Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තිස් ලක්ෂයකට මරු කැඳවූ දෙවන ලෝක යුද්ධයේ බෙංගාල සාගතය

විශාල යුධ කෝලාහල වලදී සාමාන්‍ය ජනතාව කෙලින්ම බෝම්බ,උණ්ඩ සහ ප්‍රහාර වලට ලක්ව මරුමුවට පත් වෙති.  යුධමය අවස්ථාවකදී ඇතිවන වෙනත් වක්‍රාකාර හේතු නිසාද විශාල ජනතාවක් මරුමුවට පත්වෙති. දෙවන ලෝක යුද්ධයේදී ආසන්න වශයෙන් සිදුව ඇති සියළුම හමුදා මරණ (Military Deaths) සංඛ්‍යාව මිලියන විස්සකි.

ඒ හා සමානම මිලියන විස්සකට වඩා විශාල ජනතාවක් සාගතය සහ ඒ ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් දෙවන ලෝක යුද්ධයේදී වද වේදනා විඳිමින් අන්ත දුක්ඛදායක ලෙස ලොව පුරා මරණයට පත්වූහ.

බෙංගාල තත්ත්වය

(ibtimes.com)

(ibtimes.com)

බෙංගාලය යනුවෙන් එකල හැඳින්වුයේ අද බටහිර බෙංගාලය, ඔරිස්සාව, බිහාරය වර්ථමාන බංග්ලාදේශ රට ආදී නිදහසට පෙර බ්‍රිතාන්‍ය ඉන්දියාවේ විශාල බෙංගාලයයි. බ්‍රිතාන්‍ය යටත් විජිත කාලයේදී බෙංගාලයේ පරිභෝජනයට අවශය සහල් වැඩිප්‍රමාණයක් ලැබුනේ යාබද බුරුම (වර්ථමාන මියන්මාර) රටෙනි.

බෙංගාලයට පමණක් නොව එවකට බ්‍රිතාන්‍ය යටත් විජිත ලෙස පැවති ඉන්දියාවේ බොම්බාය, කේරළය, තමිල්නාඩුව සහ ලංකාව ඇතුලු සහල් පරිභෝජනය කරන ස්ථාන  බොහොමයකට සහල් සැපයීම කරන ලද්දේ බුරුම දේශයේ සහල් අස්වැන්න මගිනි.

1931 දී මැන්චූරියාව ආක්‍රමණය කරමින් දෙවන ලෝක යුද්ධයට මුල්ම ආක්‍රමණය එකතු කල ජපන්නු පැසිෆික් සාගරයේ චීනය, කොරියාව, ඉන්දුනීසියාව, පිලිපීනය, තායිලන්තය යටත් කරගෙන ඉන්දියන් සාගරය කරාද පැමිණෙනන්ට විය. 1942 දී ජපන්නු බුරුමයද ආක්‍රමණය කල අතර ජපන් ආක්‍රමණයෙන් ගැලවෙන්නට බුරුම ජනයාද විශාල වශයෙන් බෙංගාලයට ඇදෙන්නට විය.

බෙංගාලයේ පෝලිමක්. (ichef.bbci.co.uk)  

බෙංගාලයේ පෝලිමක්. (ichef.bbci.co.uk)

ඒ වනවිට ස්වාභාවික කුණාටු සුලං තත්වයකටද බෙංගාල ගොවීන් මුහුනදී තිබුනි.ජපානය බුරුමය යටත් කරගැනීමෙන් පසු බෙංගාලයට ලැබෙන සහල් සැපයුම නැවතුනි. ඒ පමණක් නොව ගබඩා කොට තිබු සහල් ප්‍රමාණද බ්‍රිතාන්‍ය කිරීටය විසින් එවකට ජපානයට එරෙහිව අවි අතට ගත් බ්‍රිතාන්‍ය ඉන්දීය හමුදාවෙත යොමු කරන ලදී.

මිනිස් ජීවිත පාවුන ලෝක යුද්ධය

සාගතයෙන් අනාථ වූ කිහිප දෙනෙක්. (oldpicsarchive.com)

සාගතයෙන් අනාථ වූ කිහිප දෙනෙක්. (oldpicsarchive.com)

අවශ්‍ය පමණ සහල් සහ ආහාර නොලැබීම හේතුවෙන් බෙංගාල ග්‍රාමීය ජනතාව තණකොල, ගස්වැල් පොතු ආදිය කමින් ඉතාම දුක්ඛදායක ලෙස ‍ලක්ශ ගණනින් මරුමුවට පත්වන්නට විය. මෙලෙස මියගිය බෙංගාල ජනතාව ප්‍රමාණය අනුව අවම වශයෙන් මිලියන දෙකක් ලෙස දැක්වෙන මුත් සැබෑ ප්‍රමාණය මිලියන තුනක් ඉක්මවන බව බොහෝ විද්වතුන්ගේ මතය වේ. මේ මිලියන තුනක් වූ මියගිය බෙංගාල ජනතාව ස්වාභාවික ව්‍යසනයකින් මියගිය ජනතාවක් නොවේ. මිනිසා විසින් කරන ලද කල කෝලහාලයක ප්‍රතිපල නිසා බලාපොරොත්තු නොවූ ව්‍යසනයකින් මියපරලොව ගිය අහිංසක ජනතාවකි.  

මෑත ඉතිහාසයේ දරුණුතම ඛේදවාචකය වූ 2004 භූමිකම්පාවෙන් සහ සුනාමි උවදුරෙන් මියගිය සමස්ථ ජනතාව ප්‍රමාණය ආසන්න වශයෙන් 280,000කි. නමුත් එවකට බිලියන 2.8ක ජනතාවක් ජීවත් වූ ලෝකයෙන් සියයට 3ක් එනම් දශලක්ෂ 60ක ජනතාවක් මිනිසාගේම නිමැවුමක් වූ දෙවන ලෝක යුද්ධය හේතුවෙන් ලොවට අහිමි විය.

බෙංගාල සාගත ඉතිහාසය

ඉන්දියානු උප මහද්වීපය බ්‍රිතාන්‍යය පාලනයට නතුවීමෙන් පසු විශාල සාගත කිහිපයකින්ම ජනතාව ලක්ෂ ගණනක් මියගොස් තිබේ. එයින් බෙංගාලයට බලපෑ විශාලතම සාගතය ලෙස දැක්වෙන්නේ 1770 දී බෙංගාලයේ ඇති වූ සාගත තත්වයයි. එයින් මියගිය ජනතාව ප්‍රමාණය මිලියන 10ක් ඉක්මවන බව ඉතිහාස වාර්ථා වල දැක්වේ.

වර්ථමාන ලෝකයේද බංග්ලාදේශය යනු විශාල රටවල් අතුරින් ජන ඝනත්වය වැඩිම රටකි. එකල බෙංගාලයේ අගනුවර වූ  කල්කටාව යනු දකුණු සහ අග්නිදිග ආසියාවේ ජනගහනය සහ ජන ඝනත්වය අතින් විශාලතමය නගරයයි. වර්ථමාන ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්ථානය සහ බුරුමය ඇතුලත් වූ බ්‍රිතාන්‍ය ඉන්දියාවේ 1773 සිට 1911 දක්වා අගනුවර වූයේ බෙංගාලයේ අගනුවර වූ කල්කටාවයි.

වෙළඳ බෝග සහ ආහාර බෝග

හෙරොයින් නිපදවීමට ගන්නා පොපි මල් වගාව බෙංගාල ජනයාගේ ප්‍රකට වගාවක් විය. (media2.intoday.in)

හෙරොයින් නිපදවීමට ගන්නා පොපි මල් වගාව බෙංගාල ජනයාගේ ප්‍රකට වගාවක් විය. (media2.intoday.in)

බ්‍රිතාන්‍යයය යටත් විජිත වලදී යටත් විජිත පාලකයින් විසින් ඉඩම් වල ආහාර බෝගවගාව වෙනුවට වෙනත් බෝග වගාකිරීමට ස්වදේශීය ජනතාව දිරිමත් කරන ලදී. ඒ අනුව ලංකාවේද වී වගාව වෙනුවට තේ, පොල්, රබර් ආදී බෝග වගාකිරීමට ජනතාව පෙළඹවීමට බ්‍රිතාන්‍ය රජය ක්‍රියාකරන ලදී. බෙංගාලයේද ජනතාව සාම්ප්‍රදායික ගොවීන් ලෙස අතීතයේදී ගොවිතැන් කටයුතු කරමින් සිය වේල සරිකරගන්නට ඇත.

නමුත් බ්‍රිතාන්‍යයන් යටත් කරගැනීමෙන් පසු සෑම යටත් වැසියෙක්ම රජයට විවිධ අන්දමේ බදු ගෙවිය යුතු විය. ආහාර බෝග වගාවෙන් බදු ගෙවීමට හැකියාවක් ජනතාවට  නොවේ.

ඔවුන් එවිට එවකට බ්‍රිතාන්‍යන් විසින් හදුන්වාදුන්  කපු, ඔපියම්, ඉන්ඩිගෝ වැනි වගාවන් කෙරෙහි යොමුවිය. ඉන්පසු ඔවුන්ට ලැබෙන මුදලින් පිටරට බුරුමයෙන් ලැබෙන සහල් පහසුවෙන් මිලදීගෙන ජීවත්වීමට හැකි විය. බ්‍රිතාන්‍ය විසින් මහජනයාට එකතු කල බදු ප්‍රමාණ ලෝක යුධ සමයේ තව තවත් ඉහල ගිය අතර සහල් හිගවීම හේතුවෙන් සහල් මිලද ජනතාවට දරාගැනීමට බැරි මට්ටමට ඉහල ගියේය.

යටත්විජිත ලංකාවේද සහල් සහ ආහාර ද්‍රව්‍ය පිටරටින් සැපයීම කරන ලදි. එකල කොළඹ විස්තර දැක්වෙන සටහන් වල කොළඹ ජනයාද යාන්තමින් ලැබුනා වූ ආහාර සලාකයෙන් අපහසුවෙන් දිවි ගෙවූ බවට සාධක හමුවේ.  

නිදහසින් පසු ඩී ඇස් සේනානයක මැතිතුමාගේ සෘජු මැදිහත්වීමෙන් ගල් ඔය සහ රජරට විශාල ප්‍රදේශයක් අස්වැද්දීම නිසා ලංකාවට පසුකලෙක සහලින් ස්වයංපෝෂීත වීමට අවස්ථාවක් ලැබුනි. කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය යටත්විජිත පාලකයින්ගේ නොසැලකිල්ල නිසා ඉන්දියාවේ විශාල ප්‍රදේශයක ජනතාවට බඩ ගින්නේ ඉන්නට සිදුවූ අතර එයින් දරුණුම අඩියක වූ බෙංගාල ජනතාවට සිය ජීවිත වලින් වන්දි ගෙවීමට සිදුවිය.

චර්චිල් සහ ගාන්ධි

එවකට ඉන්දියානු යටත්විජිත ලේකම් අර්ල් වෝව්ල් විසින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය වින්ස්ටන් චර්චිල් වෙත මෙම බෙංගාල සාගතය පිළිබඳ තොරතුරු වාර්ථා කර තිබේ. එවිට වින්ස්ටන් චර්චිල් විසින් දී ඇති පිළිතුර නම් “ලෝක යුද්ධයෙන් බැට කා නිදහස් වූ ග්‍රීසිය වැනි රටවලට උදව් කරනු මිස ඉන්දියානුවන්ට උදව් කිරීම කිසිම පලක් ඇති දෙයක් නොවේ” ය යන්නයි. තවදුරටත්  වින්ස්ටන් චර්චිල් “Why, if the famine was so horrible, Gandhi had not yet died of starvation?” ලෙසද පවසා තිබේ.  ඒ චර්චිල් විසින් අවඥාවට ලක් කර තිබුනේ ගාන්ධිගේ උපවාස සටන් ක්‍රමයයි.

මෙහිදී ඉන්දියාව යනු කලක පටන්ම නිදහස ඉල්ලමින් මහා බ්‍රිතාන්‍යයට යම්කිසි කරදරයක් වූ රටකි. එසේම විදෙස් වලින් එන දේ ගාන්ධි විසින් ප්‍රතික්ෂේපකිරීමේ ප්‍රතිපත්තිය නිසා ඔස්ට්‍රේලියාවෙන් සහල් තොග බෙංගාලයට ලැබීමට සැලැස්විය හැකි වුවත් ගාන්ධි ඇතුලු දේශප්‍රේමීන් විදෙස් දේ දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීම නිසා ඒ ගැන බ්‍රිතාන්‍ය රජය ඒ ගැන සැලකිලිමත් නොවන්නට ඇත.

දෙවන ලෝක යුද්ධයේදී ඉන්දීය සෙබලු මිලියන 2.5ක ප්‍රමාණයක් බ්‍රිතාන්‍ය ප්‍රමුඛ මිත්‍ර පාර්ශවය වෙනුවෙන් ලොවපුරා යුධබිම්හි සටන් වැදුනි. එයින් 87,000ක් ඉන්දීය සෙබළු ජීවිත පරිත්‍යාග කරන ලදී.  ගාන්ධි, සර්දාර් පටේල්, මවුලානා අසාද් ඇතුළු ඉන්දීය ජාතික කොන්ග්‍රසය 1942 දී නිදහස ලැබෙන තුරු බ්‍රිතාන්‍ය හෝ මිත්‍ර පාක්ෂිකයින්ටවත් අනෙක් පස ජර්මන් සහ ජපාන අන්තයටවත් සහාය නොදැක්වීමට තීරණයක් ගෙන තිබුනි.

එහෙත් 1943 දී මහත්මා ගාන්ධි නියෝජනය කල ඉන්දීය කොන්ග්‍රසයේ නායකයෙක් වූ බෙංගාල ජාතික සුබාශ් චන්ද්‍ර බෝෂ් ඇතුළු කොටසක් , ඉන්දීය ජාතික හමුදාව නමින් 43,000ක හමුදාවක් සංවිධානය කොටගෙන අවි අතැතිව බුරුමයේ සහ මලයාවේදී ජපාන පාර්ශවය වෙනුවෙන් යුධ වදින්නට  විය. චර්චිල් ඇතුළු බ්‍රිතාන්‍ය පාලකයින් ඉන්දියාවේ සාගත තත්වය නොසලකා හැරීමට ඉන්දියා බෙංගාලය තුලම සතුරු ජපනාට පක්ෂ කැරලි ඇතිවීමද එක් හේතුවක් විය හැකිය.  

සුභාෂ් චන්ද්‍ර බෝෂ් සිය හමුදා නිරීක්ෂණය කරමින්. (media2.intoday.in)

සුභාෂ් චන්ද්‍ර බෝෂ් සිය හමුදා නිරීක්ෂණය කරමින්. (media2.intoday.in)

ඉන්දියාවේද පන්ජාබය වැනි පළාත්වල සහල් තොග එවකට වැඩි වශයෙන් තිබුනි. නමුත් එවකට ප්‍රාදේශීය ඉන්දීය පාලකයින් අනාගත උවදුරු ඇති විය හැකි යැයි බියෙන තමන් සතු සහල් තොග සගවාගෙන ඒවා වෙනත් පළාත්වලට නිකුත් නොකර සිටින්නට ක්‍රියාකොට තිබේ.

බ්‍රිතාන්‍යයේ ප්රතිපත්තිය

ජය පිණිස පස් කනිනු! එකල බ්‍රිතාන්‍යයේ ප්‍රකට දැන්වීමක්. (wikimedia.org)

ජය පිණිස පස් කනිනු! එකල බ්‍රිතාන්‍යයේ ප්‍රකට දැන්වීමක්. (wikimedia.org)

1940 සැප්තැම්බර් 07 වැනිදා සිට මහා බ්‍රිතාන්‍යයට ජර්මානුවන් අහසින් බෝම්බ දැමීම, බ්‍රිතාන්‍යයට දැඩිව බලපෑ සංසිද්ධියකි. බෝම්බ වැටීමෙන් බේරීමට හැකි වූ ජනතාවටද අත් වූයේ යහපත් කලදවසක් නොවේ. ජර්මනිය විසින් මුහුද යට යා හැකි සබ්මැරීන මගින් (U boat-Underground Boat)  මගින් මහා බ්‍රිතාන්‍යයට ලැබුනු ආහාර ඇතුලු සියලුම සැපයුම් නැව් සිත් සේ ගිල්ලවන ලදී. මහා බ්‍රිතාන්‍යය යනු ලංකාව මෙන් තුන්ගුණයකට වඩා මදක් විශාල (209,331 km²) දූපතකි. ඔවුන්ට ආහාර සැපයුම් නොලැබෙන කල ඔවුන්ට ගැටළු රැසකට මුහුනදෙන්නට සිදුවිය.

බ්‍රිතාන්‍ය රජය විසින් ආහාර සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සලාක ලෙස බෙදීම ආරම්භ කරන ලදී. එසේම එකල ලන්ඩනයේ බොහෝ හෝටල වල තිබුනේ දැනට ලංකාවේ මාතර බත් කඩයක තිබෙනවා වැනි සීමිත වූ ආහාරවේලක් පමණි. කාන්තාවන් සහ රට වැසියන් වහාම ගෙවතු වගාවට සහ වගාකටයුතු වලට නැවත යොමු කිරීමට බ්‍රිතාන්‍යයෝ ක්‍රියා කලහ.

ලෝක යුද සමයේ බ්‍රිතාන්‍ය අවන්හලක්. (4.bp.blogspot.com)

ලෝක යුද සමයේ බ්‍රිතාන්‍ය අවන්හලක්. (4.bp.blogspot.com)

විදෙස් වලින් ආහාර ලැබීම ගැන විශ්වාසයක් තැබිය නොහැකි වූයෙන්, යටත් විජිත 40කට අධික ප්‍රමාණයක් තබාගෙන රිසි සේ ආහාර බුදිමින් සනීප දිවියක් ගත කල බ්‍රිතාන්‍යයන්ට නැවත පස් පෙරලන්නට වගාබිමට බසින්නට විය. සිය භූමියේ වැවෙන අර්තාපල්, කැරට් වැනි ආහාර බහුලවශයෙන් ලබාගෙන නීරස රළු ආහාර වලට යොමුවන්නට ඔවුන්ට සිදු විය. එම අවස්ථාවේදී රජය විසින් විවිධාකාර දැන්වීම් මගින් මහජනයා වගාකටයුතු වලට යොමු කරන්නට කටයුතු කලේය.

බ්‍රිතාන්‍ය ජනතාවගේ ආහාර අවශ්‍යතා වෙනුවෙන් විශාල බ්‍රිතාන්‍ය කිරීටයක් වූ කැනඩාවෙන් සහ ඊට යාබද ඇමරිකාවෙන් බ්‍රිතාන්‍යය ආහාර සැපයුම ලබාගන්නටද මහා බ්‍රිතාන්‍යය ක්‍රියාකරන්නට විය.

ඉන්දියාවේදි බ්‍රිතාන්‍ය ප්‍රතිපත්තිය 

ආහාර සැපයුම් අඩාල වන විට බ්‍රිතාන්‍ය රජය ඔවුන්ගේ රටත් ජනතාවත් බේරාගන්නට විශාල පරිශ්‍රමයක් දරන ලදී. නමුත් ශතවර්ශ දෙක තුනක් තිස්සේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය වෙනුවෙන් දහදිය හෙලූ ඉන්දීය බෙංගාලි ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ ක්‍රියාමාර්ග අතිශය උදාසීන විය.

2013 වර්ශයේදී බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ඉන්දියාවේ බෙංගාලයට ගොස් ලෝක යුධ සමයේ බ්‍රිතාන්‍යයන් අතින් සිදුවූ වැරදි ගැන සිය කණගාටුව ප්‍රකාශ කරන ලදී.  

එක් හේතුවකින් සුවිශාල ප්‍රමාණයක් දෙවනි ලෝක යුද්ධයේදී මිය ගියේ නම් ඒ සාගතය නිසාම වේ. සැබැවින්ම දෙවන ලෝක යුද්ධයේ ජපාන අන්තයේ ආහාර හිඟය හා ඒ නිසා වූ රෝගවලින් මියගිය ජපන් සොල්දාදුවන් ගණන සටන් වලින් මියගිය සෙබළු ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක්  ගණන් බලා තිබේ. යුද්ධයකදී අවි බලය, මිනිස් බලය සේම ආහාර සැපයුමද මිනිස් ජීවිත කෙරෙහි සෘජුවම බලපෑම් එල්ල කරනු ලැබේ.

එහෙත් කිසිසේත්ම යුද්ධයට සම්බන්ධ නොවූ ඇතැම්විට යුද්ධයක් ගැන කිසිවක්ම නොදත්තා වූ ග්‍රාමීය බෙංගාල ජනයා වැනි ජනතාව ලක්ෂ ගණනක් යුද්ධය හේතුවෙන් මියයෑම සැබෑම ඛේදවාචකයකි. මේගැන ඔබේ සිතුවිලිත් අපි සමග බෙදාගන්න.

සාධක: en.wikipedia.org, ibtimes.com, bbc.co.uk, winstonchurchill.org

කවරයේ පින්තුරය: Victims of the Famine in Madras, India by Willoughby Wallace Hooper

Related Articles