පතිවෘතා පටියේ අඳුරු ඉතිහාසය

අතීතයේ බොහෝ රටවල කාන්තාවන්ට සමාජයෙන් හිමිවූයේ අඩු සැලකිල්ලක්. එමෙන්ම විවිධ විශ්වාසයන් මත පදනම්ව ඔවුන්ගේ සමීපතම අයවලුන්ගේ ද තාඩන පීඩනවලට ලක්වන්නට ඔවුනට සිදුවුණා. කොටින්ම සිය සැමියාගෙන් ද විටෙක ඔවුනට ලැබුණේ සැකමුසු ප්‍රතිචාර යි. පුරාතන යුරෝපයෙන් හමුවන ‘පතිවෘතා පටියේ’ උපතටත් බොහෝකොටම හේතුවන්නට ඇත්තේ මේ ආකාරයේ සමාජ සම්මතයනුයි.

පතිවෘතා පටිය යනු කුමක්ද?

පතිවෘතා පටියට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. ඒ පිළිබඳව පැරණි යුරෝපීය කතාංගවල සඳහන් වෙනවා. සමහරෙක් මෙය සත්‍ය දෙයක් ලෙස පිළිගනිද්දී සමහරෙක් මෙය හුදු මිත්‍යාවකැ යි විවාද කරනවා.

පතිවෘතා පටිය යනුවෙන් හඳුන්වන්නේ යම්කිසි පුද්ගලයෙක්- විශේෂයෙන් කාන්තාවක්- ලිංගික ක්‍රියාවෙහි හෝ ස්වයං වින්දනයේ යෙදීම වලක්වනු වස් පළඳවන ‘ආරක්ෂිත’ උපකරණයකුයි. මේවා මධ්‍යතන යුගයේ හා ඉන් පසුවත් යුරෝපයේ ප්‍රචලිතව තිබූ බවට සඳහන් වන අතර, ප්‍රදේශයෙන් ප්‍රදේශයට ඒවායේ වෙනස්කම් තිබූ බවට ඉතිහාසයේ ලියැවී තිබෙනවා. කෙසේ නමුත් සමස්ථයක් ලෙස ගත් කල්හි මේ සියල්ලකම පාහේ තිබී ඇත්තේ එකම සැකැස්මක්. මේ පටි බොහෝ කොටම ලෝහයෙන් නිමැවී තිබී ඇති අතර, සමහර විටෙක ඒවා ඉණ වට පැළඳවීම සඳහා සම් පටි සම්බන්ධ කොට නිමවා තිබෙනවා. මේවා ‘පටි’ යනුවෙන් පොදුවේ හැඳින්වුව ද, බොහෝ කොටම ලෝහමය යට ඇඳුමක් සේ දිස්වන්නට ඇති. මුත්‍රා හා මළ බැහැර කිරීම සඳහා මේවායේ කුඩා සිදුරු දෙකක් ද අන්තර්ගත කොට තිබෙනවා.

පතිවෘතා පටියක්- Pinterest

සමහර පතිවෘතා පටිවල ඇති සිදුරුවල දාරයන්හි ඉවතට යොමු වන සේ සැකසූ තියුණු උල් තිබී තිබෙනවා. තවත් සමහරක දාර තියුණු වන අතර මේ නිසා මේවා පළඳින කාන්තාවට සමීපවන තවත් පුරුෂයෙකු හෝ ස්ත්‍රියක් දරුණු ලෙස අනතුරට පත් වීමේ අවදානමක් තිබුණා. මේවා පැළඳුවේ කාන්තාවගේ ආරක්ෂාවට හෝ විශ්වාසය තහවුරු කර ගැනීමේ අටියෙන් බැව් පැවසුවත්, මේවා ඇඟලාගෙන සිටීමත් ඉතා කරදරකාරී වන්නට ඇති බැව් විද්වතුන් පවසනවා.

සුප්‍රසිද්ධ පතිවෘතා පටි 

පැරීසියේ කෞතුකාගාරයක ප්‍රදර්ශනයට තබා ඇති පතිවෘතා පටියක්යැ යි සැලකෙන උපකරණයක් ප්‍රංශයේ රජකළ දෙවන හෙන්රි රජුගේ අග මෙහෙසිය වන කැතරින් ඩි මෙඩිසිට අයත්ව තිබූ එකක් බවට සමහරෙක් කරුණු දක්වනවා. මෙය පැළඳ සිටීම වඩාත් පහසු වන ලෙස වෙල්වෙට් රෙද්දෙන් සෑදු පටියක් ඊට මූට්ටු කොට තිබෙනවා. එහිම තබා ඇති තවත් පතිවෘතා පටියක් ඔස්ට්‍රියානු ජාතික ඈන් රැජින විසින් පැළඳූ එකක් බවට සැලකෙනවා.

අතීත යුරෝපයේ භාවිතා කළ සමහර පතිවෘතා පටි පැළඳ සිටීම පහසු කරනු වස් ඊට පුළුන් පිරවූ කුඩා කොට්ට වැනි දේද සවිකර තිබී තිබෙනවා. මේ සමහර පටි ඉක්මණින් නරක් වීම නිසා හෝ ඒව පැළඳි කාන්තාවන්ට අසාත්මිකතා ඇති කිරීම නිසා නිතර නිතර වෙනස් කරන්නට සිදුවූයේයැ යි කියැවෙනවා.

පතිවෘතා පටිය පැළඳින කාන්තාව තමන් සමාජයේ ‘උසස්’ තැනක සිටින්නේයැ යි හැඟවීම සඳහා එය භාවිතා කරන්නේ යැයි එකල පැවසුවත්, ඇත්තෙන්ම ඔවුන් හාට මේවා පළඳන්නට ඇත්තේ පුරුෂ මූලික අදහස්වලින් හිස් පුරවාගෙන සිටි ඔවුන්ගේ සැමියන් විසින් වන්නට ඇති බැව් විද්වතුන් පවසනවා. විශේෂයෙන් යුධ සමයන්හි ඔවුන් හට සිය බිරියන් නිවස්නවල තනිකර දමා යන්නට සිදුවීම නිසා ඇය වරදේ බැඳේවියැ යි සැකයෙන් ඔවුන් මේවා ඔවුනට පළන්දා යතුරු තමන් සන්තකයේ තබාගෙන තිබෙනවා.

පතිවෘතා පටියක් සහිත කාන්තාවක් දැක්වෙන සිතුවමක්- fineartamerica.com

මිත්‍යාව හා සත්‍යය

පතිවෘතා පටි පිළිබඳවව පත පොතෙහි සඳහන්ව ඇත්තේ ක්‍රි.ව 1 වන සියවසෙහි සිට යි. කෙසේ නමුත් මේවා සැබවින්ම එකල සමාජයෙහි පැවතියේදැ යි යන්න බෙහෙවින්ම විවාදිත යි.

පතිවෘතා පටි පිළිබඳව මුලින්ම සඳහන් වී තිබෙන්නේ සමහර පුරාතන ආගමික ග්‍රන්ථවල යි. කෙසේ නමුත් ඒවායේ ද එකල කාන්තාවන් ඒවා පැළඳි බවට ඍජු සටහනක් නැති අතර බොහෝ කොටම යොදාගෙන තිබුණේ උපමා, රූපක හා ව්‍යංගාර්ථ පද ලෙස යි.

මධ්‍යතන යුගයේ යුරෝපය නිතරම යුධ ගැටුම්වලින් ගහන ප්‍රදේශයක් වුණා. මේ නිසා නිතරම පුරුෂයින්ට සිය ගෙවල් දොරවලින් බැහැර වී යුධ කටයුතු සඳහා යාමට වූ අතර, සතුරු හමුදා විසින් භූමිය අත්පත් කරගැනීම් ද සිදු වුණා. මේ නිසා සිය බිරිඳ හා ගැහැණු දරුවන්ගේ ‘පිරිසිදුභාවය’ ආරක්ෂා කරගනු වස්, ලෝහවලින් ඔවුන්ගේ ලිංගාශ්‍රිත පෙදෙස් ආවරණය වන පරිදි පටියක් වැනි යමක් තනා, ඒවා ඉබි යතුරු ලෑමට ඒ ඒ රටවල වැසියන් කටයුතු කළ බැව් සමහර ඉතිහාස ග්‍රන්ථවල සටහන් වෙනවා.

පතිවෘතා පටියක රූ සටහනක් මුලින්ම හමුවන්නේ 1405 වසරේ දී ලියන ලද ජර්මානු ග්‍රන්ථයකිනුයි. ජර්මානු යුධ නිලධාරියෙකු වන කොනාර්ඩ් කීසර් විසින් මේ රූ සටහන සහිත ග්‍රන්ථය ලියා තිබුණා.

ඉතිහාසඥයින් කීසර් හා ඔහුගේ ග්‍රන්ථය පිළිබඳ වැඩිදුර අධ්‍යයනය කළ අතර, එහිදී හෙළිවූයේ ඔහු ගේ ලියමන් බොහෝ කොටම ප්‍රහසනාත්මක ස්වරූපයක් ගත් ඒවා බව යි. මේ නිසා පතිවෘතා පටියේ රූ සටහනත් සත්‍යයෙන් බැහැර වූ එවැනි ප්‍රහසනාත්මක එකක් බවට ඔවුන් තර්ක කරනවා.

කොනාර්ඩ් කීසර් ගේ ග්‍රන්ථයෙහි අන්තර්ගත සිතුවම- Wikimedia Commons

පතිවෘතා පටිවල භාවිතය පිළිබඳ වඩාත් විශ්වාස කළ හැකි සාක්ෂ්‍ය හමුවන්නේ 16 වන සියවසේ හා ඉන් පසුව යි. කෙසේ නමුත් ඒ කාලයේ ලි‍යැවුණු වාර්තාවලත් එකල කාන්තාවන් මේවා පැලැඳ සිටි බවට නිසැකවම තහවුරු වූ සාක්ෂි හමුවන්නේ නැහැ.

පසුවදන

පතිවෘතා පටි ඇත්තෙන්ම සමාජයේ සුලභව තිබූ බවට අද වනතුරුත් කිසිදු ආකාරයෙන් නිවැරදි සාක්ෂ්‍යයක් ලැබී නැහැ. කෙසේ නමුත් මේවා පිළිබඳව දිගින් දිගටම ඉතිහාසය පුරාම විවිධ ග්‍රන්ථවල ලියැවී තිබීම නිසා අතීතයේ කවර දිනයක හෝ කාන්තාවන් විසින් මේවා පළඳින්නට නැත්තේයැ යි ද කිව නොහැකියි.

වර්තමානයේ කෞතුකාගාරවල තැන්පත් කර ඇති පතිවෘතා පටි හුදෙක් විනෝදය හෝ අධ්‍යාපන කරුණු සඳහා පසුකාලීනව නිපැයෙන්නට ඇති බවට සමහරක් ඉතිහාසඥයින් තර්ක කරනවා. මෙහි සත්‍ය අසත්‍ය කෙසේ වෙතත් මේවා පිළිබඳ කතාබහක් ඉතිහාසයේ ඇති වීමෙන් නිරූපනය වන්නේ එකල කාන්තාවට යුරෝපීය සමාජයේ හිමිව තිබූ පහත් ස්ථානය බැව් විද්වත් මතය යි.

Related Articles

Exit mobile version