Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

විශ්වාසනීය “ආයෝජකයා”

කොටස් වෙළඳපොළ කියන්නේ වැඩේ දන්නා අයට මුදල් හම්බ කරන්න ඉතා හොඳ ක්‍රමයක්. වෙළඳපොළ ක්‍රියාත්මක වෙන විදිහ ගැන හොඳ දැනුමක් තිබෙනවා නම්, විවිධ සංසිද්ධීන් වෙළඳපොළට බලපාන හැටි ගැන පුරෝකථනය කරන්න හැකියාවක් තියෙනවා නම් සහ තරමක් දුරට වාසනාවක් තිබෙනවා නම් කුඩා මුදලකින් ආරම්භ කරලා වැඩි කාලයක් යන්න පෙර ධනවතෙක් වෙන්න හැකියාව තියෙනවා. කොහොම නමුත් හොඳ දැනුමක් නැතිව එය අත්හදා බලන බොහෝ දෙනෙක්ට සිදු වෙන්නේ මුදල් අහිමි කරගන්න. කොටස් වෙළඳපොළක් සාර්ථක වෙන්න මේ විදිහට සාපේක්ෂව නොදැනුවත්ව කටයුතු කරලා මුදල් අහිමි කරගන්නා පිරිසක් සිටිය යුතුමයි කියන එකත් අමිහිරි සත්‍යයක්.

(moneycrashers.com)

ව්‍යාපාරයකට හෝ සමාගමකට අවශ්‍ය මූල්‍ය වත්කම් සොයා ගන්න එය කොටස් කර විකිණීමේ සංකල්පය බිහි වූ කාලයේ සිටම එය භාවිතයෙන් විවිධ වංචා සිදු කරපු අවස්ථාවන් බොහොමයි. තමන්ගේ මුදල්වලින් තව මුදල් හම්බ කරන්න මිනිසුන් දරන උත්සාහය විවිධ කූට උපක්‍රමවලින් තමන්ගේ වාසියට හරවා ගැනීම තමයි මේ හැම එකකම උත්සාහය වුණේ. කොටස් වෙළඳපොළ තුළ සමාගමක් හෝ අරමුදලක් ගැන තිබෙන විශ්වාසය අතිශයින්ම වැදගත් වෙන්නේ මේ නිසාමයි.

ඉතින් කොටස් වෙළඳපොළ තුළ පතාක යෝධයෙක් බවට පත් වී ඇති, ඉතාම විශ්වාසනීයව ප්‍රතිලාභ ගෙවන අරමුදලක් පවත්වාගෙන යන කෙනෙක් ළඟ ආයෝජනය කරන්න පැකිලෙන පිරිස අඩුයි. එයින් අනිසි ප්‍රයෝජන අරගෙන ඩොලර් බිලියන 65 ක පමණ අති දැවැන්ත මුදලක් වංචා කරන්න එක්තරා පුද්ගලයෙක් 2008 දී කටයුතු කළා. ඒ තමයි ඇමරිකානු ජාතික බර්නාඩ් මේඩෝෆ්.

විශ්වාසය දිනා ගත් පුද්ගලයෙක්

2 බර්නාඩ් මේඩෝෆ් (apmcdn.org)

1938 අප්‍රේල් 29 වැනිදා බර්නාඩ් මේඩෝෆ් උපත ලබන්නේ නිව්යෝක්හි ක්වීන්ස් ප්‍රදේශයේ යුදෙව් පවුලක දෙවැනි දරුවා විදිහටයි. ඔහුගේ පියා වූ රැල්ෆ් මේඩෝෆ් වෘත්තියෙන් පයිප්ප කාර්මිකයෙක් වුණත් ඊට අමතරව කොටස් තැරව්කරුවෙක් විදිහටත් කටයුතු කළා. යුදෙව් ජාතිකයන්ට සහජ හැකියාවක් ඇතැයි සැලකෙන මුදල් කළමනාකරණයේ ගුරුහරුකම් ලබා ගන්න කුඩා බර්නාඩ්ට හැකි වෙන්නේ තමන්ගේ පියාගේ තැරව්කාර ගණුදෙනු දෙස බලා සිටීමෙන්. පසුව ඔහු 1956 දී නිව්යෝක්හි ෆා රොක්වේ පාසලෙන් ද්වීතියික අධ්‍යාපනයත්, නිව්යෝක්හිම හොෆ්ස්ට්‍රා විශ්ව විද්‍යාලයෙන් දේශපාලන විද්‍යාව පිළිබඳ උපාධියකුත් හිමි කර ගන්නවා.

තමන්ගේ පියාගේ පයිප්ප කාර්මික කටයුතුවලදී අත් උදව් කරුවෙක් වූ බර්නාඩ් විශ්ව විද්‍යාල සමයේ ගෙවතුවල දිය ඉසින උපාංග සවි කිරීමෙන් තරමක ආදායමක් උපයා ගන්නවා. හැකි තරම් ඉතිරි කිරීමට තමන්ගේ පවුලෙන් ලද පුරුද්ද දිගටම ක්‍රියාත්මක කරන ඔහු වයස 22 වන විට ඩොලර් 5000 කට වඩා ඉතිරි කරගැනීමට සමත්ව සිටියා. කුඩා කළ සිටම මූල්‍ය ක්ෂේත්‍රය ගැන පරිචයක් තිබුණු බර්නාඩ් ආයෝජකයෙක් විදිහට තමන්ගේ වෘත්තීය ජීවිතය ආරම්භ කරන්න තීරණය කරන්නේ එයින් ඩොලර් 5000 ක මුදලක් යොදාගෙන කුඩා කොටස් වෙළඳ සමාගමක් ආරම්භ කිරීමෙන්.

මේඩෝෆ්ගේ සුරැකුම්පත් ආයෝජන සමාගම (etsystatic.com)

1960 දී ආරම්භ කළ මේ සමාගම මගින් සිදු කෙරුණේ එකල එක් කොටසක් සත (ඩොලර් එකකින් 1/100 ක්) ගණන්වලින් අලෙවි වූ කුඩා සමාගම්වල කොටස් අලෙවියට මැදිහත්කරුවෙක් ලෙස ක්‍රියා කිරීමයි. ඒවායින් ලැබෙන කොමිස් මුදල් විධිමත්ව භාවිත කරමින් බර්නාඩ් මේ ව්‍යාපාරය ටිකෙන් ටික දියුණු කරගන්න සමත් වුණා. තමන්ගේ විවාහයෙන් පසුව ඇගේ පියාගෙන් ඩොලර් 50,000 ක ණය මුදලක් ලබා ගත් ඔහු Bernard L. Madoff Investment Securities LLC නමින් සුරැකුම්පත් ආයෝජන සමාගමක් ආරම්භ කරන්නේ ඉන් පසුවයි.

NASDAQ බිහි කළ පරිගණකගත මිල ප්‍රදර්ශනය කිරීමේ ක්‍රමය

1960 ගණන් වන විට පරිගණක තාක්ෂණයේ හොඳ දියුණුවක් තිබුණත් ඇමරිකාවේත්, ලෝකය පුරාමත් තිබුණු ප්‍රධානතම කොටස් වෙළඳපොළ හැම එකකම ඒ මොහොතේ කොටසක පවතින මිල ප්‍රදර්ශනය කරන්න යොදා ගත්තේ මුද්‍රණ ක්‍රමයක්. දීර්ඝ කඩදාසි පටියක එක පෙළට මුද්‍රණය වෙන විදිහට ඒ මොහොතේ එක් එක් සමාගමේ පවතින කොටස් මිල ප්‍රදර්ශනය කෙරෙනවා. කොහොම වුණත් සමාගම් විශාල ගණනක් තිබෙනවා නම් මෙය බොහොම කල් ගත වෙන වැඩක්.

මෑතක් වන තුරුම කොටස් මිල දැක්වීමට භාවිත වූ මුද්‍රිත පටියක් (foundationsforscientificinvesting.com)

මෙයට විසඳුමක් විදිහට බර්නාඩ්ගේ ව්‍යාපාරය පරිගණක තාක්ෂණය යොදාගෙන කොටස් මිල ඉලෙක්ට්‍රොනිකව ප්‍රදර්ශනය කිරීමේ ක්‍රමයක් බිහි කරන්න තීරණය කළා. බොහෝ ආයෝජකයන්ට ඒ මොහොතේ තිබෙන කොටස් මිල දැන ගන්න ඉතා පහසුවක් වූ නිසා මෙයට ලොව අදටත් ප්‍රධානතම කොටස් වෙළඳපොළ වන නිව්යෝක් කොටස් වෙළඳපොළ (NYSE) සමග හොඳින් තරඟ කරන්න හැකියාව ලැබුණා. පසුකාලීනව NASDAQ වෙළඳපොළ බිහි වෙන්න මුල් වුණෙත් මේ ක්‍රමයයි.

Bernard L. Madoff Investment Securities LLC හරහා කොටස් ගණුදෙනු කරන පිරිස වැඩි වීමත් එක්ක බර්නාඩ් කොටස් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ හොඳ නමක් බිහි කරගන්න සමත් වුණා. මෙයට ප්‍රධාන හේතුවක් වුණේ පසුව ගණුදෙනු කිරීම පවා ඉලෙක්ට්‍රොනිකව කරන්න කටයුතු යෙදීමත් එක්ක බොහෝ ගණුදෙනුකරුවන්ට කොටසක් ඉල්ලුම් කරද්දී තිබෙන මිල සහ අලෙවි කරන අවස්ථාවේ මිල අතර වෙනස අවම කරගන්න තිබුණු හැකියාවයි. මේ නිසා කුඩාවට ආරම්භ කළ බර්නාඩ්ගේ ව්‍යාපාරය ඉක්මණින් දියුණු වෙන්න ගත්තා.

කොළඹ කොටස් වෙළඳපොළේ ඉලෙක්ට්‍රොනික පුවරුව (cse.lk)

තැරව්කරුවන්ට කොමිස් ගෙවා ගණුදෙනු කරවීම

සාමාන්‍යයෙන් කොටස් වෙළඳපොළක් තුළ ගණුදෙනු කරනකොට ඒ සඳහා තැරව්කාර සමාගම වෙත යම් ගෙවීමක් කරන්න අවශ්‍යයි. මෙහිදී තැරව්කරුවා අදාළ ගණුදෙනුව සිදු කිරීමට ප්‍රධාන කොටස් වෙළඳපොළ, මහා පරිමාණ ගණුදෙනුකාර ආයතන මාධ්‍යය ලෙස යොදා ගැනීම හෝ තමන්ම ගණුදෙනුව ආරම්භ කිරීම වැනි ක්‍රම ගණනාවක් අනුගමනය කළ හැකියි. එවන් අවස්ථාවක තමන්ගේ ආයතනය හරහා සිදු කරන ගණුදෙනු සඳහා තවත් කොමිස් මුදලක් ගෙවීමේ ක්‍රමය හෙවත් Payment for Order Flow ක්‍රමවේදයත් බර්නාඩ් නිර්මාණය කළ එකක්.

බර්නාඩ්ගේ සමාගම හරහා ගණුදෙනු වඩා වේගයෙන් සිදු කළ හැකි නිසා මේ ක්‍රමයට යම් මුදලක් වැය කිරීමෙන් පිරිවැටුම වර්ධනය කරගන්නත්, කොටස් මිල වෙනස හරහා වැඩි ලාභයක් ලබා ගන්නත් හැකියාව ලැබෙනවා. කෙසේ නමුත් මෙහි සදාචාරාත්මක බව ගැන ඒ කාලයේ සිටම ගැටළු පැවතුණා. මොකද එක අතකට මෙය ඍජුවම තමා වෙතට ගණුදෙනු එවීම සඳහා අල්ලසක් ලබා දීමක් ලෙසත් සලකන්න පුළුවන්. බර්නාඩ් මෙය බහුලව භාවිත කළේ එය කාටත් වාසිදායක බව කියමින්. ඔහු එය පැහැදිලි කරන්න ගත්තු ජනප්‍රිය උදාහරණය වුණේ “මේස් ගන්න කඩේකට ගියාම දකින්න ලැබෙන මේස රාක්ක සඳහාත් මේස් හදන ආයතනය සාමාන්‍යයෙන් ගෙවීමක් කරනවා” කියන එකයි.

Payment for Order Flow ක්‍රියාත්මක වන අයුරු (twimg.com)

මේ ක්‍රමයට කොටස් තැරව්කාර සමාගම්වලටත් ඔවුන්ගේ ගණුදෙනුකරුවන්ගෙන් අය කරගන්න කොමිස් මුදල අඩු කරන්න හැකියාව ලැබෙනවා ගණුදෙනුකාර සමාගමේ අතිරේක ගෙවීම නිසා. කොටස් තැරව්කරුවන් හට මෙයින් විශේෂ පාඩුවක් සිදු වෙන්නෙත් නැහැ. ගණුදෙනුවට වැය වන මුදල අවම කර ගැනීම තුළින් සියලු දෙනාටම වාසියක් අත් වෙන බවත් කියවෙනවා. දැනුමක් නැතිව මුදල් වැය කරන පිරිස අඩු වීමෙන් කොටස් මිල පාලනය වීම නිසා කොටස හිමි සමාගමට තමයි සුළු අවාසියක් සිදු වෙන්නේ.

මේ ක්‍රමයේ සදාචාරාත්මක බව කෙසේ වෙතත් එහි වාසිදායක බව නිසාම කුඩා ප්‍රමාණයේ ගණුදෙනුකාර සමාගම්වලට ඉහළ පිරිවැටුමක් ලබා ගන්න හැකියාව ලැබෙන නිසා ප්‍රධාන කොටස් වෙළඳපොළට හොඳ තරඟයක් ලබා දෙන්න පුළුවන්.

විශ්වාසය වාසියක් කර ගැනීම

මේ විදිහට එකල බොහෝ දෙනෙකුට පහසුවෙන් වටහා ගත නොහැකි වූ අලුත් ක්‍රමවේද යොදාගෙන මුදල් උපයන්න තිබුණු හැකියාව නිසා බර්නාඩ් මේඩෝෆ් ගැන මූල්‍ය ක්ෂේත්‍රයේ ඇති වෙලා තිබුණේ ලොකු විශ්වාසයක්. ඔහු නිතරම තමන්ගේ පුළුල් දැනුම යොදාගෙන මුදල් ඉපයීමට හැකි නව ක්‍රම සකස් කිරීම පිළිබඳව ලොකු ප්‍රසිද්ධියක් ලබා සිටියා. මේ නිසා Bernard L. Madoff Investment Securities LLC හි ආයෝජනය කරන්නත් බොහෝ දෙනෙක් පැකිලුණේ නැහැ.

බර්නාඩ් කෙරෙහි මූල්‍ය ක්ෂේත්‍රයේ තිබූ විශ්වාසය ඔහුගේ වංචාව මේ තරම් දුර ඇදෙන්න ප්‍රධාන හේතුවයි (cnn.com)

කොහොම නමුත් බර්නාඩ් කාලයක සිටම තමන්ගේ අරමුදලේ සැබෑ ආයෝජන කටයුතු ගැන තොරතුරු ඒ තරම් හෙළිදරව් කරන්න කටයුතු කළේ නැහැ. ඔහු යුදෙව්වෙක් වූ නිසා මෙය බොහෝ දෙනෙක් තරමක් දුරට අපේක්ෂා කළ ගතිගුණයක් වීම ඔහුට තවත් වාසියක් වුණා. ඔහු තමන්ගේ ආයෝජකයන් වෙත ඉතාම ස්ථාවර පොලියක් ලබා දෙන්න ලබා දුන් පොරොන්දුව ගැන විශාල පිරිසක් විශ්වාස කළා. කෙනෙකුට ඉක්මණින් මුදල් ගන්න අවශ්‍ය නම් වහාම ලබා දීමෙනුත් ඔහු එම විශ්වාසය වැඩිදියුණු කර ගත්තා. බර්නාඩ් ගැන තිබුණු විශ්වාසය නිසා බොහෝ දෙනෙක් මුලින් ආයෝජනය කළ මුදල නැවත ලබා නොගෙන එහි ප්‍රතිලාභය පමණක් ලබා ගන්න පෙළඹී සිටියා.

කොහොම වුණත් පසුකාලීනව වේගයෙන් ආයෝජන ගලා එන්න පටන් ගැනීමත් එක්ක බර්නාඩ් මෙය නීති විරෝධී ක්‍රමයකට හරවා ගන්නවා. ඉන්පසුව Bernard L. Madoff Investment Securities LLC බොහෝ දුරට ක්‍රියාත්මක වෙන්නේ Ponzi වර්ගයේ වංචාවක් විදිහටයි.

විශ්වාසයෙන් කළ වංචාව

Ponzi වංචාවලට ඒ නම ලැබුණේ එහි නිර්මාණකරු වූ චාල්ස් පොන්සි නිසායි (biography.com)

බර්නාඩ් නිතරම තම වංචනික කටයුත්ත විශ්වාසය හොඳින් පවතින ලෙසයි සිදු කළේ. සාමාන්‍යයෙන් Ponzi වර්ගයේ වංචා බොහොමයක ඉතා ඉහළ පොලී වැනි ප්‍රතිලාභ ලබා දීම සුලභයි. ඒ වගේම ඕනෑම අයෙකුට සහභාගී වෙලා ඉක්මන් ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් බව පුළුල්ව ප්‍රචාරය කෙරෙනවා. නමුත් එසේ ලබා ගන්නා මුදල් කිසිම තැනක ආයෝජනය කර ප්‍රතිලාභ ආපසු ලබා දීමක් සිදු වෙන්නේ නැහැ. අලුතෙන් ලැබෙන මුදල්වලින් පැරණි සාමාජිකයන්ට ගෙවීම තමයි හැම විටම සිදු වෙන්නේ. ඉහළ පොලී ලබා ගන්න පැමිණෙන අය මෙම ක්‍රියාදාමය බිඳ වැටුණු විගස තම මුදල් සියල්ල නැති කර ගන්නවා.

කොහොම වුණත් බර්නාඩ් නිතරම ලබා දුන්නේ පිළිගත හැකි ප්‍රතිලාභ පමණයි. ඔහුගේ අරමුදලේ සිදු කරන ආයෝජනවලට ලැබෙන වාර්ෂික පොලිය 10% මට්ටමේ පැවතුණා. එපමණක් නෙවෙයි, ඔහු ඔහුගේ අරමුදල ගැන අනවශ්‍ය ප්‍රචාරයක් දියත් කළේවත්, ඒ වෙත අලුත් සාමාජිකයන් ගෙන එන්න කියා ඉන්න සාමාජිකයන්ට පැවසුවේත් නැහැ. ඕනෑම කෙනෙකුට එහි ආයෝජන සිදු කරන්නත් ඉඩ ලැබුණේ නැහැ. තමන්ගේ අරමුදලේ ආයෝජන කටයුතු රහසිගතව පවත්වා ගන්න බර්නාඩ් කටයුතු කළත් ඔහු ගැන තිබූ විශ්වාසය නිසා ධනවතුන් බොහෝ දෙනෙක් හිතවතුන් මාර්ගයෙන් සම්බන්ධතා ගොඩ නගාගෙන Bernard L. Madoff Investment Securities හි මුදල් තැන්පත් කළා.

බර්නාඩ්ගේ වංචාව පාදක කරගෙන නිර්මාණය වූ Wizard of Lies (cuindependent.com)

කොහොම නමුත් කාලයත් එක්ක මේ ගැන ටිකෙන් ටික සැක ඇති වෙන්න ගත්තා. බර්නාඩ්ගේ අරමුදල Ponzi වර්ගයේ වංචාවක් බවට කටකතා ගියත් ඔහු ඒවා විවෘතව ප්‍රතික්ෂේප කළා. තමන්ගේ අරමුදලෙන් ඕනෑම විටෙක තම මුදල් ලබා ගත හැකි බවත්, නමුත් නැවත ආයෝජනය කරන්න ඔවුන්ට ඉඩ නොදෙන බවත්, දශක ගණනාවක අත්දැකීම් ඇසුරෙන් තමා සිදු කරන ආයෝජන ක්‍රියාවලිය සාමාන්‍ය අයට තේරුම් ගත නොහැකි බවත් බර්නාඩ්ගේ පිළිතුර වුණා. දශක කිහිපයක් තිස්සේ දිගටම ස්ථාවර ප්‍රතිලාභ ලබා දුන් බර්නාඩ්ගේ අරමුදලෙන් තම ආයෝජන යළි ලබා ගන්න බොහෝ දෙනෙක් අධෛර්යමත් වුණේත්, ඔහු යම් ක්‍රමයකට ඒ මුදල් ආයෝජනය කරනු ඇති බව බොහෝ දෙනෙක් විශ්වාස කරන්න පෙළඹුණේත් මේ නිසායි.

ලෝක ආර්ථික අර්බුදය සහ වංචාව හෙළි වීම

කාලාන්තරයක් තිස්සේ සිදු කළ බර්නාඩ්ගේ ව්‍යාපාර ගැන විශාල සැකයක් තිබුණත් එය තහවුරු කර ඔහුට නීතිමය චෝදනාවකට වරදකරු කරන්න හැකියාවක් තිබුණේ නැහැ. කොහොම නමුත් වසර ගණනාවක් තිස්සේ මේ ගැන පර්යේෂණ කරමින් සිටි මූල්‍ය විශ්ලේෂකයෙක් වූ හැරී මාකෝපෝලෝස් සැකයක් මතු වන කාරණා වරින් වර පෙන්වා දුන්නා.

වංචාව ගැන කාලයක සිට අවධානයෙන් සිටි හැරී මාකෝපෝලොස් (time.com)

2008 දී ලෝක ආර්ථික අර්බුදයක් ඇති වීමත් එක්ක තව දුරටත් තම අරමුදල පවත්වාගෙන යන්න බර්නාඩ්ට හැකි වුණේ නැහැ. බොහෝ දෙනෙක් තමන්ගේ මුදල් යළි ලබා ගන්න පටන් ගත්තා. බර්නාඩ් ගැන තිබූ විශ්වාසය නිසාත්, ලෝක ආර්ථිකයම බිඳ වැටෙද්දී තමන්ගේ මුදල් ආරක්ෂා කරගෙන ආයෝජනය කරන්න ඉතිරි වෙලා තිබුණු තැන් කිහිපයෙන් එකක් ලෙස සැළකුණු නිසාත් බර්නාඩ්ගේ අරමුදල වෙත ඒ වන විටත් මිලියන ගණන් ආයෝජන ගලා ආවා. කොහොම නමුත් විශාල ලෙස මුදල් ඉවත් කර ගන්න තිබුණු ප්‍රවණතාවත් එක්ක එය දිගටම සාර්ථක වුණේ නැහැ. බිඳ වැටෙමින් තිබූ බැංකු ක්ෂේත්‍රය නිසා ඔහුට ණය ගැනීමටවත් හැකියාවක් තිබුණේ නැහැ. අවසානයේ ඔහුගේ අරමුදල සම්පූර්ණයෙන්ම බිඳ වැටුණා.

ප්‍රතිඵලය

Bernard L. Madoff Investment Securities වෙත ආයෝජනය කර තිබුණු ඩොලර් බිලියන 65 ක පමණ මුදලක් ආයෝජකයන් වෙත අහිමි වුණා. අධ්‍යක්ෂක ස්ටීවන් ස්පිල්බර්ග් ඇතුළු ධනවතුන් බොහෝ දෙනෙක් මේ හරහා අධික මුදලක් අහිමි කර ගත්තා. සැබෑටම වංචා කරන ලද මුදල සැළකෙන්නේ බිලියන 10 ත් 17 ත් අතර ප්‍රමාණයක් කියලයි. නමුත් බොහෝ ආයෝජකයන් තමන්ගේ මුල් ආයෝජනය වසර ගණනාවක් තිස්සේ වැඩි වීමට තබා තිබූ නිසාත් ගෙවීමට නියමිතව තිබූ මුදල ඩොලර් බිලියන 65 ක් පමණ වුණා.

ප්‍රසිද්ධ පුද්ගලයන් බොහෝ දෙනෙක් මේ වංචාවට හසු වී මිලියන ගණන් අහිමි කරගත්තා (brstatic.com)

බරපතල මූල්‍ය වංචාවකට වරදකරු වූ බර්නාඩ් එල්ල වූ චෝදනා සියල්ලටම තමන් වැරදිකරු බව පිළිගත්තා. ඒ අනුව ඔහුට වසර 150 කට සිරගත කෙරුණේ ජීවිතාන්තය දක්වාම යළිත් පිටතට පැමිණීමට නොහැකි ලෙසින්. නඩු විභාගයේ තීන්දුව අනුව වංචාව තුළින් ඔහු උපයා ගත් මුදල මෙන් දෙගුණයක් ගෙවීමට ඔහුට නියම වුණා. ඔහුගේ පවුලේ බොහෝ දෙනෙක්, මිතුරන් ඇතුළුව වංචාවට සහභාගී වූ බොහෝ දෙනෙක් විවිධ වන්දිවලට සහ සිර දඬුවම්වලට යටත් වුණා.

ඔහුගේ වත්කම්වලින් මෙන්ම විවිධ ක්‍රමවලින් ඔහුට ලැබෙන ආදායම්වලින්ද මෙය ගෙවීමට සිදු වෙනවා. විවිධ ගණනයන් අනුව මෙය ගෙවා අවසන් වන විට ඩොලර් බිලියන 7.2 ක් පමණ වේවි. බර්නාඩ්ට ලැබෙන විවිධ ආදායම් හරහා අදාළ වන්දි තවමත් ගෙවෙමින් පවතිනවා.

බර්නාඩ් සිදු කළ මහා මූල්‍ය වංචාව ඇමරිකානු ඉතිහාසයේ විශාලතම Ponzi වර්ගයේ වංචාව ලෙසයි සැළකෙන්නේ.

කවරයේ රූපය : publicbroadcasting.net

Related Articles