Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මිල අධික රොලෙක්ස් ඔරලෝසු

රොලෙස්ක් ඔරලෝසු පිළිබදව අසා නොමැති කෙනෙක් ඇත්නම් එය සැබවින් ම පුදුමයට කරුණක් ලෙස සැලකිය හැකි ය. හේතුව, මෙම ඔරලෝසු ‘නාමය‘ එතරම් ම ප්‍රසිද්ධ වීම සහ  පසුගිය කාලයේ මෙරට දේශපාලන සංවාද තුළ වැඩි වශයෙන් අසන්නට ලැබුණු වචනයක් වීම තවත් හේතුවකි. මෙම රොලෙක්ස් ඔරලෝසු සම්බන්ධයෙන් කැපී පෙනෙන ලක්ෂණ දෙකක් ඇත. ඒ අධික මිල සහ ගුණාත්මකභාවය යි. කෙසේ වෙතත් අද අප මේ ලිපියෙන් රොලෙක්ස් ගැන කතා බහ කරන්නට අපේක්ෂා කරන්නෙමු.

ඉතිහාසය

හෑන් විල්ඩෝර්ෆ් (http://www.econovill.com)

හෑන් විල්ඩෝර්ෆ් (Hans Wildorf) විසින් 1905 දී රොලෙක්ස් අත් ඔරලෝසු නිර්මාණය කිරීම ආරම්භ කරන ලදී. එවිට ඔහුගේ වයස අවුරුදු 24 ක් බවට වාර්තා වේ. කෙසේ වෙතත් ඔහු විසින් ලන්ඩනයේ දී ඔරලෝසු ආශ්‍රිත කර්මාන්තය දැකීමෙන් එයට දැඩි ලෙස ආසක්ත වූ අතර ඔහු සෑම විටෙක ම ‘අතෙහි පැළදිය හැකි ඔරලෝසු පිළිබඳ සිහින දුටුවේ ය. එම කාල පරිච්ඡේදය වන විට අත් ඔරලෝසු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීමට කිසිවෙකුත් අපේක්ෂා කළේ නැත. එහෙයින් ඔහු විසින් අතේ පැළඳිය හැකි කුඩා, එහෙත් ප්‍රශස්ත ලෙස කාලය මැන ගත හැකි ඔරලෝසුවක් නිර්මාණය කිරීමට නිරන්තරයෙන් උත්සාහ කරන ලදී. එ් සඳහා ඔහු විසින් ස්විට්සර්ලන්තයේ බියෙල් නගරයේ ඔරලෝසු උපකරණ නිපදවන සමාගමකින් අවශ්‍ය උපකරණ සපයා ගන්නා ලදී.

1908 දී ‘රොලෙක්ස්‘ යන වෙළඳ නාමය ලියාපදිංචි කිරීමටත්, 1915 දී සමාගම ලියාපදිංචි කිරීමටත් කටයුතු කරන ලදී. 1919 දී විල්ඩෝර්ෆ් විසින් මෙම සමාගම ස්විට්සර්ලන්තයේ ජිනීවා නගරය වෙත රැගෙන යනු ලැබුවේ එවකට පැවති පළමු ලෝක යුද්ධය නිසා එංගලන්තය තුළ ඉහළ බදු මුදල් අය කිරීම් හේතුවෙනි.

එලෙස ආරම්භ කරන ලද රොලෙක්ස් සමාගම විසින් ලෝකයේ වටිනාම වෙළඳ නාම අතර 64 වන ස්ථානය දිනා ගැනීමට සමත්ව ඇත. එසේ ම තනි වෙ‍ළද නාමයකින් අත් ඔරලෝසු නිපදවන විශාලතම සමාගම ද මෙය වන අතර දිනකට ඔරලෝසු 2000 කට ආසන්න ප්‍රමාණයක් නිපදවන බවට වාර්තා වේ.

රොලෙක්ස් වාර්තාගත නිපැයුම්

Oyster Wristwatch (www.rolex.com)

ලෝකය පුරාවට ම ප්‍රසිද්ධ වීම සදහා රොලෙක්ස් සමාගම විසින් සිදු කරනු ලැබූ නව නිපැයීම් හේතු විය. විශේෂයෙන් ම 1926 දී ඔවුන් විසින් නිපදවන ලද ජලයෙන් හානියට පත් නොවන ඔයිස්ටර් අත් ඔරලෝසුව අතිශය විප්ලවකාරී නිපදවීමක් බවට පත් විය.

1927 දී මර්සිඩීස් ග්ලිට්සි නමැති පිහිනුම් ශූරිය විසින් එංගලන්තයේ ඉන්ග්ලිෂ් ඇළ මාර්ගය හරහා පැය 10 ක් පුරාවට පිනූ අතර එය අවසානයේ දීත් ඔයිස්ටර ඔරලෝසුව නිසි පරිදි ක්‍රියා කරමින් පැවතුණා.

වර්ෂ 1931 දී රොලෙක්ස් සමාගම විසින් හදුන්වා දුන් ස්වයංක්‍රීයව වයින් වන ඔරලෝසුව, ඔරලෝසු කර්මාන්තයේ තවත් විශාල පෙරළියක් ඇති කිරීමට සමත් විය. වර්තමානය වන විට ස්වයංක්‍රීයව කිුයාත්මක වන ඩිජිටල් ඔරලෝසුවක ම මූලික ව්‍යුහය ගොඩ නැගෙන්නේ මේ තුළින් බවට වාර්තා වේ.

Oyster ඔරලෝසුව පිළිබඳව එකල පළ වූ පුවත්පත් වාර්තාවක් (http://www.ablogtowatch.com)

1933 දී සිදු වූ පළමු එවරස්ට් කන්ද තරණය කිරීම සමඟ ද රොලෙක්ස් ඔරලෝසුව ඇත්තේ කදිම සම්බන්ධතාවකි. එකී ගවේෂණය සදහා සහභාගී වූවන් පැළඳ සිටියේ මෙම ඔරලෝසු වන අතර තරණයෙන් පසුව ඔවුන් විසින් පවසා සිටියේ ඉහළ පීඩනයකින් යුතු එවැනි පරිසරයක වුව ද මෙම ඔරලෝසු නිසි පරිදි ක්‍රියාත්මක වුණු බව යි.

1945 දී ස්වයංක්‍රීයව දිනය වෙනස් වන අත් ඔරලෝසුවක් නිපදවූ රොලෙක්ස් සමාගම තවත් නව මායිමකට අත් ඔරලෝසු කලාව ගෙන යන්නට සමත් විය. Rolex Datejust යනුවෙන් හඳුන්වනු ලැබූ එකී ඔරලෝසුව ඉතාමත් ප්‍රසිද්ධියට පත් විය.

Rolex Datejust Wristwatch (http://www.rolexmagazine.com)

1953 දී  Watches of Achievers නමින් නවතම ඔරලෝසු මාදිලියක් හඳුන්වා දුන් රොලෙක්ස් සමාගම, එමගින් අතිශය විශේෂ වූ කාර්යයන්හි නිරත වන වෘත්තිකයන් ඉලක්ක කර ගනිමින් නිපදවන ලද අතර විශේෂයෙන් ම කදු නගින්නන්, ගැඹුරු මුහුදේ කිමිදෙන්නන්, ගුවන් ගමන්හි නිරතවන්නන් සහ විවිධ විද්‍යාත්මක ගවේෂණයන්හි නිරත වන්නන් මෙහි දී ඉලක්ක කර ගන්නා ලදී.

ඒ අනුව Rolex Oyster Perpetual Submariner නමින් එම වර්ෂයේ දී ජලයේ මීටර් 100ක් යට දී වුව ද ක්‍රියා කරන අත් ඔරලෝසුවක් නිපදවීමට රොලෙක්ස් සමාගම සමත් විය.

Rolex Oyster Perpetual Submariner (http://www.ablogtowatch.com)

1954 දී ලෝකයේ කාල පරිච්ඡේද දෙකක් එකවර  පෙන්වනු ලබන පළමු අත් ඔරලෝසුව නිපදවන ලද රොලෙක්ස් සමාගම, Rolex GMT Master යනුවෙන් එය නම් කරන ලදී. එතැන් පටන් එය ගුවන් සේවා සමාගම් කිහිපයක ම සම්මත ඔරලෝසුව බවට පත් විය. ඒ අතරින් පෑන් ඇමරිකන් ගුවන් සේවාව කැපී පෙනෙන ස්ථානයක් හිමි කර ගන්නා ලදී.

Rolex GMT Master (www.blaken.com)

The Day-Date යනුවෙන් 1956 දී නිපදවන ලද අත් ඔරලෝසුව ලෝකයේ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ අවධානය දිනා ගන්නට සමත් වූ අතර එය කැරට් 18 රත්රන් හෝ ප්ලැටිනම්වලින් නිර්මාණය කර තිබුණි

The Day-Date (www.rolex.com)

අද වන විට රොලෙක්ස්

නව සහස්‍රය සෑම ක්ෂේත්‍රයකට ම නව කවුළු විවෘත කළා සේ ම අත් ඔරලෝසු කර්මාන්තයේ ද නව නිපැයුම් කරන්නට රොලෙක්ස් සමාගම සමත් විය. අන්තර්ජාතික වගකීමක් සහිතව වෙළඳපොළ වෙත නිකුත් කරනු ලබන මෙම ඔරලෝසු 2017 වන විට වඩ වඩාත් නව පහසුකම්වලින් යුක්තව නිපදවා ඇත.

New Sea Dweller, New Yacht – Master II, New Cosmograph Daytona, New Sky Dweller, New Datejust 41, New Datejust 28, New Cellini Moonphase නමින් නවතම අත් ඔරලෝසු මාදිලි කිහිපයක් නිකුත් කර ඇත.

www.rolex.com රොලෙක්ස් නිල වෙබ් අඩවියේ නව අත් ඔරලෝසු පළ කර තිබූ අයුරු

New Sea Dweller අත් ඔරලෝසුව පළමු වතාවට දිනය සටහන් වන තැන පැළඳ සිටින්නාට පහසුවෙන් බලා ගත හැකිවන පරිදි කාචයක් ස්ථානගත කර ඇත. මෙය මීටර් 1220 ක ගැඹුරක් යන තෙක් දිය යට නිසි පරිදි ක්‍රියාත්මක වන අතර මිලි මීටර් 43 ක මුහුණතකින් ද යුක්ත ය.

ප්ලැටිනම්, රත්රන්, සුදු රත්රන්, සුදු යකඩ වැනි අමුද්‍රව්‍ය යොදා ගනිමින් මෙම අත් ඔරලෝසු නිපදවෙන අතර වර්තමානය වන විට ඉතා ඉහළ ජනප්‍රියතාවක් මෙම අත් ඔරලෝසු සඳහා ලෝකය පුරා ම දැක ගත හැකි ය.

මැට් ඩේමන්, ජෙනිෆර් ඇනිස්ටන්, හැරිසන් ෆෝඩ්, බ්‍රැඩ් පිට්, බෘෘස් විල්ස් වැනි නළු නිළියන් ද රොජර් ෆෙඩ්රර්, ටයිගර් වෘඩ්ස්, ඩේවිඩ් බෙකම් වැනි ක්‍රීඩකයන් ද මාර්ටින් ලූතර් කිං වැනි දේශපාලන නායකයන් ද පිකාසේ වැනි චිත්‍ර ශිල්පීන් ද රොලෙක්ස් අත් ඔරලෝසු පැළඳීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත්ව ඇති බවට වාර්තා වේ.

එසේ ම එදා මෙදා තුර බිහි වී ඇති මිල අධික ම රොලෙක්ස් අත් ඔරලෝසු පිළිබදව පහත වීඩියෝවෙන් දැන ගත හැකි ය.

කවරයේ ඡායාරූපය‍: timepeaks.com

මූලාශ්‍ර

  1. www.rolex.com
  2. www.rolexmagazine.com
  3. www.wikipedia.com

Related Articles