එක් තහනම් අවයවයක් නිසා වඳ වී යන ජීවීන් දෙදෙනෙක්

මෑත ඉතිහාසය වන තෙක් ම ලොව පුරා බොහෝ පිරිසක් සාගරය යනු අසීමිත සැපයුමක් ඇති සම්පතක් වශයෙන් විශ්වාස කළා. විද්‍යාව හා තාක්ෂණයේ වේගවත් පරිණාමය සමඟ සාගරය පිළිබඳ මිනිසා සතු ව පැවති බොහෝ මතවාද වෙනස් වීම ආරම්භ වී තිබෙනවා. අසීමිත සම්පතක් යැයි විශ්වාස කළ තල්මසුන්, බොහෝ පර්‍යේෂණ වාර්තාවන්ට අනුව වර්ෂ 1950 පමණ වන විට ශීඝ්‍රයෙන් වඳවී යාම ආරම්භ වුණා.

මේ හේතුව නිසා වර්ෂ 1970 පමණ වන විට තල්මස් දඩයම සීමා කරමින් ලොව පුරා නීති රෙගුලාසි තර කළා. කාර්මිකරණය වූ ධීවර කර්මාන්තය මේ වකවානුව වන විට වේගයෙන් දියුණු වෙමින් පැවති සමයක්. ආර්ථිකමය සහ පරිභෝජන වාසි තකා ධීවර කර්මාන්තය උපරිම මට්ටමෙන් ක්‍රියාත්මක වීම ආරම්භ වුණා. ධීවර කර්මාන්තයට නව තාක්ෂණය හා ආම්පන්න එක් වීම සමඟ උග්‍ර ගැටලු රැසක් සමුදුරු පද්ධතිය මත මුදා හැරුණා. වර්ෂ 1960 දී පමණ ධීවර කර්මාන්තයට නයිලෝන් ගිල්නෙට් හඳුන්වාදීම සිදු වීමත් සමඟ මෙම ගැටගු සමුද්‍රීය කේන්ද්‍ර ගෝලීය ප්‍රශ්නයක් බවට පත් වුණා.

අවසානයක ආරම්භය: ගිල්නෙට්

ධීවර කර්මාන්තයේදී යොදා ගැනෙන කාර්‍ය්ක්ෂමතාවයෙන් ඉතා ඉහළ ආම්පනයක් ලෙස නයිලෝන් ගිල්නෙට් හඳුන්වාදිය හැකි යි. මීටර් 100-200ත් අතර දිගකින් යුතු, මීටර් 4.5ක් පමණ පළලින් සමන්විත ගිල්නෙට්,සෙන්ටිමීටර් 25 පමණ ඇදෙනසුලු කොටු දැල්වලින් සම්න්විත වෙනවා. මෙවැනි එක් දැලකට සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 100ක් පමණ බරකින් යුතු, අඩි 6ක් පමණ වන ලෙස හොඳින් වර්ධනය වූ ඕනෑම ජීවියෙක් රඳවා තබාගෙන සිටීමේ හැකියාව පවතිනවා.

ගිල්නෙට් නිර්මාණය කර තිබෙන්නේ, ඒ හරහා පිහිනා යන මත්ස්‍යයන්ගේ හිස එහි දැල් අතරින් ඇතුළු වීමට පමණක් ඉඩ ඉතිරි කරමින්. මෙලෙස ගිල්නෙට් තුළ සිරවන මත්ස්‍යයාගේ හිස මුදා ගැනීමට උත්සාහ කිරීමත් සමඟ ඔවුන්ගේ සිරුර ද දැලෙහි පැටලී හානි සිදු වනවා. ප්‍රධාන වශයෙන් මෙම දැල් භාවිත කරන්නේ සැමන්, බැරකූඩා, හැරින්, කොඩ්, හැඩොක්, සීබාස්, රොක්ෆිශ්, ස්වෝඩ්ෆිෂ් සහ ටූනා වැනි මත්ස්‍යයන් ඉලක්ක කර ගනිමින්. කාර්‍ය්ක්ෂමතාවට අනුකූල ව ම මෙම දැල් බොහෝ විට ඉලක්කගත මත්ස්‍යයන්ට අමතර ව බොහෝ ඉලක්ක නොකළ අතුරු ජීවීන් (Bycatch) රැසක් ද කොටු කර ගන්නවා.

Gillnet
නයිලෝන් ගිල්නෙට් – msc.org

 

ගිල්නෙට්වලට කොටුවන ඉලක්ක නොකළ අතුරු ජීවීන්ගේ ඉරණම

මෙලෙස ගිල්නෙට් තුළට කොටු වන ඉලක්ක නොකළ බොහෝ අතුරු ජීවීන් සතු ව ආර්ථිකමය හෝ පරිභෝජන වාසි නොමැති බැවින් ඔවුන් නැවත සාගරය වෙත මුදාහරිනවා. මෙහි ඇති බරපතල ම ගැටලුව වන්නේ මෙලෙස කොටුවන අතුරු ජීවීන් මෙලෙස සාගරයට මුදා හරින්නේ, මළ ජීවියකු ලෙස හෝ දැලෙන් මිදීමට ගත් උත්සාහය සහ දැල ධීවර යාත්‍රා වෙත ඇද ගැනීමේදී සිදුවන හානි නිසා අධික ව ශාරීරික වශයෙන් හානියට පත් වූ ජීවීන් වශයෙන් වීම යි. මෙලෙස අධික ශාරීරික හානි සහිතව මුදාහැරෙන ජීවියකු නැවත සුව වී ජීවත් වීමේ සම්භාවිතාව ඉතාම අල්ප වීම ඉතා කනගාටුදායක තත්වයක්.

ගිල්නෙට් භාවිතය සමඟ උද්ගත වූ ඉතාම හානිකර සමුද්‍රීය ගැටලු දෙකක් හඳුනා ගත හැකි යි. ගිල්නෙට් තුළට කොටු වන ඉලක්ක නොකළ අතුරු ජීවීන් (Bycatch) මරණයට පත් වීම හෝ අධික ලෙස ශාරීරික හානි සිදු වීම ඉන් එක් ගැටලුවක්. ගිල්නෙට් භාවිතයේ අනෙක් උග්‍ර ම ගැටලුව වන්නෙ ගිල්නෙට් සතු ව පවතින කාර්‍යක්ෂමතාව නිසා යම් ඉලක්ක ගත මත්ස්‍ය ප්‍රජාවක් සම්පූර්ණ වශයෙන් වඳවී යාමේ තර්ජනයට ලක් වීම යි. අත්ලන්තික් සාගරය තුළ බ්ලූෆින් ටූනා මත්ස්‍ය ප්‍රජාව මේ වනවිට එම තර්ජනය ලක් ව අවසන්.

ටොටෝබා ජීවීන් සමඟ ඉලක්ක නොකළ දඩයම් බවට පත්වූ වැකීටා ජීවියෙක් සහ මෝරු – Flip Nicklin/Minden Pictures

 

ජීවීන් දෙදෙනෙක් වඳවීමේ දොරකඩ

අවාසනවන්ත ලෙස ඉහත දැක්වූ උග්‍ර කරුණු ද්විත්වය ම එකම ස්ථානයක දී ක්‍රියාත්මක වන අවස්ථාවක් මැක්සිකානු ගල්ෆ් කැලිෆෝනියා කලාපයෙන් වාර්තා වෙනවා. ටොටෝබා (Totoaba) සහ වැකීටා (Vaquita) යනු පිළිවෙළින් ගල්ෆ් කැලිෆෝනියා කලාපයට ආවේණික වූ මත්ස්‍ය විශේෂයක් සහ සමුදුරු ක්ෂීරපායී විශේෂයක්. ශරීර ප්‍රමාණයෙන් විශාල ටොටෝබා මත්ස්‍යයන්, වර්ෂ 1975ට පෙර ගල්ෆ් කැලිෆෝනියා කලාපය තුළ බහුල ව දැකගත හැකි ව තිබුණා. ටොටෝබා මත්ස්‍යයන් ඔවුන්ගේ ශරීරයේ එක් විශේෂ කොටසක් නිසා ආර්ථිකමය වටිනාකමින් ඉතා ඉහළ අගයක් ගන්නවා. මෙම මත්ස්‍ය විශේෂයෙහි වාතාශය (Swim Bladder) හොංකොං සහ මධ්‍යම චීනය තුළ සුප් ලෙසත් ඖෂධයක් ලෙසත් ඉතා ප්‍රචලිත වෙනවා.

ඉහළ ආර්ථිකමය වටිනාකමකින් යුතු නිසාත්, ගිල්නෙට් භාවිතය සමඟ මෙම මත්ස්‍ය විශේෂය අධික ලෙස දඩයමට ලක්වීම සිදුවූවා. ටොටෝබා ගහණය වේගයෙන් පහළ බැසීමත් සමඟමැක්සිකානු රජය නිල වශයෙන් ටොටෝබා ජීවීන් දඩයම  වර්ෂ 1975 දී තහනම් කළා. නීති රෙගුලාසි නොතකමින් ටොටෝබා දඩයම අඛණ්ඩව ක්‍රියාත්මක වීම නිසා, මැක්සිකානු රජය වර්ෂ 1993 දී, ගල්ෆ් කැලිෆෝනිනු කලාපය තුළ ගිල්නට් භාවිතය සම්පූර්ණයෙන් තහනම් කළා.

මෙලෙස මෙම මත්ස්‍ය විශේෂය දඩයම් කිරීම තහනමට ලක් වීමත් සමඟ වර්තමානය වන විට තත්වය වඩා දරුණු මට්ටමට පත් කරමින් හොංකොං සහ මධ්‍යම චීනය තුළ මෙම මත්ස්‍ය විශේෂයෙහි වාතාශය (Swim Bladder) කළුකඩේ අලෙවි වීම සිදු වෙනවා. මැක්සිකානු ධීවරයකුට මෙම එක් මත්ස්‍යයකු ජාවාරම්කරුවන්ට විකුණා ගැනීමට අවස්ථාවක් ලැබුණහොත් එය මාස ගණනාවක ඉපයීමකට සමාන වන බව වාර්තා වෙනවා.

Illegal Totoaba Swim Baldders
නීති විරෝධී ලෙස එක්රැස් කර විකිණීමට තබා ඇති ටොටෝබා වාතාශ – Earnest Tse/Alamy Stock Photo

 

ලොව කුඩා ම සමුදුරු ක්ෂීරපායී සත්වයා තව කෙතරම් කල් ජීවත් වේවිද?

ගල්ෆ් කැලිෆෝනියා කලාපයට ආවේණික වූ වැකීටා (Vaquita)  සමුදුරු ක්ෂීරපායී ගණයෙහි පෝපස් (Porpoise) නම් අනුකණ්ඩයට අයත් ජීවීන් විශේෂයක් ලෙස හඳුනා ගෙන තිබෙනවා. ලොව කුඩා ම සමුදුරු ක්ෂීරපායී ජීවීයා ලෙස හඳුනා ගෙන සිටින මෙම ජීවී විශේෂය උග්‍ර ලෙස වඳවී යාමේ තර්ජනයට ලක් ව සිටිනවා. වැකීටා ජීවීන් මෙලෙස වඳවීමේ තර්ජනයට ලක් ව තිබෙන්නේ නීති විරෝධී ටොටෝබා දඩයම හේතුකොටගෙන බව එක්සත් රාජධානියෙනි පාරිසරික විමර්ෂණ ඒජන්සිය (Environmental Investigation Agency) සඳහන් කරනවා.

මෙම ජීවී විශේෂ දෙක ම ගල්ෆ් කැලිෆෝනියා කලාපයට ආවේණික වීම හේතුවෙන් ටොටෝබා දඩයම සඳහා භාවිත කරන නීති විරෝධී ගිල්නෙට් තුළට වැකීටා ජීවීන් අඛණ්ඩව කොටු වීම සිදුවෙනවා. සමුදුරු ක්ෂීරපායී ජීවියකු වන වැකීටා ජීවීන් ස්වසනය සඳහා ජලය මතුපිටට පැමිණීම අත්‍යවශ්‍ය කාරණාවක්. මෙලෙස ගිල්නෙට් තුළ කොටුවන වැකීටා ජීවීන්ට ස්වසනය සඳහා නැවත මතුපිටට පැමිණීමට අවස්ථාවක් නොලැබී යනවා.

මේ හේතුව නිසා ගිල්නෙට් දැල් තුළ දී මොවුන් ජලයේ ගිලී මිය යාමේ තර්ජනයට ලක් වෙනවා. මීට අමතර ව බරින් කිලෝග්‍රෑම් 50ක් සහ ශරීර ප්‍රමාණයෙන් අඩි 5ක් පමණ වන මෙම ජීවීන්ට ගිල්නෙට් තුළින් ගැලවී යාමට තරම් ශරීර ශක්තිය ප්‍රමාණවත් වන්නේ නැහැ. මීට අමතර ව දැල්වලින් ගැලවී යාමට දරන උත්සාහයේ දී මෙම ජීවීන්ට අධික ලෙස ශාරීරික හානි සිදු වෙනවා.

ගිල්නෙට් තුළට හසුවී මියගොස් ඇති වැකීටා ජීවියෙක්
ගිල්නෙට් තුළට හසු වී ශාරීරික හානි සිදුවීමෙන් මියගිය වැකීටා ජීවියෙක් – Alamy.com

මිනිසාගේ අසීමාන්තික රුචිකත්වයන් හමුවේ සමස්ත ලෝකය තුළ ම ඉතා සීමිත භූගෝලීය පරිසර පද්ධතියකට ආවේණික වූ වටිනා මත්ස්‍ය විශේෂයක් සහ සමුදුරු ක්ෂීරපායී විශේෂයක් මෙලෙස උග්‍ර ලෙස වඳවී යාමේ තර්ජනයට ලක් ව සිටිනවා. මෑතකාලීන වාර්තාවලට අනුකූල ව ගල්ෆ් කැලිෆෝනියා කලාපය තුළ වැකීටා ජීවීන් තවදුරටත් ඉතිරි ව ඇත්තේ 10 දෙනෙකු පමණ වන ඉතා ස්වල්ප ප්‍රමාණයක් බව සඳහන් වෙනවා. නීති විරෝධී දඩයම නිසා ටොටෝබා ජීවීන් ගහණය ද ශීඝ්‍රගාමී ලෙස පහළ යමින් පවතිනවා. මෙම ද්විත්ව වඳ වී යාම එක් විශාල වඳවී යාමේ ජාලයක හුදෙකලා සිදුවීමක් පමණ යි.

නැවත කිසිදිනෙක නොලැබෙන අවස්ථා

මීට පෙර චීනයේ “බහාබා (Bahaba)” මත්ස්‍ය විශේෂය ආසන්න ලෙස වඳවී යාමේ මට්ටම තෙක් ආහාරයට ගත්තා. තවත් අවාසනාවන්ත සිදුවීමක් ලෙස චීනයේ “බායිජි” හෙවත් යන්ග්ට්සු ගංගා ඩොල්ෆින් (Yangtze River dolphins) විශේෂය මෙලෙස ම  ඉලක්ක නොකළ අතුරු ජීවී දඩයමක් (Bycatch) බවට පත්වීම නිසා මෙලොවින් සම්පූර්ණයෙන් ම වඳවී ගොස් ඇති බව ලන්ඩනයේ සත්වවිද්‍යා සංගමය සිදු කළ පර්‍යේෂණයකින් මෑතකදී තහවුරු වුණා. මෙවැනි ඇතැම් සිදුවීම් නිවැරදි කිරීම සඳහා පවතින කාලය සම්පූර්ණයෙන් ම අවසන් වී තිබෙනවා.

 ඇතැම් සිදුවීම් සඳහා පිළියම් සෙවීමට තවදුරටත් කාලය ඉතිරී වී ඇතත් ඒ සඳහා වඩා පලදායී ගෝලීය සම්මුතීන් ඇති වීම ඉතා වැදගත් බව මෙවැනි සිදුවීම් හරහා හඳුනා ගත හැකි වෙනවා. වැකීටා (Vaquita) සහ ටොටෝබා (Totoaba) ජීවීන් මෙලෙස සම්පූර්ණ වශයෙන් ම වඳවී යාම නතර කිරීම සඳහා තවදුරටත් කාලය ඉතිරි වී පවතිනවා. ඒ සඳහා මේ වන විට ලොව පුරා පර්‍යේෂකයන් බොහෝ පර්‍යේෂණ සිදුකරමින් පවතිනවා. විද්‍යාත්මක පර්‍යේෂණවලට අමතර ව ආර්ථිකමය, දේශපාලනික සහ ආකල්පමය වෙනස්කම් බොහෝමයක් ගෝලීය වශයෙන් සිදුවීම මෙහිදී ඉතා වැදගත් වෙනවා.

කවරයේ ඡායාරූපය - ටොටෝබා ජීවියෙක් (ඉහළ) සහ වැකීටා ජීවියෙක් (පහළ)- Omar Vidal

මූලාශ්‍ර:

 www.nationalgeographic.com

www.fisheries.noaa.gov

Related Articles

Exit mobile version