කලාගාරයක් වැනි සිස්ටීන් දේවස්ථානය

සිස්ටීන් දේවස්ථානය කියන්නෙ ඍජුකෝණාස්‍රාකාර ගඩොලින් සැදුණු අලංකාර ගොඩනැගිල්ලක්. එහි ප්‍රධාන හෝ පැති බිත්ති දෙකෙහි ආරුක්කු කවුළු හයක් සහ රවුම් හැඩැති සිවිලිමකින් යුක්ත වනවා. දේවස්ථානයේ පිටත අඳුරු හා අලංකාර නැති නමුත්, එහි අභ්‍යන්තර බිත්ති සහ සිවිලිම බිතු සිතුවම්වලින් සරසා ඇත්තේ පුනරුද යුගයේ ජීවත්ව සිටි චිත්‍ර ශිල්පීන් විසින් බව යි කියැවෙන්නේ.

දේවස්ථානයේ පිටත පෙනුම (Photo by: Youtube)

දේවස්ථානයේ පැති බිත්තිවල බිතු සිතුවම් වසර 1481 සිට 1483 කාලය අතරතුර දී පින්තාරු කර තිබෙනවා. උතුරු බිත්තියේ ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතයේ සිදුවීම් නිරූපණය කරන බිතු සිතුවම් හයක් පේරුගිනෝ, පින්ටුරිචියෝ, සැන්ඩ්‍රෝ බොටිසෙලි, ඩොමිනිකෝ ගිර්ලාන්ඩියෝ සහ කොසිමෝ රොසෙලි විසින් පින්තාරු කර තිබෙනවා. දකුණු බිත්තියේ පෙරුගිනෝ, පින්ටුරිචියෝ, බොටිසෙලි, ඩොමිනිකෝ සහ බෙනෙඩෙටෝ ගිර්ලාන්ඩියෝ, රොසෙලි, ලූකා සිග්නෝරෙලි සහ බාර්ටොලමියෝ ඩෙලා ගට්ටා විසින් මෝසෙස්ගේ ජීවිතයේ සිදුවීම් නිරූපණය කරන තවත් බිතු සිතුවම් හයකින් යුක්ත වෙනවා. මෙම කලා කෘතිවලට ඉහළින්, ජනේල අතර කුඩා බිතු සිතුවම් විවිධ පාප්වරුන් නිරූපණය කෙරෙනවා. විශාල චාරිත්‍රානුකූල අවස්ථාවන් සඳහා පැති බිත්තිවල පහළම කොටස් සුවිශේෂ සිදුවීම්වලින් හා අපෝස්තුළුවරුන්ගේ ක්‍රියාවලින් නිරූපණය වන පටි මාලාවකින් ආවරණය වී තිබෙනවා. මේවා රෆායෙල් විසින් 1515-1519 කාලයේ දී නිර්මාණය කරන ලද අතර, සිස්ටීන් දේවස්ථානය කැපෙල්ලා මැග්නා නම් පැරණි දේවස්ථානයක අත්තිවාරම මත යි පිහිටා ඇත්තේ. 1477 දී හතර වන සික්ස්ටස් පාප්තුමා දේවස්ථානය නැවත ගොඩනැගීමට පොළඹවන ලද අතර, එබැවින් එය ඔහු වෙනුවෙන් නම් කෙරෙනවා. 1512 වසරේ ඔක්තෝම්බර් මාසයේ දී එහි වැඩ නිම කරන ලද අතර, සියලු සාන්තුවරයන්ගේ මංගල්‍යයේ දී (නොවැම්බර් 1) දෙවන ජුලියස් විසින් සිස්ටීන් දේවස්ථානය විවෘත කෙරුණු බව යි සඳහන් වන්නේ.

දේවස්ථානයේ අභ්‍යන්තර පෙනුම (Photo by: Ficker)

දේවස්ථානයේ දිග මීටර් 40.23ක්, පළල මීටර් 13.40ක් සහ උස මීටර් 20.70ක් (දිග අඩි 132, පළල 44, උස අඩි 68ක් පමණ) වෙනවා. ක්‍රි.ව. 70 දී විනාශ වූ ජෙරුසලමේ සලමොන්ගේ දේව මාළිගාවේ අමුද්‍රව්‍ය තමයි මේ සඳහා යොදගෙන තිබෙන්නේ.

හතරවන සික්ස්ටස් පාප්තුමා දේවස්ථානය අලංකාර කිරීම සඳහා බොටිසෙලි සහ රොසෙලි ඇතුළු ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පීන් පත් කර ඇති අතර එම අවස්ථාවේ දී, සිස්ටීන් දේවස්ථානයේ සිවිලිම තරු සහිත සරල නිල් අහසක් ලෙසට යි පින්තාරු කෙරෙන්නේ.

පෙර තිබූ තරු සහිත සරල සිස්ටීන් දේවස්ථානයේ සිවිලිම (Photo by: Ficker)

1503 දී නව පාප්වරයෙකු වූ II වන ජුලියස්, සිස්ටීන් දේවස්ථානයේ සැරසිලි කිහිපයක් වෙනස් කිරීමට තීරණය කරනවා. ඔහු ඒ සඳහා සුප්‍රකට චිත්‍ර ශිල්පී මයිකල් ඇන්ජලෝට ආරාධනා කරනවා. නමුත් ඔහු මූර්ති ශිල්පියෙකු මිස චිත්‍ර ශිල්පියෙකු ලෙස නොසැලකූ නිසාත්, රජුගේ සොහොන කැටයම් කිරීමට ඔහු වෙහෙස මහන්සි වූ නිසාත්, මයිකල් ඇන්ජලෝ හට විවිධ බාධා එල්ල වෙන්නට ගන්නවා. කෙසේ නමුත්, ජුලියස් පාප්තුමාගේ දැඩි ඉල්ලීම මත මයිකල් ඇන්ජලෝ 1508 දී ඔහුගේ මෙම සුප්‍රසිද්ධ බිතු සිතුවම් සිවිලිමෙහි වැඩ ආරම්භ කරනවා. ඔහු වසර හතරක් චිත්‍ර ඇඳීමෙහි නියැලෙන අතර, එකී සිතුවම්කරණය අවසානයේ දී ඔහුගේ ඇස් පෙනීම ද දුර්වල වූ බව සඳහන් වෙනවා.

මයිකල් ඇන්ජලෝ සිතුවම් කළ සිවිලිම (Photo by: Ficker)

අවුරුදු 20කට පසුව, අටවන ක්ලෙමන්ට් පාප් වහන්සේ පූජාසනය පිටුපස යෝධ බිතු සිතුවම වූ “අන්තිම විනිශ්චය” පින්තාරු කිරීමට මයිකල් ඇන්ජලෝ හට ඇරයුම් කෙරෙනවා. ඒ වන විට මයිකල් ඇන්ජලෝ 60 වන වියෙහි පසු වූ අතර, “අන්තිම විනිශ්චය” සිතුවම 1536 සිට 1541 දක්වා පින්තාරු කරනු ලබනවා.

මයිකල් ඇන්ජලෝගේ සිතුවම්

සිවිලිම

සිවිලිමේ සිතුවම් (Photo by: Ficker)

මයිකල් ඇන්ජලෝ විසින් සිවිලිමේ ඉහළම කොටසේ, පූජාසනයේ කෙළවරේ “අන්ධකාරයෙන් ආලෝකය වෙන් කිරීම” හා අනෙක් අන්තයේ “නෝවාගේ බේබදුකම” ඇතුළු උත්පත්ති පොතේ දර්ශන 9ක් සිතුවම් මඟින් නිරූපණය කරනවා. වඩාත් ප්‍රසිද්ධ බිතු සිතුවම වන්නේ “ආදම්ගේ මැවීම” සහ “මිනිසාගේ වැටීම සහ පාරාදීසයෙන් නෙරපා හැරීම” යන්න යි. අනාගත වක්තෘවරුන්ගේ සහ මිථ්‍යා දෘෂ්ටික සිබිල්වරුන්ගේ රූප පුවරු ඒ වටා ඇති අතර, සතරකොන් අලංකාර කිරීම සඳහා සුර දූතයින්ගේ රූප යි යොදාගෙන ඇත්තේ.

අවසාන විනිශ්චය

මෙම බිතු සිතුවම මුළු මිනිස් සංහතියම විනිශ්චය කරන ක්‍රිස්තුස් වහන්සේගේ දෙවන පැමිණීම නිරූපණය කරන්නක්. එහි දී ආශීර්වාද ලත් අය දකුණු පසින් ස්වර්ගයට යන අතර, නපුරු අය වම් පසින් නිරයට යවනු ලැබෙනවා. මේ තුළ “ඒව“ සහ සාන්තුවරයන් කිහිපදෙනෙකු ඇතුළුව ප්‍රධාන බයිබලානුකුල හා කතෝලික චරිත දර්ශනය වෙනවා.

අවසාන විනිශ්චය (Photo by: vatican.com)

ප්‍රතිෂ්ඨාපන උත්සාහයන්

සිස්ටීන් දේවස්ථානයේ විශාල ප්‍රතිසංස්කරණයක් 1980 දී ආරම්භ වෙනවා. ප්‍රතිසංස්කරණය කරන්නන් බිතු සිතුවම් නැවත පිරිසිදු කිරීම සඳහා වසර 14ක් ගත කළ අතර, මයිකල් ඇන්ජලෝගේ කෘතියට එකතු කරන ලද සමහර තීන්ත තට්ටු ද ඔවුන් විසින් ඉවත් කෙරෙනවා.

ආදම් මැවීම (Photo by: vatican.com)

එහෙයින් ප්‍රතිෂ්ඨාපන ක්‍රියාවලිය අතිශයින්ම මතභේදාත්මක කාරණයක් වුණා. සමහර විචාරකයින් පෙන්වා දෙන්නේ; ප්‍රතිෂ්ඨාපනයේ දී හිතාමතාම දෙවන තීන්ත තට්ටුව ඉවත් කළ බවත්, ඒ ඇතැම් තැන් ගැඹුර ලබා දීම සඳහා (3D) මයිකල් ඇන්ජලෝ හිතාමතාම අඳුරු, සෙවනැලි වර්ණ භාවිතා කළ තැන් බවත් ය. තවත් සමහරු පවසන්නේ ප්‍රතිෂ්ඨාපනය අත්‍යවශ්‍යම කෘතිය නොවෙනස්ව තබා ගැනීමට සහ මයිකල් ඇන්ජලෝගේ බිතු සිතුවම්වල දීප්තිමත් බව පුනර්ජීවනය කිරීමට අත්‍යවශ්‍ය බව යි.

සිස්ටීන් දේවස්ථානයේ ඇතුළත (Photo by: vatican.com)

පාප්තුමාගේ භාවිතය

දේවස්ථානය කලාත්මක කෘතියකට වඩා වැඩි තීරණාත්මක ආගමික කටයුතුවලට භාවිත කෙරුණු ස්ථානයක්. 1492 සිට දේවස්ථානය යනු; නව පාප්වරයෙකු තෝරාගැනීම සඳහා කාර්දිනල් සභාව රැස් වූ ස්ථානය යි. මෙම දේවස්ථානයේ විශේෂ චිමිනියක් ඇති අතර, එය කාර්දිනල්වරුන්ගේ ඡන්ද තත්ත්වය විකාශනය කිරීමට යොදා ගත්තක්. සුදු දුමාරයෙන් පෙන්නුම් කරන්නේ නව පාප්වරයෙකු තෝරා පත් කර ඇති බව වන අතර, කළු දුමාරයෙන් පෙන්නුම් කරන්නේ කිසිදු අපේක්ෂකයෙකුට තුනෙන් දෙකක බහුතරයක් ලැබී නොමැති බව යි.

දේවස්ථානයේ පැති බිත්තිවල බිතු සිතුවම් (Photo by: voanews.com)

සිස්ටීන් දේවස්ථානය නැරඹීමට යමෙකු වතිකානු කෞතුකාගාරයට ප්‍රවේශ පත්‍රයක් මිල දී ගත යුතු යි. 2019 වන විට වැඩිහිටි ටිකට්පතක් යුරෝ 16 (ඩොලර් 22)ක් පමණ වනවා. සෑම මසකම අවසාන ඉරිදා දිනය ඇතුළුව වසර පුරා තෝරාගත් නොමිලේ ඇතුල් වීමේ දිනයන් ද වනවා. වතිකානු කෞතුකාගාරය සඳුදා සිට සෙනසුරාදා දක්වා සහ සෑම මසකම අවසාන ඉරිදා දිනවල විවෘතව පවතිනවා. සාමාන්‍යයෙන් ප්‍රවේශ පත්‍ර කාර්යාලය උදේ 9 සිට පස්වරු 4 දක්වා විවෘතව පවතින්නේ. සිස්ටීන් දේවස්ථානයේ ඇතුළත දී මත්පැන්, අශෝභන ඇඳුම්, කලා කෘති ස්පර්ශ කිරීම ආදී වශයෙන් විවිධ සීමාවන් පනවා තිබෙනවා. සිස්ටීන් දේවස්ථානයේ දී සියලුම ඡායාරූපකරණ සහ රූගත කිරීම් තහනම් වනවා.

මෙම ලිපිය ගැන අදහස් මෙන්ම, සිස්ටීන් දේවස්ථානය පිළිබඳ මෙම කරුණුවලට අමතරව ඔබ දන්නා දේත් පහතින් කමෙන්ට් කරගෙන යන්න ඔබට පුළුවන්.

Related Articles

Exit mobile version