සිය පණ හානි කරගන්නා බවට මිථ්‍යා පැතුරුණු ලෙමින්ග් සත්වයා

ලෙමින්ග් යනු කුඩා ප්‍රමාණයේ මීයන් වැනි සත්ව කොට්ඨාසයකි. මොවුන් වාසය කරන්නේ ආක්ටික් ප්‍රදේශ වලයි. ලෙමින්ග් සත්ව කොට්ඨාසයේ කුඩාම වර්ගය වන්නේ wood ලෙමින්ග් ය. මොවුන් සෙන්ටිමීටර් 8ක පමණ දිගකින් යුතු වේ. ලෙමින්ග් සතුන්ගේ විශාලම සත්ව කොට්ඨාසය වන්නේ norwegian ලෙමින්ග් යන වර්ගයයි. මොවුන් wood ලෙමින්ග් මෙන් තුන් ගුණයක පමණ විශාලත්වයෙන් යුතු වේ. මොවුන් ආර්ක්ටික් සුළං කාලවලදී සිසිර තරණයේ යෙදෙන සත්ව කොට්ඨාසයක් නොවේ. මීට හේතුව මොවුන්ගේ ශරීරයේ ඇති ලෝම තට්ටුව සීතලෙන් මොවුන්ව ආරක්ෂා කිරීමයි. මොවුන් ශීත කාලය පුරාම හිම යට සැඟවී ඇති අල වර්ග, දළු රිකිලි ආදිය සෙවීම සිදු කරයි.

Image Credit: nationalgeographic.com

සාමාන්‍යයෙන් ලෙමින්ග් සත්වයා ඒකචාරී සත්වයෙක් ලෙස හැඳින්වේ. මාංශ භක්ෂක සතුන්ගේ පහසු ගොදුරක් බවට මෙම සත්වයා පත් වී ඇත්තේ ඔහු ප්‍රමාණයෙන් කුඩා සතෙක් නිසාවෙනි. ආර්ක්ටික් වෘත්තය වටා ලෙමින්ග් වර්ග 30 ක පමණ ප්‍රමාණයක් ජීවත් වේ. නමුත් මේ සියලුම ලෙමින්ග් වර්ග එක සමාන ස්වරූපයක් ගන්නා අතර ඔවුන් ජීවත් වන ස්ථානය හා ඔවුන් අහාර සඳහා සොයා ගන්නා දේවල් අනුව ඔවුන්ගේ වර්ගය වෙනස් වේ.

ශරීර ලක්ෂණ

Image Credit: a-z-animals.com

සාමාන්‍යයෙන් මොවුන් සෙන්ටිමීටර් 13ත් 18 ත් අතර දිගකින් යුතු වේ. මොවුන් හැඩයෙන් රවුම් ස්වරූපයක් ගන්නා අතර ශරීරය පුරාම දුඹුරු හෝ කලු පැහැති සිනිදු ලෝම දක්නට ලැබේ. ලෙමින්ග් සත්වයාට නැට්ටක් ඇති අතර එය දිගින් අඩු ඉතා කුඩා නැට්ටකි. මොවුන්ගේ මුහුණ ප්‍රදේශයේ කට දෙපස දිගු කෙස් ගස් දක්නට ලැබේ. ලෙමින්ග් හට ඇත්තේ කොට කකුල් වන අතර කන් ප්‍රමාණයෙන් කුඩා වේ. මොවුන්ගේ ඉදිරිපස කකුල් වල පැතලි නියපොතු දක්නට ලැබේ. මේවා මොවුන්ට හිම හෑරීම සඳහා උපකාරී වේ.

වාසස්ථාන

මොවුන් වැඩි වශයෙන් දැකිය හැක්කේ ආක්ටික් තුන්ද්‍රා ප්‍රදේශ වන කැනඩාව, ඇලස්කාව, හා යුරෝපයේය. ඇතැම් විට මොවුන් අධික සීතලක් ඇති උතුරු කේතුධර වනාන්තර වන Taiga ප්‍රදේශ වලද දැකගත හැක. ශීත කාලයේදී  ලෙමින්ග් හිම යට ගුල් සදා ඒවාගේ ජීවත් වේ. මෙමගින් මාංශ භක්ෂක සතුන්ගෙන් ආරක්ෂා වී සිටීමට මොවුන්ට ඉඩකඩ සැලසෙන අතර තමන්ගේ ශරීර උෂ්ණත්වය පාලනය කරගෙන උණුසුම්ව සිටීමටද අවස්ථාව සැලසේ.

Image Credit: pinterest.com

පොළව යට ඇති ලෙමින්ග් ගුල් තුළ ඔවුන්ට විවේකය ගත කිරීමට, නිදා ගැනීමට වෙන් වූ කාමර පවතී. මොවුන් නිදා ගන්නා කාමර බොහෝ විට තණකොළ, පිහාටු, ලොම් ආදියෙන් සකසා ඇත. වසන්ත කාලයේදී මොවුන් ගුල් වලින් පොළව උඩට පැමිණ වනාන්තර ආදියේ ජිවත් වේ.

ආහාර

ලෙමින්ග් සත්වයින් ශාක භක්ෂක සත්වයින් ලෙස හැඳින්වේ. මොවුන් තමන් ගන්නා ආහාර එතරම් තේරීමක් සිදු නොකරයි. මොවුන් සාමාන්‍යයෙන් ආහාර ලෙස ලබා ගන්නේ කොළ වර්ග, මුල් වර්ග, අල වර්ග, ශාක ගොබ හා අංකුර, පාසි වර්ග ආදියයි. මොවුන් තම ගුල් තුළ ඇති කෑම ගබඩා වලට තණකොළ හා විවිධ තෘණ වර්ග ගෙන ගොස් ගබඩා කර තබයි. මොවුන්ගේ කටේ ඉදිරිපස ඇති දත් ජීවිත කාලය පුරාම වර්ධනය වේ. මේ නිසා මොවුන්ට දැඩි තද බැවින් යුතු ශාක කොටස් ආහාරයට ගැනීමට හැක.

හැසිරීම

Image Credit: animalplanet.com

ලෙමින්ග් තමාගේ කාලයෙන් යම් කොටසක් අනෙකුත් ලෙමින්ග් සත්වයින් සමඟ ගත කළ ද  මොවුන් හුදකලා සත්ව කොට්ඨාසයක් ලෙස හැඳින්වේ. ඊට හේතුව ඔවුන් අනෙකුත් සතුන් සමඟ රංචු ගැසීම සිදු වන්නේ ප්‍රජනන කාලයේදී පමණක් වීමයි. මොවුන් විලෝපීයයන් කෙරෙහි ආවේගශීලි ස්වභාවයක් දක්වන අතර ඇතැම් විට එය ඔවුන්ගේ අවාසියට හේතු වේ. ලෙමින්ග් මවුවරුන් නිරන්තරයෙන් තම පැටවා කෙරෙහි අවධානයෙන් සිටී. මොවුන් තම පැටවා හැදී වැඩී තනියම ජීවත් වීමට තරම් ශක්තිමත් වන තුරු ඔවුන්ව බලා ගැනීම සිදු කරයි.

ප්‍රජනනය

ශීත කාලයේ මැදදී, වසන්ත කාලයේ මුලදී සහ සරත් කාලයේ අගදී ලෙමින්ග් සත්වයාගේ ප්‍රජනනය වේගවත් වේ. මීට හේතුව වන්නේ මෙම කාල වලදී ආහාර හිඟයක් නොමැති නිසා පහසුවෙන් ලෙමින්ග් සත්වයින්ට අවශ්‍ය අහාර සොයා ගත හැකි වීමයි. මෙම කාල වලදී ලෙමින්ග් ජනගහනය ඉක්මනින් වර්ධනය වීමක්ද දැකිය හැක.

ගැහැණු ලෙමින්ග් සත්වයින්ගේ ගර්භණී කාලය සති තුනකට ආසන්න වේ. කුඩා ලෙමින්ග් පැටවුන් හිම තුළ ඇති ගුහා වල ඉපදීම සිදු වේ. මේ නිසා ඔවුන්ගේ ශරීරය උණුසුම්ව පැවතීමත් ඔවුන් ශීත සුළඟින් ආරක්ෂා වීමත් සිදු වේ. ගැහැණු ලෙමින්ග් සත්වයෙක් එක් වරකට පැටවුන් 7 කට පමණ ජීවය ලබා දේ. කුඩා පැටවුන්ට තනිව කෑම සොයා ගැනීමට හැකි වන තුරු ඔවුන් පෝෂණය වන්නේ මවු කිරි වලිනි.

ලෙමින්ග් ඇත්තෙන්ම සියදිවි හානි කරගන්නවාද?

Image Credit: en.wikipedia.org

මිනිසුන් අතර පවතින මතයක් වන්නේ ලෙමින්ග් සත්වයින්ගේ ජනගහනය වැඩි වූ විට ඔවුන් එය පාලනය කිරීම සඳහා මුහුදු ප්‍රදේශ වල ඇති කඳු වලින් බිමට පැන සිය දිවි හානි කර ගන්නා බවයි. නමුත් එය ඇත්තෙන්ම මිථ්‍යාවක් පමණි. මෙම මිථ්‍යා කතාවට පදනම් වී ඇත්තේ ලෙමින්ග් සතුන්ගේ හැසිරීමයි.

සෑම වසර තුනකට හෝ හතරකට වරක් ලෙමින්ග් සත්වයන්ගේ ජනගහනය අධික ලෙස වර්ධනය වේ. මෙසේ එක ප්‍රදේශයක් තුළ සත්වයින් විශාල වශයෙන් වර්ධනය වීම නිසා ලෙමින්ග් කණ්ඩායම් නිවාස සදා ගැනීමට අලුත් ප්‍රදේශ සොයා යෑම සිදු වේ. මෙහිදී ඔවුන් කඳු තරණය, ගංගා හා පොකුණු වලින් එතෙර වීම සිදු කරයි. එලෙස එතෙර වීමට යාමේදී ඇතැම් ලේමින්ග් සත්වයින් තමන් පීනා යන ජලයේ ගසාගෙන ගොස් මරණයට පත් වේ.  මෙවන් හැසිරීම් රටා නිසා ඔවුන් සියදිවි හානි කරගන්නා සත්ව කොට්ඨාශයක් ලෙස මිත්‍යා කතා පැතිරී ඇත.

කවරයේ පින්තුරය – animalcorner.co.uk

Related Articles

Exit mobile version