කලාපීය රටවල් වශයෙන් එකතු වී සංවිධාන පිහිටුවා ගැනීම වර්තමානය වන විට ලොව සෑම කලාපයකම දකින්න ලැබෙනවා. යුරෝපියානු රටවල්, උතුරු හා දකුණු ඇමෙරිකානු රටවල්, අප්‍රිකානු රටවල්, අරාබි රටවල් හා ආසියානු රටවල් කලාපීය වශයෙන් සංවිධාන වී පිහිටුවාගත් සංවිධාන බොහොමයක් පිළිබඳව අප තොරතුරු ඔබ වෙත ගෙනවිත් තිබෙනවා.
මෙසේ කලාපීය වශයෙන් රටවල් එකතු වී සංවිධාන පිහිටුවා ගැනීමේ අරමුණු දෙකක් තිබෙනවා. එකම කලාපයේ පිහිටන රටවල් බොහෝ දුරට මුහුණ පාන්නේ සමාන ආකාරයේ ප්‍රශ්නවලට යි. ඒවාට සංවිධානාත්මකව මුහුණ දීම පළමු අභිමතාර්ථය යි. රටවල් අතර තාක්ෂණික හා ආර්ථික දැනුම හුවමාරු කරගනිමින් ආර්ථික වාසි ලබා ගැනීම මෙහි දෙවන අරමුණ ලෙස සඳහන් කළ හැකි යි.
1997 වසරේ දී ශ්‍රී ලංකාව ඇතුළු බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල් හතරක් එකතු වී ඒ ආකාරයෙන් පිහිටුවාගත් සංවිධානයක් හදුන්වන්නේ බිම්ස්ටෙක් නමින්. එහි අද වන විට සාමාජිකයන් ගණන හතක් දක්වා ඉහළ ගිහින්. ඉතින් මේ ලිපිය එම සංවිධානයේ අභිමතාර්ථ, ක්‍රියාකාරකම් හා වත්මන් තත්ත්වය පිළිබඳව යි.
බිම්ස්ටෙක් ඇයි?
මෙම රටවල් අතර සිදුවන ආනයන-අපනය වෙළඳාම තීරු බදු රහිතව කරගෙන යාම මෙහි මූලික අරමුණ වෙනවා. මීට අමතරව රටවල් පොදුවේ මුහුණ දෙන ප්‍රශ්න හා ස්භාවික විපත් අවම කිරීමට එකට එකතු වී තීරණ ගැනීම සිදුවෙනවා.
මුලින්ම මෙම සංවිධානය ආරම්භ වෙන්නේ 1997 වසරේ ජූනි මාසයේ දී යි. බංගලාදේශය,ශ්‍රී ලංකාව, ඉන්දියාව, හා තායිලන්තය මෙහි ආරම්භ සාමාජිකයන් වුණා. ආරම්භයේ දී මෙම සංවිධානය හදුන්වනු ලබන්නේ BIST-EC (Bangladesh, India, Sri Lanka, and Thailand Economic Cooperation) නමින්.
1997 වසරේ දෙසැම්බර් මාසයේ දී මියන්මාර ද, 1998 වසරේ නේපාලය ද, 2004 වසරේ භූතානය ද මෙම සංවිධානය හා එකතු වෙනවා. 2004 වසරේ සංවිධානයේ නම බිම්ස්ටෙක් ලෙස වෙනස් කරන අතර එහි තේරුම වන්නේ බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා බෙංගාල බොක්කේ එකඟතාවය (Bay of Bengal Initiative for Multi-Sectoral Technical and Economic Cooperation) යි.
මෙම රටවල් හත සඳහා අයත් වන්නේ දකුණු ආසියානු රටවල් හා ගිනිකොණදිග ආසියාවේ රටවල්. එක් රටක පැවති සමුළුවකින් පසු ඊළඟ සමුළුව සඳහා රටක් තෝරාගන්නවා. එම තෝරාගත් රටේ රාජ්‍ය නායකයා ඊළඟට සැලසුම් කළ සමුළුව පැවැත්වෙන තුරු බිම්ස්ටෙක්හි සභාපතිවරයා ලෙස කටයුතු කරනවා.
ආවරණය වන අංශ
මෙහිදී රටවල් අතර පවතින සම්බන්ධතා ප්‍රධාන වශයෙන් අංශයන් 14ක් ඔස්සේ විහිදී යනවා. වෙළඳාම හා ආයෝජනය, ප්‍රවාහනය හා සන්නිවේදනය, බලශක්තිය, සංචාරක කර්මාන්තය, තාක්ෂණය, ධීවර කර්මාන්තය, කෘෂිකර්මාන්තය, මහජන සෞඛ්‍ය, දුප්පත්කම අවම කිරීම, ත්‍රස්තවාදය මැඩ පැවැත්වීම, ස්භාවික විපත් කළමනාකරණය, මහජන සම්බන්ධතා, සංස්කෘතික සම්බන්ධතා හා දේශගුණික වෙනස් වීම් එම අංශයන් 14ට ඇතුළත් වෙනවා.
ඉහත දක්වා ඇති අංශයන් 14 රටවල්වල දැනට පවතින තත්ත්වයට වඩා උසස් කරවීම මෙහි මූලික අරමුණක් වෙන අතර ඒ සඳහා රටවල් අතර එකඟතා හා ගිවිසුම් ඇති කරගනු ලබනවා.
දැනට පවත්වා ඇති සමුළු
නව නම යෙදූ පසු පළමුවරට මෙම සමුළුව පැවැත්වෙන්නේ 2004 වසරේ තායිලන්තයේ යි. ඉන් අනතුරුව 2008 වසරේ දී ඉන්දියාවේ ද, 2014 වසරේ මියන්මාරයේ ද, බිම්ස්ටෙක්හි 4 වන සමුළුව 2018 වසරේ නේපාලයේ ද පැවැත්වෙන අතර පස් වන සමුළුව පැවැත්වීමට යෝජනා වී ඇත්තේ ශ්‍රී ලංකාවේ යි. එබැවින් දැනට බිම්ස්ටෙක් සංවිධානයේ සභාපතිත්වය හිමි වී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා වන ජනාධිපතිවරයාට යි.
ඉහත සඳහන් කළ සමුළුවලට රාජ්‍ය නායකයා සහභාගී වීම අනිවාර්ය වෙන අතර මීට අමතරව විදෙස් ඇමතිවරුන්ගේ හා වෙළඳ හා මුදල් ඇමතිවරුන්ගේ සමුළු ද පැවැත්වෙනවා. විදෙස් ඇමතිවරුන්ගේ සමුළුව 1997 දී ආරම්භ වූ අතර මුදල් හා වෙළඳ ඇමතිවරුන්ගේ සමුළුව පැවැත්වෙන්නේ 1998 වසරේ සිට යි. මෙම සමුළු දෙකම වර්තමානය දක්වා නොකඩවා පැවැත්වෙනවා.
මේවාට මතරව මුදල්, වෙළඳ හා විදෙස් අමාත්‍යංශයන් හි උසස් රාජ්‍ය නිලධාරීන්ගේ හමුවීම් ද, රටවල සිටින ආයෝජකයන් හා ව්‍යාපාරිකයන්ගේ හමුවීම් ද බිම්ස්ටෙක් හරහා සංවිධානය වෙනවා.
බිම්ස්ටෙක් රටවල්
මෙම සංවිධානය හරහා දකුණු ආසියානු හා ගිනිකොණදිග ආසියානු රටවල් අතර මනා වෙළඳ හා ආර්ථික සම්බන්ධතාවයක් නිර්මාණය වෙන බව සංවිධානය විසින් පවසනවා. මෙම සංවිධානයේ රටවල් සාර්ක් සංවිධානයේ හා අනෙකුත් ආසියානු කලාපීය සංවිධානවලට අයත්වන බැවින් එම සංවිධාන අතර ද සම්බන්ධතාවය වර්ධනය කර ගැනීමට බිම්ස්ටෙක් සංවිධානයට හැකියාව පවතිනවා.
බිලියන 1.5ක ජනතාවක් බිම්ස්ටෙක් සංවිධානයට අයත් රටවල වාසය කරන අතර එය ලෝක ජනගහනයෙන් 22%ක් පමණ වෙනවා. රටවල් හතේ දළ ජාතික නිෂ්පාදිතයේ එකතුව ට්‍රිලියන 2.7ක් පමණ වෙනවා. පසුගිය වසර පහ ඇතුළත රටවල් වල ආර්ථිකය 6.5%ක සාමාන්‍ය වර්ධන වේගයක් දකින්න පුළුවන්.
බිම්ස්ටෙක් රාජ්‍යයන් මුහුණ දෙන අභියෝග
මෙම සංවිධානයේ සියලු රටවල් පාහේ සංවර්ධනය වෙමින් පවතින රටවල් බැවින් ඔවුන් මුහුණදෙන අභියෝගයන් බොහෝමයක් තිබෙනවා. ඒවා අතරින් ප්‍රධානතම අභියෝගයක් ලෙස රාජ්‍යයන්වල පවතින් දූෂණ, වංචා හා අක්‍රමිකතාවයන් දැක්විය හැකි යි. බිම්ස්ටෙක් රාජ්‍යයන් මුහුණ දෙන තවත් ප්‍රධාන අභියෝගයක් වන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම යි. මත්ද්‍රව්‍ය ජාවාරම් ඔස්සේ ඊට සමගාමීව මිනිස් ඝාතන, අවි ජාවාරම් වැනි තවත් අපරාධ ද එකට එකතු වී පැවතීම තදබල ගැටළුවක් ලෙස සඳහන් කළ හැකි යි. සාමාජික රටවල් පුරාම පැතිරී ගිය තවත් උග්‍ර අර්බුදයක් ලෙස ත්‍රස්තවාදය ද හැඳින්විය හැකි යි.
මෙම අර්බුද, ප්‍රශ්න හා ගැටළු නිරාකරණය කරමින් කලාපීය වශයෙන් ක්‍රියාත්මක වීම බිම්ස්ටෙක්හි වගකීම වනවා.