Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝ ප්‍රකට කතුවරු ගැන කවුරුත් නොදන්න කරුණු කිහිපයක්

පොත් කියවන උදවියට ‘ගලිවරය’, ‘චාලි සහ චොක්ලට් කම්හල’ සහ ‘හැරී පොටර් කතා මාලාව’ වැනි විදෙස් කතා පොත් තව දුරටත් ආගන්තුක කතා නම් නෙමෙයි. නමුත් මේ පොත් ලියූ කතුවරුන්ගේ ගැන වැඩි දෙයක් අපි කවුරුත් නොදන්නා තරම්. මේ ලිපිය ලෝ ප්‍රකට කතුවරුන් ගැන කවුරුත් වැඩිය නොදන්නා කරුණු කිහිපයක් ගැනයි.

ජොනතන් ස්විෆ්ට්

1726 දී ප්‍රකාශයට පත් කළ ‘කේඩනස් සහ වැනේසා’ කවි පෙළ (www.sciencepole.com)

1726 දී ප්‍රකාශයට පත් කළ ‘කේඩනස් සහ වැනේසා’ කවි පෙළ (www.sciencepole.com)

ජොනතන් ස්විෆ්ට් ලොව පුරා ප්‍රසිද්ධ වුණේ ඔහු ලියූ ‘ගලිවරය’ කෘතිය නිසයි. 1667 වසරේදී අයර්ලන්තයේ ඩබ්ලින් නුවර ඉපදී හැදී වැඩුණු ඔහු අයිසැක් බිකර්ස්ටාෆ්, එම්. බී. ඩ්‍රේපියර් සහ ලැමියූ ගලිවර් වැනි නාමයන් යටතේ පොත් රාශියක් ලියූ අයෙක්.

ඉංග්‍රීසි කතා කරන අය අතර ජනප්‍රිය මුල් නාමයක් වන ‘වැනේසා’ හි නිර්මාතෘවරයා ජොනතන් ස්විෆ්ට් බව බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ස්විෆ්ට් එය නිර්මාණය කරන්නේ ඔහුගේ පෙම්වතිය වූ එස්ටර් වෑන්හොම්රායි වෙනුවෙන්. ඒ ඇගේ පෙළපත් නාමය වූ වෑන්හොම්රායි නාමයෙන් ගත් ‘වෑන්’ කොටස, ඇගේ මුල් නාමය වූ එස්ටර් හි සුරතල් නාමය වූ ‘එසා’ කොටස සමග එක් කිරීමෙන්. 1708 දී නිර්මාණය කරන මෙම නම, මුල් වරට ප්‍රකාශයට පත් කරන්නේ 1726 දී ස්විෆ්ට් විසින් ලියූ ‘කේඩනස් සහ වැනේසා’ කවි පන්තිය හරහායි.

ඇගතා ක්‍රිස්ටි

හර්කියුල් පොයිරෝගේ සිතුවමක් (www.yesletsdoit.wordpress.com)

හර්කියුල් පොයිරෝගේ සිතුවමක් (www.yesletsdoit.wordpress.com)

ඉංග්‍රීසි ජාතික ඇගතා ක්‍රිස්ටි (විවාහයට පෙර මිලර්) පොත් කියවන අය අතර වඩාත් ප්‍රසිද්ධියට පත් වෙලා ඉන්නේ ‘රහස් පරීක්ෂක කතා රැජින’ ලෙසින්. ඒ ඇය විසින් රචනා කළ හර්කියුල් පොයිරෝ චරිතය නිසා. හර්කියුල් පොයිරෝ සහ ඔහුගේ සහායිකාව, ජේන් මේපල් විසින් විසඳූ අභිරහස් ඇසුරෙන් ඇය නව කතා 66 ක් සහ කෙටි කතා 14 ක් ලියා තිබෙනවා.

ඒ වගේම ගිනස් ලෝක වාර්තා පොතට අනුව ලොව වැඩි ම පොත් ගණනක් අලෙවි වූ කතුවරියගේ වාර්තාවට ඇය හිමිකම් කියනවා. නමුත් මේ සියල්ල ඇයට ලබා දුන් හර්කියුල් පොයිරෝ, ඇය නිර්මාණය කළ චරිත අතරින් ඇය අකැමති ම චරිතය බව යි පැවසෙන්නේ. එක්තරා අවස්ථාවක ඇය ඒ චරිතය හඳුන්වා ඇත්තේ ‘නින්දිත, පුරසාරම් දොඩන, අනෙක් අයට කරදර කරන, අහංකාර පුංචි සර්පයෙක්’ විදියට යි.

වර්ජිනියා වුල්ෆ්

ලෙනාඩ් සහ වර්ජිනියා වුල්ෆ්ගේ සේයාරුවක් (www.quotesgram.com)

ලෙනාඩ් සහ වර්ජිනියා වුල්ෆ්ගේ සේයාරුවක් (www.quotesgram.com)

1882 වසරේදී උපන් වර්ජිනියා වුල්ෆ් (විවාහයට පෙර ස්ටීවන්) ලෝක ප්‍රසිද්ධ ලේඛිකාවක් බවට පත් වුණේ ඇය ලියූ ‘ප්‍රදීපාගාරය වෙත (To the Lighthouse)’ පොත ප්‍රකාශයට පත් වීමත් සමගයි. නමුත් ශ්‍රී ලංකික අපිට හුඟක් සමීප පොතක් වන ‘බැද්දේගම (The Village in the Jungle)’ ලියූ ලෙනාඩ් වුල්ෆ් ඇගේ ස්වාමියා බව බොහෝ දෙනෙක් දන්නේ නැහැ.

ඇගේ පවුලේ උදවිය පවසන ආකාරයට ඇය ඉතාමත් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩිකාවක් සහ පන්දු යවන්නියක්. ඒ නිසා ම ඔවුන් ඇය ව හඳුන්වා ඇත්තේ ‘යක්ෂ පන්දු යවන්නිය (The Demon Bowler)’ යන නාමයෙන්. ඉංග්‍රීසි සාහිත්‍යයේ එන අග්‍රගණ්‍ය නිර්මාණයක් ලෙස සැලකෙන ‘Vanity Fair’ ලියූ විලියම් මේක්පීස් තැකරේගේ මිනිබිරියක් වන වර්ජිනියා, 1941 දී සියදිවි හානිකරගත්තා.

රෝල්ඩ් ඩාල්

‘චාලි සහ චොක්ලට් කම්හල’ පොතේ එන සිතුවමක් (Quentin Blake)

‘චාලි සහ චොක්ලට් කම්හල’ පොතේ එන සිතුවමක් (Quentin Blake)

‘චාලි සහ චොක්ලට් කම්හල’ කෘතිය තුළින් ලොව පුරා වෙසෙන කුඩා දරුවන්ගේ වගේම වැඩිහිටියන්ගේද ආදරයට පාත්‍ර වූ රෝල්ඩ් ඩාල් බ්‍රිතාන්‍ය ජාතික ලේඛකයෙක්. ඔහු ලියූ පොත් සියල්ල ම පාහේ හාස්‍යයට බර ඒවායි. ඔහු කුඩා කාලයේදී ඔහුගේ ගුරුවරයෙක් පාසල් වාර්තා පොතේ මෙසේ සටහන් කර තිබෙනවා. “වචනවලින් සැබෑවට ම පවසන අර්ථයට වඩා සම්පූර්ණයෙන් ම වෙනස් අර්ථයක් ලැබෙන ආකාරයට වචන හැසිර විය හැකි දරුවෙක් මින් පෙර මට කිසි දිනෙක හමු වී නැහැ …”

‘චාලි සහ චොක්ලට් කම්හල’ පාඨකයන් අතර ඉතාමත් ජනප්‍රිය වූ නිසා ම ඔහු එහි දෙවැනි කොටස ‘චාලි සහ අරුම පුදුම වීදුරු සෝපානය’ නමින් ප්‍රකාශයට පත් කළා. නමුත් එහි තුන් වැනි කොටස ‘ධවල මන්දිරයට ගිය චාලි (Charlie in the White House)’ නමින් එළි දැක්වීමට ඔහු බලාපොරොත්තු වූ බව කවුරුත් නොදන්න කාරණයක්. රුධිර සෛලවල ඇති වූ රෝගී තත්ත්වයකින් පීඩා විඳි රෝල්ඩ් ඩාල් පොත ලියා අවසන් කිරීමට පෙර 1990 වසරේ දී මිය ගියා.

ජේ. ආර්. ආර්. ටොල්කීන්

‘The Lord of the Rings’ ග්‍රන්ථ ත්‍රිත්වය (www.quirkbooks.com)

‘The Lord of the Rings’ ග්‍රන්ථ ත්‍රිත්වය (www.quirkbooks.com)

භාෂාව පිළිබඳ මහාචාර්යවරයෙකු වූ ඉංග්‍රීසි ජාතික ජේ. ආර්. ආර්. ටොල්කීන් පාඨකයන් අතර ජනප්‍රිය වුණේ ඔහු ලියූ ‘The Lord of the Rings’ කතා ත්‍රිත්වය හරහායි. 1892 වසරේදී ඔහු උපන්නේ දකුණු අප්‍රිකාවේදී. කලක් බ්‍රිතාන්‍ය හමුදාවේ ලුතිනන්වරයෙක් ලෙස සේවය කළ ඔහු ‘The Chronicles of Narnia’ ලියූ සී. එස්. ලෙවිස්ගේ ළඟම මිතුරෙක්.

තමන් නිර්මාණය කළ මායා ලෝකයට තදින් ම ඇලුම් කළ ජේ. ආර්. ආර්. ටොල්කීන් එක්තරා අවස්ථාවක ඇන්ග්ලෝ-සැක්සන් රණශූරයෙක් ලෙස සැරසී පොරවක් ලෙළවමින් තමන්ගේ අසල්වැසියාව වීදියේ පහළට හඹාගිය බව කවුරුත් නොදන්න කරුණක්.

ජේ. කේ. රෝලිං

හොග්වොට්ස් හි නිවාස සංකේතවත් කරන පාසල් ලාංඡනය (Wikipedia)

හොග්වොට්ස් හි නිවාස සංකේතවත් කරන පාසල් ලාංඡනය (Wikipedia)

හැරී පොටර් … විසි එක් වැනි සියවසේ ජනප්‍රිය ම ප්‍රබන්ධ චරිතයේ නිර්මාතෘ විදියට යි ජේ. කේ. රෝලිං ලොව පුරා පාඨක ප්‍රසාදය දිනා ගත්තේ. 51 හැවිරිදි ඇය ව සැලකෙන්නේ ලෝකයේ සිටින ධනවත්ම ලේඛිකාව පමණක් ලෙස නෙමෙයි පොත් අලෙවිය නිසා ම ධනවත් වූ අයෙක් විදියට යි. මේ වන විට ලොව පුරා ඇය ලියූ ‘හැරී පොටර්’ කතා මාලාවේ පිටපත් මිලියන හාරසීයකට වඩා අලෙවි වී තිබෙනවා.

හැරී පොටර් කතා මාලාව පිළිබඳ අදහස ඇගේ සිතට ආවේ දුම්රියකින් ගමන් කරමින් ඉන්න විට බව අපි හැමෝම වගේ දන්න කරුණක්. නමුත් ඇය හොග්වොට්ස් පාසලේ නිවසවල නම් නිර්මාණය කළ ආකාරය එතරම් ප්‍රසිද්ධ කරුණක් නෙමෙයි. ග්‍රිෆින්ඩෝර්, හෆල්පෆ්, රේවන්ක්ලෝ සහ ස්ලිදරින් යන නම් ඇය නිර්මාණය කරලා තියෙන්නේ ගුවන් ගමනක් අතරතුර දී. ඒ නම් අමතක වේවි යන බිය නිසා ම ඇය ඒවා ගුවන් මගීන් අසනීප වුණොත් භාවිතා කිරීමට ලබා දෙන කඩදාසි බෑගයක කෙටියෙන් ලියාගෙන තියෙනවා.

ජේන් ඔස්ටින්

ජේන් ඔස්ටින්ගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය වූ ‘Becoming Jane’ චිත්‍රපටයේ ජේන්ගේ චරිතයට පණ පොවන ඈන් හාතවේ (Pinterest)

ජේන් ඔස්ටින්ගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය වූ ‘Becoming Jane’ චිත්‍රපටයේ ජේන්ගේ චරිතයට පණ පොවන ඈන් හාතවේ (Pinterest)

19 වැනි සියවසේ ජීවත් වූ ජනප්‍රිය ඉංග්‍රීසි ලේඛිකාවක් වූ ජේන් ඔස්ටින් ලොව පුරා ප්‍රසිද්ධ වුණේ ඇය රචනා කළ ‘එමා (Emma)’, ‘මෑන්ස්ෆීල්ඩ් උද්‍යානය (Mansfield Garden)’ සහ ‘ප්‍රේමයක අරුමය (Pride and Prejudice)’ වැනි පොත් හරහායි.

1800 වසරේ දී මුල් ම වරට ලිපියක් හරහා ඉංග්‍රීසි භාෂාවේ එන ‘පිටස්තරයා (Outsider)’ යන වදන භාවිතා කලෙත් ජේන් ඔස්ටින්. ඒ ඇය ගැන අපි කවුරුත් නොදත් කාරණයක්.

ඩෑන් බ්‍රවුන්

ඩෑන් බ්‍රවුන්ගේ ඡායාරූපයක් (www.usatoday.com)

ඩෑන් බ්‍රවුන්ගේ ඡායාරූපයක් (www.usatoday.com)

ඇමෙරිකානු ජාතිකයෙක් වන ඩෑන් බ්‍රවුන්, ත්‍රාසය දනවන ප්‍රබන්ධ ලියන්නෙක් ලෙස ලෝක ප්‍රසිද්ධයි. 2003 වසරේ දී ඔහු ලියා පළ කළ ‘The Da Vinci Code’ කෘතිය ලොව පුරා මහත් ආන්දෝලනයට ලක් වුණා. ඊට අමතර ව ඔහු ලියූ ග්‍රන්ථ අතරින් ‘Angels & Demons’, ‘The Lost Symbol’ සහ ‘Digital Fortress’ වැනි යන ග්‍රන්ථ පාඨකයන් අතර ජනප්‍රියයි.

ලේඛකයෙන් ලෙස ලෝකප්‍රසිද්ධ වීමට පෙර ඔහු පොප් ගායකයෙක් ලෙස කටයුතු කළ බව හුඟක් දෙනෙක් දන්නේ නැහැ. ඔහු විසින් 1994 දී  ‘Angels & Demons’ නමින් තනි පුද්ගල ගීත ඇල්බමයක් එළි දක්වා තියෙනවා.

මේ ලෝ ප්‍රකට කතුවරු කිහිප දෙනෙක් ගැන අපි නොදත් කරුණු කිහිපයක්. මේ ලිපියේ සඳහන් නොවී අපිට මග හැරුණු වැඩිය ප්‍රසිද්ධ නැති කරුණු කාරණා ඔබ දන්නවා නම් ඒ විස්තර අපිත් එක්ක බෙදා ගන්නත් අමතක කරන්න එපා.

Related Articles