Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකා මහ බැංකුව හා බැඳුම්කර

ශ්‍රී ලංකාවේ මහ බැංකුව තරම් ඉකුත් කාලය තුල වඩාත්ම කතා බහට ලක් වූ දෙයක් නොමැති තරම්. මහ බැංකුව, බැඳුම්කර, ගැණුම්කරුවන් ගැන දේශපාලන ක්ෂේත්‍රයේ පමණක් නොව සාමාන්‍ය සමාජය තුලත් කතා බහට ලක්ව වුණා. නමුත් මුල්‍ය ක්ෂේත්‍රයේ අය හැරෙන්නට මහා බැංකුවේ ක්‍රියාවලිය හෝ බැඳුම්කර කියන්නේ මොකක්ද කියලා හරියටම දැනගෙන හිටියේ සීමිත පිරිසක්. මේ නිසා අපි ශ්‍රී ලංකා මහ බැංකුව හා බැඳුම්කර ගැන කතා කරන්න හිතුවා.

(මහ බැංකු ලාංඡනය) – http://newsfirst.lk/

මහ බැංකුවේ ආරම්භය

ඉංග්‍රීසි පාලන සමයේ දී ශ්‍රී ලංකාවේ මුදල් ප්‍රතිපත්තිය පවත්වාගෙන යනු ලැබුවේ 1884 අංක 32 දරණ කඩදාසි මුදල් ආඥා පනත යටතේ පිහිටවන ලද ව්‍යවහාර මුදල් මණ්ඩල පද්ධතිය මඟින්.

නමුත් නිදහස ලැබීමත් සමඟ රටේ සිදු කිරීමට නියමිත සංවර්ධන අවශ්‍යතා සඳහා මෙම මුදල් මණ්ඩල පද්ධතිය ප්‍රමාණවත් නොවූ නිසා මහ බැංකුවක් පිහිටුවීමට මෙරට රජය විසින් තීරණය කරනු ලැබූවා. ඒ සඳහා අවශ්‍ය විශේෂඥ දැනුම ලබා ගැනීමට සහාය බ්‍රිතාන්‍ය රජයෙන් ඉල්ලා සිටිනු ලැබුවා. එම ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් ෆෙඩරල් සංචිත මණ්ඩලයේ ආර්ථික විද්‍යාඥයෙකු වූ ජෝන් එක්ස්ටර් මහතා මෙරටට පැමිණියා. ඔහු බැංකුව සඳහා නෛතික සහ තාර්කික රාමුව අඩංගු එක්ස්ටර් වාර්තාව ඉදිරිපත් කරනු ලැබුවා. ඒ අනුව 1949 අංක 58 දරණ මුදල් නීති පනත යටතේ ලංකා මහ බැංකුව පිහිටුවනු ලැබුවා. එහි මෙහෙයුම් කටයුතු අරඹනු ලැබුවේ 1950 අගෝස්තු 28 වෙනිදා. මහ බැංකුවේ ප්‍රථම අධිපතිවරයා වූයේත් ජෝන් එක්ස්ටර් මහතා යි.

1972 දී ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් වීමෙන් පසු 1985 දී එය ශ්‍රී ලංකා මහ බැංකුව ලෙස නැවත නම් කරනු ලැබුවා.

http://www.marketoracle.co.uk

ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යයන්

අර්ධ ස්වාධීන ආයතනයක් වන ශ්‍රී ලංකා මහ බැංකුව ශ්‍රී ලංකා මූල්‍ය පද්ධතියේ කේන්ද්‍රීය ස්ථානය ලෙසයි සැලකෙන්නේ. ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් ඉටු කරනු ලබන කාර්යයන් ලෙස,

  • ආර්ථික හා මිල ස්ථායීතාවය පවත්වාගෙන යාම
  • මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවය පවත්වගෙන යාම
  • ව්‍යවහාර මුදල් නිකුත් කිරීම සහ කළමනාකරණය කිරීම
  • රජයේ බැංකුකරු මෙන්ම ආර්ථික උපදේශකයෙකු ලෙස කටයුතු කිරීම

දැක්විය හැකියි.

එසේම ශ්‍රී ලංකා රජයේ නියෝජිතයෙකු ලෙස,

  • සේවක අර්ථසාධක අරමුදල කළමනාකරණය කිරීම
  • විනිමය පාලන පනතට අනුව විනිමය කටයුතු කළමනාකරණය කිරීම
  • ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය කළමනාකරණය කිරීම
  • ග්‍රාමීය සංවර්ධනය උදෙසා විදේශාධාර හා රජයේ අරමුදල් මගින් කෙරෙන ණය යෝජනා ක්‍රම පරිපාලනය කිරීම

යනාදිය දැක්විය හැකියි.

පරිපාලන ව්‍යුහය

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා වන්නේ එහි අධිපතිවරයායි. වර්තමානයේ මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතායි.

http://nation.lk

Topic – ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි

මුදල් නීති පනතට අනුව සංස්ථාපිත වගකීම පැවරී ඇත්තේ මුදල් මණ්ඩලයටයි. මුදල් මණ්ඩලය මහ බැංකුවේ කළමණාකරණයට, මෙහෙයුමට සහ පරිපාලනයට සම්බන්ධ සියළු ම ප්‍රතිපත්ති තීරණ ගැනීම සඳහා වගකිව යුතුයි.

මුදල් මණ්ඩලය සාමාජිකයන් පස් දෙනෙක් ගෙන් සමන්විතයි. ඒ මහ බැංකුවේ අධිපති, මුදල් අමාත්‍යාංශයේ ලේකම් සහ විධායක් නොවන සාමාජිකයන් තිදෙනෙකු ලෙස. ඒ අතුරින් මහ බැංකුවේ අධිපති සහ විධායක නොවන සාමාජිකයන් තිදෙනා පත් කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසින්. ඒ මුදල් අමාත්‍යවරයාගේ නිර්දේශ මත. එසේම අධිපතිවරයාගේ සහ විධායක නොවන සාමාජිකයන් තිදෙනාගේ නිල කාලය වසර හයක්. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා පත්වන්නේ නිල බලයෙන්.

මුදල් මණ්ඩල රැස්වීමක් සඳහා සාමාජිකයන් තිදෙනෙකුගේ ගණ පූරණයක් තිබීම අත්‍යාවශ්‍යයි. එසේම තීරණයක් වලංගු වීම සඳහා සාමාජිකයන් තිදෙනෙකුගේවත් අනුමැතිය තිබීම අත්‍යාවශ්‍ය වෙනවා. ඒකමතික තීරණයක් සඳහා සාමජිකයන් සියල්ලන්ගේම අනුමැතිය තිබීම අත්‍යාවශ්‍යයි.

ප්‍රාදේශීය කාර්යාල

ප්‍රාදේශීය ආර්ථික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීමේ අදහසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය කාර්යාල මාතර, අනුරාධපුර, මාතලේ, යාපනය, ත්‍රිකුණාමලය, කිලිනොච්චි සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල පිහිටුවා තිබෙනවා.

බැඳුම්කර

TransferWise

ශ්‍රී ලංකාවේ බැදුම්කර වෙළඳපල 1990 දි ආරම්භ වී තිබෙනවා. සරලවම කිව්වොත් බැදුම්කරයක් කියන්නේ රජය විසින් නිශ්චිත කාල සීමාවක් තුල ණය සපයන්නෙකුට යම් ස්ථිර පොලියක් ගෙවන බවට වන පොරොන්දුවකට. භාණ්ඩාගාර බැදුම්කර රජයේ භාණ්ඩාගාරය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව මගින් වෙන්දේසි මාර්ගයෙන් නිකුත් කරනු ලබනවා. එවැනි අවස්ථාවක රජයෙන් ඍජුවම බැදුම්කර මිළදී ගත හැක්කේ ප්‍රාථමික අලෙවිකරුවන්ට පමණයි.  භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ අරමුණ තමයි රාජ්‍ය වියදම් සදහා මුදල් සැපයීම හා ණය සුරැකුම් වෙළඳපල සංවර්ධනය කිරිම.

ප්‍රාථමික අලෙවිකරුවන්

ප්‍රාථමික අලෙවිකරුවක් කියන්නෙ 1923 අංක 8 දරණ දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත සහ 1937 අංක 7 දරණ ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත යටතේ ශ්‍රී ලංකා ලංකා මහ බැංකුව විසින් පත් කරන ලද රජයේ සුරැකුම්පත් වෙළෙඳපොලෙහි විශේෂ ආයතන වලටයි. බොහෝ වානිජ බැංකු වගේම වෙනත් ආයතනයන් කිහිපයක් ප්‍රාථමික අලෙවිකරුවන් වෙනවා. මේ දිනවල කතා බහට ලක්වෙන Perpetual Treasuries සමාගම එවන් ප්‍රාථමික අලෙවිකරුවෙක්. ප්‍රාථමික අලෙවිකරුවන් පිළිබඳ විස්තර මහ බැංකු වෙබ් අඩවියෙන් ලබාගන්න පුළුවන්.

ද්විතීයික ගැණුම්කරුවන්

ප්‍රාථමික අලෙවිකරුවන් වෙතින් බැඳුම්කර මිලට ගැනීමට ද්විතීයික ගැණුම්කරුවන්ට හැකියි. මේ සඳහා සුදුසුකම් ලැබිය හැකි ගැණුම්කරුවන් පිළිබඳ විස්තර  ප්‍රාථමික අලෙවිකරුවන් වෙතින් ලබා ගත හැකියි.

https://upload.wikimedia.org

බැඳුම්කරයට සම්බන්ධ හැඳින්වීම්

බැදුම්කරයක් ගැන කතා කිරීමේදී වැදගත් යෙදුම් කිහිපයක් අනිවාර්යයෙන් දැනගත යුතුයි. ඒවා තමයි,

  • මුහුණත වටිනාකම
  • පොළි අනුපාතිකය
  • පරිණත කාලය

මේ යෙදුම් එකින් එක හඳුනා ගනිමු.

මුහුණත වටිනාකම

මුහුණත අගය හෙවත් නාමික අගය කියන්නේ භාණ්ඩාගාර බැඳුම්කරයක් වෙනුවෙන් පරිණත කාලය අවසන් විමේ දි මහ බැංකුව විසින් ගෙවිමට පොරොන්දු වන මුදලයි. ඒ ඒ බැඳුම්කර වල මුහුණත අගයේ ප්‍රමාණය මහ බැංකුව විසින් තිරණය කරනු ලබනවා.

පොළි අනුපාතිකය

මෙහිදි පොළී අනුපාතිකය කියන්නේ බැඳුම්කර වල ආයෝජනය කරන්නෙකුට එම බැඳුම්කරය කල් පිරෙන කාලය තෙක් මහබැංකුව විසින් ගෙවනු ලබන ස්ථාවර පොළි අනුපාතිකයටයි.

කල්පිරිමේ දිනය හෙවත් පරිණත දිනය

බැඳුම්කර නිකුත් කරන්නේ නිශ්චිත පරිණත දිනයක් සහිතවයි. පරිණත දිනය යනු ඒවා නිකුත් කිරිමෙන් පසු නාමික අගය ආපසු ගෙවීමට බැඳි සිටින දිනයයි. බැඳුම්කර යනු දිගුකාලින ණය සුරැකුමන් වන බැවින් පරිණත කාලය වසරකට වඩා වැඩි වෙනවා. අවුරුදු දෙකක සිට විස්සක් දක්වා මෙම කාලය වෙනස් වෙන්න පුළුවන්.

බැඳුම්කර වෙන්දේසිය සිදුවන්නේ කෙසේද?

මහ බැංකුව වෙන්දේසිය පිළිබද විස්තර පුවත්පත්  නිවේදනයක් මගින් ප්‍රාථමික අලෙවිකරුවන්ට  දැනුම් දෙනවා. මේ නිවේදනයේ නිකුත්කරන සුරැකුම්පත් ප්රමාණය, පරිණත කාලය, කූපන් අනුපාතය, වෙන්දේසි දිනය වගේ විස්තර සඳහන්වෙනවා. මෙහිදී තරඟකාරී වෙන්දේසියක් මගින් මිල පදනම මත ප්රාථමික අලෙවිකරුවන් වෙත මෙම සුරැකුම්පත් නිකුත් කරනු ලබනවා. ලංසු තැබීම සිදු වන්නේ ස්වයංක්‍රීය ඉලෙක්ට්‍රොනික ක්‍රියාවලියකින්.

බැඳුම්කර වල වාසි

  • බැඳුම්කර වල ආයෝජනය කිරීමෙන් ගැණුම්කරුවන්ට ඉහල පොලියක් ලබාගත හැකියි. වෙළඳ පොළ අනුව පොලී අනුපාත තීරණය වන නිසා ඉහළ පොලී අනුපාතයක් හිමි වෙනවා.
  • බැඳුම්කර ද්විතීයික වෙළඳපොළේ අලෙවි කරන්න ප්‍රාථමික අලෙවිකරුවන්ට පුළුවන්. ද්විතීයික වෙළඳපොල තුලත් බැඳුම්කර වලට ලොකු ඉල්ලුමක් තිබෙනවා.
  • මෙය නිකුත් කරනුයේ ස්වෛරී ආණ්ඩුවක් මඟින් නිසා නිසැකවම අවදානම් රහිත ආයෝජනයක්. එ් නිසා මෙය ඉහළම ආරක්ෂණයක් සහිත ආයෝජනයක් ලෙස සලකන්න පුළුවන්.

මූලාශ්‍ර

http://www.cbsl.gov.lk/

http://www.ft.lk/columns/issue-of-treasury-bonds-cb-has-finally-vindicated-direct-placements/4-635047

http://www.combank.lk/newweb/en/non-resident/investments/treasury-bonds

http://www.investinganswers.com/financial-dictionary/bonds/government-bond-5780

කවරයේ පිංතූරය – asianmirror.lk

Related Articles