පසුගිය කාල වකවානුවල දී නළ ළිං කුහර තුළට වැටීමෙන් මිය ගිය කුඩා දරුවන් පිළිබඳ පුවත් කිහිපයක් ම අපට වාර්තා වූයේ අසල්වැසි ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය, මොරොක්කෝව ඇතුළු තවත් රටවල් කිහිපයකිනි. අඩි සිය ගණනාවක් ගැඹුරු එම පටු නළ ළිං කුහර තුළ සිර ව, නිරාහාරව, දැඩි අන්ධකාරයෙන් යුතු බිය මුසු පරිසරයක දී තම සහෘදයන්ගේ ඡායා මාත්‍රයක් හෝ නොපෙනි ජීවිතය ගලවා ගැනීමේ අසීරු සටනකින් පසු ඔවුන් තම අවසන් හුස්ම එහි ම හෙළන්නට ඇත.
මෙවැනි ම අවාසනාවන්ත ඉරණමකට මුහුණ දුන්, එම සිදුවීම්වලට හාත්පසින්ම වෙනස් වූ අරගලයකින් පසු තම ජීවිතය අවසන් කළ එවක දහතුන් හැවිදිරි කෙළිලොල් දැරියක පිළිබඳ වාර්තා වන්නේ දකුණු අමෙරිකානු මහාද්වීපයේ කොලොම්බියාවෙනි. ඒ මීට වසර තිස් හතකට පෙර 1985 නොවැම්බර් 16 වැනි දින දී ය.
69 වසරක් නිදා සිටි මහා ගිනි කන්ද
කොලොම්බියාවේ අගනුවර වන බාගෝටා සිට සැතපුම් 80 බටහිරින් පිහිටා ඇති අඩි 17,500ක් උසැති නෙවාඩෝ ඩෙල් රුයිස් පිහිටා ඇත්තේ ඇන්ඩීස් කඳු වැටියේ කොටසක ය. අයිස්වලින් වැසී ගිය ගිනි කඳු පහක එකතුවෙන් සැදි මෙම මහා ගිනි කන්ද වරින් වර විදාරණය වී ලාවා ගලා යෑම සිදු වූ නමුත් 1985 නොවැම්බර් 13 වැනි දා යනු නෙවාඩෝ ඩෙල් රුයිස් ගිනිකන්ද පුපුරා යාමෙන් කොලොම්බියානු ඉතිහාසයේ සිදු වූ දරුණම ඛේදවාචකය සනිටුහන් වූ දිනය යි.
නෙවාඩෝ ඩෙල් රුයිස් පිහිටා ඇත්තේ පැසිෆික් සාගරය වට කර ඇති ලෝකයේ වඩාත් ම සක්‍රීය ගිනිකඳු අඩංගු ප්‍රදේශයක් වන පැසිෆික් ගිනි වළල්ල ඇතුළත ය. වසර ගණනාවක් තිස්සේ මෙම ගිනි කන්දේ විවරය වටා තැන්පත් වූ අයිස් වැස්මක් දක්නට ලැබෙන අතර එම විවරය කිලෝමීටර් එකක පළලින් යුක්ත වේ. නෙවාඩෝ ඩෙල් රුයිස් ගිනි කන්ද වර්ග කිලෝමීටර් 200 කට වඩා වැඩි ප්‍රදේශයක් ආවරණය කරන අතර පිපිරීම්වලදී ග්ලැසියරකරණයට ලක් වූ අයිස් සහ මඩ දිය වීමෙන් සෑදෙන විශාල සුන්බුන් ගලා යෑමක් නිර්මාණය කර යි.
1985 නොවැම්බර් 13 යනු එතෙක් හැට නව වසරක් සන්සුන් ව සිටි මෙ නෙවාඩෝ ඩෙල් රුයිස් ගිනිකන්ද විදාරණය වී මුළු මහත් කොලොම්බියාව ම භීතියට පත් කළ දිනයයි. වරින් වර සුළු පිපිරීම් වාර්තා වූ බැවින් කොලොම්බියානු රජය විසින් ව්‍යසනය සිදුවීමට මාස දෙකකට පමණ පෙර සිටම අනතුරු ඇඟවීම් නිකුත් කිරීම සිදු කලද ජනතාව ඉවත් කරගැනීමේ කටයුතු ප්‍රමාද වීම මත මෙම ව්‍යසනය වඩා විනාශ කාරී විය. එරට වේලාවෙන් රාත්‍රී 9 ට සිදුවූ මෙම මාරාන්තික පිපිරීමෙන් ඉහළම බලපෑම එල්ලවූයේ විසි නමදහසක් වූ ජනගහනයෙන් විසි දහසකට ආසන්න පිරිසක් මරු වැළඳගත් අසන්නයේ පිහිටි ආමෙරෝ නගරයටයි.
මාරාන්තික පිපිරීමෙන් වැනසුණු ආමෙරෝ නගරය
1984 දෙසැම්බර් වන විට, නෙවාඩෝ ඩෙල් රුයිස් කඳු මුදුනේ සිට කිලෝමීටර 30 ක් ඇතුළත සැලකිය යුතු භූමිකම්පා තුනක් වාර්තා වූ අතර එය විශාල පිපුරුමක පෙර පිපිරුම් වශයෙන් හඳුනාගැනීමට කොලොම්බියානු භූ විද්‍යා අංශය සමත් විය. නෙවාඩෝ ඩෙල් රුයිස් වැනි ග්ලැසියර ගිනි කඳු විශේෂයෙන් භයානක වන්නේ පුපුරා යාමේදී නිකුත් වන අධික තාපය හේතුවෙන් අයිස් දිය වී මඩ, අයිස්, පාෂාණ සහ අනෙකුත් ගිනිකඳු සුන්බුන් සහිත ගලායෑම් ඇති කරන බැවිනි. මේවා වේගයෙන් ගමන් කරන අතර ජලය සහ සුන්බුන් මෙම ප්‍රවාහය ගමන් ගන්නා මාර්ගයේ ඇති සියලු දෑ සැණින් අතුගා දම යි.
1985 නොවැම්බර් 13 වන දින එරට වේලාවෙන් රාත්‍රී 9ට පළමු පිපිරීම වාර්තා වූ අතර අනතුරු ව පිපුරුම් රාශියක් ඇති විය. ගිනිකන්දේ ඉහළ ස්ථරයේ වූ අයිස් දිය වීමෙන් ඇතිවූ මඩ සහ ගිනිකන්දෙන් නිකුත් වූ අළු මිශ්‍ර වී සෑදුණු සුන්බුන් පැයට සැතපුම් විසි පහක වේගයෙන් කඳුබෑවුම් ඔස්සේ කඳු පාමුල පිහිටි ආසන්න නගර වෙත ගලායෑම ආරම්භ විය.
මෙම මඩ ප්‍රවාහය ආසන්නත ම නගරය වූ ආමෙරෝ නගරය වෙත ළඟා වූ අතර නගරයෙන් 85% ක් ඝන, අධික රොන් මඩවලින් වැසී ගියේ ය. නගරයේ මාර්ග, නිවාස සහ පාලම් සැතපුමක් පමණ ඝණකම මඩ ගලා යාමකින් ගිල්වා විනාශ කර දැමිණි. 1985 දී සිදුවූ මෙම නෙවාඩෝ ඩෙල් රුයිස් විදාරණය 20 වැනි සියවසේ සිදුවූ දෙවන මාරාන්තික ගිනිකඳු පිපිරීම ලෙස සැලකෙයි.
නෙවාඩෝ ඩෙල් රුයිස් විදාරණ විනාශයෙන් නගරයේ මුළු ජනගහනයෙන් විසි දහසක පිරිසක් (20,000ක්) මරු වැලඳ ගත් අතර එහි සිටි සමස්ත ජනගහනයෙන් පහෙන් එකක් පමණක් දිවි ගලවා ගැනීමට සමත් විය. ව්‍යසනයෙන් පලා යාමට උත්සාහ ගත් පිරිස ද ඊට ම කොටු වූ අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් තම නිවෙස් තුළ ම මඩ ප්‍රවාහය සමඟ වැළලී ගියෝ ය. ඇතැම්හු සදාකාලික බරපතල තුවාල ලැබූහ.
නිවස තුළ සිර වුණු ඔමයිරා
ආමෙරෝ සිදුවීමේ දී වඩාත් කතාබහට ලක් වූ යම් අයෙක් වේ නම් ඒ දහතුන් හැවිදිරි ඔමයිරා සැන්චෙස් දැරිය ය.
ඔමයිරා සැන්චෙස් උපත ලැබුවේ 1972 අගෝස්තු 28 වෙනිදා සහල් ව්‍යාපාරිකයෙක් වූ අල්වාරෝ එන්රික්ට දා ව මාරියා ඇලෙයිඩාට ය. මෙම සිදුවීම සිදුවන විට ඇය පාසල් ශිෂ්‍යාවක වූ අතර ගිනි කන්ද පුපුරා ගිය දිනයේ දී ඇය තම පියා, සහෝදරයා සහ නැන්දා සමඟ නිවසේ සිටියා ය. ඇගේ මව බොගෝටා වෙත ව්‍යාපාර කටයුත්තක් සඳහා පිට ව ගොස් තිබිණි.
නෙවාඩෝ ඩෙල් රුයිස් ගිනිකන්දේ විදාරණය හේතුවෙන් ආමෙරෝ අත් හැර නො ගිය පිරිස අතරට ඔවුහු ද අයත් වූහ. මඩ ප්‍රවාහය හේතුවෙන් ඔමයිරාගේ නිවස සම්පූර්ණයෙන් බිමට කඩා වැටුණු අතර ඇය තම නිවසේ ම සුන්බුන් අතර සිරවූවා ය. සහමුලින් ම මඩ සහ ජලයෙන් වැසි ගිය ඇගේ නිවසට ගලවා ගැනීමේ භට පිරිස් පැමිණෙන විට ඇය අසීරුවෙන් තම අත ඔසවා ඔවුනට සංඥා කළා ය.
නොසිතූ සිරවීම
ගලවා ගැනීමේ පිරිස ඇය අසලට ගොස් පරීක්ෂා කිරීමේ දී ඇය පත් ව සිටි බැරෑරුම් තත්ත්වය පැහැදිලි කර ගත හැකි විය. මතුපිටින් ඇය නිරුපද්‍රිත ව සිටි බව පෙන්නුම් කළ ද ඇගේ දෙපා නැවී, කඩා වැටුණු නිවසේ බිත්තියකට යට වී තිබෙන බව හඳුනා ගැනිණ. ඒ අතර දියේ ගිලී මිය ගිය ඇගේ නැන්දණියගේ සිරුර ද ඇයට යාබද ව විය. ගලවා ගැනීමේ ස්වේච්ඡා සේවකයන් ඔමයිරාගේ උඩුකය හැකිතාක් නිදහස් කළ අතර ඇයට වඩාත් පහසුව සිටිම සඳහා ඇය වටා ටයරයක් යෙදූ අතර අයට අවශ්‍ය ආහාර සහ ජලය ද, ඖෂධ වර්ග ද අඛණ්ඩ ව සැපයීම සිදු කළේ ය.
ඇයගේ දෙපා මුදා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සැලසුම් කිරීම ඉතා කඩිනමින් සිදු වූ අතර ඒ සඳහා කිමිදුම් කරුවන්ගේ සහාය ද අපේක්ෂා කෙරිණි.
ගලවා ගැනීමේ කටයුතු ප්‍රමාදයි
ඔමයිරා සුන්බුන් අතර නොවැම්බර් 13 වන දින හිරවීමේ සිට තුන් වන දිනය වන තෙක් ඇය ගලවා ගැනීමේ කටයුතු ප්‍රමාද වූ අතර එයට හේතුව වූයේ එම සැලසුම් ක්‍රියාත්මක කිරීමෙන් ඇතිවන පශ්චාත් ගැටලු පිළිබඳ අවධානය යොමු වීම ය.
ඔමයිරාගේ ශරීර සෞඛ්‍ය මුල් දින දෙක තුළ දී යහපත් මට්ටමක පැවතුණ ද ඇය සිහි මුර්ජා තත්ත්වයට ක්‍රමයෙන් පත් වන්නට වූවා ය. ඔමයිරා ඇය අසලට පැමිණි ජර්මානු මාධ්‍යවේදිනියක් වන සැන්ටා මාරියා බැරගන්ට ගීත ගායනා කරමින් අල්ලාප සල්ලාපයේ නිරත වූ නමුත් ක්‍රමයෙන් ඇය සිහි විකල් තත්ත්වයෙන් යම් යම් දෑ පැවසීමට පටන් ගත්තා ය.
දිගු වේලාවක් ජලයේ රැඳී සිටි ඇයගේ දෙඅත් හම යෑමට පටන් ගෙන තිබූ අතර සුන්බුන්වල පීඩනය හේතුවෙන් අයගේ රුධිර ගමන අක්‍රිය වෙමින් ඇගේ දෙනෙත් ඝණ කළු පැහැයට හුරු රත් පැහැයෙන් දිස්වීය.
දැඩි ඝණකම මඩ තට්ටුවකින් ඇයගේ දෙපා යට වී තිබූ බිත්තිය තවදුරටත් හිර වී තිබූ අතර එය ඉවත් කිරීම අතිශය අපහසු කටයුත්තක් බව පැහැදිලි වී තිබිණි. මේ හේතුවෙන් ඇගේ දෙපා කපා ඉවත් කිරීමට ද තීරණය කළ අතර ආරක්ෂිත ව දෙපා කපා ඉවත් කර දැරිය නිදහස් කර ගැනීමට අවශ්‍ය මෙවලම් වෛද්‍යවරුන් සතුව නොතිබූ හෙයින් වඩාත් ම මානුෂීය කාරණය ඇය සන්සුන් ව තබාගෙන ඇයට මිය යාමට ඉඩ හැරීම බව ගලවා ගැනීමේ කණ්ඩායම අවසාන වශයෙන් නිගමනය කළහ. මෙම තීරණය පසුව බොහෝ විවේචනයන්ට ලක් වූ නමුත් ඇය බේරා ගැනීම සඳහා කළ හැකි කිසිවක් නොවුණු බැවින් එය ඇයට ශාන්තිය උදා කර දුන් තීරණයක් ලෙස සැලකිණි.
අවසානයේ දී වටා සිටි සියලු දෙනාගේ ම දෙනෙතට කඳුළු එක් කරමින් පැය 60 කට අධික කාලයක් ජලයට යට වී සුන්බුන් අතර සිර වී සිටි ඔමයිරා සැන්චේස් දැරිය එම සිරවීමෙන් ඇති වූ නන්විධ සංකූලතා හේතුවෙන් තම දිවි සැරිය නිමා කළා ය.
ඔමයිරා සැන්චේස්ගේ මරණයෙන් පසු
මිය යමින් සිටි ඔමයිරාගේ ඡායාරූපයක් ඡායාරූප ශිල්පී ෆ්‍රෑන්ක් ෆෝනියර් ලබා ගත් අතර ඔහුගේ ඡායාරූපය එම වසරේදී, වඩාත් කතාබහට ලක්වූ world press Photo ඡායාරූපතරගයේ හොඳ ම ඡායාරූපය ලෙස තෝරා ගැනිණි. එම ඡායාරූපයෙන් කොලොම්බියානු රජයේ අසාර්ථකත්වය පෙන්නුම් කළ බවට චෝදනා ද එල්ල විය.
නෙවාඩෝ ඩෙල් රුයිස්පි පිරීමට ගොදුරු වූවන් වෙනුවෙන් සංවිධානය කළ එක්තරා පසු සැමරුම් උත්සවයක දී එසැවුණු පුවරුවක මෙසේ සටහන් වී තිබිණි.
“ගිනි කන්ද මිනිසුන් 20,000 ක් ම මරා දැමුවේ නැත. රජය ඔවුන් මරා දැමී ය ‘’
එදා සිට අද දක්වාම ලොව පුරා කුඩා දරුවන් නොසිතූ ලෙස මිය යන සෑම අවස්ථාවකදී ම ඔමයිරා සැන්චේස්ගේ මතකය අලුත් වීම සිදු වන්නේ බේරා ගැනීමට හැකියාව තිබිය දී ත් ඇය අවාසනාවන්ත ලෙස මරු වැලඳගැනීම හේතුවෙනි.