
සිය රංගන කුසලතාවය වෙනුවෙන් සම්මාන ලැබීම ඕනෑම රංගන ශිල්පියෙකුගේ හෝ ශිල්පිනියකගේ සිහිනයක් වෙනවා. එයිනුත්, ඒ සඳහා වූ ඔස්කාර් සම්මානය ලබාගැනීම සුවිශේෂී වෙනවා. රංගන කුසලතාවය හේතුවෙන් වැඩි ම වතාවක් ඔස්කාර් සම්මාන ලබාගැනීමට වාසනාවන්ත වූ 6 දෙනා පහත පරිදි වෙනවා.
කැතරින් හෙප්බර්න්

හොඳම නළුවා හෝ නිළිය වශයෙන් සිව් වතාවක් ඔස්කාර් සම්මාන ලද එකම කෙනා කැතරින් හෙප්බර්න්. ඇය මෝර්නින්ග් ග්ලෝරි (1933), ගෙස් හූ ඉස් කමින්ග් ටු ඩිනර් (1967), ද ලයන් ඉන් වින්ටර් (1968), හා ඔන් ගෝල්ඩන් පොන්ඩ් (1981) යන චිත්‍රපටවල සිදුකළ අද්විතීය රංගනයන් වෙනුවෙන් හොඳම නිළිය ලෙස ඔස්කාර් සම්මානයට පාත්‍ර වුණා. මීට අමතර ව ඇය තවත් අට වතාවක් ඔස්කාර් සම්මාන සඳහා නිර්දේශ වී තිබුණා. කෙසේ නමුත්, මේ කිසිවක් ඇය එම සම්මාන උළෙලට පැමිණ ලබාගත්තේ නැහැ. ඒ තමන්ට සම්මාන නොවටිනා බවත්, තමන් ලබන නියම වටිනාකම වෘත්තියේ නිරත වීම බවත් පවසමිනුයි.
ඩැනියෙල් ඩේ ලුවිස්

ඩැනියෙල් ඩේ ලුවිස් සිය රංගනය වෙනුවෙන් ඔස්කාර් සම්මාන 3ක් ලබාගෙන තිබෙනවා. මේ තුන ම ඔහු ප්‍රධාන චරිතය රඟපාමින් ලබාගෙන ඇති අතර, මයි ලෙෆ්ට් ෆුට් (1989), දෙයාර් විල් බී බ්ලඩ් (2007), හා ලින්කන් (2012) යන චිත්‍රපට වෙනුවෙන් ඔහුට මෙම සම්මාන හිමි වුණා.
මෙරිල් ස්ට්‍රීප්

අතිදක්ෂ රංගවේදිනියක වන මෙරිල් ස්ට්‍රීප් සිය දිවිය තුළ ඔස්කාර් සම්මාන 18කට නිර්දේශ වන්නට තරම් වාසනාවන්ත වී තිබෙනවා. මින් තෙවරක් ඇයට සම්මානය හිමි වූ අතර, ඉන් දෙකක් ‘හොඳම නිළිය’ට පිරිනැමූ සම්මාන වෙනවා. අනෙක, හොඳම සහාය රංගනය වෙනුවෙන් ලැබුණක්. සොෆී ස් චොයිස් (1982) හා ද අයන් ලේඩි (2011) සඳහා ඇයට හොඳම නිළිය ලෙස සම්මාන ලැබුණු අතර, ක්‍රේමර් වර්සස් ක්‍රේමර් (1979) චිත්‍රපටය වෙනුවෙන් ඇය හොඳම සහාය නිළිය ලෙස සම්මානයට පාත්‍ර වුණා.
ජැක් නිකල්සන්

හොලිවුඩය එදා මෙදා තුර දුටු දක්ෂතම රංගන ශිල්පියෙකු වන ජැක් නිකල්සන් සිය රංගනය වෙනුවෙන් ඔස්කාර් සම්මාන 3ක් ලබා ගැනීමට තරම් වාසනාවන්ත වුණා. වන් ෆ්ලූ ඕවර් ද කුකූ ස් නෙස්ට් (1975) හා ඇස් ගූඩ් ඇස් ඉට් ගෙට්ස් (1997) යන චිත්‍රපට වෙනුවෙන් හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වූ ඔහු, ටර්ම්ස් ඔෆ් එන්ඩියර්මන්ට් (1983) චිත්‍රපටය වෙනුවෙන් හොඳම සහාය නළුවා වෙනුවෙන් වූ ඔස්කාර් සම්මානයට හිමිකම් කියනවා. මේවාට අමතර ව තවත් 9 වරක් ඔහු ඔස්කාර් සම්මාන වෙනුවෙන් නිර්දේශ වී තිබෙනවා.
ඉන්ග්‍රිඩ් බර්ග්මාන්

දක්ෂ රංගන ශිල්පිනියක වූ ඉංග්‍රිඩ් බර්ග්මාන් දෙවරක් හොඳම නිළිය ලෙසත්, තවත් වරක් හොඳම සහාය නිළිය ලෙසත් ඔස්කාර් සම්මානයට පාත්‍ර වුණා. ගෑස්ලයිට් (1944) හා ඇනස්ටාසියා (1956) යන චිත්‍රපට දෙකෙහි රංගනය වෙනුවෙන් හොඳම නිළිය වෙනුවෙන් වූ ඔස්කාර් සම්මානය ලද ඇය, මර්ඩර් ඔන් ද ඔරියන්ට් එක්ස්ප්‍රස් (1974) නම් චිත්‍රපටය වෙනුවෙන් හොඳම සහාය නිළිය සම්මානය ලබාගත්තා.
වෝල්ටර් බ්‍රෙනන්

වෝල්ටර් බ්‍රෙනන් ලොව එතෙක් මෙතෙක් රංගනය වෙනුවෙන් ඔස්කාර් සම්මාන 3ක් හෝ ඊට වඩා ලබාගත් ශිල්පීන් 6 දෙනාගෙන් කෙනෙකු වෙනවා. විශේෂත්වය වන්නේ ඔහු ලබාගත් සම්මාන 3 ම හොඳම සහාය නළුවා වශයෙන් ලැබුණු සම්මාන වීම යි. කම් ඇන්ඩ් ගෙට් ඉට් (1936), කෙන්ටකි (1938), හා වෙස්ටර්නර් (1940) යන චිත්‍රපට වෙනුවෙන් ඔහු මේ සම්මානයෙන් පුද ලැබුවා. මීට අමතර ව තවත් වරක් ඔහු ඔස්කාර් සම්මානය සඳහා නිර්දේශ වී තිබෙනවා.