Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ධාරා යුද්ධය ඇරඹෙයි!

විදුලිය කියන්නෙ එදිනෙදා ජීවිතයේ දී අපිට නැතිවම බැරි දෙයක්. විදුලි ධාරාව මූලික වශයෙන් ප්‍රත්‍යාවර්ථ (AC) සහ සරල ධාරා (DC) ලෙස වර්ග කෙරෙන බව ඔබ බොහෝ දෙනෙක් දන්නා කරුණක්. මීට වසර 130කට පමණ ඉහත දී සරල සහ ප්‍රත්‍යාවර්ථ ධාරා ප්‍රචලිත කිරීම සඳහා පාර්ශව දෙකක් අතර තිබූ වෙළඳ යුද්ධය ගැන නම් බොහෝ දෙනෙක් අහලා නැතිව ඇති.

විදුලි ඉංජිනේරු තාක්ෂණයේ වර්තමාන මුහුණුවර ඇති කිරීමට ප්‍රධාන වශයෙන්ම බලපෑ War of Currents හෙවත් ධාරාවේ යුද්ධය ඇති වුණේ 19 වන සියවසේ අග භාගයේ ඇමරිකා එක්සත් ජනපදයේ දී යි.

පසුබිම

19 වන සියවසේ මුල දී හම්ප්‍රි ඩේවි (Sir Humphry Davy) නම් විද්‍යාඥයා පෙරළිකාර සොයාගැනීමක් සිදුකරනවා. ඒ තමයි ප්‍රත්‍යාවර්ථ ධාරාවෙන් ක්‍රියාත්මක වන Arc Lamp හෙවත් විද්‍යුත් චාප ලාම්පුව. මේ වන විට වීදි සහ නිවාස අලෝකකරණයට බහුලව භාවිතා වුණේ ගෑස් ලාම්පු. ඩයිනමෝ භාවිතයෙන් විදුලිය ජනනය ප්‍රචලිත වීමත් සමග විද්‍යුත් චාප ලාම්පු, ගෑස් ලාම්පු වෙනුවට ආදේශකයක් ලෙස පැමිණෙනවා. නමුත් ඒවා ක්‍රියා කිරීමට අධි වෝල්ටිය විදුලි බලයක් (3000V පමණ) අවශ්‍ය වීම නිසා ඒවා භාවිත කළ හැකි වූයේ වීදි ආලෝකකරණ කටයුතු සඳහා පමණයි.

තෝමස් අල්වා එඩිසන්

මෙය නිරීක්ෂණය කළ නව නිපැයුම්කරුවෙකු හා දක්ෂ ව්‍යවසායකයෙකු වූ තෝමස් අල්වා එඩිසන් 1882 දී Edison Illuminating Company නමින් සමාගමක් පිහිටුවා සරල ධාරාවෙන් ක්‍රියාත්මක වන සුත්‍රිකා විදුලි පහන් වෙළඳපොළට ඉදිරිපත් කරනවා. එමඟින් ගෘහස්ථ වෙළඳපොළ අල්ලා ගැනීමට යි ඔහුට අවශ්‍ය වුණේ. ඒ වන විටත් විවිධ නව නිපැයුම්කරුවන් සුත්‍රිකා විදුලි පහන් නිපදවා තිබුණත්, ප්‍රායෝගිකව භාවිතා කළ හැකි කල්පවත්නා විදුලි පහනක් නිපදවීමට ඒ කිසිවෙකුට හැකියාව ලැබී නැහැ. විවිධ ලෝහ වර්ග උත්සාහ කිරීමෙන් අනතුරුව සාර්ථක සුත්‍රිකා විදුලි පහනක් නිපදවීමට එඩිසන්ට හැකිවෙනවා.

110V සරල ධාරාවෙන් ක්‍රියාත්මක වූ මෙම විදුලි පහන් සඳහා විදුලිය බෙදාහැරීමේ ජාලයක් ද එඩිසන්ගේ සමාගම සතු වුණා. කෙසේ නමුත් එඩිසන්ගේ සරල ධාරා පද්ධතියේ තිබූ විශාලතම අඩුපාඩුව වූයේ වැඩි පරාසයක් විදුලිය සම්ප්‍රේෂණය කිරීමට නොහැකි වීම යි. නිපදවන ස්ථානයේ සිට සැතපුමක වපසරියකට පමණක් විදුලිය බෙදාහැරීමට හැකි වූ බව යි පැවසෙන්නේ.

තෝමස් අල්වා එඩිසන් සහ ජෝර්ජ් වෙස්ටින්හවුස්- gstatic.com

ජෝර්ජ් වෙස්ටින්හවුස් (George Westinghouse)

1884 වසර පමණ වන විට ඇමරිකාවේ විසූ තවත් දක්ෂ ව්‍යවසායකයෙකු වූ ජෝර්ජ් වෙස්ටින්හවුස්, විලියම් ස්ටැන්ලි නම් භෞතික විද්‍යාඥයා සමග එක්ව සරල ධාරා පද්ධතියක් වැඩිදියුණු කිරීමට පටන් ගත්තා. ඒ වන විට යුරෝපයේ විද්‍යාඥයින් විදුලි පරිණාමකය හෙවත් Transformer සාර්ථක ලෙස භාවිතයට ගැනීම අරඹා තිබුණා. පරිණාමක භාවිතයෙන් අධිබල වෝල්ටීයතා අඩුකොට ගෘහස්ථ භාවිතයට ගත හැකි ලෙස විදුලිය ලබාගත හැකි වීම නිසා එඩිසන්ගේ ක්‍රමයේ තිබූ සිමාවන් අභිබවා ඉතා වැඩි දුරකට විදුලිය සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව ලැබුණා.

මේ ගැන දැනගත් වෙස්ටින්හවුස් එම පරිණාමකවලට අදාළ ඇමරිකානු පේටන්ට් අයිතිය මිලට ගෙන ස්ටැන්ලි හා එක්ව ප්‍රත්‍යාවර්ථ ධාරා පද්ධතියක් වැඩිදියුණු කිරීම අරඹනවා. ඒ අනුව 1886 දී Westinghouse Electric Company බිහිවන අතර ඇමරිකානු විදුලි වෙළඳපොළේ ප්‍රධාන සැපයුම්කරුවන් ලෙස එඩිසන් සහ වෙස්ටින්හවුස් අතර ධාරා යුද්ධය ඇරඹෙනවා. 

මෙම තාක්ෂණයන් දෙක අතර ඇති වූ තරගය යුද්ධයක් ලෙස නම් කිරීමට සිදුවන්නේ විදුලි වෙළඳපොළ තුළ මෙම තාක්ෂණයන් දෙකටම එක්ව පැවතීමේ හැකියාවක් නොමැති වීම යි. එනම් යුද්ධයක් අවසානයේ එක් පාර්ශවයක් අනිවාර්යයෙන් පරාජය භාර ගත යුතු යි.

ධාරා යුද්ධය ඇරඹෙයි.

ප්‍රත්‍යාවර්ථ ධාරා භාවිතය කෙතරම් ප්‍රචලිත වී ද යත් 1887 වන විට වෙස්ටින්හවුස් සමාගම විදුලි බලස්ථාන 68ක් ඉදිකොට තිබුණා. Thompson-Houston සහ තවත් සමාගම් 15ක් පමණ ද මෙම වෙළඳපොළ තුළ ක්‍රියාත්මක වුණා.

මේ වන විට එඩිසන්ගේ සමාගම දිනෙන් දින පාඩු ලබමින් පැවති අතර තමන්ට ද ප්‍රත්‍යාවර්ථ ධාරාව භාවිතයට යොමුවන මෙන් ඔහුගේම සගයන් එඩිසන්ගෙන් ඉල්ලීම් කළා. ඒ කිසිවකට ඇහුම්කන් නොදුන් එඩිසන් තම හැකි උපරිමයෙන් සටන් කළ අතර, ඇතැම් අවස්ථාවන්වල වෙස්ටින්හවුස්ට විරුද්ධව අධිකරණයට පවා යාමට පසුබට වූයේ නැහැ.

ප්‍රත්‍යාවර්ථ ධාරාවේ පෙරගමන්කරු වූ ජෝර්ජ් වෙස්ටින්හවුස් හට මරු පහරක් වෙමින් විදුලි ඉංජිනේරුවෙකු වූ හැරල්ඩ් පී. බ්‍රවුන් (Harold P. Brown) නමැත්තා විසින් ප්‍රත්‍යාවර්ථ ධාරාවේ අන්තරායදායක බව ප්‍රචාරය කරන්නට පටන් ගත්තා. ප්‍රත්‍යාවර්ථ ධාරාව වෝල්ට් 300කට සිමා කිරීමට බ්‍රවුන් යෝජනා කළ අතර, එසේ වී නම් එහි සම්ප්‍රේෂණ හැකියාව ගිලිහී යාමට ඉඩ තිබුණා. මෙය ඔප්පු කිරීමට බ්‍රවුන් විසින් විවිධ පාර්ශව සම්බන්ධ කරගෙන පර්යේෂණ ගණනාවක් ද සිදුකළා. කෙසේ වෙතත් එඩිසන් විසින් බ්‍රවුන් තම වාසිය සඳහා යොදා ගත් බව පසුකාලීනව හෙළි වුණා.

හැරල්ඩ් පී. බ්‍රවුන් විසින් සිදුකළ පරීක්ෂණයක්- zocalopublicsquare.org 

ධාරා යුද්ධයේ නිමාව

විදුලි වෙළඳපොළ පුළුල් වීමත් සමග සමාගම් ගණනාවක් වෙන් වෙන්ව ක්‍රියාත්මක වීම ආර්ථික වශයෙන් අසාර්ථක බව පෙනෙන්නට ගත්තා. මේ අවසරයෙන් J.P.Morgan වැනි ආයෝජකයින් සමාගම් ඒකාබද්ධ කිරීමේ උත්සාහයක නිරත වුණා.

මේ කාලය අතරතුර එඩිසන්ගේ සමාගමේ ද වෙනස්කම් ගණනාවක් සිදු වූ අතර එය Edison General Electric Company බවට පත්වුණා. සමාගම තුළ එඩිසන්ගේ බලය කෙමෙන් ගිලිහී ගිය අතර පසුව එය Thompson-Houston සමාගම සමග එක්ව General Electric සමාගම බවට පත්වුණා. එඩිසන්ගේ බලය ගිලිහී යාමත් සමග ඔවුන් ද ප්‍රත්‍යාවර්ථ ධාරා පද්ධති නිෂ්පාදනයට පිවිසි අතර ධාරා යුද්ධය එලෙස නිමාව දකිනවා.

1892 පමණ වන විට General Electric සමාගම එරට වෙළඳපොලෙන් 75%ක් පමණ අත්පත් කරගන්නා අතර ප්‍රත්‍යාවර්ථ ධාරාව, ධාරා යුද්ධයෙන් ජයගත්තත් එහි පුරෝගාමියා වූ වෙස්ටින්හවුස් හට ජයග්‍රහණය හිමිවන්නේ නම් නැහැ. අද වන විට General Electric (GE) සමාගම ලොව පුරා විදුලිබල ක්ෂේත්‍රයේ මුල්පෙළේ සමාගමක් බවට පත්වන්නට සමත් වී ඇති නමුත් Westinghouse සමාගම එතරම් දියුණුවක් ලබා නැහැ.

සරල ධාරාවේ පුනරාගමනය

19 වන සියවසේ නිමාවත් සමග ධාරා යුද්ධය අවසන් වන්නේ ප්‍රත්‍යාවර්ථ ධාරා විදුලි පද්ධති ලොව පුරා ප්‍රචලිත කරමින්. කෙසේ නමුත් 20 වන සියවසේ අග භාගයේ දී ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයේ සිදුවන නව සොයාගැනීම් සමග අධිබල සරල ධාරා (High Voltage Direct Current – HVDC) විදුලි පද්ධති කරළියට එමින් පවතිනවා. 

“The Current War” චිත්‍රපටිය- m.media-amazon.com 

ධාරා යුද්ධය පිළිබඳ නිර්මාණය වුණු චිත්‍රපටියක් ද මේ දිනවල හොලිවුඩයේ තිරගත වෙනවා. (www.imdb.com/title/tt2140507/)

Related Articles