ඔබ සංචාරයට ප්‍රිය කෙනෙක් ද? සොබා සෞන්දර්යය විඳින්න ආසා කරන කෙනෙක්ද? එසේ නම් ශ්‍රී ලංකාව කියන්නෙ ඒ විනෝදාංශයේ යෙදෙන්න කියාපු තැනක්. ඇළ දොළ, ගංගා, කඳු, හෙල්, වනාන්තර, මුහුද වගේ සමහර රටවල ජීවත් වෙන මිනිස්සු දකින්න, විඳින්න අවුරුදු ගණන් පෙරුම් පුරන සොබා ලාලිත්‍යකින් පරිපූර්ණ වුනු පාරාදීසයක ඉපදෙන්න ලැබීමත් කොයි තරම් භාග්‍යක්ද?
මේ දිවයින තුළ ලෝකයේ දකින්නට ඇති බොහොමයක් ස්වභාවික ආකෘතීන් හා සංසිද්ධි දැක ගන්නට හැකියි. කෙසේ නමුත් අද අපි කතා කරන්නට යන්නේ ශ්‍රී ලාංකිකයන් ට ඉතාම නුහුරු නුපුරුදු, එ්ත් වක්‍රාකාරයෙන් අනාගතයේදී අපට දැඩි බැලපෑමක් එල්ල කළ හැකි ස්වභාවික නිර්මාණයක වගතුගත්, වර්තමානයේ එයට අත්ව ඇති ඉරණම හා අනාගතයේදී ඒ මගින් ලෝකයට එල්ල විය හැකි බලපෑම ගැන විස්තරයි. ඒ ග්ලැසියරයි.
මොනවද මේ ග්ලැසියර?
ග්ලැසියර සෑදීමට මූලික අඩිතාලම වැටෙන්නේ පතනය වන හිම අවුරුදු ගණනාවක් උස් බිමක එක්කාසු වී විශාල අයිස් කුට්ටියක් සෑදීමෙනුයි. මේ අයිස් කුට්ටිය අඛණ්ඩ ප්‍රවාහයක් ලෙස හෙමින් පහලට ගමන් කිරීමට පටන් ගන්නවා. මේවා ඇත්තෙන්ම ඉතාම සෙමින් ගලන ගංගාවකට සමානයි. මීටර කීපයක සිට කිලෝමීටර සිය ගණනක් ඈතට දිවෙන ග්ලැසියර දකින්න පුළුවන්. ඇත්තෙන්ම අපට ආගන්තුක වුණාට ලෝකයේ ඉඩ ප්‍රමාණයෙන් 10% ක්ම අරගෙන තිබෙන්නේ ග්ලැසියර්.
ග්‍රීන්ලන්තයේ, ඇන්ටාක්ටිකාවේ හා කැනඩාවේ ආක්ටික් වෘත්තයට අයත් ප්‍රදේශවලයි මේවා බහුතරයක් පිහිටා තිබෙන්නේ. මේවා ශීත යුගයේ සිට පැවත එන ඒවා බවට විශ්වාස කරනවා.
ග්ලැසියර නිර්මාණය වීම විද්‍යාත්මකව
ග්ලැසියරයක් ආරම්භ වීමට මුලින්ම අවුරුද්ද පුරාම උෂ්ණත්වය සෙල්සියස් අංශක 0 ට ආසන්න ස්ථානයක් තිබිය යුතුයි. මෙය උස් කඳු මුදුනක් හෝ ධ්‍රැවාසන්න ප්‍රදේශයක් විය හැකියි. අවුරුද්ද පුරාවට මෙම ස්ථානයට හිම එකතු වූ විට විට ඒවා අයිස් බවට පරිවර්තනය වෙනවා. අවුරුද්දෙන් අවුරුද්දට එකක් මත එකක් ලෙස හිමවලින් අයිස් ස්ථර සෑදෙනවා.
මෙහිදී මුලින්ම සිද්ධ වෙන්නේ ඉහළින් වැටෙන හිමවල බරට පහළ ස්ථරවල හිම සම්පීඩනය වී එහි කැටිති ස්වභාවය වෙනස් වී සීනි ඇට වැනි ව්‍යුහ බවට පත් වෙන එකයි. කාලයාගේ ඇවෑමෙන් මේ ව්‍යුහ වර්ධනය වී අතරමැද තිබෙන හිඩැස්වල ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් සම්පූර්ණ පද්ධතියේ ඝනත්වය වැඩි වෙනවා. ශීත ඍතු දෙකකට පස්සේ අතර මැද අවස්ථාවකට පත් වී අවුරුදු ගණනාවකට පස්සේ වායු අවකාශ ඇති නැති තරමට ව්‍යුහ එකිනෙකට ලං වන තරමට ඒවා වර්ධනය වෙනවා. දැන් විශාල අයිස් කුට්ටියක් හැදිලා අවසන්.
මේ ආකාරයට තැනෙන අයිස් කුට්ටියේ බර දරා ගන්නට බැරි තරම් වූ විට එය හෙමිහිට පහලකට රූටන්නට තතනනවා. එය හෙමිහිට පහලට රූටන විට ඉහළින් අයිස් කුට්ටියට අයිස් එකතු වෙනවා. අයිස් ඉතාම සුමුදු මාධ්‍යයක්. එම නිසා ගුරුත්වය හමුවේ එය පහළට ගමන් කරන විට සමහර තැන්වලින් ගමන් කරද්දී හැඩයේ වෙනස්වීම්වලට භාජනය වෙමින් ඇදී යනවා. අවසානයේ බොහෝ විට මුහුදක් හෝ ජලාශයක් හමු වන තුරුම මෙම ගමන සිද්ධ වෙනවා.
පහළ කොටසින් අයිස් බොහෝ විට ජල ප්‍රභවයට වැටී දිය වෙනවා. නැතිනම් වැඩි උෂ්ණත්ව පෙදෙසකට පැමිණ ඉබේම දිය වෙන අතරේ ඉහළින් තවත් අයිස් සෑදෙනවා. මේවාගේ වේගය ඉතාම මන්දගාමියි. සමහර විට දිනකට මීටර කිහිපයක් තරම් වේගවත් වෙන්නත්, අවුරුද්දකට සෙන්ටිමීටර් කීපයක් තරම් මන්දගාමී වෙන්නත් පුළුවන්. එකම ග්ලැසියරය කාලයෙන් කාලයට වේගය වෙනස් වෙන්නත් ප්‍රමාණය වැඩි වෙන්නට හෝ හැකිලෙන්නටත් පුළුවන්.
ග්ලැසියරයක කොටස්
ග්ලැසියරයක් මූලික කොටස් 3ක් තිබෙනවා; එනම් එහි හිස හෙවත් හිම එකතු වන ප්‍රදේශය, කඳ හා ජල ප්‍රභවයක් හමු වන පාදමයි. ග්ලැසියර කියන්නේ මෙම කොටස් තුනෙන් පමණක් සමන්විත, තනිකරම සුදු පැහැයට හුරු යමක් කියා කෙනෙක් හිතුවොත් එ්ක නිවැරදි නැහැ. තවත් දකින්න පුළුවන් පොඩි පොඩි දේවල් හා කොටස් කිහිපයක් නිසා ග්ලැසියර හරිම අලංකාර වෙනවා.
ග්ලැසියරයක හිම එකතු වන ප්‍රදේශය (accumulation zone), ඉහළින්ම පිහිටලා තිබෙන අතර අයිස් නිෂ්පදනය කර පද්ධතියට සපයනවා. පහළ ස්ථානයක තිබෙන පාදම ප්‍රදේශය හඳුන්වන්නේ ප්‍රකිරණ ප්‍රදේශය (ablation zone) කියලා. මේ ප්‍රදේශය තමයි වැඩිපුරම වාෂ්පීභවනයට හා අයිස් දිය වීමට ලක් වෙන්නේ. මෙහිදී වාෂ්පීභවන ශීඝ්‍රතාවයේ හා දිය වීමේ ශීඝ්‍රතාවයේ වෙනස් වීම අනුව ග්ලැසියරයක් විහිදෙනවාද හැකිළෙනවාද කියන එක තීන්දු වෙනවා.
ග්ලැසියර වේගයෙන් ගලන විට එහි දික් අතට විශාල පැළීම් ඇති වෙන්නට පුළුවන්. සමහර විට මැදින් ඇවිද යා හැකි තරමටම ඒ විවර විශාලයි. සමහර විට ග්ලැසියරයේ අයිස් තැනෙන විට ඒ අතරට හිර වුනු කුඩා ගල් කැබලි අයිස් සමඟම මිදිය හැකියි. පහළට ගලන විට හිරු එළිය වැදී ඒවා මවන්නේ නම් පුදුම සුන්දරත්වයක්.
ජල ප්‍රභව වෙනුවට ගල් තලාවක් අග්ගිස්සෙන් හෝ දෙපැත්තෙන් ඇති ග්ලැසියරද හමු වෙනවා. ගල් තලාවේදී අයිස් අවස්ථා විපර්යාසයට ලක්වී ජලය සෑදී ඉන් පසු ගලන්නේ ගංගාවක් වෙන්නත් පුළුවන්. සමහර විට ගංගාවකට අතු ගංගා එකතු වෙන්නා වාගේ ග්ලැසියර දෙකකුත් එකට හමුවිය හැකියි. උදම් ජල (Tied water), නිම්න (Valley), මහාද්වීපික (Continental) යනාදී වශයෙන් විවිධාකාර හැඩැති ග්ලැසියර තිබෙනවා
ග්ලැසියරයකින් සිදු විය හැකි ආපදා
ග්ලැසියරවල සුන්දරත්වය වගේම ඒවා නිසා සිද්ධ වෙන්න හැකි යම් ආපදා තත්ත්වත් තිබෙනවා. විශේෂයෙන්ම කුඩා ජලාශයකට හෝ ගංගාවකට ගලා හැලෙන ග්ලැසියරයක කොටසක් එක් වරම එක් වුණොත් විශාල ගංවතුර තත්ත්ව ඇති විය හැකියි. ඒ වගේම මුහුදකට හෝ විලකට ගලන ග්ලැසියරයක් සතු අයිස් කැබලි එක වරම දිය නොවීම නිසා සැලකිය යුතු ප්‍රමාණවල අයිස් කුට්ටි (iceberg) ජලයේ පා වෙන්නට පටන් ගන්නට පුළුවන්.
මේ අයිස් කුට්ටිවල 90%ක්ම ඇත්තේ ජලයෙන් පහළ නිසා එක වරම අවධානයට යොමු නොවීමෙන් නැව්, බෝට්ටු වැනි යාත්‍රාවලට දැඩි අලාබහානි සිදු විය හැකියි. ඒ වගේම උස් ස්ථානවලින් ග්ලැසියරයේ කොටස් කඩා වැටී මිනිසුන් හා දේපළ ඒවාට යට වී විනාශ වුණු අවස්ථාද ඉතිහාසයේ වාර්තා වී තිබෙනවා.
ග්ලැසියරවල අනාගතය හා ඉන් ලෝකයට සිදු වන බලපෑම
වර්තමානය වන විට සිදුවී ඇති වේගවත් කාර්මීකරණය, පොසිල ඉන්ධන භාවිතය වැනි දේ නිසා ලෝක උෂ්ණත්වය ක්‍රමයෙන් වැඩි වී තිබෙනවා. එමෙන්ම උෂ්ණත්වය වාර්ෂිකව වැඩි වන වේගයද වැඩි වී තිබෙනවා. මේ නිසා ග්ලැසියර හා අයිස් තට්ටුවලට නම් ලබලා තිබෙන්නේ ඒ තරම් හොඳ කාලයක් නොවෙයි.
සමස්ථයක් වශයෙන් ලෝකයේ සෑම ග්ලැසියරයක්ම පාහේ මේ වන විට ක්‍රමයෙන් ප්‍රමාණයෙන් අඩු වෙමින්, එහෙමත් නැත්නම් දිය වෙමින් පවතිනවා. එහි අර්ථය මේවායේ කොටස් බොහෝම ඉක්මණින් මුහුදට එකතු වෙනවා කියන එකයි. මේ එකතු වීමේ ශීඝ්‍රතාවය වැඩි වූ විට මුහුදු මට්ටම හිතාගන්නවත් අපහසු තරම් ඉහළ යෑමට ඉඩක් තියෙනවා.
මාලදිවයින වගේ කුඩා දූපත් රාජ්‍යයත්, ලන්ඩන්, නිව්යෝර්ක් වගේම ශ්‍රී ලංකාවේ කොළඹ, ගාල්ල ප්‍රධාන මුහුදුබඩ නගරත් මුහුණදෙන්නේ කිව නොහැකි තරමේ විශාල ප්‍රශ්නයකට. මීටර් කිහිපයක් මුහුදු මට්ටම ඉහළ ගියොත් එ්වායෙන් වැඩි කොටසක් ජලයෙන් යට වෙන්න පුළුවන්. මීට අමතරව ලෝකය පුරා සහල් අැතුළු අාහාර නිෂ්පාදනය කරන ප්‍රදේශ විශාල ප්‍රමාණයක් තිබෙන්නේ මුහුදු මට්ටමින් වැඩි උසකින් නොවන නිසා ලුණු වතුර මිශ්‍ර වී වගා කළ නොහැකි වීමෙන් ලෝක අාහාර සැපයුමත් සැලකිය යුතු අර්බුදයකට ලක් වෙන්න ඉඩ තියෙනවා.
සමහර පැතිවල පිරිසිදු ජලය ලබා දෙන ජලාශයක ජල මූලාශ්‍රය වෙන්නෙත් ග්ලැසියරයක්. ග්ලැසියර වේගයෙන් දිය වීම නිසා සමහර විට තව අවුරුදු කීපයකින් සමහරක් ග්ලැසියර නැත්තටම නැති විය හැකියි. ඔවුන්ගේ පිරිසිදු පානීය ජල සැපයුම්වලටත් සිද්ධ වෙන්නේ තර්ජනයක්. උදාහරණයක් හැටියට හිමාලයේ ගංගෝර්ති ග්ලැසියරය 1971-2001 තුළ මීටර 850ක් හැකිලී තිබෙන අතර එය 1781 සිටම හැකිලෙන්නේ කාර්මික විප්ලවය හා ගෝලීය උෂ්ණත්වය වැඩි වීමේ සම්බන්ධතාවය මොනවට කියා පාමින්.
ග්ලැසියර දියවීමට ලක් වන්නේ මිනිසුන්ගේම වරද නිසායි. නමුන් අවසානයේ ඉන් අයහපත උදා වන්නේද මිනිසාටමයි. මිනිසා ලෝකයට කරන හානිය හා වක්‍රකාරයෙන් මිනිසාටම විපාක ලැබීම පෙන්වන එක් උදාහරණයක් පමණයි ග්ලැසියර දිය වීම හා මුහුදු මට්ටම ඉහළ යෑම. අනාගතයේදී සොබාදහමෙන් දඬුවම් නොලැබීමටනම් එයට හානි නොවන ආකාරයෙන් ජීවත් වීමට මිනිසා අද සිටම ක්‍රියා කළ යුතුයි.
කවරයේ පින්තූරය (alphacoders.com )
මූලාශ්‍ර:
- nsidc.org