පසුගිය අප්‍රේල් මාසයේ 19 වැනිදා කොළඹ, පන්නිපිටියේ පිහිටි පුද්ගලික රෝහලක් තාවකාලිකව වසා දමන ලද්දේ කොරෝනා ආසාදිතයෙකු එම රෝහලෙන් වාර්තා වීමත් සමග යි. ඉන් පසුව එම රෝහලේ සේවය කළ වෛද්‍යවරුන්, හෙදියන්, සහායකයින් ඇතුළු කාර්ය මණ්ඩලයේ 69 දෙනෙකු නිරෝධායනය සඳහා යොමුකරනු ලැබුවා. එලෙස රෝහල තාවකාලිකව වසා දැමීමෙන් පසුව එම රෝහලෙන් ප්‍රතිකාර ලබමින් සිටි වකුගඩු රෝගීන් කණ්ඩායමක් රෝහල් ප්‍රතිකාර නොමැතිව අසරණ තත්ත්වයකට පත් වුණා. එසේම දිගු කලක් තිස්සේ කොළඹට අඛණ්ඩව පනවනු ලැබූ ඇඳිරි නීති තත්ත්වය නිසා හදිසි ප්‍රතිකාර කරගැනීමට නොහැකිව අසරණ වුණු විශේෂිත රෝගීන් සිටියා. මේ එවැනි රෝගීන් කිහිපදෙනෙකු පිළිබඳව අප කළ සොයා බැලීමක්.
කොරෝනාව නිසා අවදානමකට ලක් වුණු වකුගඩු රෝගියෙක්
අශෝක ලියනගේ 68 හැවිරිදි විශ්‍රාමික පාසල් විදුහල්පතිවරයෙක්. දිගු කාලයක සිට වකුගඩු රෝගයෙන් පෙළෙන ඔහු මීට වසර හතකට පෙර වකුගඩු ආදේශන ප්‍රතිකාරය ලෙසින් රුධිරකාන්දුකරණ ප්‍රතිකාරය ආරම්භ කළා. ඔහුට සෑම සතියකම දෙවරක් ප්‍රතිකාර ලබාගැනීමට නියම කර තිබුණා. නමුත් පෞද්ගලික රෝහල වසා දැමීමෙන් පසු අශෝකට නිතිපතා ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකි වුණා. අනිකුත් සියළුම පුද්ගලික රෝහල් මෙවැනි රෝගීන් ඇතුළත් කරගැනීම ප්‍රතික්ෂේප කිරීමත්, රජයේ රෝහල්වල ඉඩ පහසුකම් අඩුවීමත් නිසා මෙම රෝගියා එම අවස්ථාවේ දී සෑහෙන අසරණ තත්ත්වයකට පත්වී තිබෙනවා. සාමාන්‍යයෙන් නිදන්ගත වකුගඩු රෝගයෙන් පෙළෙන රෝගීන්ට අඛණ්ඩව රුධිරකාන්දුකරණ ප්‍රතිකාරය ලබාදිය යුතු වනවා. නමුත් කොරෝනා වසංගතය නිසා ඇති වුණු අනපේක්ෂිත තත්ත්වය නිසා මෙම රෝගියාට නිසි පරිදි එම ප්‍රතිකාරය ලබාගැනීමට හැකිවී නැහැ. සිය පියාට නිසි ප්‍රතිකාර ලබාදීමට නොහැකි වීම පිළිබඳව ඔහුගේ පුත්‍රයා අප සමග මෙසේ පවසා සිටියා.
“මගේ පියාට හුස්ම ගැනීමේ අපහසුතාවයක් තිබුණා. ඔහුට අපේ‍්‍රල් 21 වන දින ප්‍රතිකාර ලබා ගත යුතුව තිබුණත් එය කළ නොහැකි වුණා. නමුත් අප්‍රේල් 26 වන දින අපට වෙනත් රෝහලක් සොයාගැනීමට හැකිවුණත් එම රෝහලෙන් දිනකට වකුගඩු රෝගීන් තිදෙනෙකුට පමණක් නවාතැන් දෙන නිසා අධික තදබදයක් තිබුණා. මගේ පියාට මෙතරම් කාලයක් දුක් විඳීමට මම ඉඩ දෙන්නේ කොහොමද”
පන්නිපිටිය පුද්ගලික රෝහල වසා දැමීම නිසා අසරණ වුණු එකම රෝගියා අශෝක ලියනගේ නොවෙයි. ඔහුට අමතරව වකුගඩු රෝගීන් 47 දෙනෙකු එම රෝහලෙන් අඛණ්ඩව රුධිරකාන්දුකරණ ප්‍රතිකාරය ලබාගෙන තිබෙනවා. එසේම මෙම සේවාව සඳහා වරින් වර එම පුද්ගලික රෝහලට පැමිණි පුද්ගලයින් 100 දෙනෙකු පමණ සිටි බව සඳහන් වනවා. එම රෝගීන් පන්නිපිටිය රෝහලෙන් ප්‍රතිකාර ගත් බව අනාවරණය වීමෙන් පසුව ඔවුන්ව වෙනත් රෝහල්වලට ඇතුල් කර නොගැනීම නිසා අසරණ තත්ත්වයකට මුහුණදීමට සිදු වුණා. සාමාන්‍යයෙන් වකුගඩු රෝගීන්ට රුධිරකාන්දුකරණ ප්‍රතිකාරය ලබා ගත යුතු බවට රජයේ සෞඛ්‍ය සේවය අවධාරණය කර තිබුණත් අශෝක ලියානගේ සහ ඔහු දන්නා අනෙකුත් වකුගඩු රෝගීන් අවදානමට ලක්ව සිටින බව මෙහි දී සඳහන් කළ යුතු යි.
ඇතැම් පිළිකා රෝගීන් ද කොරෝනාව නිසා අසරණ වී සිටිනවා
කළණි 60 වැනි වියේ පසුවන විශ්‍රාමික ගුරුවරියක්. පසුගිය ඔක්තෝම්බර් මාසයේ ඇයට තුන්වන අදියරෙහි ඩිම්බකෝෂ පිළිකාවක් ඇති බව හඳුනාගනු ලැබුවා. එතැන් සිට සෑම සති දෙකකට වරක්ම ඇයට පරීක්‍ෂණයක් සඳහා රෝහලට පැමිණීමට සිදු වුණා. ඒ, ඇයට සිදුකරන ඖෂධ ප්‍රතිකාරවලින් ඇයගේ සිරුරේ සිදුවන වෙනස්කම් පෙන්වන රුධිර වාර්තා පෙන්වීම සඳහා පිළිකා රෝග විශේෂඥයා හමුවීමට යාමට කළණිට අවශ්‍යව තිබුණා. නමුත් අඛණ්ඩව ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීමත් සමග කළණිට එය දුෂ්කර කාර්යයක් වුණා.
ඇයගේ දියණිය අප සමග පවසා සිටියේ නිතරම රෝහලට යාමට හැකියාවක් නොතිබුණු නිසා නිවසේ දී අනුගමනය කළ යුතු ක්‍රියාවලිය පිළිබඳව පිළිබඳව පිළිකා රෝග විශේෂඥයාගෙන් උපදෙස් ලැබුණු බව යි. එසේම අඛණ්ඩ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීමෙන් පසුව දෙවන සතියේ දී කළණි නියමිත ඖෂධ චිකිත්සාවට භාජනය වී තිබෙනවා. එයින් පසුව එහි බලපෑම පාලනය කිරීම සඳහා එන්නතක් ලබා දිය යුතුව තිබෙනවා. සාමාන්‍යයෙන් එය රෝහලේ දී ලබාදෙන එන්නතක්. නමුත් මෙම අවස්ථාවේ දී කළණිට එය ලබාගැනීමට නොහැකි වුණේ ඇයගේ පිළිකා රෝග විශේෂඥයා රෝහලට නොපැමිණෙන ලෙස පැවසූ නිසා යි.
ඇඳිරි නීතිය යටතේ පිළිකා රෝගීන් කළමනාකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය රෝහල් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබුණා ඒ, මේ අර්බුදකාරී කාලසමයේ දැනට ඇති සීමිත සම්පත් ප්‍රමාණය සියලුම රෝගීන්ට ලබාදීමේ අරමුණින්.
කොරෝනාව නිසා පීඩාවට පත් වුණු තවත් රෝගියෙකුගේ කතාව
78 හැවිරිදි සෙලීන් ඩි ඇන්ඩ්‍රාඩෝ වයස අවුරුදු 78 ක් වන අතර දියවැඩියාව සහ හිසේ කරකැවිල්ල සඳහා ඖෂධ ලබාගනිමින් සිටියි. එසේම ඇය හෘදය ආශ්‍රිත අසනීප තත්ත්වයකින් ද සුවය ලබමින් සිටියි.
පසුගිය මාර්තු මාසයේ සිට ඇන්ඩ්‍රාඩෝ ඇගේ කකුල් ඉදිමීම ගැන ඇගේ වෛද්‍යවරයාට පවසා සිටියා. එවිට ඇගේ වෛද්‍යවරයා ඒ වන විට ලබාදෙමින් තිබුණු ඖෂධය වෙනස් කර, ඒ පිළිබඳ බියක් ඇතිකර නොගන්නා ලෙස පවසා තිබෙනවා. නමුත් ඇයට නියම කරන ලද ඖෂධය ලබාගැනීමෙන් පසුව ඇගේ හිසේ කරකැවිලි තත්ත්වය නරක අතට හැරී ආහාර රුචිය ද ක්‍රමයෙන් අඩුවී තිබුණා.
“අඛණ්ඩව ඇඳිරි නීතිය ආරම්භ වීමත් සමග අගේ කරකැවිල්ල පිටටම කකුල්වල ඉදිමීමත් නැවත මතුවීමෙන් ඇය අසරණ තත්ත්වයට පත් වුණා. අපි එවිට පුද්ගලික හදිසි ප්‍රතිකාර සේවාවක් ඇමතුවා. එයින් පැයකට පමණ පසුව වෛද්‍යවරයෙකු සම්බන්ධ කරගැනීමට අපට හැකිවුණා,” සෙලීන්ගේ මුණුපුරා වූ මහේෂ් අපට පැවසුවා.
වෛද්‍යවරයා සමග සාකච්ඡාවෙන් පසුව ඇයට වෙනස් මාත්‍රාවක් නියම කර තිබුණා. ඉන්පසුව ඇය ඔවුන් නිතර යනෙන ඖෂධාලයේ ඖෂධවේදියෙකු සම්බන්ධ කරගෙන අවශ්‍ය ඖෂධ ප්‍රමාණය ගෙන්වාගෙන තිබෙනවා. ඇන්ඩ්‍රාඩෝගේ වාසනාවට පුද්ගලික හදිසි ප්‍රතිකාර සේවාව මඟින් වෛද්‍යවරයෙකු හමු නොවුණා නම්, ඇය ඉතාමත් අසීරු තත්ත්වයට පත්වන්නට ඉඩ තිබුණා.
අශෝකට සහ කළණිට සහනයක් ලැබෙයි
අඛණ්ඩව ඇඳිරි නීතිය පැනවීමත් සමගම නිතිපතා රෝහලට යාමට නොහැකි වුණු බැවින් කළණිට ඇගේ ඖෂධ ප්‍රතිකාර සඳහා වන එන්නත මිල දී ගෙන ශීතකරණයේ තබාගන්නා ලෙස උපදෙස් ලැබී තිබුණා. නමුත් ඇඳිරි නීතිය නිසා ඇයට එම එන්නත සපයාගැනීමට අපහසු වුණා. එම අවස්ථාවේ කළණිගේ අසල්වැසි වූ විශ්‍රාමික හෙදියක් ඔවුන්ට උපකාර කිරීමට ඉදිරිපත් වුණා. කළණිගේ තත්ත්වය තේරුම්ගත් එම හෙදිය ඔවුන්ට උදව් කිරීමට එකඟ වුණු බව ඇයගේ දියණිය අප සමග පවසා සිටියා.
කළණි සේම, ඇඳිරි නීතිය නිසා සිය වකුගඩු රෝගයට ප්‍රතිකාර ලබාගැනීමට නොහැකි වූ අශෝකට විසඳුමක් රෝහලට එරෙහිව එල්ල වුණු මහත් ජනතා විරෝධයක් නිසා යි.
පන්නිපිටිය පුද්ගලික රෝහල වසා දමා දින 6කින් යළි විවෘත කිරීමෙන් පසුව රුධිරකාන්දුකරණය සඳහා එහි ගිය පළමු රෝගීන් අතරේ අශෝක ලියනගේ ද සිටියා. ඒ ගැන ඔහුගේ පුත්‍රයා අදහස් දැක්වූයේ මෙසේ යි.
“මගේ තාත්තා අන්තිමේ දී ප්‍රතිකාර ලබනවා. අපි සියලුදෙනාම දින ගණනාවක් දුක් වින්දා. අනෙක් රෝගීන්ට ද ඩයලිසිස් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඉක්මන් අවස්ථාවන් ලබා දී තියෙනවා. මෙය දැන් අවසන් වීම ගැන මම සතුටු වෙනවා.”
අප ඔබට ඉදිරිපත් කළේ කොරෝනා වසංගතය නිසා පීඩා විඳි නිධන්ගත රෝගීන් තිදෙනෙකුගේ කතාවන් පමණ යි.
මෙවැනි රෝගීන් තව විශාල ප්‍රමාණයක් අප සමාජය තුළ සිටින්නට ඉඩ තිබෙනවා. හෙට දිනයේ දී ඔවුන්ගේ දිවි රැකගැනීම සඳහා ප්‍රායෝගික ක්‍රමවේදයක් අවශ්‍ය බව අප මතක තබාගත යුතු යි.
*මෙහි සඳහන් නම් සිද්ධියට මුහුණදුන් අයගේ ඇත්ත නම් නොවන බව කරුණාවෙන් සලකන්න