අමෙරිකා එක්සත් ජනපදයේ විසූ රොබට් බොබ් නෙල්සන් වෘත්තියෙන් රූපවාහිනී කාර්මිකයෙක්. ඔහු ඉතාමත් සාමාන්‍ය මට්ටමේ අධ්‍යාපනයක් ලද අයකු වුණා. උසස් අධ්‍යාපනය හරිහැටි අවසන් කර නොතිබූ ඔහුට විද්‍යා අංශයෙන් තබා වෙනත් කිසිදු අංශයක උපාධියක්වත් තිබුණේ නැහැ. මෙවැන්නකු, අනාගතයේ නැවත පණගැන්වීම සඳහා ලොව පළමු වරට මිනිසකු අධි ශීත කිරීම සිදුකිරීමට මූලිකත්වය ගෙන ක්‍රියා කරාවි යැයි කිසිවකුත් සිහිනෙකිනුදු සිතුවේ නැහැ.
1962 වසර වන විට බොබ් නෙල්සන් ඉතා සාමාන්‍ය රූපවාහිනී කාර්මිකයකු ලෙස කටයුතු කරමින් සිටියා. එකල පටන් මිනිසුන් හා අවයව අධිශීත කර නැවත අවදි කරවීම සඳහා නොතිත් ආශාවක් ඔහු තුළ පැළපදියම් ව තිබුණා. ඔහු සමඟ ඔහු හා සමාන අදහස් දරන කිහිප දෙනකු එක් වූ අතර, ඔවුන් සියලු දෙනා, මිනිසකු මියගිය වහා ම අධිශීත කර, ශතවර්ෂ ගණනාවක් තබා නැවත පණගැන්විය හැකි යැයි තදින් ම විශ්වාස කළ අය යි. මේ කිහිපදෙනා එක් වී 1967 වසර වන විට සාර්ථක ව, පළමු වතාවට එලෙස මිනිසකු අධිශීත කිරීමට භාජනය කළා. ඔවුන් කිසිවිටක බලාපොරොත්තු නොවූ තත්වයක් උදා වූයේ ඉන් කෙටි කලකට පසු යි.
රූපවාහිනී අලුත්වැඩියාවේ සිට මිනිසුන් අධි ශීත කිරීම දක්වා
බොබ් නෙල්සන් උපත ලැබුවේ 1936 වසරේදී අමෙරිකා එක්සත් ජනපදයෙහි, මැසචුසෙට්ස් ප්‍රාන්තයේ බොස්ටන් හී දී යි. ඉතා කටුක කුඩා කාලයකට හිමිකම් කියූ ඔහුට ජීවත් වීමට සිදු වූයේ දැඩි ලෙස සුරාවට ලොල් වූ සිය මව හා, සොරකම්වල නිරත වූ සුළු පියා සමඟ යි. ඔහුගේ පියා ඔහු උපදින්නටත් පෙර ම සිය මව හැර ගොස් තිබුණා.
බොඩ් කුඩා කල සිට ම විවිධ දේ සොයා බලන්නකු වූ අතර, විද්‍යාවට සම්බන්ධ අසාමාන්‍ය දෑ පිළිබඳ ව ඔහුට තිබුණේ මහත් වූ කැමැත්තක්. කෙසේ නමුත් සිය පවුලේ තිබූ ගැටලු නිසා ඔහුට සිය වෘත්තිය වශයෙන් තෝරාගැනීමට සිදු ව තිබුණේ රූපවාහිනී අලුත්වැඩියා කිරීම යි. මේ පිළිබඳ ව යම් දක්ෂතාවක් බොබ්ට පිහිටා තිබූ අතර, මෙමගින් සැනසිලිදායක මට්ටමේ මුදලක් ඔහුට ලැබුණා. කෙසේ නමුත් කුඩා කල සිට ම බොබ්ට වුවමනාවක් තිබුණේ නව නිපැයුම් හා සොයාගැනීම කරන විද්‍යාඥයකු වීමට යි. විශේෂයෙන් කාය ව්‍යච්ඡේද විද්‍යාව පිළිබඳ ඔහුට විශාල උනන්දුවක් තිබුණා. රොබට් එටින්ගර් රචනා කර තිබූ ‘ද ප්‍රොස්පෙක්ට් ඔෆ් ඉමෝටැලිටි’ නම් ග්‍රන්ථය ඔහු කියවා තිබුණා.
අනාගතයේ ප්‍රතිකර්ම සොයා ගත හැකි රෝගයක්
එහි ‘මරණය’ නොවැලැක්විය හැකි ලෝක ධර්මතාවකට වඩා අනාගතයේ ප්‍රතිකර්ම සොයා ගත හැකි රෝගයක් ලෙස න්‍යායාත්මක ව හුවා දක්වා තිබුණා. මෙය බොබ්ගේ සිතටට තදින් ම කාවැදුණු දෙයක්. තව දුරටත් එහි සඳහන් ව තිබුණේ යම් මිනිසකු මරණයට පත් විගස ම අධිශීත කර තැබුවහොත්, මතුයම් දිනෙක, මරණයට ප්‍රතිකර්ම කිරීමේ තාක්ෂණයක් ලොව පහළ වූ කල, එම මෘත ශරීරය නැවතත් සාමාන්‍ය උෂ්ණත්වයට ගෙන ‘ පණගැන්විය’ හැකි වනු ඇති බව යි. බොබ් යම් දිනක මෙය ප්‍රායෝගික ව සිදු කරන්නට අධිෂ්ඨාන කර ගෙන තිබුණා.
කාලයාගේ ඇවෑමෙන් කැලිෆෝනියාවට සේන්දු වූ බොබ්ට ඔහු හා සමාන මත දරණ කිහිප දෙනකුගේ සංගමයක් මුණ ගැසෙනවා. ‘කැලිෆෝනියාවේ මිනිසුන් අධිශීත කරන්නන්ගේ සංගමය ‘ නම් වූ එයට බැඳෙන්නට ඔහු දෙවරක් සිතුවේ නැහැ. බොබ්ගේ උනන්දුව හා ක්‍රියාශීලී ක්‍රියාකලාපය නිසා ඉක්මනින් ම ඔහු එහි සභාපතීත්වයෙන් පිදුම් ලබනවා. එතැන් පටන් ඔහු උත්සාහ කළේ හැකි ඉක්මනින් මිනිසුන් අධිශීත කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට යි.
මෙම සංගමයේ සිටි බොහෝ දෙනා මහලු, දුබල හා පසුගාමී මත දරන්නන් වූ නිසා බොබ්ට සිය සිතැඟි ඉටු කර ගැනීම පහසු දෙයක් වූයේ නැහැ. බොහෝ දෙනා මේ ‘මිනිසුන් අධි ශීත කිරීම’ පිළිබඳ ව උනන්දුවෙන් කතා කළත්, ඒ කිසිවකුට එය ප්‍රායෝගිකව ක්‍රියාවේ යෙදවීමට වුවමනාවක් තිබුණේ නැහැ. විශේෂයෙන් මුල් කාලයේ බොබ්ට හමු වූ, මෙම මතය පිළිගන්නා විද්‍යාඥයන් කිහිපදෙනාටවත් ඒ පිළිබඳ ව විශ්වාසයක් තිබුණේ නැහැ. තත්ත්වය තවත් බැරෑරුම් වූයේ බොබ් ඇතුළු සංගමයේ සියලු ම දෙනාට පාහේ සැලකිය යුතු විද්‍යා දැනුමක් නොතිබීම නිස යි.
අභියෝගවලින් නොසැළුණු බොබ් 1966 වසරේ දී ‘ ලයිෆ් එක්ස්ටෙන්ෂන් සොසයිටි’ හෙවත් ‘ජීවිතය දිගුකිරීමේ සංගමය’ නම් සංගමයක් පිහිටුවා ගත් අතර, ඔහු එහි සභාපති බවට ද පත්වෙනවා. ඔහුගේ සංගමයට බැඳුණේ ඔහුගේ මතයේ දැඩි ලෙස ම එල්බගෙන සිටි, එය ප්‍රායෝගික ව ක්‍රියාවේ නැංවීමට යුහුසුළු වූ අය පමණයි. මේ අනුව එම වසරේදී ම ඔවුන්ට මෙලෙස ‘අධිශීත’ වන්නට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වූවකු සොයාගන්නට ලැබෙනවා.
‘යකඩ හදවත’ නම් යන්ත්‍රයක්
මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්ය ජේම්ස් බෙඩ්ෆර්ඩ් නම් ඔහු වකුගඩුවල ඇතිවූ පිළිකා තත්වයක් නිසා මිය යමින් සිටි අතර, බොබ් ඇතුළු පිරිසගේ ඉල්ලීම පරිදි, මිය ගිය වනම අධිශීත වන්නට මහාචාර්ය ජේම්ස් බෙඩ්ෆර්ඩ් එකඟතාව පළ කරනවා. කෙසේ නමුත්, අපේක්ෂා කළාට වඩා ඉක්මනින් ඔහු මිය ගිය අතර බොබ් ඇතුළු පිරිස අපහසුතාවට පත් වූයේ ඒ වන විටත් ඔහු වෙනුවෙන් ඔවුන් තනමින් තිබූ අධි ශීත කුටීරයේ කටයුතු අවසන් ව නොතිබීම නිසා යි. කෙසේ නමුත් ලත් අවස්ථාව මග හැර ගැනීමට බොබ් අකැමැති වූ අතර, ඇරිසෝනා හි ඉදිවෙමින් පවතින කුටීරයේ කටයුතු අවසන් වෙනතුරු, ඒ අවට සිටි මිතුරන් කිහිප දෙනකුගෙන් අයිස් කැට ඉල්ලා ගනිමින් මෘත ශරීරය නරක් නොවී තබා ගැනීමට ඔහු වග බලා ගන්නවා. කුටීරයේ වැඩ අවසන් වන තුරු මෘත ශරීරය තබා තිබුණේ ද මිතුරකුගේ නිවසක යි.
1967 වසරේ ජනවාරි මාසය වන විට අධි ශීත කුටීරයේ වැඩ අවසන් වූ අතර, බෙඩ්ෆර්ඩ් ගේ දේහය එය තුළ තැන්පත් කෙරුණා. ඔහුගේ ග්‍රීව පෙදෙසින්, වෛද්‍ය විද්‍යාත්මක ව අනුමත කරන ලද ප්‍රති අධි ශීත කාරකයක් එන්නත් කළ අතර, ‘යකඩ හදවත’ නම් යන්ත්‍රයක් ඔස්සේ, ශරීරය පුරා සංසරණය වෙන පරිදි ඊට ඔක්සිජන් සැපයුණා. දේහය තැන්පත් කරන ලද්දේ කුටීරය ඩ්‍රයි අයිස් හෙවත් ඝණ තත්ත්වයේ පවතින කාබන් ඩයොක්සයිඩ්වලින් පිර වූ පසුව යි. නෙල්සන් ඇතුළු පිරිසගේ මෙම ව්‍යායාමය අමෙරිකාව පුරා ඉක්මනින් ම ප්‍රචලිත වූ අතර, කෙමෙන් කෙමෙන් ඔහුගේ අතට මුදල් මෙන් ම, තමන්ගේ ඥාතීන් අධිශීත කරන ලෙස වූ ඉල්ලීම් ද ගලා එන්නට වුණා.
දිගින් දිගට සිය ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමේදී විද්‍යාත්මක දැනුම මඳකමට අමතර ව, බොබ් ඇතුළු පිරිසට ගැටලු ගෙන දුන් ප්‍රධානත ම සාධකයක් වූයේ, මේ සඳහා නිසි ප්‍රතිපාදන නොලැබීම යි. අධිශීත කුටීර නියමිත තත්වයට සෑදීම සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදු වූ නිසා අවසන ඔවුන් ස්ටයිරෆෝම් ස්ථරවලින් අසුරණ ලද කුටීර ඒ සඳහා යොදා ගත්තා. ලොව මේ වන විට මිනිසුන් අධිශීත කිරීමේ සංගම් කිහිපයක් ම ඇති වී තිබූ මුත්, ඒ කිසිවක එම විෂය ක්ෂේත්‍රය ප්‍රගුණ කළ අයකු සිටියේ නැහැ.
අවම වශයෙන් වෛද්‍යවරුන් හෝ සුදුසුකම් ලත් මළසිරුරු සකසන්නකු හෝ සිටියේ නැහැ. බොබ්ට මළසිරුරු සකසන්නකු වූ ජෝෂප් ක්ලොක්ගෙදර් ගේ සහය ලැබුණා. ඔහු මළසිරුරට අවශ්‍ය දියර වර්ග විදීම හා, කුටීර තුළ එය ඇසිරීම සිදු කළා. බොබ් අධිශීත කළ සිරුරු තුනක් සහිත කුටීර ඔහු සිය ව්‍යාපාරික ස්ථානයේ කොටසක තබා ගත්තා. කෙසේ නමුත් කල් යත් ම ජෝෂප්ට මේ ‘විකාරරූපී’ ව්‍යායාමය පිළිබඳ ව කුකුසක් පහළ වූ අතර, ඔහු බොබ්ට එම සිරුරු ඉවත් කර ගන්නා ලෙස යෝජනා කරනවා.
අභියෝග හමුවේ නොසැලුණු බොබ්
අභියෝග හමුවේ නොසැලුණු බොබ් සිය කටයුත්ත දිගට ම කරගෙන යාම සඳහා 1970 වසරේදී චැට්ස්වර්ත් හි ඕක්වුඩ් සිහිවටන උද්‍යාන සුසාන භූමිය තෝරාගන්නවා. මේ වන විට තවත් නව දෙනකු බොබ් ගෙන් සේවය ලබාගැනීමට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් ව සිටි අතර ඔවුන් ලුයිස් නිස්කෝ, හෙලන් ක්ලයින්, ස්ටීවන් මැන්ඩෙල්, පෙඩ්‍රෝ ලෙඩෙස්මා, රස් ස්ටැන්ලි, මිල්ඩ්‍රඩ් හා ගේලෝඩ් හැරිස්, මාරි ෆෙල්ප්ස්-ස්වීට් හා ජෙනෙවීව් ඩෙ ල පෝත්‍රේ නම් වුණා. මින් මාරි ෆෙල්ප්ස්-ස්වීට් මෙලෙස අධිශීත පරිරක්ෂණයට ලක් වූ පළමු තැනැත්තිය වුණා. පිළිකාවකින් මිය ගිය අට හැවිරිදි දැරියක වූ ජෙනෙවීව් මේ ක්‍රියාවලියට භාජනය වූ පළමු දරුවා වුණා.
කාලයාගේ ඇවෑමෙන් බොබ් දැඩි ගැටලු රාශියකට මුහුණ දුන්නේ සිය අධිශීත පරිරක්ෂණ ක්‍රියාවලිය නිසි ලෙස සිදු කර ගැනීම සඳහා අවශ්‍ය වන මුදල් ඒ වන විටත් නොලැබීමෙනු යි. ඒ වන විටත් අධිශීත කර තිබූ සිරුරු සහිත කුටීරවලට අයිස් නැවත සැපයීම හා, අප ජලය බැහැර කිරීමට විශාල මුදලක් අවශ්‍ය වුණා.
ඒවා අඩු මුදලකට කරන්නට උත්සාහ ගැනීමටවත් දැනුමක් ඔහු සතු ව තිබුණේ නැහැ. මේ නිසා සමහර සිරුරුවල තත්ත්වය ද එන්න එන්න ම නරක අතට හැරුණා. මේ හේතුවෙන් ඔවුන්ගේ ඥාතීන්ගෙන් ඔහුට අපවාද ද එල්ල වුණා. මෙහි ප්‍රතිඵලයක් ලෙස 1979 වසරේදී ඔහු සිය කුටීර සහිත ස්ථානය වසා දමා පිටත් ව යනවා.
අපේක්ෂා නොකළ අවසානයක්
බොබ් ඉවත්ව යන විට ඔහුගේ ‘පර්යේෂණාගාරය” තුළ සිරුරු 9ක් තිබුණා. නිසි ලෙස රැක බලා ගැනීමකින් තොරව මේවා කෙමෙන් කෙමෙන් ජීර්ණය වන්නට පටන් ගත්තා. මින් දුගඳ හැමීමට පටන් ගැනීමත් සමඟ, සුසාන භූමිය පවත්වා ගෙන යන අය එහි දොර ස්ථිර වශයෙන් වසා දැමූ අතර, එහි වූ සිරුරු පිළිබඳ ව ඉන් පසු කිසිදු වාර්තාවක් ලබාගැනුණේ නැහැ.
අපේක්ෂා භංගත්වයට පත් බොබ් නෙල්සන් සිය පර්යේෂණය පසෙක ලා ඉවත් ව ගොස් ටික කාලයකින් ඔහු හා ඔහුගේ මිතුරු ක්ලොක්ගෙදර්ට එරෙහි ව නඩු පවරන්නට, ඔවුන් අධිශීත පරිරක්ෂණයට ලක් කළ සිරුරු හිමි අයගේ ඥාතීන් කටයුතු කළා. ඒ සිය මිය ගිය ඥාතීන්ට අගෞරව කළ බවට පවසමින්. තමන් සතු සියල්ල විකුණා දමා අමෙරිකානු ඩොලර් අට ලක්ෂයක වන්දියක් ගෙවූ ඔහු ඉන් අනතුරු ව මිනිසුන් අධිශීත කිරීම සම්පූර්ණයෙන් ම පසෙක ලූ අතර, අපවාදවලින් බේරීමට සිය නම ද වෙනස් කරගෙන අලුත් ජීවිතයක් ආරම්භ කළා.
බොබ් නෙල්සන්ගෙන් පසු කිහිප දෙනකු ම නවීන තාක්ෂණය යොදා ගෙන සිරුරු අධිශීත පරිරක්ෂණය කරන්නට උත්සාහ ගෙන තිබෙනවා. අද වන විට එලෙස සිරුරු ගණනාවක් ම පරිරක්ෂණය වී තිබෙනවා. මේ අතර 2011 වසරේ මියගිය ආචාර්ය රොබට් එටින්ගර්ගේ සිරුර ද වෙනවා. මොවුන්ගේ ව්‍යායාමය සාර්ථක ද යන්න මතු අනාගතයේ තාක්ෂණය මත තීරණය වෙනු ඇති.