Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මෑත ඇමරිකාවේ විශාලතම ව්‍යාපෘතිය – ඔපරේෂන් වෝප් ස්පීඩ්

චීනයේ වුහාන් පළාතෙන් ආරම්භව මේ වන විට රටවල් 200කට අධික ප්‍රමාණයකට පැතිර ගොස් ඇති නව කොරෝනාවෛරසය එම රටවලට දරුණු ආර්ථික, සෞඛ්‍ය හා සමාජීය ප්‍රශ්න නිර්මාණය කර තිබෙනවා. අද වන විට (මැයි 22) ලෝකය පුරා කොරෝනාවෛරසය ආසාදිත වූ රෝගීන් ප්‍රමාණය ලෙස 5,194,916ක් ලෙස සටහන් වෙනවා. ඒ හේතුවෙන් මිය ගිය ප්‍රමාණය 334,622ක් ලෙස සටහන් වෙනවා. 2,081,527ක් මේ වන විට සම්පූර්ණ සුවය ලබා තිබෙනවා.

කොරෝනාවෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වී තිබෙන රට වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය යි. අද වන විට වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් මෙන්ම වැඩිම මරණ ප්‍රමාණයක් ද වාර්තා වෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙන්. ඔවුන්ගෙන් 1,620,902ක ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වෙන අතර 96,354ක මරණ ප්‍රමාණයක් ද අද වන විට වාර්තා වෙනවා. මේ වන විට ඇමෙරිකා එක්සත් ජනපදයේ දිනකට වාර්තා වෙන මරණ ප්‍රමාණය 1500කට අධික යි.

කොරෝනාවෛරසය සඳහා සාර්ථක එන්නතක් නිපදවා එය ලොව වටා බෙදා හැරීමට අවම වසරක කාලයක්වත් ගතවෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරනවා. ඒ හේතුවෙන් මේ වන විට රටවල් සමූහයක ඖෂධ සමාගම් හා පර්යේෂණ කණ්ඩායම් එකතු වී එන්නතක් නිපදවීමේ පර්යේෂණවල නිරතව සිටිනවා. වෙනස් එන්නත් 70ක් පමණ සඳහා පර්යේෂණයන් සිදුකෙරෙන බවත්, තවමත් සාර්ථක එන්නතක් බිහි වී නොමැති බවත්  ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරනවා.

ඇමෙරිකා එක්සත් ජනපදයේ උත්සාහය 

ඇමෙරිකාවේ දෛනිකව වාර්තා වෙන මරණ ප්‍රමාණය (worldometers)

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් කොවිඩ් 19 සඳහා සාර්ථක එන්නතක් නිපදවීම උදෙසා පර්යේෂණ ආරම්භ කිරීම, නිෂ්පාදනය කිරීම, හා බෙදා හැරීම මුල්කොට ගෙන මේ වන විට ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. එය නම් කර තිබෙන්නේ “Operation Warp Speed” නමින්. ඇමෙරිකානු ෆෙඩරල් රජයේ මෙහෙයවීමෙන්  රාජ්‍ය – පෞද්ගලික අංශයන් දෙකේම මැදිහත්වීම මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බව ඇමෙරිකානු ජනාධිපතිවරයා මේ වන විට ප්‍රකාශ කර තිබෙනවා.

ඒ යටතේ මේ වන විට එන්නත් පරීක්ෂණ 14ක් සිදු කෙරෙමින් පවතින බවත්, පර්යේෂණ කඩිනම් කර ඇති බවත්, ඒවායේ අනුමැතිය පිළිබඳ සලකා බලමින් සිටින බවත්, 2020 වසරේ අවසානය වන විට සාර්ථක එන්නතක් නිපදවා අවසන් කළ හැකි බවත් ට්‍රම්ප් වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කරනවා. නමුත් ව්‍යාපෘතියේ කාල රාමුව මේ වන තෙක් පැහැදිලිව මාධ්‍ය වෙත හෙළි කිරීමක් සිදු කර නෑ.

මැන්හැටන් ව්‍යාපෘතියෙන් පසුව ඇමරිකාව ආරම්භ කර තිබෙන විශාලතම ව්‍යාපෘතිය – Operation Warp Speed

ට්‍රම්ප් ජනාධිපතිවරයා ධවල මන්දිරයේ දී Operation Warp Speed පිළිබඳ හදුන්වා දීම (foxbusiness)

ඉතා ඉක්මනින් එන්නතක් නිපදවීමේ මෙම මෙහෙයුම සඳහා ඇමෙරිකානු ෆෙඩරල් රජයේ සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව, රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC), ආහාර හා ඖෂධ පාලනාධිකාරිය (FDA), ජාතික සෞඛ්‍ය ආයතනය, උසස් ජෛවවෛද්‍ය විද්‍යා පර්යේෂණ හා සංවර්ධන අධිකාරිය (BARDA), හා ආරක්ෂක දෙපාර්තම්නේතුව වැනි රාජ්‍ය ආයතන හා පෞද්ගලික ආයතන කිහිපයක් මේ සඳහා සහභාගිත්වය දරනවා.

මෙහෙයුමේ නායකත්වය ජනරාල් ගුස්ටාව් පර්නා හා සෞඛ්‍ය පර්යේෂක මොන්සෙෆ් ස්ලවී වෙත 

ජනරාල් Gustave F. Perna (wikimedia)

මෙම මෙහෙයුමේ ආරම්භය සිදු වන්නේ අප්‍රේල් මාසයේ මුල් භාගයේ දී යි. එය මාධ්‍ය වෙත වාර්තා වන්නේ අප්‍රේල් මාසයේ අග භාගයේ දී යි. ජනාධිපතිවරයා ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දක්වමින් වරෙක ප්‍රකාශ කරන්නේ න්‍යෂ්ටික බලය පිළිබඳ මැන්හැටන් ව්‍යාපෘතියෙන් පසුව ඇමරිකාව ආරම්භ කරන විශාලතම ව්‍යාපෘතිය මෙය බව යි. මෙම ව්‍යාපෘතිය ඔස්සේ සාර්ථක එන්නතකින් මිලියන 300ක් පමණ ඒකකයන් එළඹෙන ජනවාරි මාසය වන විට නිෂ්පාදන කළ හැකි බව යි මෙහෙයුම භාරව සිටින ප්‍රධානියා වන හමුදා ජෙනරාල් ගුස්ටාව් පර්නා පවසන්නේ. මෙම ව්‍යාපෘතියේ දී ජෙනරාල්වරයාගේ ප්‍රධාන කාර්යය වන්නේ පෞද්ගලික හා රාජ්‍ය ආයතන අතර අන්තර් සම්බන්ධතාවය ගොඩනැංවීම යි.

මෙහෙයුමේ ප්‍රධාන උපදේශකයා ලෙස කටයුතු කරන්නේ සෞඛ්‍ය පර්යේෂකයෙක් වන මොන්සෙෆ් ස්ලවී යි. ඔහු මීට පෙර ග්ලැක්සෝ ස්මිත්ක්ලයින් (GlaxoSmithKline) නම් සුප්‍රසිද්ධ ඖෂධ සමාගමේ ගෝලීය පර්යේෂණ හා සංවර්ධන සභාපති ලෙස කටයුතු කර තිබෙනවා. මීට පෙර ද ඔහු නව එන්නත් වර්ග 14ක් නිපදවීම සම්බන්ධයෙන් දක්ෂතා දක්වා තිබෙනවා. ඔවුන් දෙදෙනාම මැයි 15 වන දා සිට සිය ධුරයන්හි වැඩ ආරම්භ කර තිබෙනවා. 

සෞඛ්‍ය පර්යේෂක Moncef Slaoui (middle-east)

අවශ්‍ය අමුද්‍රව්‍ය සහ සම්පත් සැපයීම, එන්නත සංවර්ධනය කිරීම, නිෂ්පාදනය, හා බෙදා හැරීම සම්බන්ධයෙන් විශේෂඥ කණ්ඩායම් මේ වන විටත් පත් කර තිබෙනවා. ඇමෙරිකාව පුරා සිටින ඖෂධ සමාගම් හා පර්යේෂක කණ්ඩායම් මේ ව්‍යාපෘතිය ඔස්සේ සම්බන්ධීකරණය කිරීම ද සිදු කිරීමට නියමිත යි. දැනටමත් ඒ සඳහා කණ්ඩායම් 14ක් තෝරාගෙන ඇති අතර ඉන් කණ්ඩායම් අටක් ඉදිරියට රැගෙන යාම ව්‍යාපෘතිය ඔස්සේ සිදු වීමට නියමිත යි. මුලින්ම සතුන් යොදාගෙන එන්නත පරීක්ෂණයට භාජනය කිරීමටත්, පසුව, එනම් ජූලි මාසය පමණ වන විට මානව අත්හදා බැලීම්වලට ගමන් කිරීමත් මේ ඔස්සේ බලාපොරොත්තු වෙනවා. ලොව පුරා එන්නත් නිපදවීමේ සමාගම් හා පර්යේෂණ කණ්ඩායම්වලට මේ සඳහා සහභාගී විය හැකි අතර ඇමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම්වලට වැඩි ප්‍රමුඛතාවයක් හිමි වෙනවා. නමුත් ව්‍යාපෘතිය ඔස්සේ චීන සමාගම්වලින් නිෂ්පාදනය කෙරෙන එන්නත් සඳහා අනුග්‍රහය දැක්වීමක් සිදු වන්නේ නෑ.

ව්‍යාපෘතියට එල්ල වී ඇති චෝදනා 

කෙසේ නමුත් මෙම ව්‍යාපෘතියට චෝදනා කීපයක් ද එල්ල වී තිබෙනවා. සාර්ථක එන්නත් නිපදවීම සඳහා සැලකිය යුතු කාලයක් ගතවන් බව, සහ ජනාධිපතිවරයා ප්‍රකාශ කරන පරිදි එය මේ වසර අවසානය වන විට නිෂ්පාදනය කිරීම කළ නොහැකි බව යි සෞඛ්‍ය විශේෂඥයන් ප්‍රකාශ කරන්නේ. 

කවරයේ පින්තූරය - cnn

මූලාශ්‍රයයන් 

Bloomberg.com

Sciencemag.org

whitehouse.gov

Related Articles