“ශ්‍රී ලංකාව වනාහී බහු වාර්ගික, බහු ආගමික, බහු ආගමික දේශයකි” යනුවෙන් කියන්නට හෝ ලියන්නට අප කටපාඩමින් මෙන් හුරුව ඇත්තෙමු. එයද විවාදයට බඳුන්ව ඇති නමුත් මේ සියල්ලටම අමතරව, ශ්‍රී ලංකාව යනු බහුවිධ නීති පද්ධතීන්ගෙන්ද සමන්විත වන රටක් බව ඔබ දැන් සිටියාද? Roar.lk තුලින් අද අප කතා කරන්නේ මෙරට පවතින විවිධ නීතීන් හා ඒවා අදාල වන්නේ කා හටද, කෙසේද යන්න පිලිබඳවයි.
රෝම-ලන්දේසි නීතිය
1501 පටන් 1793 දක්වා මෙරට ලන්දේසීන්ගේ පාලනයට නතුව තිබුනි. නමුත් ඔවුන්ට පාලනය කරන්නට හැකියාව ලැබුනේ මෙරට වෙරළබඩ පළාත් පමණි. ලන්දේසීන් විසින් මෙරටට හඳුන්වා දුන් නීති පද්ධතිය “රෝම-ලන්දේසි නීතිය” යි. මේවන විට ලංකාවේ ප්‍රධානතම නීති මූලාශ්‍රය ලෙස සැලකෙන්නේ ද රෝම ලන්දේසි නීතියයි. වර්තමානයේ පවුල් නීතිය, ඉඩම් නීතිය, දීලික්ත නීතිය (සිවිල් වැරදි සම්බන්ධ නීතිය) සහ ගිවිසුම් නීතියෙහි ඇතැම් අවස්ථා සඳහා බලපැවැත්වෙනුයේ රෝම ලන්දේසි නීතිය වේ.
ඉංග්‍රීසි නීතිය
1796 වසරෙන් පසු කාලීනව බ්‍රිතාන්‍යයන්ගේ යටත් විජිතයක් බවට ලංකාව පත්වුනු අතර, ඔවුන්ගේ සාමාන්‍ය නීතිය හෙවත් ඉංග්‍රීසි නීතියද මෙරටට හඳුන්වා දෙන ලදි.
නමුත් බ්‍රිතාන්‍යයන්ගේ යටත් විජිත ප්‍රතිපත්තිය වූයේ මින් පෙර වෙනත් රාජ්‍යයක යටත් විජිතයක්ව පැවති දේශයක් බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත්කරගන්නා විට, එහි බලපැවැත්වුනු නීතීන් සියල්ලක්ම නැවත වෙනස් නොකලයුතු බවයි. ඒ අනුව, ඔවුන්ගේ වාණිජ හා පරිපාලන කටයුතු සඳහා අවශ්‍ය වන පරිදි පමණක් ඔවුන්ගේම නීති පැනවීමට පියවර ගන්නා ලදි. ඒ අනුව මේ වන විට මෙරට ගිවිසුම් නීතියෙහි යම් යම් අංග සඳහා මෙන්ම වාණිජ නීතී ක්ෂේත්‍රයන් තුල මේ වන විටත් ක්‍රියාත්මක වන්නේ “ඉංග්‍රීසි නීතිය”යි. එමෙන්ම, මෙරට පවුල් නීතියෙහි ඇතැම් අංග සඳහා මෙන්ම ව්‍යවස්ථා නීතිය සහ පරිපාලන නීතිය සඳහා බලපැවැත්වෙන්නේ ඉංග්‍රීසි සාමාන්‍ය නීතියයි.
බ්‍රිතාන්‍යයන්ගේ යටත් විජිතයක් බවට පත්වන විටත් ලංකාව තුල යුක්තිය පසිඳලීම උදෙසා ක්‍රියාත්මක වූයේ දෙතිස් වද පැමිනවීම වැනි ක්‍රියාමාර්ගයන්ය. විශේෂයෙන්ම ඇහැලේපොල කුමාරිහාමි සහ මද්දුම බන්ඩාර කුමරු හා ඔහුගේ සහෝදර සහෝදරියන් ඝාතනය කල ම්ලේච්ඡ ක්‍රම සහ විධි පිළිකෙව් කළ බ්‍රිතාන්‍යයන් ඔවුන්ගේ අපරාධ නීති පද්ධතිය මෙරටට හඳුන්වා දෙන ලදි. ඒ අනුව පුරා ශතකයකට අධික කලක් මුළුල්ලේ අප රට තුල ක්‍රියාත්මක වන්නේ ඉංග්‍රීසීන් පැනවූ අපරාධ නීතියයි.
රෝම ලන්දේසි සහ ඉංග්‍රීසි නීති පද්ධතීන්ට අමතරව ආගමික, වාර්ගික සහ ප්‍රාදේශීය නිර්නායකයන්ට අයත් පරිදි නීතීන් අප රට තුල ක්‍රියාත්මක වේ. (මෙම නීති පද්ධති Personal laws සහ Territorial laws නමින් හැඳින්වේ).
උඩරට නීතිය
එවකට උඩරට නමින් හඳුන්වන ලද පළාත්හි වැසියන් කෙරෙහි බලපැවැත්වූයේ “උඩරට නීතිය” යි. මෙම නීතිය බලපැවැත්වීමේ මූලික නිර්නායකය නම් පාරම්පරික උඩරට වැසියෙක් වීමයි. (මධ්‍යම පළාත, වයඹ පළාත, ඌව සහ සබරගමුව පළාත් මෙන්ම වවුනියාව සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශයන්ටද උඩරට නීතිය අදාල වේ). විවාහය, දික්කසාදය, දේපල උරුමය හා බෙදී යාම මෙන්ම දරුකමට ළමුන් හදාගැනීම හෙවත් “කුලවද්දාගැනීම” වෙනුවෙන් උඩරට වැසියන්ටම ආවේනික වූ නීති පවතී.
තේසවලාමයි
ප්‍රාදේශීය නිර්නායකය මත පදනම්ව මෙරට බලපැවැත්වෙන තවත් විශේෂිත නීති පද්ධතිය “තේසවලාමයි” හෙවත් “භූමියේ නීතිය” යි. තේසවලාමයි නීතිය බලපැවැත්වෙනුයේ ඉන්දියාවේ මලබාර් ප්‍රාන්තයෙන් පැමිණි දමිල ජාතිකයන්ට හා යාපනය තම පාරම්පරික වාසස්ථානය කරගත් දමිල ජාතිකයින් කෙරෙහිය. ඔවුන්ටම ආවේනික විවාහ නීති, දේපල නීති සහ ඉඩම් නීති තේසවලාමයි නීතිය තුළ අන්තර්ගත වේ.
මුස්ලිම් නීතිය
ආගමික පසුබිම මත පදනම්ව බලපැවැත්වෙන නීති පද්ධතියක් ලෙස මුස්ලිම් නීතිය හඳුනාගත හැක. මුස්ලිම් නීතිය ක්‍රියාත්මක වන මූලික මගපෙන්වීම අඩංගු වන්නේ කුරාණයෙහිය. මුස්ලිම්වරුන්ටම අදාල විවාහ නීතින් පවතී. මෙරට සාමාන්‍ය විවාහ නීතියට අනුව විවාහ වීමට ඇති අවම වයස් සීමාව අවුරුදු 18 ක් වුවද මුස්ලිම් නීතිය යටතේ වයස අවුරුදු 12 සිට ගැහැණු ළමුන් විවාහ කරදීමට හැකියාව ඇත. (නමුත් එම නීතිය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්නේ ඉතා අල්ප වශයෙන් බව කිව යුතුය). මුස්ලිම් ජාතිකයකුට විවාහ හතරක් සිදුකරගැනීමට මෙරට මුස්ලිම් නීතියෙන් අවසර දී ඇත. නමුත් එක් විවාහයක් අවසන් නොකර තවත් විවාහයක් කරගැනීමේ කූට චේතනාවෙන් අන්‍යාගමික පුද්ගලයෙක් මුස්ලිම් ආගමිකයකු බවට පත්වන්නේ නම් එවැනි පුද්ගලයින් නීතිය ඉදිරියේ “බහු විවාහය” නැමති වරදට වරදකරුවකු වේ.
රටේ සාමාන්‍ය නීතිය කුමක්ද?
රෝම ලන්දේසි නීතිය ශ්‍රී ලංකාවේ සාමාන්‍ය නීතිය ලෙස හඳුනාගත හැක. අනෙකුත් නීති පද්ධතීන්ගේ අඩුපාඩු සහ හිස්තැන් පුරවනුයේද රෝම ලන්දේසි නීතියයි. නමුත් බොහෝ අධිකරණ තීන්දු වල ආභාශයෙන් සහ විවිධ අණ පනත් හරහා මේ වන විට ඉංග්‍රීසි නීතියද අපගේ සාමාන්‍ය නීතියෙහි කොටසක් බවට පත්ව ඇත.
මේ හේතුවෙන් අනිකුත් ප්‍රාදේශීය සහ පෞද්ගලික නීති පද්ධතීන් වල බලාත්මක භාවය මේ වන විට අඩු වෙමින් පවතින අතර ඇතැම් නීතීන් මේ වන විට සම්පූර්ණයෙන්ම භාවිතයෙන් බැහැර කොට ඇත.
එකිනෙකට වෙනස් හර පද්ධතීන්ගෙන් සැදුම් ලත් මෙම බහුවිධ නීතින් එකිනෙක ගැටීම ඉතා සුලබව දැකිය හැකිවේ. ඒකීය නීති පද්ධතියක් බලපැවැත්වෙන රටවල් වල මෙවැනි නෛතික, සංස්කෘතිකමය සහ ආකල්පමය ගැටුම් හටගන්නේ ඉතා අවම වශයෙනි.
කෙසේ නමුත් මේ වන විට අධිකරණය හරහා මෙන්ම ව්‍යවස්ථදායකය විසින් පනවනු ලබන අණ පනත් සාමාන්‍ය නීතියෙහි කොටසක් බවට පත්වන නිසා බොහෝදුරට එම ගැටුම් නිරාකරණය කරගැනීමට ඉඩ සැලසී ඇත.
විශේෂයෙන්ම අන්තර්ජාතික නීතියෙහි බලපෑම් පවා මෙම පෞද්ගලික නීතීන්හි භාවිතය අඩු කිරීමට හේතුවක්ව ඇත. විශේෂයෙන්ම තේසවලාමයි සහ මුස්ලිම් නීති ප්‍රකාරව කාන්තාවන්ට සමාන වශයෙන් දේපල බෙදී යාමක් සිදු නොවේ. තේසවලාමයි නීතිය යටතේ පාලනය වන කාන්තාවක් එම නීතිය යටතේ පාලනය නොවන පුද්ගලයකු සමග විවාහ වන්නේ නම් ඇය සතු දේපල අයිතිවාසිකම් ඇයට අහිමි වී යයි. නමුත් තේසවලාමයි යටතේ පාලනය වන පුද්ගලයකු ඒ යටතේ පාලනය නොවන කාන්තාවක් සමග විවාහ වුවහොත් එවැන්නක් සිදු නොවේ.
එමෙන්ම, මුස්ලිම් නීතිය යටතේ පුත්‍රයෙකුට දේපල හිමි වන ප්‍රමාණය සහ දියණියකට හිමි වන දේපල හිමි වන ප්‍රමාණය එක හා සමාන නොවේ. මේ වන විට අන්තර්ජාතික මානව හිමිකම් නීතියෙහි සහ කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරීන්ගේ බලපෑම් තුලින් සමානාත්මතාවය බලපැවැත්වෙන ආකාරයට ක්‍රියාමාර්ග ගැනීමට පෞද්ගලික නීති පද්ධතීන් මගින් පාලනය වන බොහෝ දෙනා පෙළඹී ඇත.
විසඳුම කුමක්ද?
බහුවිධ නීතීන්ගෙන් තොරව මුළු රටටම බලපැවැත්වෙන ඒකීය නීති පද්ධතියක් පැනවීම විසඳුමක් ලෙස සැළකිය නොහැක. අනාදිමත් කාලයක පටන් තම තමන්ට ආවේණික හර පද්ධතීන්ගෙන් සැදුම් ලත් නීති සහ චාරිත්‍රානුකූල නීතීන් වෙනස් කිරීම කළ නොහැක්කකි. ව්‍යවස්ථදායකයට කළ හැක්කේ සෑම පෞද්ගලික සහ ප්‍රාදේශීය නීති පද්ධතියකම පවතින යහපත් අංගයන් රඳවාගනිමින්, එම නීතීන් සතු අඩුපාඩු මකාලන පරිදි ඒකීය නීතීන් පැනවීමයි.
කවරයේ ඡායාරූපය – labour.gov.lk