Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පොළොව යට ඉදි කෙරුණු ස්වීඩනයේ නිවාස

21 වන සියවස යනු ගෘහ නිර්මාණ ශිල්පයේ මෙන්ම ගොඩනැගිලි නිමැවුම් ක්ෂේත්‍රයේද අනභිභවනීය නිර්මාණ එළි දැක්වෙන යුගය වශයෙන් හැඳින්වීම නිවැරදියි. Sky scrapers හෙවත් අහස උසට නැගි විශාල ගොඩනැගිලි මෙන්ම පොළොව මත ඉදි කෙරෙන සියලුම පහසුකම් සහිත නිවාසයන්ට නොදෙවෙනි වන Condominiums/ apartments හෙවත් සහාධිපත්‍ය නිවාසද මේ වන විට වෙනත් රටවල මෙන්ම මෙරටත් දැකගන්නට පුළුවන්. නමුත් මේ ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ අහස උසට ගොඩනැගෙන එම ගොඩනැගිලි පිළිබඳව නම් නොවෙයි. මීට සියවස් හතරකට පමණ පෙර, එනම් 17වන සියවසේදී ස්වීඩනයේ ඉදිකෙරුණු අමුතුම ආකාරයේ නිවාස සමූහයක් පිළිබඳවයි roar.lk පාඨක ඔබ වෙත මේ ලිපිය ලියැවෙන්නේ.

බැක්ස්ට්‍රාස් (Backstras)

වර්තමානයේදී නිමැවෙන ගොඩනැගිලි හැකිතාක් දුරට ඉහළට මහල් වලින් යුක්තව ගොඩනැගුණත් ස්වීඩනයෙන් සොයාගෙන ඇති මෙම නිවාස ඉදිකර ඇත්තේ ඊට විරුද්ධ දෙසටයි. එනම්, පොළොව තුළටයි. ස්විඩිශ් හෙවත් ස්වීඩනයේ මවු භාෂාවෙන් බැක්ස්ටුගා (Backstuga) යන වදනින් ඇඟවෙන්නේ Earth cabin හෙවත් “පොළොව යට ඉදිකරන ලද කුඩා නිවාස” යන්නයි. බැක්ස්ටුගා යන නමින් හැඳින්වෙන මෙම නිවාසද අඩක් පොළොව යටට නිපදවා ඇති ඒවායි. බැක්ස්ට්‍රාස් (Backstras) යනුවෙනුත් මෙම නිවාස හඳුන්වනු ලබනවා. විශේෂයෙන්ම අධික ශීත කාලයන්ට මුහුණ පෑමට සිදුවන යුරෝපීය රටක් වන ස්වීඩනය තුළ නිවසක් තුළ තිබිය යුතු උණුසුම රඳවාගැනීම පිණිසද මෙම නිවාස උපකාරී වී තිබෙනවා. 19වන සියවස දක්වාම ස්වීඩනයේ මෙලෙස නිවාස ඉදිකිරීම ජනප්‍රියව තිබූ බවයි වාර්තා වන්නේ.

smithjournal.com

මෙම නිවාස නිපදවීම ආරම්භ වීඇත්තේ 1800 ගණන් වලදීයි. එම කාල සමය තුළ ඉඩම් දෙකක් මැද පිහිටි ලඳු කැලෑවක් වැනි ප්‍රදේශයන්හි මෙම නිවාස වැඩිපුරම ඉදි වී තිබෙනවා. බොහෝ විට මෙම නිවාස ඉදි වී ඇත්තේ එම ඉඩම් වල අයිතිකරුවන් වෙනුවෙන් සේවය කළ කුලීකරුවන් සහ සේවකයින්ගේ වාසය සහ භාවිතය සඳහායි. මෙම නිවාස වල සාමාන්‍ය සැලැස්ම සමන්විත වන්නේ ගලින් සහ දැවයෙන් නිමවන ලද බිත්ති සහ නිවස තුළ පිහිටා ඇති ගිනි මැලයක් මෙන්ම ඉර එළිය ලබා ගැනීම සඳහා නිවසෙහි වහලය වැනි කොටසේ තබා ඇති වීදුරු ජනේල යනාදියෙනුයි. මෙම කැබින් නිවාසයන්හි තවත් එක් සුවිශේෂී ලක්ෂණයක් වන්නේ මෙම නිවාස වලට සම්බන්ධව හෝ ඒ සමග නිපදවන ලද වැසිකිළියක් නොමැති වීමයි. අතිශය රමණීය ලෙස ස්වභාවික සෞන්දර්යය සමග මුසුකොට නිපදවා ඇති මෙම නිවාස සැබවින්ම වර්තමාන ගෘහනිර්මාණ ශිල්පීන්ගේ ඇතැම් අදහස් වලටත් වඩා පරිසර හිතකාමී ඒවා වන බවයි ස්වීඩනයේ සංචාරක කර්මාන්තයේ මුල්තැන ගෙන සිටින ආයතන පවසන්නේ.

smithjournal.com

නමුත් ඉතා අවාසනාවන්ත ලෙස මේ වන විට මෙම නිවාස වලින් බොහෝමයක් ඒවා අලුත්වැඩියාවන්ගෙන් තොර වීම නිසා අබලන් තත්වයකට පත්ව තිබෙනවා. දෙස් විදෙස් සංචාරකයින්ගේ සිත් ඇදගන්නා සුළු මෙම නිවාස අතුරින් කිහිපයක් මේ වන විට අලුත්වැඩියා කොට සංචාරකයින්ගේ නවාතැන් පහසුකම් සඳහා විවෘතව පවතිනවා. ස්වීඩනයේ සංචාරයක් සඳහා ඔබත් යම් දිනක යන්නේ නම් මෙම අපූරු නිවාසයක රැයක් ගත කරන්නට අමතක කරන්නට එපා.

මෙසේ අලුත්වැඩියා කොට ඇති කැබින් වර්ගයේ නිවාස දෙකක් මේ වන විට සංචාරකයින් අතර ප්‍රසිද්ධයි. ඒවා පිහිටා ඇත්තේ ස්වීඩනයේ අගනුවර වන ස්ටොක්හෝම් නුවරින් සැතපුම් 228ක් පමණ දුරින් පිහිටා ඇති දකුණුදිග ස්වීඩනයේ ස්මාලන්ඩ් (Smaland) නැමති ප්‍රදේශයේයි. බෝල්ටික් මුහුද අද්දර මුහුදුබඩ ප්‍රදේශයට කිට්ටුවෙන් පිහිටා ඇති ස්මාලන්ඩ් ප්‍රදේශය යනු ගංගා පන්දහසක් පමණ පිහිටා ඇති ස්වභාව සෞන්දර්යයෙන් අනූන වූ ප්‍රදේශයක්. ස්මාලන්ඩ්හි පිහිටා ඇති ඕලන්ඩ් (Oland)  නැමති දූපත ඒ අතුරින් විශේෂිතයි. ප්‍රධාන භූමියේ සිහ ඕලන්ඩ් දූපත වෙත ගමන් ගන්නට පාලමක්ද සාදා තිබෙනවා. ස්වීඩනයේ වසන්ත සෘතුවේදී වැඩිම පැය ගණනක් ඉර එළිය පතිත වන ප්‍රදේශය වන්නේද මෙම දූපතයි. එම පැය ගණන කොතෙක්ද යත්, ඉර උදා වන්නේ උදෑසන හතරට පමණ වන අතර, ඉර බසින්නේ රාත්‍රී 9:49ටයි. පැය ගණනක් ඉර එළිය පවතින නිසාම වසන්ත සෘතුවේදී මෙහි යන ඕනෑම පුද්ගලයෙකුට දින කිහිපයක් ඇතුළත එම ප්‍රදේශයේ පිහිටා ඇති ස්වභාවික රක්ෂිතයන් හැත්තෑ පහම දැක බලාගන්නටත් හැකියි.

එමෙන්ම, යුරෝපානු භූගෝලිය ප්‍රදේශයට ආවේණික, විශාල අං තට්ටුවකට හිමිකම් කියන ගෝනුන්ද මෙම ප්‍රදේශයේ ඉතා සුලබව දැකගත හැකියි. මෙවැනි සුන්දර පරිසරයක පිහිටා ඇති පොළොව යටට සාදා ඇති කුඩා කැබින් වර්ගයේ නිවාස අතුරින් නිවාස දෙකක් මේ වන විට දෙස් විදෙස් සංචාරකයින් අතර ප්‍රසිද්ධව පවතිනවා. ඒ, ලිට්ල් ජෝන්ගේ නිවස (Little John’s Cabin) සහ සරණාගත පවුලක් දිවි ගෙවූ නිවස (House of the refugees) යන නිවාස ද්විත්වයයි.

tumblr.com

ලිට්ල් ජෝන්ගේ නිවස (Little John’s Cabin)

ලිට්ල් ජෝන්ගේ නිවාසයට එම නාමය ලැබී ඇත්තේ එහි වාසය කළ ලිට්ල් ජෝන් නැමති පුද්ගලයෙකු හේතුවෙනුයි. 1800 ගණන් අග භාගයේ ඔහු මෙම බැක්ස්ටෘගාවේ වාසය කොට තිබෙනවා. (නමුත් මේ රොබින්හුඩ්ගේ පුරාවෘත්තයේ එන ලිට්ල් ජෝන් නම් නොවෙයි. මෙම නිවස පිහිටා ඇති දකුණු ස්වීඩනයේ ස්මාලන්ඩ් ප්‍රදේශය යනු අධික වන ගහනයෙන් යුතු ප්‍රදේශයක් බව මේ වන විට ඔබට පසක් වී තිබෙනවා ඇති. මේ වනාන්තරය තුළ නිමවන ලද ලිට්ල් ජෝන්ගේ නිවසෙහි අඩක් පොළොව මත පිහිටා ඇති අතර, අඩක් පොළොවෙන් යට පිහිටා තිබෙනවා. මෙම කැබින් එකෙහි බිත්ති හතරෙන් තුනක්ම ගලින් බැඳ ඇති අතර හතරවන බිත්තිය නිපදවා ඇත්තේ දැවයෙනුයි.

creativeanchor.com

සරණාගත පවුලක් දිවි ගෙවූ නිවස (House of the refugees)

1970 දශකයේදී රුසියානු හමුදාවන්ගේ ග්‍රහණයෙන් මිදීමේ අවශ්‍යතාවයකින් පෙළුණු එක් පවුලකට ඉඳුම් හිටුම් සපයන්නට සමත් වී ඇති අනෙක් නිවසත් කාලයාගේ ඇවෑමෙන් ජරාජීර්ණ වෙමින් පවතිද්දී එම පවුලේ දියණිය විසින් නැවතත් එම නිවස පිළිසකර කරන්නට ඉදිරිපත්ව සිටිනවා. මෙම නිවස අලුත්වැඩියා කිරීමේදී ඔවුන් විසින් ඉතා ආරක්ෂිත පියවරක්ද ගෙන තිබෙනවා. එනම්, ඉර එළිය ලබා ගැනීම සඳහා පොළොවට සමානුපාතිකව දමා ඇති (එනම්, නිවසේ වහලය ලෙසින් ඇති කොටස ජනේලය වීදුරුවෙන් නොව, එවැනි ප්ලාස්ටික් වර්ගයකින් නිපදවා තිබීමයි. මේ මගින් එම නිවස මතින් ඇවිද යන ගෝනුන් ආදී සතුන් හට ඒ මත අඩිය තැබීමෙන් විවිධ අනතුරු සිදුවීමේ සම්භාවිතාව ඉවත් කොට තිබෙනවා.

කවරයේ ඡායාරූපය – smithjournal.com  

තොරතුරු උපුටා ගැනීම – www.smithjournal.com වෙබ් අඩවියේ “Swedish Earth Cabins” සහ www.mensjournal.com වෙබ් අඩවියේ “A Swedish cabin that’s completely off the grid” ලිපි ඇසුරිනි.

Related Articles