවට පත්වුණේ පේරු රාජ්‍යය යි. අප්‍රේල් 10 වැනිදා වන විට පේරු රාජ්‍යයෙන් වාර්තා වුණු කොරෝනා ආසාදිතයන්ගේ ප්‍රමාණය 5,897ක් ලෙසින් සටහන් වුණා. ඉන් අනතුරුව පේරු රාජ්‍යය තුළ සීඝ්‍රයෙන් කොරෝනා වසංගතය පැතිරී ගිය නිසා මැයි 1 වැනිදා වන විට එරටින් වාර්තා වුණු කොරෝනා රෝගීන්ගේ ප්‍රමාණය 40,459 දක්වා ඉහළ ගියා. එම කොරෝනා රෝගීන්ගේ අඛණ්ඩ වැඩි වීම දිගින් දිගටම සිදු වුණු නිසා පසුගිය ජූනි 19 වැනිදා වන විට පේරු රාජ්‍යයෙන් කොරෝනා ආසාදිතයින් 247,925ක් වාර්තා වී තිබුණා. අද වන විට එහි කොරෝනා රෝගීන් සංඛ්‍යාව 279,419ක්.

පේරු රාජ්‍යයේ කොරෝනා ආසාදිත රෝගීන් වැඩිවුණු හැටි (worldometers.info)

එම රටවල් දෙකට පසුව දකුණු ඇමරිකානු කලාපයේ ඉහළම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන රට වන්නේ චිලී රාජ්‍යය යි. පසුගිය මාර්තු 31 වැනිදා සිට ක්‍රමයෙන් වැඩි වුණු චීලී රාජ්‍යයේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ජූනි 19 වැනිදා වන විට 231,393ක් දක්වා වර්ධනය වී තිබුණා. අද වන විට එහි කොරෝනා රෝගීන් සංඛ්‍යාව 271,982ක්.

චිලී රාජ්‍යයේ  කොරෝනා ආසාදිත රෝගීන් වැඩිවුණු හැටි (worldometers.info)

දකුණු ඇමරිකානු කලාපය තුළ පිහිටා තිබෙන ඉතිරි රටවල් කිහිපය අතුරින් වැඩිම කොරෝනා ආසාදිතයන් ගණනක් සිටින රට බවට පත්ව තිබෙන්නේ කොළොම්බියාව යි. පසුගිය ජූනි 19 වැනිදා වන විට එරටින් වාර්තා වුණු සමස්ත කොරෝනා රෝගීන්ගේ ප්‍රමාණය සටහන් වුණේ 63,276ක් ලෙස යි. අද වන විට එහි කොරෝනා රෝගීන් සංඛ්‍යාව  91,769ක්. ඊට අමතරව දකුණු ඇමරිකානු කලාපය තුළ පිහිටා ඇති ඉක්වදෝරය, ආජන්ටිනාව, සහ බොලිවියාව යන රටවලින් ද පසුගිය ජූනි 19 වැනිදා වන විට සැලකිය යුතු කොරෝනා රෝගීන් ප්‍රමාණයක් වාර්තා වුණා. එහි දී ඉක්වදෝරයෙන් රෝගීන් 49,731ක්, ආජන්ටිනාවෙන් රෝගීන් 39,570ක්, බොලිවියාවෙන් රෝගීන් 22,476ක් වාර්තා වී තිබුණා.

වැඩිම කොරෝනා මරණ ප්‍රමාණය බ්‍රසීලයෙන් 

පසුගිය ජූනි 19 වැනිදා වන විට දකුණු ඇමරිකානු කලාපයෙන් කොරෝනා රෝගීන් 1,701,177 ක් වාර්තා වී තිබුණා. එලෙස වාර්තා වුණු රෝගීන් අතුරින් 68,830ක් මරණයට පත්ව තිබුණා. එහි දී වැඩිම මරණ ප්‍රමාණයක් බ්‍රසීලයෙන් වාර්තා වුණා. පහත දැක්වෙන්නේ එක් එක් රටින් වාර්තා වුණු කොරෝනා මරණ ප්‍රමාණය යි.

බ්‍රසීලය- මරණ 49,090

පේරු- මරණ 7,660

ඉක්වදෝරය- මරණ 4,156

චිලී- මරණ 4,093

කොළොම්බියාව- මරණ 2045

ආජන්ටිනාව- මරණ 979

බොලිවියාව- මරණ 715

ආසාදිතයන් 915,745ක් සුවය ලබයි 

දකුණු ඇමරිකානු කලාපය තුළ වාර්තා වුණු රෝගීන් 1,701,177 අතුරින් 915,745 දෙනෙකු ජූනි 19 වැනිදා වන විට සුවය ලබා තිබුණා. පහත දැක්වෙන්නේ එක් එක් රටින් වාර්තා වුණු සුවය ලැබූ රෝගීන්ගේ ප්‍රමාණය යි.

බ්‍රසීලය- 520,360

චිලී- 191,491

පේරු- 135,520

ඉක්වදෝරය- 24,446

කොළොම්බියාව- 23,988

ආජන්ටිනාව- 11,851

බොලිවියාව- 4,670

කොරෝනා වසංගතය දකුණු ඇමරිකාව තුළ දිගු කාලයක් පවතින ලකුණු 

පසුගිය මාසය තුළ දකුණු ඇමරිකානු කලාපයෙන් වාර්තා වුණු සමස්ත කොරෝනා රෝගීන්ගේ ප්‍රමාණය ආසන්න වශයෙන් ලක්ෂ 12ක් පමණ වුණා. ඒ අනුව වර්තමානය වන විට කොරෝනා වසංගතය සීඝ්‍රයෙන් පැතිර යන කලාප අතරට මෙම කලාපයත් අයත්. පසුගිය ජූනි 19 වැනිදා වන විට නිකුත්ව තිබුණු කොරෝනා වසංගත දත්තයන්ට අනුව දකුණු ඇමරිකානු කලාපය තුළ ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන්ගේ ප්‍රමාණය 716,602ක් ලෙසින් සටහන් වුණා. ඒ අනුව තවත් මාස කිහිපයක් යන තුරු දකුණු ඇමරිකානු ජනතාවට කොරෝනා වසංගතය සමග සටන් කිරීමට සිදුවනු ඇති. 

කවරයේ ඡායාරූපය- බ්‍රසීලයේ කොරෝනා වසංගත තත්ත්වය (gettyimages)

සැලකිය යුතුයි- මෙම ලිපිය ලිවීමේ දී භාවිතා කර තිබෙන්නේ ජූනි 19 වැනිදා වන විට නිකුත් වී තිබුණු කොරෝනා වසංගතය පිළිබඳව දත්ත යි.

මූලාශ්‍රයයන්- worldometer

Related Articles