Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රටේ ආර්ථික අර්බුදය අස්සේ සාහිත්‍ය මාසයත් ඇවිත්!

සාහිත්‍ය වසන්තය ලෙස හැඳින්වෙන සැප්තැම්බරයේ සාහිත්‍ය මාසය දැන් එළැඹ තිබෙනවා. සාහිත්‍යලෝලීන්, ලේඛකයන්, ප්‍රකාශකයන්, පාඨකයන් පවා සැප්තැම්බරය එත තෙක් සිටින්නේ ඇඟිලි ගනිමින්.

වට්ටමි අඩුකර පොත් ගන්නට ඉඩ ලැබෙන, ලිය අවුරුද්දේ ලියපු හොඳ පොත්වලට සම්මාන දෙන සැප්තැම්බරය තවත් කැපී පෙනෙන්නේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මඟින් පවත්වන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නිස යි.

 යාපනයේ 2019 දී පැවති පොත් ප්‍රදර්ශනයක්- sundayobserver.lk

 

මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් 16 වැනි දා සිට 25 වැනි දා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. පසුගිය 2021 වර්ෂයේ කොවිඩ් අවදානම මාරාන්තික වසංගතයක් වූ නිසා කොළඹ පොත් දැක්ම පැවැත්වීමට ඉඩකඩක් ලැබුණේ නැහැ. මේ වනවිට ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන විදේශ විනිමය හිඟය හා බැඳුණු ඩොලර් හිඟය නිසා පොත් ප්‍රකාශනයට වුවමනාකඩදාසි සහ මුද්‍රණ ද්‍රව්‍ය  පිටරටින් ගෙන්වීමත් ගැටලුවක් වෙලා.

ගිය අවුරුද්දේ රු. 7000කට පමණ පැවති පොත් මුද්‍රණය කරන කඩදාසි රීම් එකක් මේ වනවිට රු. 17000-20000 දක්වා ඉහළ ගිහින්. මේ අර්බුද මැද සාහිත්‍යයේ හෙට දවස කෙසේ ද යන්න විමසීමට අපි කිහිප දෙනෙක් සම්බන්ධ කර ගත්තා.

 එච්. ඩී. ප්‍රේමසිරි- dailynews.lk

පාඨකයන්ගේ මිලදී ගැනීමේ හැකියාව ගැනත් සලකනවා

– සරසවි ප්‍රකාශන අධිපති එච්. ඩී. ප්‍රේමසිරි

මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ ප්‍රධාන අනුග්‍රාහකත්වය දරන නුගේගොඩ සරසවි ප්‍රකාශන අධිපති එච්. ඩී. ප්‍රේමසිරි කියන්නේ මෙවැන්නක් :
‘‘පවත්නා ආර්ථික අර්බුදය නිසා බොහෝ පොත් ප්‍රකාශකයන් පොත් පළකිරීම නවත්වා තිබුණත් අපි නම් පසුගිය කාලෙත් යම් පොත් ප්‍රමාණයක් පළ කළා. වෙනදට පළ කරන පොත් ප්‍රමාණයෙන් 15% ක් වගේ සංඛ්‍යාවක්. සරසවි ප්‍රකාශන පොත් 5ක් ස්වර්ණ පුස්තක දෙවැනි වටයට ඇවිත් තිබෙනවා. ඒ පොත්වල නව මුද්‍රණ නිකුත් කිරීමක් ද සිදුවෙනවා. මේ පොත් පාඨකයන්ට ප්‍රමාණවත් තරම් ලබාගත හැකි ආකාරයට මුද්‍රණය කර තිබෙනවා.

අවුරුද්දේ පැවති මිලට වඩා පොතක මිල වැඩිවීමට ඉඩ තිබෙනවා. අපි පාඨකයන්ගේ මිලදී ගැනීමේ හැකියාව ගැන සලකලා හැකි අඩුම මිලක් තමයි තීරණය කරන්නේ. පොත් ප්‍රදර්ශනයේ දී සරසවි ප්‍රකාශනවලට 20%ක වට්ටමකුත් අපේ ආනයනික පොත්වලට 10%ක වට්ටමකුත් ලබාදීමට බලාපොරොත්තු වෙනවා. අපි පිටරටින් කඩදාසි ආනයනය කිරීමත් කරනවා. මේ දිනවල යුරෝපයේ කඩදාසි කම්හල්වලත් කඩදාසිවල මිල වැඩි වෙලයි තිබෙන්නේ. විවිධ හේතු මත කඩදාසි මිල වරින්වර ඉහළ පහළ යාම් සිදුවෙනවා.

දරා ගත නොහැකි මුද්‍රණ කඩදාසි මිල – youtube.com

 

මෙවර පොත් ප්‍රදර්ශනයේ ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබා ගෙන තිබෙන්නෙත් සරසවි ප්‍රකාශකයන්. අපි විශාල මුදලක් වැය කර අනුග්‍රාහකත්වය ලබාගත්තේ පොත් ප්‍රදර්ශනය පැවැත්වීම අවශ්‍ යම නිස යි. පාඨකයන්ට කරන සේවයක් විදිහට සලකලයි එය ඉටුකරන්නේ. මං හිතන විදිහට මේ පාර වෙනදා තරම් ප්‍රදර්ශන කුටි ප්‍රමාණයක් නැතිවේවි. ප්‍රදර්ශන කුටි ඉදිකිරීමේ වියදමත් විශාල වශයෙන් ඉහළ ගිහින්.

මා හිතනවා මෙවර අති විශාල ජනතාවක් පැමිණේවි කියලා. ඒ වගේම අපි මෙවර අලුතින් පොත් 30ක් නිකුත් කිරීමට සැලසුම් කර තිබෙනවා. නවකතා 6ක්, ඩබ්ලිව්.ඒ. සිල්වාගේ පොත් තුනක නව මුද්‍රණ, කෙටිකතා පොත් 3ක්, විවිධ විෂය පොත් රාශියක් ආදී වශයෙන්. ජනතාවගේ මිලදී ගැනීමේ ශක්තිය නම් අඩුවෙලා.  මේ කාලයේදී පොත් අලෙවිය සාමාන්‍ය විදිහට සිදුවෙන බව නම් පේනවා. වෙනදා පොත් දෙක තුනක් ගත් පාඨකයා එක පොතක් වගේ තමයි ගන්නේ.”

 සේනාරත්න වීරසිංහ – Senarathna Weerasingha facebook page

පොත් පළවීම අඩුවූ විට පොත හරහා සිදුවන කියවීම අඩු වෙනවා

– ප්‍රකාශක සේනාරත්ත වීරසිංහ

වේයන්ගොඩ ප්‍රභා ප්‍රකාශන අධිපති මෙන් ම විශිෂ්ත ම කෘති රාශියක් සිංහලට පරිවර්තනය කළ ලේඛකයකු ද වන සේනාරත්න වීරසිංහත් මෙසේ සිය අදහස් දැක්වූවා:

‘‘මෙවර කොළඹ පොත් ප්‍රදර්ශනයට අපිත් සහභාගි වෙනවා. ප්‍රකාශකයකු ලෙස මේ දිනවල ලංකාවේ මා දකින ප්‍රධාන ගැටලුව තමයි පොත් මුද්‍රණය කරන කඩදාසි හිඟය හා පවතින කඩදාසි අධික මිල ගණන්වලට විකිණීම. මේක සාහිත්‍යයට වගේ ම ප්‍රකාශන නිදහසටත් ඉතා අහිතකර යි. ලිඛිතව කරන සන්නිවේදනය අඩපණ වෙනවා. සංවර්ධිත ශිෂ්ට සමාජයකට මේක ඉතා අහිතකර ලෙස බලපානවා. පත්තරවලත් පිටු අඩුවෙලා. පොත්වල මිල වැඩි වෙලා. එවිට සාමාන්‍ය පාඨක පිරිස මේ මාධ්‍යවලින් ඉවත් වෙනවා. යුරෝපයෙත් මේක සිදුවුණා. නමුත් පසුව ඔවුන් එම බාධක ඉවත්කර මුද්‍රණ ද්‍රව්‍ය සුලබ කළා.

පොත් පළවීම අඩුවූ විට පොත හරහා සිදුවන කියවීම අඩු වෙනවා. පාසල් දරුවාගේ පටන් එක් අහිතකරව බලපානවා. එවිට මොට්ට සමාජයක් බිහිවෙනවා. රජයකට කරන්නට තිබෙන ප්‍රධාන කටයුත්තක් තමයි කඩදාසි හා මුද්‍රණ ද්‍රව්‍ය සුලබ කිරීම. ඉන්දියාව, චීනය, කැනඩාව, එංගලන්තය, ස්පාඤ්ඤය වගේ රටවල්වල පසුගිය කාලේ මොන ප්‍රශ්න ආවත් මුද්‍රිත මාධ්‍ය බිඳ වැටෙන්න දුන්නේ නෑ. මේකට ආණ්ඩුව පියවරක් නොගැනීමෙන් පේන්නේ මිනිස්සු බුද්ධීයෙන් වර්ධනය වීම වැළැක්වීමට සිතාගෙන ද දන්නේ නෑ කියලයි.‘‘

 බුද්ධදාස ගලප්පත්ති – Buddhadasa Galappaththi facebook page

වෙනදා පොතක් පතක් වෙනුවෙන් වෙන් කළ මුදල මෙදා වෙන් කළ හැකිද?

– කිවියර බුද්ධදාස ගලප්පත්ති

බුද්ධදාස ගලප්පත්ති සම්මානනීය කවියකු මෙන් ම විචාරකයෙක් ද වනවා. ඔහු නවකතා, කෙටිකතා සහ තීරු ලිපි සංග්‍රහ කීපයක් ම පළ කළ සාහිත්‍යවේදියෙක්. නිතර සාහිත්‍ය ලෝකය ගැන අවධානයෙන් සිටින බුද්ධදාස ගලප්පත්ති රටේ වර්තමාන සාහිත්‍ය පසුබිම දකින්නේ මෙහෙමයි:

‘‘වෙනදා තිබුණු සාහිත්‍ය උද්‍යෝගය, උන්මාදය ඒ ලෙසින් ම අදත් තියෙනවද කියන එක නම් ප්‍රශ්නයක්. පහුගිය අවුරුදු දෙක නැත්නම් තුන පුරාම යම් යම් බාධක අඩුපාඩු මැද අපි අත් විඳපු සාහිත්‍ය උළෙල ඉතිහාසයට වඩා වෙනස් ම අත්දැකීමක් හමුවේ අපිට මේ වසරේ සාහිත්‍යය සම්මාන , උත්සව ගැන කතා කරන්නට සිදු වී ඇති බවයි මට දැනෙන්නෙ. කොරෝනා වැනි ලොවට ම බල පෑ ව්‍යසන හමුවේ වුවත් අපේ රටේ සාහිත්‍ය සම්මාන උළෙල සියල්ල ම පසුගිය වසර දක්වා පවැත්වුණා, ඒවායෙ උත්සවශ්‍රීය පිළිබඳ යම් යම් අඩුපාඩු සහිතව වුණත්.

රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ පටන් ස්වර්ණ පුස්තක, රජත පුස්තක, ගොඩගේ සාහිත්‍ය සම්මාන හා විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළෙල අගනුවර දී මෙන් ම ප්‍රාදේශීය ව පළාත් සභා සංවිධාන කළ සාහිත්‍ය සම්මාන උලෙළ රැසක් ම පවත්වා සම්මාන පිරිනැමුණු බව අප දන්නවා. එහෙත් මේ වසරේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වුණත් සම්මාන ප්‍රදාන උළෙල පැවැත්වීමට සිදු වී ඇත්තේ පසුගිය වසර කීපයට වඩා වෙනස් ම පසුබිමක බව අපට අමතක කළ නොහැකි කරුණක්. මෙවර සාහිත්‍ය මාසයේ අසන්නට ලැබුණු තවත් සතුටුදායක පුවතක් වූයේ ස්වර්ණ පාඨක සම්මාන ප්‍රදානය නම් නව සම්මාන උළෙලක් නවකතා සඳහා පමණක් පැවැත්වෙන බව දැනගන්නට ලැබීම යි. මුදල් හා රන් සම්මාන පිදෙන එකී නව උළෙල පිළිබඳ ඉදිරියේ දී කතාබහ වනු නිසැක යි.

වෙනදා පොතක් පතක් වෙනුවෙන් වෙන් කළ මුදල මෙදා වෙන් කළ හැකි ද? – unsplash.com/ Clay Banks

 

ප්‍රධාන වශයෙන් ම වර්තමානයේ හා පසුගිය වසර අගභාගයේ සිට අප රටට මුහුණපාන්නට සිදු වී ඇති ආර්ථික අර්බූදය හමුවේ මෙරට සාහිත්‍යය හා සම්බන්ධ මුද්‍රණ හා ප්‍රකාශන ක්ෂේත්‍රයන්හි බිඳ වැටීම මෙවර සාහිත්‍ය සම්මාන උළෙල සියල්ල කෙරෙහි ම බලපා ඇති බව පැහැදිලි සාධකයක්. අන් වසර මෙන් මේ වසරෙහි ප්‍රකාශිත ග්‍රන්ථ සංඛ්‍යාවෙහි ප්‍රාමාණික අඩුවක් ඇති බව කියවෙනවා. ඊට ප්‍රධානත ම හේතු සාධක වී ඇත්තේ, විදේශ විනිමය හිඟවීම, ඩොලරයේ අගය අවප්‍රමාණ වීම, ආනයනික කඩදාසි හා අනෙකුත් මුද්‍රණ තීන්ත, ප්ලෙට්ස් ආදියෙහි මිල විශාල ලෙස ඉහළ යාම, විදුලි බලය ඇනහිටීම් හා මහජන ප්‍රවාහන පහසුකම් බිඳ වැටීම ඇතුළු ජීවන බර දරා ගැනීමට නොහැකිව අරගලයක යෙදී සිටි ජනතාවගේ විරෝධය ආදී සාධක රැසක අවසාන ප්‍රතිඵලය ලෙස සමස්ත ජනජීවිතය බිඳ වැටුණු බව අප සියසින් ම දැක්කා.

එවැනි පසුබිමක ජනතාව වෙතින් සාහිත්‍යය කෙරෙහි වෙනදා ඔවුන් තුළ වූ උද්‍යොගය පමණක් නොව පොතක් පතක් වෙනුවෙන් වැයකිරීමට අවශ්‍ය ක්‍රය ශක්තිය ද ඔවුන් තුළ නැහැ. පාන් රාත්තලකට රුපියල් තුන්සියයක් පමණ වැයවන තත්වයක් යටතේ, රුපියල් පන්සියයක අවම මිලකට කවිපොතක් ,හෝ අන් නිර්මාණ කෘතියක් මිලට ගැනීමට ශක්තිය ඇති පාඨකයන් පිරිසක් වේ ද යන්න ලේඛකයන් හමුවේ ඇති ප්‍රධාන අභියෝගයක්. ජීවන වියදම ඉහළ ගොස් ඇති ප්‍රතිශතයට සාපේක්ෂව ආදායම්හි කිසිදු වැඩිවීමක් නොවූ කල්හි වෙනදා පොතක් පතක් වෙනුවෙන් වෙන් කළ මුදල මෙදා වෙන් කළ හැකිද යන ගැටලුවට මුහුණ දෙන පාඨකයන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

මේ පසුබිම යටතේ දරුණු ලෙස බැටකෑමට ලක්වන්නේ ආධුනික ලේඛක ලේඛිකාවන් පිරිස බවයි මගේ හැඟීම. ඔවුන්ගේ නිර්මාණාත්මක කෘති ප්‍රකාශයට පත්කිරීමට ප්‍රකාශකයන් මැළිවනවා පමණක් නොව කෙසේ හෝ පළ කිරීමෙන් අනතුරුව එම කෘති සඳහා මිල නියම කරන්නේ කෙසේද යන ප්‍රශ්නය හමුවේ ද බැට කෑමට ලක්වන්නේ ආධුනික ලේඛක ලේඛිකාවන්ම යි. මේ පිරිස ගේ නිර්මාණ කුසලතා මියෙන්නට ඉඩ නොදී රැක ගැනීම රජය සතු වගකීමක් බව අවධාරණය කර සිටිනවා. දැනට සංස්කෘතික දෙපාර්තමේන්තුව, ජාතික පුස්තකාල සේවා හා ප්‍රලේඛන මණ්ඩලය විසින් ආධාර දීමේ ව්‍යාපෘති කිහිපයක් තිබුණ ද ඒවා සඳහා ලැබෙන ප්‍රතිපාදන ශීඝ්‍ර ව කප්පාදු කෙරෙන බවයි අපට දැන ගන්නට ලැබෙන්නේ. නව පරපුරක නිර්මාණශීලී සාහිත්‍යයක් අපේක්ෂා කරන්නේ නම් ඔවුන්ගේ වටිනා කෘති තෝරා ඒවා විශාල පාඨක ප්‍රජාවක් වෙත ගෙන යාමට රජය මූලික විය යුතු බව කිව යුතුම යි.‘‘

ලේඛක නිශ්ශංක විජේමාන්න – Janaka Inimankada

 

වර්තමාන සමාජ අර්බුදය සාහිත්‍යයේ වර්ධනයට හොඳ පොහොරක් සපයනවා

– ලේඛක නිශ්ශංක විජේමාන්න  

ඇත්තට ම වර්තමාන සමාජ අර්බුදය සාහිත්‍යයේ වර්ධනයට හොඳ පොහොරක් සපයන බවයි මට පේන්නේ. ලෝකයේ සාහිත්‍ය දියුණු වුණේ හොඳ කෘති බිහි වුණේ අර්බුද මැද යි. අර්බුදයක් ගැටලුවක් නැත්නම් සාහිත්‍යයක් නෑ. සාහිත්‍යය නිරන්තරයෙන් සිදුවෙමින් පවතිනවා.  සාහිත්‍යධරයන් සොයා ගන්න ඕනෑ අලුත් සාහිත්‍ය දර්ශනය කරන්නට අලුත් ක්‍රම. ඔහුට වෙළෙඳපොළකුත් අවශ්‍ය යි.  

අද බහුල ව දැකගත හැක්කේ සාහිත්‍යය නිර්මාණ අත්දැකිම් නැතිකමක් නොව නිෂ්පාදන අමුද්‍රව්‍ය හිඟයක්. පොදුවේ ගත්තම කඩදාසි හිඟය හැම ලේඛකයකුට ම බලපානවා. තම ප්‍රකාශන එළි දක්වන්නට ඉන් ඉඩ අහුරනවා. පොත් මුද්‍රණය කරන කඩදාසි විතරක් නොවේ අත්පිටපත් ලියන බාල කඩදාසි පවා හිඟ යි. ඒ විතරක්ද, මගේ ක්ෂේත්‍රය වන චිත්‍ර ඇඳීමට අවශ්‍ය කඩදාසි පවා නෑ. තිබෙන ඒවාත් ඉතා අධික මිල යි. ජනතාවගේ ආදායම අඩුවීම නිසා පොත් අලෙවියත් අඩුවෙලා. මගේ ගම් පළාත වන මහියංගනයේ පොත් සාප්පු තුනක් තිබෙනවා. ඒවායේ සාහිත්‍ය කෘති අලෙවි වන්නෙ ම තැති බව යි දැන ගන්න ලැබුණේ. මේ කාලයේ තරමක් හරි විකිණෙන්නේ විෂය නිර්දේශ පොත් පමණ යි.

දිලීප ජයකොඩි- Dileepa Jayakody facebook page

රටේ අර්බුදයක් පැවතුණ ද ලේඛනය නවත්වා නෑ

– ලේඛක පරිවර්තක දිලීප ජයකොඩි

රටේ පසුගිය කාලය පුරා ම පැවති අරගලකාරී වාතාවරණය නිසා ලේඛකයන්ට ද කඩදාසි ඉල්ලා විරෝධතා ගමන් යාමට සිදුවුණා. සමහර ලේඛකයන් අප සමඟ පැවසුවේ පසුගිය මාස කිහිපය පුරාම රට තුළ පවතින අවිනිශ්චිත වාතාවරණය හමුවේ පොත් ලිවීමේ පසුබිමක් පැවතියේ නැති බවයි. චේතන් බගත්ගේ නවකතා ඇතුළු සෑම පොත් ප්‍රදර්ශනයකදීම වැඩිම අලෙවියක් වාර්තා කරන පරිවර්තන පොත් පළ කරන ජනප්‍රිය ලේඛක, පරිවර්තක දිලීප ජයකොඩි අප සමඟ පැවසුවේ රටේ අර්බුදයක් පැවතුණ ද ඔහු ලේඛනය නවත්වා නැති බව යි.

‘‘සමස්ත රට ම අර්බුද රාශියක ගිලී ඇති වෙලාවකයි මෙවර සාහිත්‍ය මාසය අප වෙත ළඟා වී ඇත්තේ. එහි අරුතනම් මේ වන විට ශ්‍රී ලාංකිකයන් බහුතරයක් මානසික අසහනකාරී බවකින් කල්ගත කරන බව යි. මෙවැනි වකවානුවක පැමිණෙන සාහිත්‍යය මාසය වඩාත් වැදගත්කමකින් යුතු බවයි මා සිතන්නේ. මන්ද, එමඟින් අසහනකාරී සිත්වලට යම් සහනයක් ළඟා කර ගත හැකි නිසා. ඒ ආකෘතිය හා අන්තර්ගතය යන දෙකොටසින් ම. රටේ අර්බුද පැවතියත් මං ලිවීම නවත්වන්නෙ නැත්තෙ ඒක මගේ ෆැෂන් එක නිසා. මං තෘප්තියට පත්වන්නෙ ලිවීමෙන්. ඒ නිසා ඒක නවත්වන්න බැහැ. මේ පාර පොත් ප්‍රදර්ශනයෙ දි  මං ලියපු අලුත් පොත් තුනක් පළවීමට නියමිත යි.

 දිලීප ජයකොඩිගේ පරිවර්තන කෘති – Dilru Upeka facebook page

 

ආකෘතිමය වශයෙන් සලකා බැලුවහොත්, පොත් ප්‍රදර්ශනයට පැමිණීම, සහෘදයන් හමුවීම, විවිධ දොරට වැඩුම්, සාහිත්‍ය සම්මන්ත්‍රණ ආදියට එක්වීම, කතුවරුන් හා පාඨකයන් අතර හමුවීම්, අලුත් පොත් ගැන දැනුම්වත්වීම, පොත් අතර සැරිසැරීම, මේ සියල්ල ම පොත් ලෝලීන්ගේ මනස සුවපත් කරන දෑ.

අන්තර්ගතමය වශයෙන් ගත් විට විවිධ ශානරයන් යටතේ ලියවුණු, තමන් කැමති පොත් මිල දීගෙන, ඒවා කියවා ඉන් ලබා ගන්නා ජීවිතාවබෝධයෙන් මේ ව්‍යසනකාරී තත්ත්වය දෙස කලකිරීමෙන් තොර ව බැලීමට ලැබෙන සවිය මා දකින්නේ සුබවාදී ආකාරයට. උදාහරණයක් ලෙස චීන, රුසියන් විප්ලව සමයන්හි දී ඒ රටවල්වල ජනතාව විඳි අපා දුක තවමත් අපට දුර බව ඒවා කියවන පාඨකයකුට සිතේවි. එය ම ඔහුට යම් සහනයක් ගෙන නොඒවිද..?

දැන් පොත් මිල වැඩිවෙලා නිසා පාඨකයාට වෙනදා වගේ හැම පොතක් ම මිලදී ගැනීමට හැකියාවක් නෑ. ඔහු පොත් මිලදී ගන්නේ ලොකු තෝරා ගැනීමකින් පසුව යි. තමන්ට ඉහළම ආසාවක් හිතෙන පොත් තමයි මිලදී ගන්නේ. ඒක ලේඛකයාට අභියෝගයක්. පාඨකයා තෝරාගන්නා පොත් ඉදිරිපත් කිරීමට ඔහුට සිදුවෙනවා.

චූලාභය ශාන්ත කුමාර හේරත් – Chualabhaya Shantha Kumara Herath facebook page

පොත් මිලදී ගැනීම ජනතාවගේ අවශ්‍යතා ලැයිස්තුවෙන් පස්සට ගිහින්

– නවකතාකරු චූලාභය ශාන්ත කුමාර හේරත්

සූරිය කුසුම, මා, සඛි භාර්යා, චක්‍රවර්ති වැනි ඇගැයීමට ලක්වූ සහ පාඨක ප්‍රසාදය දිනූ නවකතා ලියූ චූලාභය ශාන්ත කුමාර හේරත් වර්තමාන සාහිත්‍යය හා බැඳි අවුල දකින්නේ මෙහෙමයි:

‘‘මේ පවතින සමාජ ආර්ථික දේශපාලන වටපිටාව නිසා පසුගිය කාලයේ නිස්කලංකව ලියන්න වටපිටාවක් සියුම් සිතක් ඇති ලේඛකයකුට ඇතිකර ගැනීම අසීරු වුණා. මා ලියූ නවකතා පොත් දෙකක් සහ කෙටිකතා එකතුවක් තිබෙනවා අවසන් නොකළ. මුද්‍රණ ක්ෂේත්‍රය ගිලගෙන ඇති කඩදාසි හිඟය නිසා ලියන දේ පළකර ගැනීම ලේඛකයන්ට ගැටලුවක්. කඩදාසි වගේම මුද්‍රණ ප්ලේට්, තීන්ත වගේ හැමදේ ම හිඟ යි. වෙළෙඳ පොළේ ඉල්ලුමක් තිබෙන තොග අවසන් වන පොත් නැවත මුද්‍රණයත් ප්‍රශ්නයක්.

රුපියල් 750කට මිල නියම කළ මගේ ‘මම චක්‍රවර්ති’ නවකතාව යළිත් මුද්‍රණය කළොත් එහි මිල සියයට 50කින් වත් ඉහළ යාවි. වැඩිවූ ආහාර මිල ගණන්වලින් හෙම්බත්ව සිටින පාඨක ජනතාවට මේ වගේ මිල ගණන් දරාගන්න අමාරුයි. පවතින ආර්ථික අර්බුදකාරී වටපිටාව තුළ පොත් මිලදී ගැනීම කියන කාරණය ජනතාවගේ අවශ්‍යතා ලැයිස්තුවෙන් තරමක් පස්සට ගිහිල්ලා. දියුණු සමාජයකට කියවීම අත්‍යවශ්‍ය දෙයක්. මුද්‍රණ ක්ෂේත්‍රයේ කඩදාසි ඇතුළු අමුද්‍රව්‍යවල මාෆියාව වලක්වා එම ද්‍රව්‍ය සාධාරණ ව සැපයීමට නිසි රාජ්‍ය මැදිහත්වීමක් අවශ්‍ය වෙනවා. ‘‘

කවරයේ ඡායාරූපය: කොළඹ පොත් ප්‍රදර්ශනයේ අවස්ථාවක්- news.lk  

මූලාශ්‍ර:
ලියුම්කරු සිදු කළ සංවාද 

Related Articles