අතීතයේ මෙරට ගෘහ නිර්මාණ ශිල්පය ඉතා දියුණු මට්ටමක පැවැති බව සිහිගන්වන විශිෂ්ට ඉදිකිරීම් ගණනාවක් විවිධ ප්‍රදේශවල පිහිටා තිබේ. අනුරාධපුර, පොලොන්නරුව සහ කුරුණෑගල වැනි දිස්ත්‍රික්කවල පිහිටා ඇති ඉපැරණි දාගබ්, පොකුණු සහ වැව් වැනි දේ මෙන් ම, අධිරාජ්‍යවාදී පාලනයට යටත් ව තිබූ අවධියේ කොළඹ, මහනුවර සහ ගාල්ල වැනි ප්‍රදේශවල ඉදි කළ සුවිසල් ගොඩනැගිලි ද ඊට කදිම නිදසුන් ය.
මෙරට ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ටත්වය විදහාපාන එවැනි බොහෝ දේ තිබෙන්නාක් මෙන් අනිකුත් රටවල ද විශිෂ්ට ගෘහ නිර්මාණ ලක්ෂණවලින් හෙබි විවිධ ඉදිකිරීම් දැකිය හැකි ය. එවැනි නිර්මාණ බහුල ව දැකිය හැකි රටවල් අතර අප අසල්වැසි ඉන්දියාව ප්‍රධාන තැනක් ගනී. මෙම ලිපිය ඉන්දියාවේ ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ උනන්දුවක් දක්වන බොහෝ දෙනකුගේ අවධානයට ලක්වන ගුජරාට් ප්‍රාන්තයේ පිහිටි එවැනි ඉදිකිරීමක් පිළිබඳ යි.
ගුජරාට් ප්‍රාන්තයේ, ගාන්ධිනගර් නගරයේ පිහිටා ඇති, මනස්කාන්ත පියගැටපෙළක් සහිත අඩ්ලාජ් ළිඳ ඉන්දියාවේ ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ටත්වය පිළිබිඹු කරන ඉදිකිරීමක් ලෙස සැලැකේ. ක්‍රිස්තු වර්ෂ 1498 දී එවකට ‘දණ්ඩායි දේශ්’ හි ‘වාගෙලා’ නම් රාජවංශයට අයත් රණවීර් සිං රජු මෙහි ඉදිකිරීම් ආරම්භ කර තිබේ.
අඩ්ලාජ් ළිඳ
මහල් පහක ගොඩනැඟිල්ලක පහත මාලයේ පිහිටි අඩ්ලාජ් ළිඳේ කැණීම් සහ අනිකුත් ඉදිකිරීම් 1498 දී ආරම්භ කර තිබේ. මෙම ළිඳේ ඉදිකිරීම් රණවීර් සිං රජු ආරම්භ කළ නමුත් යුද්ධයක් අතරතුර ඔහු මිය ගියේ ය. ඉන් පසුව එම යුද්ධයෙන් ජයග්‍රහණය කළ අසල්වැසි රාජ්‍යයක මුස්ලිම් රජ කෙනෙක් වූ ‘මහමුද් බෙගාඩා’ එහි ඉදිකිරීම් අවසන් කර තිබේ. ඉන්දු- ඉස්ලාම් යන ශෛලීන් දෙකට ම අයත් ගෘහ නිර්මාණ ලක්ෂණ මෙහි දැකිය හැක. ඒ සඳහා බංග්ලාදේශ මුදල් ඒකකයක් වන ටකා ලක්ෂ පහක් පමණ එකල වැය වී ඇති බව කියැවේ.
මෙම ළිඳේ එක් පසෙක පිහිටා තිබෙන දොරටුවක් අසල ඇති සංස්කෘත භාෂාවෙන් ලියැවුණු සෙල්ලිපියක එහි ඉතිහාසය පිළිබඳ දීර්ඝ වශයෙන් සඳහන් වේ. ළිඳ අසල පිහිටා ඇති තවත් සෙල්ලිපියක එක්තරා රැජනක් වර්ණනා කරමින් ලියා ඇති වැකි කිහිපයක් දැකිය හැකි ය. මෙම ළිඳට බැසීම සඳහා ඉදිකර ඇති පියගැටපෙළ විවිධ රජවරුන් වරින් වර ප්‍රතිසංස්කරණය කර තිබේ.
ගෘහ නිර්මාණ ලක්ෂණ
අඩ්ලාජ් ළිඳ මහල් පහකින් යුක්ත වන අතර ඒ සියල්ල ඉතා සියුම් කැටයම් සහිත කුළුණු මත ඉදි කර තිබේ. ඉහළ සිට බලන විට එය අෂ්ටාශ්‍ර හැඩයක් ගනී. ළිඳේ සෑම මහලක් ම විශාල පිරිසකට එක්රැස් විය හැකි ආකාරයෙන් ඉදිකර තිබීම විශේෂත්වයකි. වහලයක් ඉදි කර නොමැති නිසා සහ වෙනත් කිසිවකින් ආවරණය කර නැති නිසා ළිඳට ඉහළින් පිහිටි පස්මහල් ගොඩනැඟිල්ලට ඉතා හොඳින් ආලෝකය සහ වාතාශ්‍රය ලැබේ.
ළිඳේ ඉහළ ම මහලේ සිට පහළ මාලය දක්වා ගමන් කිරීමට භාවිත කළ හැකි පියගැටපෙළ තුනක් ඉදිකර ඇති අතර එය විශේෂ ලක්ෂණයකි. ඉහළ ම මහලේ දකුණු පසින් පිහිටා ඇති පිවිසුමෙන් පියගැටපෙළට පිවිසිය හැකි අතර එතැන් පටන් ඇති පියගැටපෙළ තුන, දකුණු, නැගෙනහිර සහ බටහිර දිසාවන්ට විහිද යයි. පහත මාලයේ කොන් හතරෙහි ඉතා සියුම් කැටයම් සහිත ජනේල හතරකින් සමන්විත කුඩා කාමර හතරක් පිහිටා තිබේ.
ළිඳ හා බැඳී ඇති පුරාවෘත්ත
මෙම ළිඳ හා බැඳී ඇති එක් පුරාවෘත්තයක් වන්නේ එවකට දණ්ඩායි දේශ් නමින් හැඳින්වූ ප්‍රදේශයේ උග්‍ර ජල හිඟයක් පැවැති බවත්, ඊට විකල්පයක් ලෙස රණවීර් සිං මෙම ළිඳ කැණීම ආරම්භ කළ බවත් ය. කෙසේ වෙතත් එහි ඉදිකිරීම් අවසන් වීමට පෙර ඊට අසල්වැසි රාජ්‍යයක රජකම් කළ බෙගාඩා දණ්ඩායි දේශ් රාජ්‍යය ආක්‍රමණය කර තිබේ. එම සටන අතරතුර රණවීර් සිං ජීවිතක්ෂයට පත් වූ අතර එතැන් පටන් බෙගාඩා එහි රජු වශයෙන් කටයුතු කළේ ය. සිය සැමියාගේ ආදාහනය සිදුවන දින ඔහුගේ දේහය දැවූ දරසෑයට පැන දිවිනසා ගැනීමට රණවීර් සිං ගේ බිරියට අවශ්‍ය වුවත් බෙගාඩා ඇය වලක්වා, ඇයට විවාහ යෝජනාවක් ගෙනැවිත් තිබේ.
ඛේදවාචකයක්
ඉතා රූමත් කාන්තාවක් වූ ඇය එක් කොන්දේසියක් මත ඔහු සමඟ විවාහ වීමට කැමැත්ත පළ කළා ය. ඒ ඇය සමඟ විවාහ ගිවිස ගැනීමට පෙර ඔහු රණවිර් සිං ආරම්භ කළ ළිඳ ඉදි කර අවසන් කළ යුතු බව යි. අතිශයින් ම රූමත් කාන්තාවක් වූ ඇය සමඟ කෙසේ හෝ විවාහ වීමට අවශ්‍ය වූ රජු ද ඇගේ කොන්දේසිය අනුව ළිඳේ ඉදිකිරීම් නියමිත කාලය තුළ අවසන් කළේ ය. ඉදිකිරීම් අවසන් වූ පසු රජු ඇයට එම පොරොන්දුව සිහිපත් කළේ හැකි ඉක්මනින් ඇය සමඟ විවාහ වීමේ අටියෙනි.
කෙසේ වෙතත් සිය සැමියාගේ වියෝව නිසා බෙහෙවින්ම කනගාටුවට පත් ව සිටි ඇය බෙගාඩා සමඟ විවාහ වීම වෙනුවට සිය දිවි නසා ගැනීමට තීරණය කළා ය. ඇය ළිඳ වටා කිහිප වරක් පැදකුණු කොට අවසානයේ ඊට පැන සිය දිවි නසා ගත් බව ජනප්‍රවාදයේ කියැවේ. ඇය ළිඳට පැන සිය දිවි නසාගැනීමට පෙර පූජකයන් කිහිප දෙනකුට එහි ස්නානය කිරීම සඳහා ආරාධනා කළ බව තවත් ජනප්‍රවාදයක සඳහන් වේ. පූජකවරුන්ගේ ස්පර්ශයෙන් පාරිශුද්ධත්වයට පත් වූ ජලයට පැන දිවිනසා ගැනීමෙන් පව් සෝදා හැරිය හැකි බව ඇය විශ්වාස කළ බව සඳහන් වේ.
තවත් ජනප්‍රවාදයක්
මෙම ළිඳ අසල පිහිටා ඇති සොහොන් කිහිපයක් සහ ළිඳ අතර ඇති සම්බන්ධතාවක් පිළිබඳ තවත් ජනප්‍රවාදයක් තිබේ. එහි එන ආකාරයට එම සොහොන් බිමේ මිහිදන් කර ඇත්තේ අඩ්ලාජ් ළිඳ කැණීමට සහ ඒ මත පිහිටා ඇති සුවිසල් ගොඩනැඟිල්ල ඉදිකිරීමට දායක වූ සේවකයන් කිහිප දෙනෙක් වේ. එහි ඉදිකිරීම් අවසන් වූ පසු තවත් ඒ හා සමාන ළිඳක් ඉදි කළ හැකි ද යන්න බෙගාඩා එම සේවකයන්ගෙන් විමසා තිබේ. ඔවුන් එවැනි ළිඳක් ඉදි කළ හැකි බව පැවසූ අවස්ථාවේ බෙගාඩා ඔවුන් සියලු දෙනා මරා දැමීමට අණ කර තිබේ. මෙම ළිඳේ ඇති අපූර්වත්වයට දැඩි ලෙස ඇලුම් කළ බැවින් තවත් එවැනි නිර්මාණයක් බිහි වීම වැලැක්වීමේ අරමුණින් ඔහු එම සේවකයන් මරා දැමූ බව කියැවේ.
ප්‍රසිද්ධ සංචාරක ගමනාන්තයක්
අහමදාබාද් නගරයේ සිට කිලෝමීටර් 18ක් වැනි දුරින් පිහිටි ගාන්ධිනගර් හි පිහිටි අඩ්ලාජ් ළිඳ සංචාරකයන් අතර ප්‍රසිද්ධ ස්ථානයකි. බොහෝ දෙස් විදෙස් සංචාරකයන් එය නැරඹීමට පැමිණෙන අතර ඔවුන් සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් වැනි දේ ඉතා පහසුවෙන් සපයාගත හැක.
මහාමාර්ග, දුම්රිය මාර්ග සහ ගුවන් පථ මගින් ඉන්දියාවේ සියලු ප්‍රදේශ සමඟ ඉතා හොඳින් සම්බන්ධ වන අහමදාබාද් නගරයට පැමිණෙන බොහෝ සංචාරකයන් මෙම ළිඳ දැක බලාගැනීමට අමතක කරන්නේ නැත.